ඒ මහා කරුණා දිය දහරින් නිවී සැනසෙනු මිස….

අමා මෑණී තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ විරාගී හද ගැබින් ගලා ගිය මහා කරුණා නදී දිය දහරෙහි නිමාවක්‌ නොවීය. එය සොඳුරු කඳු රැලියෙකින් හෙමි හෙමින් ගලා ගිය සිහිල් දිය දහරක්‌ සේ ගැලීය. දෙව් බඹ හා මිනිස්‌ ආදී කොටගත් සකල විධ සත් සිත් සතන්ගෙන් යුත් ලොව ලොව සොයා ඉතිර පැතිරී ගියේය. ගොරතර මහ අඳුරු සසර කතරේ අතරමංව සිටි පස්‌ විසි මහා භයකින් පමණක්‌ නොව එයින් උපන් දුක්‌ සමුදාවලියකින්ද ගැහි ගැහී අනාථව අසරණව ගිය අපමණ සත්වයෝ ඒ සම්බුද්ධ කරුණා වැහි දිය දහරට තෙමී ශාන්ත සුවයෙන් සැනහී ගත්හ.

සාංසාරික අසරණ බවින් පරිපීඩිතව ගිය මෙබඳු අපමණ සත්ත්ව ප්‍රවාහයක්‌ නිවන් සුව සහනයෙහි ගැන්වීමෙහිලා හේතුවූයේ එම මහා සම්බුද්ධ කරුණාවමය. එකී අතිශය සියුම් වූ අනුකම්පා සහගත ස්‌වභාවය බුදු හද පුරා ඉතිර පැතිරී ගියේ එය උන්වහන්සේට ලැබුණු දන් පැන් හා කිත් යසස්‌ පැසසුම්වලට ප්‍රත්‍යඋපකාර වශයෙන් උපන්නක්‌ නොවීය. සංසාර දුක තුළ අතරමං වූ අසාර ජීවිත තුළ ඇත්තේ මතුපිටින් තැවරුණු ඔපයක්‌ පමණක්‌ බව උන්වහන්සේ වටහා ගෙන සිටියහ. ඊට යටින් නිරන්තරයෙන් ගලා ගිය අතෘප්තියද අසහනය හා ශෝකයද වැතිරී ගත් එම හැම ජීවිතයකම බුදු පියාණන් වහන්සේ දුටුවේ මහා දුක්‌බර කතාවකි, අවිඳු අඳුරු කඩතුරාවෙන් වැසී ගිය සිතක්‌ ඇති පුහුදුන් සත්වගට මේ බව වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක්‌ නැතිවීම පිළිබඳව උන්වහන්සේ තුළ ඇති වූයේ මහත් වූ අනුකම්පාවකි.

