උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය …

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.

කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.

කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි.

උණුවතුර ළිං පුරාවිද්‍යාවට අයත්වන්නේ කෙසේදැයි ඔබට ප‍්‍රශ්නකාරී විය හැකිය. හේතුව මෙතැන භාතික තිස්ස රජු සමයේ ඉදිකෙරුණු රජමහා විහාරයක නටඹුන් තිබීමය. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ ගොඩැල්ල උණුවතුර ළිං පිහිටි තැනට කිට්ටුවෙන්ම තිබේ.

රජමහා වෙහෙර ගැන කියන්නට කලින් අපි උණුවතුර ළිං බලන්නට යායුත්තෙමු. ප‍්‍රවේශපත‍්‍ර කවුළුව ආසන්නයේ ඇත්තේ අපූරු වෘක්ෂයකි. එය ගස් පහක එකතුවකින් සැදුණු අපූරු වෘක්ෂයකි. ඇහැටු, බෝ, නුග, සියඹලා සහ පලූ යන ගස් සියල්ලම එක ගුලියට හැදී වැඞී ඇත්තේ එක ගසක් පරිද්දෙනි. මෙම ගස පාමුල තබා ඇති බුදු පිළිමයට වඳින මිනිස්සු උණුවතුර ළිං කරා යති. චර්ම රෝග ඇතුළු විවිධ රෝගාබාධයනට ඖෂධයක් වන බව කියන මේ වතුර, උණු වන්නේ කෙසේදැයි අපට ප‍්‍රශ්නයක් විය. ළිං හතටම ගොස් එකින් එකෙහි වතුර ගෙන මුහුණු සෝදාගත් විට ඒ වතුර ළිං හතේ උණුසුමේ වෙනස අවබෝධ විය.

”මුළු ත‍්‍රිකුණාමලයටම විශාලම උල්පත් වතුර ළිං තියෙන්නෙ මෙතන. මේ උල්පත් වතුර හුණුගල් සහ ගෙන්දගම් අතරින් මතුවෙන නිසා තමයි උණුසුමට දැනෙන්නෙ.

අපට පැහැදිලි කළේ පන්විල තැන්නේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ භාතික තිස්ස රජමහා විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරති.

භාතික තිස්ස රජමහා විහාරයට අද ඇත්තේ බුදු පිළිමයක් සහ කුඩාම කුඩා ආවාස ගෙයක් පමණකි.

අපි උන්වහන්සේ සමග කතා බහකට එළඹුනෙමු.

”මේ ප‍්‍රදේශයේ ගල්කණු, සඳකඩ පහන්, ශිලා ලිපි ආදිය තිබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල කොටි පාලන කාලෙදි ඉවත් කරලා. දැනට ඉතිරි වෙලා තියෙන්නෙ මේ චෛත්‍යය තියෙන ගොඩැල්ල විතරයි. හැබැයි කැනීම් කළොත් තවත් හුඟාක් දේවල් මේ බිමෙන් හම්බවේවි. හාමුදුරුවෝ කියති.

උණුදිය ළිංවලට ඔබ්බෙන් ඇත්තේ තරමක කඳු ගැටයකි. කන්තලේ ප‍්‍රදේශය තෙක්ම විහිදෙන මේ කඳුගැටය ආශ‍්‍රිත වනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ. එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී ඔවුන්ගේ කඳවුරු තනාගෙන සිටි මේ කන්ද මුදුනට මුළු මහත් ත‍්‍රිකුණාමලයම අපූරුවට පෙනෙයි.

”රාවන රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලම මේ උණුදිය උල්පත් තිබිල තියෙනව. ජනප‍්‍රවාදෙට කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ අම්මට හැදුණු අසනීපෙකට ප‍්‍රතිකාරයක් විදිහට රාවන රජ්ජුරුවො මේ ලිං මැවුවයි කියලයි. ඒවගේම වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ කාලෙදි එහි වැඩම කරන භික්ෂූන්ට පැන් පහසුව පිණිස මේ ළිං හැදුව කියලත් කතාවට කියැවෙනවා.

ඉන්දරතන හාමුදුරුවෝ සඳහන් කරති.

