31. නැගුණි අහසට වෛරයේ ගිනි විගසින් … !

කොසඹෑ නුවරට බුදුන් වහන්සේ වැඩම කළ පුවත එනුවර දනන් සිත් පහන් කරන්නක්‌ වුවද එය දෙසවනින් අසන්නටවත් රිසි නොවූ එක්‌ ලියක්‌ වූවාය. ඕ උදේනි රජුන්ගේ බිසවක වූ මාගන්දියා ය. බුදුන් එනුවර වැඩියෝ සෝෂිත, කුක්‌කුට, පාවාරික යන තුන් සිටුවරුන් විසින් වෙන වෙනම කරවන ලද ආරාම තුනක්‌ පිළිගැනීමටය. බුදුහු උපේක්‍ෂාවෙන් ආරාම පූජාව ඉවසා එක්‌ එක්‌ ආරාමයක දින කීපය බැගින් සමාධි සුවයෙන්ම වැඩ සිටියහ. නුවර ද ගම්වලද විසූ පිරිස්‌ දිව රෑ නොතකමින් පැමිණ බුදුන් දුටහ. දහම් ඇසූහ. වෙනත් දන් හා පිරිකර ද පිදූහ.
මෙසේ බුදුන්ගේ කිතුගොස මඳනල හා මුසුව දසත ගලා යද්දීම මාගන්දියා බිසව එයින් පීඩාවටද කනස්‌සල්ලට ද පත්වූවාය. බුදු ගුණ ඇසෙන සඳ ඇය තවත් නොසන්සුන් වූවාය. එසේ වුවද කිසිදු අමුත්තක්‌ නොපෙන්වා සිටීමටද ඇය වෑයම් කළාය. එහෙත් ඇයට ඇගේ සිත දවමින් නැගෙන වෛරයේ ගිනිදලු මහත් සේ පීඩාකර විය.

මාගන්දි බිසවගේ මෙම වෛරයටද හේතුවක්‌ විය. ඒ කලකට පෙර ඇය සිය දෙමව්පියන් සමග ජීවත් වූ කල ඇති වූ එක්‌තරා සිදුවීමකි. මාගන්දිය එකල කුරු රට මාගන්දියා නම් බමුණු යුවලකගේ එකම දියණිය ලෙස වැඩුණාය. ඕ මනෝඥ රූ ඇත්තීය. දුටුවන් මන බඳනා ඒ රූ සොබාවෙන් මුසපත් නොවූ යෞවනයෝ කුරුරට නොවූහ. බොහෝ මව්පියෝද සිය පුතුන් සඳහා මාගන්දියා පවුලට සරණ බන්ධන යෝජනා ද ඉදිරිපත්a කළහ. එහෙත් ඒ කිසිවක්‌ ඉටු නොවීය. සමහරු එයින් කෝපයටද පත් වූහ. තරුණයෝ නම් ඇයට අහිතක්‌ නොදැක්‌වූහ. මාගන්දියාට ඇගේ සම වියෙහි අන් තරුණියන් ගෙවූ ජීවිතය අහිමි විය. ඒ දෙවඟනක්‌ සදිසි යොවුන් රූසිරි නිසාමය. මාගන්දියාද යොවුන් අනඟ හී සැරයට බියෙන් ගෙතුළට ම වී සිටියාය.
මෙසේ සිටින අතර දිනක්‌ බුදුහු කුරුරටට වැඩියහ. ඒ මාගන්දියා බමුණු මහල්ලන්ගේ හේතු සම්පත් දිවැසින් දැක ඔවුන්ට ධර්ම දේශනා කිරීම සඳහා ම කළ ගමනකි. බුදුහු උදෑසනම වැඩියාහු මාගන්දියා බමුණන් එන පෙරමගදී ඔවුන්ට හමුවිය. එසඳ බමුණන් තුළ මෙබඳු සිතිවිලි වැඩිණ.