ඔවුනොවුන් වෙලාගත් කාම රතියද ආදී කොටගත් කෙළෙස්‌ ගිනිගොඩ මේ කවර ජීවිතයකත් ආනන්දයයි. එහෙත් මේ සියල්ල ජරාවත්, ව්‍යාධියත්, මරණයත් පැමිණෙන තුරා පමණක්‌ නොවේද? මේ සනාථන සත්‍යය නුවණින් වටහා ගතනොහැකි ඔවුන් නිදිගත් ගමක්‌ ගං වතුරෙන් මුහුදට ගසාගෙන යන්නාක්‌ මෙන් කෙළෙස්‌ මහ ගංවතුරෙන් තව තවත් සසරටම ගසාගෙන යන හැටි• මෙබඳු වූ සිතිවිලි උපන් මහා බුද්ධි ප්‍රභාවක්‌ ඇති බුදුරජාණන් වහන්සේ තුළ හැම විටම ඇතිවූයේ ලෝකයාගේ අඳ බව, අඥ බව පිළිබඳවම වූ මහා කරුණාවකි. පස්‌මහා ගංගාවන් ගලා එන්නාක්‌ මෙන් තමන් වහන්සේට සිව් පසය ගලා එන්නට සැලැස්‌වූ සැදැහැතියනට මෙන්ම, අහස පොළොව පවා නුහුලන අපහාස කළ වුනට ද උන්වහන්සේ අපරිමිත කරුණාවක්‌ දැක්‌වූයේ එබැවිනි. සිතුම් ලොව පහන් කළ මෙවන් වූ උතුම් දිවි සිරින් නිරන්තරයෙන් සරිවැ සිටියාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිත වූ කරුණා ප්‍රභා රශ්මිය පැන් පිරී ගිය පොකුණකින් මතුව සුපුෂ්පිත වූ නෙළුමක්‌ මෙන් තව තව පිබිදුණේය. එම සිතිවිලි සරින් නිසංසලව අසරණුන්, අනාථයින් හා මිසදිටු ගත්තවුන්ද සොය සොයා ගම්, දනව්, නගර සිසාරා වැඩි ගමන්වලදී මහ පිනැති එහිමියනට අව් වැසි පවස්‌ පීඩාවක්‌ හෝ නොදැනිණ. භව දුක්‌ තැවුල් පිස දමා අමා දහම අවබෝධකර ගන්නා අයුර සත්වගට පසක්‌කර දීමෙහි පරාර්ථ සිතිවිල්ලෙන් පමණක්‌ එහිමියන්ගේ කුළුණුබර සිත හැම විටම පිරී තිබිණ. සම්මා සම්බුදුවරයකු වශයෙන් අද මගෙන් පිළිසරණ ලබා ජීවිත මායා මැදුරෙහි රැහැන් පට සිඳ බිඳ දමා නිවනින් නිවී සැනහී ගන්නේ කවරෙක්‌දැයි විමසූ එහිමියෝ සෑම දිනකම අලුයම නැඟ පිබිද මහ කුළුණු සමවතට සම වැදුණහ. එම කරුණා දැලට හසුවී ශාන්ත ප්‍රනීත වූ නිවන් සුවයෙහි ගැඹුරටම සිත සන්සිඳවූයේ එදා සුකුමාර ජීවිතය එකම විකාරයක්‌ ලෙස දැන හැඳින ගත්තන් පමණක්‌ නොවේ. නොමඟට වැටුණන් හෝ පස්‌කම් නමැති කැත කිළිටි ගොහොරුවෙහි එරීමෙන් මුළා බවට පත් වූවන්මද නොවේ. ඒ මහා කරුණා වැහි දිය දහරින් වැඩිපුරම නිවී සැනහී ගත්තෝ නම් අනේකවිධ වූ හේතූන් නිසා අසරණකම පමණක්‌ ජීවිතයේ එකම උරුමය බවට පත්කර ගත්තෝය. පටාචාරා, රජ්ජුමාලා, පුණ්‌ණ, සුනීත, සෝපාක, පූතිගත්ත තිස්‌ස, මට්‌ටකුණ්‌ඩලී, චුල්ල පන්ථක මේ ඒ අනාථ අසරණ බවට පත් එම මහා මිනිස්‌ ප්‍රවාහයෙන් අතළොස්‌සක්‌ පමණෙකි. එදා සැවැත් නුවර සිය දෙමවුපියන්ගේ සිටු මැඳුරින් පලාගොස්‌ සොඳුරු නව ජීවනයක මිහිර විඳින්නට ගිය පටාචාරාවන්ගේ දුක්‌බර කතා පුවත විචිත්‍ර සිත්තම් පටක්‌ මෙන් දිවේ. සැබවින්ම එය කෙතරම් අනුවේදනීය කතා පුවතක්‌ද? මවුපියන් දැක්‌මට යන අතරමඟ මහ වනයෙහිදී නාගයකු දෂ්ට කිරීමෙන් මුලින්ම ඇයට සිය ස්‌වාමි පුරුෂතෙම නැතිවිය. එයින් උපන් දෘඪ ශෝකාග්නියෙන් හඬමින් අචිරවතී ගං තෙරට පැමිණි පටාචාරාවන්ගේ එක්‌ දරුවකු උකුස්‌සකු ගොදුරුකරගත් අතර අනෙක්‌ දරුවා සැඩ රළු ගඟ දියට වැටී ගසාගෙන ගියේය. එයින් පසුව ඇය මව් පියන් සොයා හඬමින්, වැළපෙමින් සැවැත් නුවරට ගියේ යළිඳු තමනට පිහිටක්‌ ඇත්තේ නම් මිහිපිට ඇති ඒ එකම පිහිට අම්මාත්, තාත්තාත් පමණියි සිතූ සිතුමෙනි. එහෙත් එකෙණෙහිම සිත් අහස වසා පැතිරී හමා ආ අඳුරු දුක්‌ වළා පෙළින් පටාචාරාව වික්‍ෂිප්ත වූවාය. ඇයට අසන්නට ලැබුණේ පෙරදා ඇති වූ මහා වරුෂාවෙන් ඇයගේ දෙමව්පියන් ජීවත් වූ සිටු මැදුර කඩා හැලී දිය බත් වූ බව පමණක්‌ නොවේ. එම සිටු මැදුර තුළ ජීවත් වූ තම දෙමව්පියන් මෙන්ම එකම සොයුරාද එයටම යටවී මිය ගිය බවෙකි. පටාචාරාවට එය අදහාගත නොහැකි විය. කාත් කවුරුවත් නැති ලෝකය නමැති මහ රුදුරු වන ගැබ මැද තමා එහෙම පිටින්ම තනිවූ බව පමණක්‌ ඇයට වැටහිණි. එයින් දැඩි ශෝක සන්තාපයට පත්ව සිහිවිකල් වූ ඇය හඬා හඬා – දොඩ දොඩා මහ මං පෙත් දිගේ දිව යද්දී ඇඳිවතත් මුළුමනින්ම ලෙහී ගිය බවක්‌ වත් නොවැටහිණි. එහිදී දුර්ජන ලෝකයේ කෙනෙක්‌ ඇයගේ අසරණකම දෙස බලා සිනා නැගූහ. කෙනෙක්‌ උසුළු විසුළු කළහ. තවෙකකු ඇය දෙස බලා අක්‍රෝෂ කළා පමණක්‌ නොවේ, කාරා කෙළද ගැසූහ. ඊටත් වඩා දරුණු වූයේ කිසිදු ළතෙත් බවක්‌ නොවූ අවාසනාවන්ත අඥන මිනිසුන් ඇයගේ නිරුවත් ඇඟ මතට දමා ගැසූ කැට කැබලිතිය. අසරණකමට මහ පුදුම පිහිටක්‌ ලෙස ලෝකයාගෙන් ලැබුණු මේ හැම රැවුමක්‌, ගෙරවුමක්‌ම අතරින් වාසනාවකට මෙන් ඇය ගියේ ඡේතවනාරාමයටය.

