රජයේ ස්ථාවර භාවයට දළදා වහන්සේ දායක වූ අයුරින් ම දළදා වහන්සේ රැකගැනීමට අපේ රජවරු ද කැප වූ හ. මේ ඒ පිළිබඳ පුවත් කැටි කැරුණු ලිපියකි.
දළදා වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කිරීමෙන් පසු, විසිතුරු පෙරහැර පැවැත්වීම එදා සිට අද දක්වා ම පවතින සිරිතකි. දළදා වහන්සේ වනාහි රාජ්‍ය උරුමය තහවුරු කරන වස්තුවක් බව අතීතයේ සිට ම ලක් වැසියන් දැරූ මතයකි. එය දළදාව සිරි ලකට වැඩමවූ සමයේ ලක් රජය කළ ‘කීර්ති ශ්‍රී මේඝවර්ණාභය’ රජතුමාගේ (ක්‍රි.ව. 847 – 875) යුගයෙහි සිට වර්තමානය දක්වා ම පිළිගනු ලබන කරුණකි. මෙම උතුම් පූජනීය වස්තුව පිළිබඳ ව අතීත සාහිත්‍යධරයෝ විවිධ සාහිත්‍ය කෘති එළිදැක්වූ හ. කුරුණෑගල යුගයෙහි ලියැවුණ ‘දළදා සිරිත’ හා ‘දළදා පූජාවලිය’ ද ඒ කෘතීන් දෙකට ම පාදක කරගත් ‘දාඨාවංසය’ ද ලීලාවතී රැජිනියගේ යුගයෙහි ලියැවුණ ‘එළු දළදාවංශය’ ද දළදා වහන්සේ පිළිබඳ ව ලියැවුණු කෘති වශයෙන් සැලකිය හැකි ය. එපමණක් නො ව, මහනුවර යුගයෙහි දී ‘සිංහල දළදා වංසය’ නමින් සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජන සඳහා කුඩා ග්රන්ථයක් ද රචනා වී තිබේ. එසේ ම අපේ ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ ද මේ පිළිබඳ තොරතුරු ඇතුළත් ව ඇත.