කන්නියා උණු වතුර ළිං පිලිබදව ඇති ජනප්‍රවාදයක් ත්‍රීකුණාමලය නගර සභාව විසින් ඉදිකර ඇත් සටහන් පුවරුවේ මෙසේ සටහන්ව ඇත. “රාවනා රජු තම මවට පුද පූජා කිරීම සදහා කෝනේෂ්වරම් දේවාලයේ ඇති සිවරූපය රැගෙන යාමේ අරමුනින් භාවනා කර ඇත.මෙ සදහා දෙවියන්ගේ අවසරය නොලැබීම නිසා කෝපයට පත් රාවනා රජු කඩුවෙන් කපා සම්පූර්න කෝවිලම රැගෙන යාමට උත්සහා ගෙන ඇත. කෝවිල ගලවා ගැණිමේ උත්සහායේදී කොනේෂ්වරම් කන්ද සෙලවීම නිසා විමසිසිලිමත්වු දෙවියන් වහන්සේ කන්ද උසුලා ගැණීමේ උත්සහාය ව්‍යාවර්ත කිරීම සදහා තම මාපට ඇගිල්ල කන්ද මත තද කිරිම නිසා ඇතිවු පීඩනයෙන් කන්ද පත්ලේ සිටි රාවනා රජු කන්දට යට විය. මෙම පුවත රාවනා රජුගේ මවට සැලවීමෙන් පුතා මිය ගියේයැයි සැකයෙන් වු කම්පනයෙන් ඈ මියගියාය.
මෙහිදී ශිව දෙවියන්ගේ දර්ශණය රාවනා රජුට ලැබුන අතර ශිව දෙවියන් විසින් දීර්ඝා යුෂ සහ වීර කඩුවක් රජතුමාට දී ආශිර්වාද කර ඇත.
රාවනා රජු මවගේ මරණයේ අවසාන කටයුතු කිරීම සදහා අවශය ජලය ලබා ගැණිම සදහා මෙම කඩුවෙන් පොළව විද වතුර ලබා ගැණිමට උත්සහා දැරීමේදී සත් පොළකින්ම වතුර මතුවි ළිං හතක් බවට පත්විය. මෙම ජලය උණු වතුරෙන් යුක්ත විය.
කන්නියා උණු වතුර ළිං හතේ ඉතිහාසය ත්‍රීකුණාමලය නගර සභාවත් මෙම ජනප්‍රවාදය විශ්වාස කරන බවක් ප්‍රදර්ශණ පුවරුවේ සටහන් කියවන විට අපට සිතුනි.
හින්දු භක්තිකයන් විසින් අදත් රජතුමා විසින් මුල පුරන ලද පූජා විධි දානමය කටයුතු මෙම ස්ථානයේ සිදු කරනු දක්නට ලැබේ.

උණු දිය ළිං බලන්නට විශාල පිරිසක් කන්නියාවට එති. කොටි සහ එජාප රජය අතර සාමය පවතිද්දී මාද මෙම උණුවතුර ළිං බලන්නට පැමිණියෙමි. එකල උණුවතුර ළිඳකට ළංවීමටත් දිගු පෝලිමක් තිබිණි.

”දැනුත් සති අන්තෙට හොඳ සෙනගක් එනවා. පුරාවිද්‍යාව ටිකට් කඩන්න පටන්ගත්තට පස්සෙ සෑහෙන මුදලක් හොයාගන්න ඇති. ටිකට් පතේ මුද්‍රණය කරල තියෙන්නෙ ලැබෙන ආදායම මෙතන සංවර්ධනයට යොදවන බව. ඒත් තවම නම් කිසිම දෙයක් කරල නැහැ. වැසිකිළි පහසුකම් නෑ. ඇඳුම් මාරු කරන්න පහසුකම් නැහැ. මේ වගේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා.

ඉන්දරතන හිමියෝ අවධාරණය කරති.

මේ උණුවතුර ළිං වල හැමතිස්සෙම වතුර තියෙන නිසා සෙවෙල බැඳෙනවා. සතියකට සැරයක් පොලොව සුද්ද කරන්නෙත් අපි. මෙතැන ආරක්ෂා කරන රණවිරුවො එහෙම සුද්ද නොකළොත් මෙතැනට එන අය ලිස්සලා වැටෙනවා.

කි‍්‍ර.ව. 143 – 167 කාලය තුළ රජකළ භාතික තිස්ස රජු සමයේදී ඉදිකෙරුණු රජමහා විහාරය යළිදු අපට දැකගැනීම සඳහා කැණීම් කටයුතු ඇරඹේ නම් එය ලොකු වාසනාවකි. ඒ පැතුමත් ඇතිව අපි වෙල්ගම් රජමහා විහාරය බලායනු පිණිස පිටත්වූවෙමු.

ලංකාදීප හා අන්තර්ජාලයෙන් උපුටාගත් කරුණු ඇදුරිනි.

බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය ... ...
බුදු දහම හා සොබා දහම අතර ඇති වෙන්කල නොහැකි සම්බන්ධය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.