හා…. කවුරුන්ද? මේ පිස්‌සු ගැහැනිය, කාගේ අවසරයකින් මෙහි පැමිණියේද? යි සිතූ බුදු බණට සවන් යොමා දෙව්රමෙහි සිටියෝද මුලින් සැරසුණේ පටාචාරව එළවා ගන්නටය. එය වැළැක්‌වූ අනාථනාථ බුදුහාමුදුරුවන් ඇයට ජීවිතයේ උසස්‌ම ජීවනාර්ථය වූ නිර්වාණාවබෝධය ලබා දුන්නේ හදවතෙහි උපන් මහා කරුණාවෙන්මය. ඒ සම්බුදු කරුණා දැලට හසු නොවුණා නම් එදා පටාචාරාවට කුමක්‌ සිදුවන්නට තිබිණිද?

සැඩොල් කුලයෙක උපත ලබා අප්‍රමාණ නින්දා අපහාස ගනිමින් ජීවිතය එකම දුක්‌ සයුරක්‌ බවට පමුණුවාගෙන හුන් “චුන්ද” ද එදා බුද්ධ කාලයේ අසරණයෙකු ලෙස ජීවත් වූයේය. ඔහු කසළ කද ගෙන මාවතේ යනවිට කුලීනයෝ දෝතින් මුව වසා නෙත් පියා ගත්හ. එම කුරිරු දරුණු ලෝකය තුළ බුදු රජාණන් වහන්සේ පමණක්‌ ඔහුට කරුණාව දැක්‌වූහ. ධර්මයෙන් සංග්‍රහ කළහ. හේ ළය මඩල පහන්කොට නිවනින් නිවී සැනහුණේද ඒ නිසාය. පුණ්‌ණ ද බුදුන් දවස විසූ උතුම් කතක්‌ ලෙස සමාජය පිළි නොගත් ඉතාමත් දුක්‌බර ජීවිතයක්‌ ගෙවූ කාන්තාවක්‌ වූවාය. මුළු මහත් දඹදිව් තල වැසියෝම ඇය දාසකම් කිරීමෙහිලා ජීවිතයම කැප කරන්නට උපන් තැනැත්තියක්‌ ලෙස ඇදහූය.

