(41) අජරාමර සුවය

මහානායක හාමුදුරුවනේ, ‘අජරාමර සුවය’ යනු කුමක්ද?

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ජාති (ඉපදීම) ජරා, (පැවතීම) මරණ (නැතිවීම) යන කරුණු තුනෙන් සත්වයා මුදා ගැනීමටයි. එහෙමත් නැතිනම් පුණ්‍යවන්තයන් ‘අජරාමර සුවයට’ පත් කරවන්නයි. ‘අජර’ යනු’ජරාවක්’නැති තැනයි. ‘අමර’ කියන්නේ ‘මරණයක්’නැති තැනයි. එනම්, ජරාවත්, මරණයත්, නැති එකම අජරාමර තැන නිර්වාණයයි. නිවන් සුවයටයි. මෙලෙස ඔබ අහපු ‘අජරාමර සුවය කියන්නේ ලොව ඉපදෙන, මැරෙන මේ දුක නැති පරම සුව විඳගන්නට නම් අපි ඒ තැනට ළඟා වීමට අවශ්‍ය කටයුතු නොපමාව කරගත යුතු වෙනවා.

 අජරාමර බව හා මරණයේ වෙනස

 එතකොට, බෞද්ධ ඉගැන්වීම්වල “මරණය’ පිළිබඳව විස්තර වෙන්නේ කෙසේද?

ප්‍රධාන වශයෙන් බෞද්ධ ඉගැන්වීම්වල 1.ක්ෂණික මරණය සහ 2. සම්මුති මරණය යනුවෙන් දෙකක් දක්නට ලැබෙනවා. අපේ උපාදානස්කන්ධ සංයුතිය ලෙස හැඳින්වෙන ශක්ති විශේෂය ක්‍ෂණයක් පාසා බි‍ෙඳමින් හා නැවත හට ගනිමින් ඉදිරියට ගලා යනවා. ඇසිපිය ගසන කාලයක් තුළ බොහෝ වාර ගණනක් මෙය සිදුවෙනවා. මෙයට ‘ක්‍ෂණික මරණය’ කියලා කියනවා. මෙය ඉතා සියුම් ශක්ති විශේෂයක කාර්යයක්. ඒ නිසා එය අපේ ඉන්ද්‍රියන්ට පවා හසු වෙන්නේ නැහැ. එබැවින් මේ ගැන තැකීමක්ද බොහෝ විට ඇතිවෙන්නේ නැති තරම්.

කිසියම් ජීවිතයක් ඇසුරු කරගෙන, පැවත ගෙන ගොස් අවසන් වීමට, සම්මුති මරණය’ කියනවා. අපේ පියවි ඇසට පෙනෙන සේ කිසියම් නමක් හා රූපයක් දරා සිටි ජීවිතය (ප්‍රාණය) ක් නිෂ්ක්‍රීය වූ විට අප ඔහු ‘ මැරුණා’යැයි සිතීමට පුරුදුවී සිටිනවා. අප පොදුවේ ‘ මරණය’ යන වචනයෙන් අදහස් කරන්නේ මෙම සම්මුති මරණයයි.

මෙම සම්මුති මරණයෙන් අවසන් වන්නේ ජීවිතයක් විතරයි. නමුත් උපාදානස්කන්ධ සංයුතියේ නිමාවක් එයින් සිදු වෙන්නේ නැහැ. එම ක්‍රියාවලිය සිරිත් පරිදි පැවත ගෙන යනවා. එහි නිමාවක් වූ විටයි නිවන් දැක්කා කියන්නේ.

 පඤ්චස්කන්ධය හා පඤ්ච උපාදානස්කන්ධය

එහෙමනම්, පඤ්චස්කන්ධය සහ පඤ්ච උපාදානස්කන්ධය දෙක අතර, පැහැදිලි වෙනසක් තිබෙනවාද?