“මේ එන අය මිහිබට දෙව්රුවක්‌ සේ සුදිලෙති. ඔවුන්ගේ ඉඳරෝ මනාව පිහිටියේ අඩුද වැඩිද නොවෙති. විලාසය නෙත් ඇද බැඳ ගනී. රමණීයයි. අසාමාන්‍යයි. මෙබඳු පුරුෂයකු ලබනා යම් ලියක්‌ වන්නීද ඕ පරම භාග්‍යවන්තියකි. මේ නම් මගේ දියණියට මහබඹුන් විසින්ම මවන ලද අයෙකි. මම දැන්ම ඔහු වෙත ගොස්‌ දියණියන් ගැන පවසා ඔවුන්ට පාවා දෙන්නෙමි.”
ඉක්‌බිති මාගන්දියා බමුණු තෙමේ මහත් සොම්නසින් බුදුන් කරා එළැඹ ඒ සියලු තතු පවසා “මා එනතුරු සිටිනු මැනවැයි” පවසා වහාම නිවසට දිව ගියේය. බැමිණියටද ඒ කරුණු පවසා දෙවඟනක්‌ සදිසි දියණිය වහාම සරසවා, මල් පළඳවා, සුවඳ දියෙන් දොවා බුදුන් වහන්සේ සමීපයට කැඳවා ගෙන ආවේය. ඒ වනවිට බුදුහු ඔවුන්ට නොපෙනෙන සේ අදිටන් කර පසෙකට වී සිටියහ. “මා යද්දීත් ඔහු මෙතැනම සිටියායි වටපිට බැලූ බමුණාට බුදුන් වහන්සේගේ පා පියුමෙහි සළකුණු දැක ගත හැකි විය. එයින් ප්‍රමුදිත වූ හේ “මෙන්න තිබෙනව පාසටහන….. යෑයි කීවේය.
මාගන්දියා බැමිණිය ත්‍රිවේදයෙහි කෙළ පැමිණි නුවණැති ලියකි. ඕ ඒ පාසටහන් දැක “මේ නම් ගිහිව කුටුම්බයක්‌ රක්‌නා අයෙකුගේ පා ලකුණු නොවේ යෑයි නිශ්චිතව කීවාය. බමුණා සිනාසුණේය. “තී, උමතුවෙන් දැයි විමසා වටපිට බලන කල්හිම හෙතෙම යළි බුදුන් වහන්සේ දුටුවේය. යුහුසුළුව එදෙසට ගිය ඔහු මේ මාගේ එකම දියණියයි. රුසිරෙන් අගපත් ඇයට සුදුසු සැමියෙක්‌ කුරුරටම නොවූයෙන් ඇය අස්‌වාමික වූවාය. දැන් ඇය ඔබට පාවා දෙන්නෙමි. මා සතු සියලු ධනය ද ඔබටමය. ඇය පාවා යෙහෙන් වැජඹෙනු මැනවැයි කීවේය.
බුදුහු එකල මෙසේ වදාළහ.
“පින්වත් බමුණනි, මම වනාහි නසන ලද රාග ඇත්තේමි. සියලු කෙලෙස්‌ද දුරු කළෙමි. තවද මා තෘෂ්ණාවෙහි බැඳ ගැන්මට පැමිණි මරඟනන් තිදෙනෙක්‌ද පරාජයවී පසුබා ගියහ. උන්ගේ භාව භාවයන් දුටු අයෙක්‌ උන් කෙරෙහිම බැඳෙති. එහෙත් මම නොසෙල්වීමි. එවන් මම යළි මේ මළ මූ පිරි නිසරු සිරුරක නොබැඳෙමි. එවන් රුවක්‌, පයින් ස්‌පර්ශ කිරීමටවත් නොවටී. බමුණ රාග, දෝෂ, මෝහ දුරලීමට මේ අනියත ලකුණුම සෑහේ. සිහියෙන් බලනු.
