මෙව්රින් බිෂොප්තුමා බොම්බායේ කතෝලික ඇග්සැමිනර් පත්‍රයට ලියා එවා ටයිම්ස් පත්‍රයේ පළ කර තිබූ කරුණු සංක්‍ෂිප්තව මෙසේය.
“ගෝවේ අග්‍ර බිෂොප්තුමාගේ ඉල්ලීම පිට යාපනේ බොන්ජියන් බිෂොප්තුමාත් හයිඩ්‍රබාඩ් පළාතේ බිෂොප්තුමාත්, මදුරාසියේ විහාරි ජනරාල් තැනත් දේවගැතිවරුන් ගණනකුත් කැටුව (වර්ෂ 1878) නොවැ. 29 වැනි දින බොම්බායෙන් පිටත් වී ඊට පසුවදා ගෝවේට පැමිණුනෙමු. සාවියර් ශුද්ධවන්තයාගේ ශරීරය පිළිබඳව පවත්වන ලද “මාහැඟි” මෙහෙය පෙරහැරවල අපි දුටුවෙමු. ශුද්ධවන්තයාගේ ශරීරය වසා තිබූ වැස්‌ම හැර දහස් ගණන් දෙනාට පෙන්වන අතර හිසත්, අත්, පාදත් දෙස බොහෝ වේලා බලා සිටියෙමු. මක්‌නිසාද ඒ අවයව පමණක් වසා නොතිබූ බැවිනි. අනෙක් තැනැත්තෝ මීට අවුරුදු 300 කට පමණ පෙර එතුමාගේ ශරීරය බැලුවාක් මෙන් අප ද එතුමා දෙස බලමින් සිටින අතර කෝටි ගණන් ආත්මවල ගැලවීම පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ඒ උතුම් වූ ශුද්ධ වූ ආත්මයේ කූඩාරම මේ යෑයි හැඟී සමාදානයේ ශුභාරංචිය දේශනා කළ එතුමාගේ පාද ඉතා ගෞරවයෙන් සිප ගත්තෙමු. ඊට පසු දවසේදීත් අග්‍ර බිෂොප්තුමා අප කැඳවාගෙන ගොස් ශරීරය හඳකාර පරීක්‍ෂා කර බලන්ටත් යාච්ඤා ඔප්පු කරන්ටත් ඉඩ ප්‍රස්‌ථා ලබා දුන්නේය. ශරීරයේ දකුණු පාදය ඔසවා බලන්ට මට අවසර ලැබුණේය. විළුඹත්, යටි පතුලත්, ඇඟිලිවල නියපොතුත්, නහර යනාදියත් තදව ඇකිළී දුඹුරු පාටට හුරුව තිබුණ නමුත් සම්පූර්ණ පිළිවෙළට හොඳාකාරයෙන් ප්‍රවේශම්ව තිබුණි. වම් පාදය මඳක් තුවාල වී තිබුණි. දෙවැනි ඇඟිල්ල කැඩී එල්ලී තිබුණේය. කුඩා ඇඟිලි තුනක් නොමැත. විළුඹේ හම සමහර තැන්වල දිරාගොස් තිබුණු නමුත් ඉතා සවිය ඇති හම් වාගේ සවි ලෙස එකට බැඳී තිබුණේය. ඇස් සම්පූර්ණයෙන්ම වළ නොගැසී තිබුණා පමණක් නොව ශරීරය පරීක්‍ෂා කළ වෛද්‍යාචාර්යවරයා කී ලෙස යටිබඩත් එසේමය. දකුණු කම්මුලත් නාසයේ අගත් තුවාල වූවා සේ පෙනුණි. වම් හස්‌තයේ හමට යටින් තිබෙන නහරත්, ඇඟිලි සහ නියපොතුත් සම්පූර්ණ ලෙස ආරක්‍ෂා වී තිබුණි. තවද කිසි තැනක කුණු වී ගිය ලකුණක් නැත.” ආදී වශයෙනි.
Read More