 ලේ, මස්, නහර, ඇටමිදුළු, ආදියෙන් සෑදුනු භෞතික ශරීරයට පොදුවේ ‘පඤ්චස්කන්ධය’ කියලා ව්‍යවාහර කරනවා. බුදුහාමුදුරුවී සියුම් ලෙස පෙන්වා වදාළේ ‘උපාදානස්කන්ධ සංයුතිය’ද එහිම ඇතුළත් වන බවයි.දැන් සජීවි විදුලි රැහැනක් දෙස බලනවිට අපට එම රැහැන පෙනෙනවා. නමුත් එහි ඇති විදුලිබලය පියවි ඇසට නොපෙනෙනවා වගේ අපේ ශරීර (පඤ්චස්කන්ධය) පෙණුනත් එහි ඇති පඤ්ච උපාදානස්කන්ධ සංයුතිය පෙනෙන්නේ නැහැ. මෙයට රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය , සඤ්ඤා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය සහ විඤ්ඤාණ උපාදානස්කන්ධය අයත් වෙනවා.

 පටිච්ච සමුප්පාදය

 හොඳයි, මෙම ‘පඤ්ච උපාදානස්කන්ධය’ සහ ‘පටිච්ච සමුප්පාදය’ අතර පවතින සම්බන්ධතාව කුමක් ද?

පටිච්ච සමුප්පන්න ධර්මයෝ නම් මේ උපාදානස්කන්ධයෝම තමයි. උපාදානස්කන්ධය යනු සියුම් ශක්ති විශේෂයකුයි. ඇස,කන, නාසය, දිව, ශරීරය යන භෞතික ඉන්ද්‍රියන් පහෙන් සහ මනින්ද්‍රයයෙන් (මනසින්) ලැබෙන අරමුණු තණ්හාවෙන් යුක්තව පිළිගත් කළ එයින් උපදින පස් ආකාරයක ශක්ති විශේෂය ‘පඤ්ච උපාදානස්කන්ධය’ නමින් හඳුන්වනවා.

‘යමෙක් පටිච්ච සමුප්පාදය දකී නම්, හෙතෙම ධර්මය දකී. යමෙක් ධර්මය දකී නම්, හේ පටිච්ච සමුප්පාදය දකී.’

යනුවෙන් බුද්ධ දේශනාවේ දැක්වෙනවා. පටිච්ච සමුප්පන්න ධර්මයම තමයි මේ උපාදානස්කන්ධයම වෙන්නේ කියලා, ඒකෙන් අපට පැහැදිලි වෙනවා.

 බුදු ඇස සහ විදු ඇස

චිරන්තන බුදුදහමට අනුව වගේ ම නවීන විද්‍යාවට අනුවත් මෙය අනාවරණය කරගත හැකි හා පිළිගත හැකි යථාර්ථයක් ද?

ඔව්. දැන් තිරිවානා ගල්කැට දෙකක් එකට අතුල්ලන විට ගිනිපුපුරක් හටගන්නා හැටි අපට ලෙහෙසියෙන්ම දැකිය හැකියි. ඒ ගිනි පුපුර ගල් ද නොවෙයි. ගලේ ඇති සිසිල් ගතියද එහි ඇත්තේ නැහැ. තද ගතියද එහි නැහැ. එයින් දැවීමක් ද සිදුවෙනවා.

ඉන්ද්‍රීය හා අරමුණු ගැටීමෙන් ඇතිවන සිතිවිලි පිළිගැනීම නිසා උපදින උපාදානය ද එම ගල් දෙකේ ගැටීමෙන් ඇතිවන ගින්නට දළ වශයෙන් උපමා කළ හැකියි. එම ශක්ති විශේෂ (රූප,වේදනා, සඤ්ඤා සංඛාර,විඤ්ඤාණ) පහ එකට ඇලී පවතින්නේ ‘තණ්හා’ නමැති තෙතමනය නිසයි. එකිනෙක තදින් වැළඳ ගැනීම හා මේ එකිනෙක පිළිගැනීම ‘උපාදානය’ වෙනවා. ඒ බව ‘යානන්දි තදුපාදානං’ යනුවෙන් මහා තණ්හා සංඛය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කර තිබෙනවා.

 ශක්ති විශේෂවල විශේෂත්වය

 ඒ වුණාට, බුදු ඇසින් දුටු මේ යථාර්ථය නූතන විදු ඇසට තවමත් හසුවෙලා නැහැනේ ද?