බුදුන්ගේ විග්‍රහය ඔස්‌සේ සිත යොමු කළ බමුණු දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ. මාගන්දියා තරුණිය ලැඡ්ජාවෙන් පසුබා මහත් කලකිරීමටද පත් වූවාය. ඒ කලකිරීම ඇගේ සිත බර වූ වෛරයක්‌ බවටද පත් විය. පසුව බමුණු දෙමහල්ලෝ ඇය නිවස කරා රැගෙන ගොස්‌ ඇගේ සිත සන්සුන් කිරීමටද වෑයම් කළහ. ඇයනිහඬ වුවද ඇගේ සිත සන්සුන් නොවීය. ඇගේ දෙමව්පියෝ ඇයව ඇගේ සුළු පියාණන්ට භාරදී බුදුන් සරණ ගොස්‌ පැවිදිව රහත් බවටද එළැඹුණහ.
මෙසේ කලක්‌ ගෙවී යද්දී නැකැත් කෙළියක්‌ සඳහා සුළු පියාණන් සමඟ ගිය මාගන්දිය උදේනි රජුගේ නෙතට ලක්‌ වූවාය. ඇගේ රුසිරෙන් වසඟ වූ රජු ද ඕ අස්‌වාමික බව දැන ස්‌වයංවරයෙන්ම ඇය සමඟ විවාහවී මාළිගාවට කැඳවා ගෙන ගියාය. එතැන් සිට ඇගේ ජීවිතය සශ්‍රීක විය. දැසි දස්‌සෝද, වෙනත් යස ඉසුරු ද ඇයට ලැබිණි. වාසය සඳහා වෙනම මාළිගාවක්‌ද වෙන් විය. උදේනි රජු සමඟ එලෙස දිවි ගෙවද්දී ඇයට හදිසියේම බුදුන්වහන්සේ දැකීමෙන් සිත යට සැඟවී තිබුණු වෛරය මතු විය.
බුදුන් වහන්සේ එදා දෙමව්පියන් ඉදිරියේදීම තමන්ට කළ අවමානයට පලි ගැනීමට මීට වඩා අවස්‌ථාවක්‌ නොඑළැඹෙන බවද ඇය සිතුවාය. ඇය මුලින්ම කළේ මිසදිටු පිරිසක්‌ කැඳවා ඔවුන්ට අල්ලස්‌ දී, සුරාද බොන්ට සලස්‌වා බුදුන් වැඩ සිටි ආරාම සමීපයට යවා ආක්‍රොශ, පරිභව කරවීමය. ඔවුන්ගේ අවමන් බස්‌වලින් බුදුහු නොසැලුණහ. එහෙත් ආනන්ද හිමියෝ නම් කම්පා වූහ. මෙලෙස මත් වූ පිරිස්‌ නින්දා කිරීමෙන් නොසෑහී වෙනත් ශාරීරික හිංසා කරන්නාහු යෑයි බියටද පත්වූහ. බුදුහු ආනන්ද හිමියන් ගෙන්වා අවවාද කළහ. ඔවුන්ගේ විලාසය ඉබේම සන්සිඳෙන බවද වදාළහ. සැබැවින්ම ඒ තතු පහවිය. එහෙත් මාගන්දි බිසවගේ සිත වෙනත් දුෂ්ට මාර්ග ඔස්‌සේ පියාඹමින් තිබුණි.
උදේනි රජුට සාමාවතී නම් තවත් බිසවක්‌ද වූවාය. සාමාවතී බිසව මාගන්දියට වඩා වෙනස්‌ය. ඇය මාළිගාවේ අන් අයටද ප්‍රිය වූවාය. සන්සුන් ගුණෙන් යුතු වූවාය. ඇයනම් ඒ වනවිටත් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියාය. ඇයට බුදුන් වහන්සේ පිළිබඳ සියලු තතු පවසා තිබුණේ ඇගේ සේවිකාවක වූ ඛුඡ්ජුත්තරා විසිනි. ඇය සාමාවතී බිසවටද බෙහෙවින් ආදරය කළාය. දිනක්‌ ඇය එක්‌තරා මාලකාරයකුගේ නිවසකදී බුදුන් වහන්සේ දැක බණ අසා සිටියාය. සාමාවතී බිසවට පසුව ඇය විසින්ම ඒ බණ දහම් පහදා දෙනු ලැබිණි.