දිනක්‌ වස්‌ පවාරණය කළ ඒ බුදු සමි¹ණෝ සැරියුත් මහ මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාද සමඟින් දක්‍ෂිණ ගිරි චාරිකාවෙහි වඩිනු වස්‌ ඡේතවනාරාමයෙන් නික්‌මෙන්නට සූදානම් වූහ. කොසොල් මහ රජතුමාත්, අනේපිඬු සිටුවරයා හා විශාඛාවත් තවත් එක්‌ දිනක්‌ හෝ උන්වහන්සේලා ඡේතවනාරාමයෙහි නවත්වා ගන්නට දැරිය හැකි සෑම උත්සාහයක්‌ම දැරූහ. නමුත් ඒ සෑම උත්සාහයක්‌ම අපතේ ගියේ ගලා යන මහ ගඟකට කැපූ දර මෙන්ය. අවසානයේදී පුණ්‌ණා දාසිය එම අභියෝගය කරට ගත්තේ එසේ කළ හොත් දාස බවින් සදහටම මුදාහරින් නෙමියි, ඇයට සිය ස්‌වාමීන් දුන් ප්‍රතිඥ නිසාය. ස්‌වාමීන්ගේ එබස්‌ ඇසූ පුණ්‌ණ ට සිතුමිණක්‌ පහළ වූ සේ වී. ඇය වහා බුදුරදුන් සොයා ඡේතවනාරාමය වෙත දිව ගියාය.

“පින්වත් හිමියෙනි, අනේ මා කෙරෙහි අනුකම්පා කොට තවත් එක්‌ දිනක්‌ පමණක්‌ ඡේතවනාරාමයෙහි වැඩ වසන්න” යි ඈ බුදු පා පියුම් යුග බදා වැළඳ හඬා වැළපුණාය. ඇතැම් වස්‌ කලෙක ජීවිතයම පවා කැපකොට ගෞරවාදර හැඟීමෙන් උවටැන් කළ අනඳ හිමියන්ගෙන් වුව වෙන්ව හිස්‌ බිමක, මහ අරණක හෝ සොහොන් බිමක විවේකය සොයා වැඩි බුදු පියාණන් වහන්සේ පුණ්‌ණා දෙස මහා කරුණාවෙන් බලා සිටියහ. සමාජය පුරාවෙහිම අවලංගු වී ගිය කාසියක්‌ මෙන් වූ පුණ්‌ණා දාසිය මේ කරන්නේ කොතරම් නිශ්ඵල දෙයක්‌ දැයි මඟ දෙපස රැස්‌ ව සිටියෝ කුතුහලයකින් බලා සිටියහ. පින්වත් නැඟෙණියනි, මා නොගොස්‌ නැවතුණහොත් නුඹට ලැබෙන ඵලය හෝ ලාභය කුමක්‌ දැයි ඇසූ ඒ පිනැති බුදු සමිදාණන්ගේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්ම ස්‌වරයෙන් බුදු පා පියුම් යුග වැඳ වැටී සිටි පුණ්‌ණාගේ පමණක්‌ නොව ඇසූ ඇසූවන්ගේද සවන්පත් සැනහී ගියේය. අනේ හිමියනි, එසේ වන්නේ නම් මට දාස බවින් සදහටම අත් මිදෙන්නට පිළිවන යි කී පුණ්‌ණාගේ දෙකොපුල් අතර වූ වියළී ගිය කඳුළු දිය කැළෑල් සම්බුදු දෙනෙතෙහි ගැටිණි. “පින්වත් නැඟෙණියෙනි හා එහෙනම් මා ආපසු ඡේතවනාරාමයට වඩින්නම්” යි බුදුරදුන් යළිත් දෙව්රම කරා වැඩම කළහ. රටෙහි මහා ධනවතා පමණක්‌ නොව බලවතා කී දේත් නොපිළිගත් උන්වහන්සේ කිසිවෙකුත් කිසිසේත් නොපිළිගත් අසරණ දාසියකගේ ඉල්ලීමට කන් දී ඇයගේ ඉල්ලීම ඉටු සිදු කළසේක. මතුපිටින් අතපත ගා සම්බුදු සිරිත කියවීමෙන් කිසිවෙකුටත් වටහා ගත නොහැකි බුදු කරුණාවේ මහත් වූ අසිරිමත් බව මෙයයි. නුමුලාව, විශද වූ බුද්ධි ප්‍රභාවය පුණ්‌ණා දාසිය තුළ ඇතිකළ එම කරුණා සයුරු දියට තෙමී ගත් පුණ්‌ණා ද අවසන අත් මිදුණේ දාස භාවයෙන් පමණක්‌ නොවේ. සසර සැඩ පහරින්ද අත් මිදුණේ පුනර්ජන්මයෙන්, ජරාවෙන් හා මරණ දුකින් ද තොර අජර අමර ශාන්තිය ලද්දාය.