මේ කියපු උපාදානස්කන්ධ පහ (05) ද්‍රව්‍යයක් නොවෙයි. ශක්ති විශේෂයක්. ඒකයි අපේ ඉන්ද්‍රියන් ට හසුවෙන්නේ නැත්තේ. අපේ ඉන්ද්‍රියන්ට හසු නොවී ගමන් කරන මෙබඳු ශක්ති විශේෂ අනන්තවත් ඇති බව නූතන විද්‍යාවෙන් හෙළි කරගෙන තිබෙනවා. සමහර ශක්ති විශේෂ අපගේ ශරීර විනිවිද යනවා. කඳු ගල් ආදි නොයෙකුත් තද වස්තූන් පවා පසාකරගෙන ගමන් කරනවා. එයින් සමහරක් අති නවීන තාක්‍ෂණයට හසු කර ගැනීමට සමත් වී තිබෙනවා.

තරංග වශයෙන් අවකාශයේ ගමන් කරන ශක්ති විශේෂයන්ගේ ගමන් වේගයද විස්මය ජනකයි. උපාදානස්කන්ධ ශක්ති විශේෂ මේ සියලු තරංගවලට වඩා සියුම්ව ක්‍රියාකාරිවන ශක්ති ප්‍රවාහයක්. සාමාන්‍යයෙන් ශක්ති විශේෂයක් ගමන් කරන්නේ, ඊතලයක් හෝ රොකට් එකක් ආකාරයට නෙමෙයි ශක්ති විශේෂ ගමන් කරන්නේ, සන්තතියක් වශයෙනුයි. එකක් බිඳෙන කොට තවෙකක් ගැටෙනවා. ඊට මුහුදේ තරංග දළ උදාහරණයක් විදියට දක්වන්න පිළිවන්. අප මුහුදු වෙරළේ බලා සිටින විට එකකින් එකක් සෑදෙමින් ගමන් කරන එබඳු මුහුදු රළ අපට දැක ගැනීමට හැකි වෙනවා.

 සක්කාය දිට්ඨිය

එතකොට, ’සක්කාය හා සක්කාය දිට්ඨිය’ කියන්නෙත් මෙවාට සම්බන්ධ දෙයකටමද?

 ඔව්. අපගේ පුද්ගලික අනන්‍යතාව ලෙස හඳුන්වන ‘උපාදාන ස්කන්ධසංයුතිය ‘ අනාදිමත් කාලයක සිට ක්‍ෂණයක් පාසා බිඳෙමින් හා යළිත් පැන නැගෙමින් ශක්ති විශේෂයක් විදියට ගමන් කරනවා. එහි අග මුල දැකිය නොහැකි තරමට දුරාතීතයේ සිට මෙසේ පැවත ගෙන එනවා. අප කවුරුත් ‘තමා’ලෙස සැලකෙන්නේ එයයි. මජ්ම නිකායේ මහා පුණ්ණම සූත්‍රයෙහි බුදුහාමුදුරුවො ‘සක්කාය’යන වචනයෙන් හඳුන්වා දී තිබෙන්නේත් එයමයි. මජ්ම නිකායේ චුල්ල වේදල්හ සූත්‍රයෙහි දී ධම්මදින්නා භික්ෂුණිය විසාඛ නම් උපාසකතුමන්ට පැවසුවේ, “උපාසක තුමනි,භාග්‍යවතුන් වහන්සේ උපාධානස්කන්ධ පසසක්කාය නමින් හඳුන්වා ඇත’යනුවෙනුයි.

එනම්, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහයි. ආත්මවාදීන් ‘ආත්මය’ ලෙස සලකා ඇත්තේද එයමයි. මෙම උපාදානස්කන්ධ සංයුතිය වැරදි ලෙසින් ඉතා විවිධ ක්‍රමවලට වටහාගත් බොහෝ දෙනා විවිධ දර්ශන ඉදිරිපත් කර තිබෙනවා. ස්කන්ධ හා උපාදානස්කන්ධ වෙන් වශයෙන් හඳුනා ගැනීම බුද්ධ ඥානයකින්ම කළ හැකි වූවක්. එලෙස නිවැරදිව හඳුනා නොගෙන මෙය පටලවා ඉදිරිපත් කළ විවිධ දර්ශන බුදුහාමුදුරුවෝ නම් කර තියෙන්නේ. ‘සක්කාය දිට්ඨි’ නමින්. ඒ බව ‘මජ්ක්‍ධිම නිකායේ මහාපුණ්ණම සූත්‍රයේ ‘සරලව විස්තර කර තිබෙනවා.

(42) සම්බුද්ධත්වයේ ආශ්චර්යය
(40) සිත නිවන භාවනා

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.