සාමාවතී බිසව තුළ බුදුන් වහන්සේ දැක ගැනීමට දැඩි ආශාවක්‌ ඇති බ වද ඒ සඳහා වාතාවරණයක්‌ද සකස්‌ වී නොතිබිණි. එහෙත් ඇගේ භක්‌තිය දවසින් දවස වැඩුණි. දිනක්‌ ඇය ඛුඡ්ජුත්තරාවන්ට ආයාචනා කරන්නී කෙළෙස හෝ බුදුන් වහන්සේ දැක ගැනීමට සලස්‌වන ලෙස කියමිනි. ඛුඡ්ජුත්තරා ශ්‍රද්ධා භක්‌තියෙන් මෙන්ම බුද්ධි මහිමයෙන් ද යුතු ලියකි. සාමාවතී හා මාගන්දියා යන බිසවුන් අතර වූ විරසක පිළිබඳව ද ඇය දන්නීය. එසේම මාගන්දියා බිසව බුදුන්ට කළ හතුරුකම් ද ඇය දන්නීය. ඒ නිසා ඇය සාමාවතී බිසවුන්ට මෙලෙස කීවාය.
“බිසවුන් වහන්ස, මේ මාළිගාව තුළ ඔබතුමිය නොදන්නා බොහෝ දේවල් තිබෙනවා. මාගන්දියා බිසවුන් වහන්සේ බුදුන් සමඟ හොඳටම තරහෙන් ඉන්නේ. පහුගිය දවස්‌වල අල්ලස්‌ දීල පිරිස්‌ යවල පරුෂ වචනවලින් අපහාස කරලත් තිබුණා. එහෙම තියෙද්දී ඔබතුමිය බුදුන් වහන්සේ ගැන පැහැදිලා කියල දැනගත්තොත් මටත් විසුමක්‌ නෑ. මං බුදුන් දකින්ට වෙන ක්‍රමයක්‌ සූදානම් කරල දෙන්නම්.”
අනතුරුව ඛුඡ්ජුත්තරා සාමාවතී බිසවුන්ගේ මාළිගාවේ බිත්තියෙහි කීපතැනකින්ම සිදුරු සාදවා. ඒ තුළින් බුදුන් වහන්සේ වඩින අවස්‌ථාවල දැක බලා ගැනීමට අවකාශ සැලසුවාය. සාමාවතී බිසවද බුදුන් වඩින කළ ඒ සිදුරුවලින් බලා බුදුන් වැඳ ගත්තාය.
සාමාවතී බිසව එලෙස බුදුන්ට නමස්‌කාර කරන බව මාගන්දියා බිසවගේ දෙසවනටද වැටුණි. ඕ මහත් සේ කුපිත වූයේ එය තමන්ට කළ අනාදරයක්‌ සේ සිතමින් ය. දිනක්‌ ඇය සාමාවතීගේ මාළිගාව තුල නොසිටි මොහොතක වහාම එහි ගොස්‌ බිත්තිවල සිරුරු දැක ඒ රහස හෙළි කර ගත්තාය. ඇය පෙරළා උදේනි රජුට කීවේ වෙන කතාවකි. ඒ සාමාවතීගේ මාළිගාවේ බිත්ති සිදුරු කර ගෙන පරපුරුෂයන් සමග සංවාදයෙහි යෙදෙන බවය. රජු එය නොපිළිගත්තේය. එහෙත් ඇගේ බල කිරීම නිසාම සාමාවතීගේ මාළිගාවට ගොස්‌ ඒ සිදුරු දැසින්ම දැක බලා ගත්තේය. රජතුමා ඒ සිදුරු වසා දැමීමටද නියෝග කළේය.
මාගන්දියගේ බස්‌ නොඇසූ උදේනි රජු නිහඬවම සිටිනු දුටු ඕ තවත් උපක්‍රමයක්‌ ගැන සිතන්නට වූවාය. ඇය සිය සුළු පියාණන්ට පණිවිඩයක්‌ යවා ඔහු මාළිගාවට කැඳවූවාය.