බුදු හදින් තුන් ලොව සිසාරා වැගිර ගලා ගිය කරුණා දහර බුදුන් වහන්සේ කෙරෙහි අහස පොළොව නුහුලන අපාරාධ කළවුන් විෂයයෙහිද පැවතියේ යෑයි කියතොත් පුහුදුන් ලෝකයට එය පුදුමයක්‌මය. ඇත්තෙන්ම සම්මා සම්බුද්ධ ජීවිතය පුදුමයටත් වඩා අසිරිමත් වූ එබඳු ගූණ ප්‍රවාහයකින් යුතු වූයේ බුදුරදුන්ටම සුවිශේෂ වූ ඒ මහා කරුණා ගුණයෙහි මහිමය හේතුවෙන්මය. සැනසුම් පැන් බිඳක්‌ හෝ නොදැක සසර කතරේ අතරමං වූ සතන් නිර්වාණ ක්‍ෂේම භූමිය වෙත පැමිණ වීමෙහිලා උන්වහන්සේ ගෙන ගිය අහිංසක වැඩපිළිවෙළට අකුල් හෙළුවෝ බොහෝ වූහ. සම්මා සම්බුද්ධ ජීවිතය වනසනු වස්‌ ඔවුහු දුනුවායන් යෙද වූහ. එහිමියන් වැඩි මං බලා මහ ගල් කුළු හිස මත පෙරළෙන්නට සැලැස්‌වූහ. එපමණක්‌ ද නොවේ. සුන්දරී නම් පවිටාවිය ලවා උන්වහන්සේට පුදුමාකාර වූ අපහාසයක්‌ද කරවූහ. බුදු බණ හෝ බුදු ගුණ නොදත් සැවැත් නුවර විසූ මිසදිටුවෝ එයින් පසුව බුදුරදුන් ප්‍රමුඛ මහ සඟනට කළ නින්දාවන්ගේත් අපහාසයන්ගේත් කෙළවරක්‌ නොවීය. අනේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්ස, සැවැත් පුර වසන මේ මිනිසුන් ඔබ වහන්සේට මේ තරම් නින්දා අපහාස කරනව බලා ඉන්ට මට බෑ. අනේ හිමියනි අපි මේ නුවර අතහැර වෙනත් නුවරකට වඩිමු” කඳුළු පිරි දෙනෙතින් යුතුව බුදු මුව මඬල දෙස බලා සිටි ආනන්ද හාමුදුරුවෝ ආයාචනා කළහ.

“පින්වත් ආනන්ද අප කිසිවකුටත් කිසිම වරදක්‌ කර නෑ. මේ අවලාද අපහාස වැඩිකල් නොගොසින්ම නවතීවි. අපි ඔවුන්ට මෙත් වඩමු” යි බුදු රජාණන්වහන්සේ පැවසූහ. “අපි ඔවුන්ට මෙත් වඩමු” මේ නම් කෙතරම් අසිරිමත් වූ වදන් වැලක්‌ද? තම ජීවිතය සිඳ බිඳ දමන්නට පවා වෙර වැඩූ පිරිසකටත් යහපත හා සහනයම ප්‍රාර්ථනා කළේ නොසිඳී යන දිය උල්පතක්‌ සේ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ ජීවිතය පුරාම වූ කරුණාව නිසාය.

බුදු පෙළහරට එකී වූ මේ කුළුණු ගුණ මහිමය ගෞතම සම්බුදු පියාණන්ගේ ධර්මකාය තුළද දිව යමින් ඒ ඇසූ ඇසූ දනට ගෙන දුන්නේත් ශාන්ත සංසිඳීමකි, එය හද මැදුර වෙත කාන්දු වූ ඔවුන් කාගේත් ජීවන ගිමන් හල් සැබෙවින්ම සිත නිවා තවන බවුන්හල්ම බවට පත් වී.

“පින්වත් ආනන්ද බලන්න, ඒ සියලු සංස්‌කාර දැන් මරණයට පත් වුණා. මුළුමනින්ම අතුරුදන් වුණා. ඉදින් ආනන්ද සංස්‌කාර අනිත්‍යයි. ආනන්ද සංස්‌කාර යෑයි කිව හැකි දේ කෙරෙහි විශ්වාසයක්‌ තබන්න බෑ. එය කෙනකු විඩාවට පත්වීමට කලකිරීමට පසුව ඒවායින් අත් මිදෙන්නට තරම් නිසරුයි”. මහා සුදස්‌සන සූත්‍රය සදෙසා වදාරන අතර දුර ඈත අතීතයක රජකම් කළ මහා සුදස්‌සන නම් රජකුගේ නුවරක නටබුන් දක්‌වමින් සැබෑම කාරුණික බුදු පියාණන් මේ මහා ගැඹුරු දහම දේශනා කළේ ආනන්ද හිමියන්ට පමණක්‌ නොවේ. ඉපදි – ඉපදී මැරි – මැරී කවදාවත් එහි කෙළවර දකින්නට තබා සිතන්නේවත් නැති අනුවණ අඳුරු වළා පටලයකින් වැසුණු සිත් ඇති අප හැමටත් නොවේද?