“සුළු පියාණනි, මට මහත් සේ අවමන් කළ බුදුහු දැන් මේ නුවරම සිටිති. මේ මාළිගාවේම සිටින සාමාවතිය මට එලෙස අවමන් කළ බුදුන්ට පූජා කරන්නීය. ඒ මට රිදවීමටය. ඉදින් නුඹගේ උදව් මට වුවමනාය. නුඹ පිsට නුවරට ගොස්‌ මැරූ කුකුළන් අටක්‌aද නොමැරූ කුකුළන් අටක්‌ද වෙන වෙනම රැගෙන එන්න. එසේ රැගෙන එන කුකුළන් වෙන වෙනම මා කියන ආකාරයට මුළුතැන්ගෙට බාර කරන්න. මම ඉතුරු කොටස කරන්නෙමි.”
සුළු පියා ද ඇය කී පරිදිම වෙන වෙනම කුකුළන් අට බැගින් රැගෙන ඇවිත් ඇය විසින් නම් කරන ලද සේවකයකුට බාර කළේය. පසුව උදේනි රජ සැඳෑ විවේකය ගෙවමින් සිටින තැනට ගිය මාගන්දියා බිසව රජු සමග එක්‌ව මදුපානය කළාය. රජුගේ සිහියද තරමක්‌ විකල්ව ගිය පසු රජුට මෙසේ කීවාය.
“ස්‌වාමීනි, අද මගේ සුළු පියාණන් ඔබ වහන්සේට ආහාර සඳහා කුකුළන් අටදෙනකු රැගෙන ආ බව දන්නෙහිද? දැන් ඔබ වහන්සේ රිසි නම් ඒ කුකුල්මස්‌ ව්‍යංජනයක්‌ සකසා ගත හැකිය”.
රජු ද මස්‌ සඳහා ගිජු සිතින්ම එසේ කරමුයි කීවේය. එවේලෙහි මාගන්දියා බිසව මුළුතැන්ගෙයි සිටි සේවකයාට පණිවිඩයක්‌ යවා කුකුළන් අටදෙනා ද ගෙන්වා ගත්තේය. එවිට දැන් ඒවා පිස ගන්නේ කෙසේදැයි රජු විමසීය. ඇයි ස්‌වාමීනි ඔබගේ ප්‍රිය සාමාවතී බිසව ලවා ඒ කාරියවත් කරගත නොහැකිදැයි මාගන්දියා ඇසුවාය. මොකද බැරි මේ කුකුළන් ඇයට බාරදී වහාම සකස්‌ කරවා ගන්නැයි ද නියෝග කළේය.
එය මාගන්දියා බිසවගේ කුමන්ත්‍රණයක්‌ බව නොදත් සාමාවතී බිසව සේවකයාට මෙලෙස කීවාය.
“රජතුමාට මගේ අතින් ව්‍යංඤනයක්‌ සකස්‌ කරල දෙන්ට කැමැතියි. ඒ උනත් මේ ප්‍රාණඝාත කරන්ට නම් මට බෑ. ඔබ ගිහිල්ල මේ අසරණ සතුන් නිදහස්‌ කරල දාන්න.”
රජු කුකුල් මස්‌ අනුභව කිරීමට බලා සිටියේය. එහෙත් සේවකයා කුකුළන්ද රැගෙන ආපසු එන අයුරු රජු මෙන්ම මාගන්දියා ද දුටහ. මාගන්දියා වහා පෙරට පැන සිය හද රැඳි විස බඳුන මෙලෙස මුදා හරින්ට වූවාය.
“හොඳයි නේද ඇය ඔබේ වචනයට දැක්‌වූ ගෞරවය. මං දන්නව ඇය ඒ සත්කාරය නොකරන බව. හැබැයි මේ සතුන් මේ විදියටම ආපහු යවල ඒවායින් බුදුන්ට ව්‍යාංඤනයක්‌ සකස්‌ කරන්න කිව්වොත් නං යස අගේට ඒ වැඩේ කරයි.