මුළු ජීවිතය පුරාවෙහිම වැඩකට නැති ඕපදූප තිස්‌ දෙකකටත් වඩා කතාකරමින් අපද හැමදාමත් සිතුවේත්, පැතුවේත් මේ බුදු ගුණ නොවේ. විසිතුරු මායාවන්ගෙන් පිරීගිය මේ ලෝකය තුළ වූ අනේක විධ මගේය, මටය යෑයි සම්මතකරගත් විජයග්‍රහණයන්ය. එවැනි පටු වූ සිතුමක්‌ මත සිතා ජීවන ගමන මෙහෙයවූ ඔබට බොහෝ කොටම කරුණාව නොපෙනිණ. මෛත්‍රිය සිත තුළ ඇත නොවිණි. උපේක්‍ෂාව හා ඉවසීමත් ඔබ සිත් කෙරෙන් පලා ගියේ කෙතරම් විදුලි වේගයකින්ද? එහෙත් සිතන්න, ඒ මහා කරුණා නිධාන වූ ගොයුම් ගොත් බුදු හිමියන් සම්මා සම්බුද්ධත්වයට පත්වූ පසුව පමණක්‌ නොව එයට ඔබ්බෙහි සිටිමින් ගතකළ සම්බෝධිසත්ව අවදියෙහිත් කොපමණක්‌ නම් දුක්‌ අනුභව කළේද? ප්‍රථමයෙන්ම උන් වහන්සේ දීපංකර බුද්ධ පාද මූලයෙහිදී අතට පත් නිවන් සුවය අත් හළහ. ඒ සසර කතරේ අතරමං වී සිටි අනෙකුත් සතුන්ද නිර්වාණ ස්‌වර්ණ ද්වාරය වෙත පිවිස වීමෙහිලා ඇතිවූ මහා කරුණාවෙන්ය. ඉක්‌බිතිව හැම සත්නටම වූ ඒ දුර්ලභ පිහිට සොය සොයා උන්වහන්සේ කල්ප ගණන් ඈත භවයන්හි දිවගියේ පිපාසිතව ඔබ මොබ දුවන මුව පොව්වකු මෙන්ය. බෝධිසත්ව අවධියෙහි අවසාන භාගය උන්වහන්සේ අනුන් වෙනුවෙන් කරුණාවෙන් දුක්‌ විඳි ආශ්චර්යයෙහි ඒ අපූර්වත්වය පමණක්‌ නොව මහා මනුෂ්‍යත්වයක ගැබ්වූ කරුණා ගුණයෙහි මහිමයද හෙළි පෙහෙළිකොට දක්‌වන අපූරු කැටපතක්‌ වැන්න. රන්වනින් බැබලී ගිය එහිමි සිරුර එකල සුපිපි ඇහැළ රුකක්‌ නියඟයකට හසුවී ගියාක්‌ මෙන් වියළී ගියේය. එමෙන්ම එහිමි පිටෙහි සම කුසෙහි ඇලිණ. කුසෙහි සම පිටෙහි ඇලිණ. අභිනීල නුවන් යුග නෙත් කුහර තුළ වැහැරී ගිලී ගියේ ළිං පතුළක ගිලී ගිය තාරකා දෙකක්‌ මෙන්ය. මේ මහා දුෂ්කරක්‍රියාව දෙස බැලූ ගොපලු ගැටයන් දුටුවේ ඊට යටින් රන් හුයක්‌ මෙන් දිවගිය බෝසතුන්ගේ මහ කරුණාව නොවේ. එහෙයින් ඔවුහු බෝසතුනට උසුළු විසුළු කළහ. සිනා නැගූහ. කැට කැබලිතිවලිනුත් දමා ගැසූහ. අහෝ මෝඩ දුර්ජන රැළකගේ කෲරත්වයේ තරම• මෙවන් කටුකොහොල් අපමණකින් පිරී ගිය මාවතක යමින් උන්වහන්සේ කරුණාව පෑවේ අප ද නිවනින් සනහනු පිණිසය. එනමුදු මේ යථාර්ථය සිහියට පවා නැගෙන්නේ කීයෙන් කී දෙනකුටද? බුදු මඟ යනවා යෑයි සිතමින් ඒ අනුව ඔවුන් සිදුකරන තරමක්‌ සිදුකරන්නේ ඒ බුදු පියාණන් වහන්සේට පමණක්‌ නොව උන්වහන්සේගේ දහමටද නිගාදෙන දැය. මෙය වනාහී අද අප අතර තදින් මුල් බැස ඇති ජනප්‍රිය බුදු දහම විනා සැබෑ බුදු දහම නම් නොවේ. මෙහි වැටී බැස සිටිනතාක්‌ ඒ අමාමෑණියන් අපට පෙන්වා වදාළ අප කවුරුනුදු වහ වහා පිවිසි ගතයුතු නිවන නොනිවෙන දැල්ලක්‌ මෙන් හැමදාමත් අප ඉදිරියේ දැල් වී තිබෙනු ඇත. එනම් අප සිත් පිත්හි මායා සකසන ඉන්ද්‍රජාලිකයා සදාතනිකවම අප හා සිටිමින් අප තවතවත් මේ දුක්‌මුසු සසරෙහි ඈතින් ඈතටම ගෙන යනු ඇත. මෙකල වෙසක්‌ සමරන අප කාගේත් නුවණැස යොමුවිය යුත්තේ මෙය ගැඹුරින් වටහා ගැනීමට සමත් මහා ප්‍රඥාවක්‌ ගොඩ නඟා ගැනීම කෙරෙහිය.
ඒ අනන්ත ගුණැති, අනනත බැලැති අසිරිමත් බුදු දහම ලොව පුරා පතුරුවා හරිමු. එය අද දවසේ අපේ සිදුවිය යුතු සුවිශිලතම යුතුකමයි. බුදුහිමියන් මෙසිරිලකට තෙවරකම වඩිමින් මෙහි සදහම් භාණ්ඩාගාරය පිහිට වූයේ ඒ අසිරිමත් දහම ලොවෙහි දම් වැසි නොවරටෙන කල, සදහම් ගග සිදී යන කල නැවත සිරිලකින් ලෝ පුරා දම් වැසි වැස්සවීමටයි. එය අපහට ඇති යුතුකමක් නොව වගකීමකි වන්නේය. ඒ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට අපිදු අත්වැල් බැද ගනිමු.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා … … …

( දිවයින පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරිනි )

ධම්මපදය – බ්‍රාහ්මණ වග්ගය – හතලිස් එක්වන ගාථාව
බුදු දහම හා පරිසරය ...
IFBC Home Page