“මං හිතන්නේ නෑ මාගන්දියා ඇය ඒ පරපණ නසන්ට ඉදිරිපත් වෙයි කියල.
හොඳයි ඔබවහන්සේට මගෙ වචන පිළිගන්න බෑනේ. මං ආපහු මේ සේවකයා ලවාම ඒ වැඩේ කරවන්නද?
උදේනි රජු නිහඬව සිටියේ ඒ යෝජනාව අනුමත කිරීමට මෙන්ය. ඒ අවසරයෙන් මාගන්දිය සිය සැලසුමේ ඉතිරි කොටස පණ ගැන්වූවාය. ඒ අනුව සේවකයා යළිත් සාමාවති වෙත යෑවිණි. එහෙත් එවේලේ ව්‍යංඤනය සඳහා යවනු ලැබුවේ පෙර මෙන් පණ ඇති කුකුළන් නොව මියගිය කුකුළන් අට දෙනෙකි.
සේවකයා ආපසු පැමිණ කුකුළන් අටදෙනා පෙර පරිදිම ඇයට දුන්නේය. ඕ එක්‌වරම තිගැස්‌සී කවුද මේ සතුන් මැරුවෙ යෑයි විමසුවාය. අනතුරුව ඒ සතුන් වේලාසනින්ම මස්‌ සඳහා සැකසුණු සතුන් බව තහවුරු කර ගත්තී. සාමාවතිය රසවත් ව්‍යංඤනයක්‌ සකස්‌ කර එව්වාය.
උදේනි රජු ඉතා සතුටින් එය ආහාරයට ගත් නමුදු ඔහුගේ සිත තුළ කිසියම් කුහුලක්‌ ද විය. මාගන්දියා කී ලෙසම ඇය ක්‍රියා කළේද යන කුහුල රජු තුළ විය.
මාගන්දියාගේ ඒ සැලසුම් ද ව්‍යර්ථ විය. එහෙත් ඇය වෙනත් උපක්‍රමයක්‌ ගැන සිතමින් කල් ගත කළාය. දිනක්‌ ඇය තුළ තවත් නපුරු කල්පනාවක්‌ වැඩුණි. එවේලෙහි ඇයට සිතුණේ රජතුමන් සාමාවතී බිසවගේ මාළිගාවට යන අවස්‌ථාවක්‌ බලා කිසියම් උපක්‍රමයකින් විෂ සහිත සර්පයකු රජු ඉදිරියට දැමීමය.
උදේනි රජුගේ එක්‌ විනෝද අංශයක්‌ වූයේ වීණා වාදනයයි. රජුට වීනාව වයමින් ඇතුන් අල්ලා ගැනීමේ බලයක්‌ද විය. එය මුළු රටම දැන සිටියේය. සාමාන්‍යයෙන් සැඳෑ විවේකය වීනා වාදනයෙන් ගෙවීමද ඔහුට ප්‍රිය විය. මාගන්දියා ඒ තතු දන්නීය. ඕ රජු සාමාවතියගේ මාළිගාවට යන දවස වේලාසනින්ම දැන ගත්තාය. රාජපුරුෂයකුට ම අල්ලසක්‌ දී කුඩා නාගයකු අල්වා උණ පුරුකක දමා රහසිගත තැනක තැබූ ඇය රජුගේ ගමන් බිමන් ගැන ද විමසිල්ලෙන් පසු වූවාය.
උදේනි රජු ද සිරිත් පරිදි දිනක්‌ සවස්‌ කාලයක සාමාවතියගේ මාළිගයට යැමට සූදානම් විය. එසඳ මාගන්දියා කියන්නී
“මහරජතුමනි අද නම් ඔබ වහන්සේට යන්න දෙන්න බෑ. මං ඊයේ රෑ මහා නපුරු සිහිනයක්‌ දැක්‌ක. ඔබ වහන්සේට අනතුරක්‌ වෙයි කියල බයයි.”
උදේනි රජු එය එතරම් නොතැකූ බවද ඇයට පැහැදිලි විය. එහෙත් “හොඳයි යන්ට ඕනෑම නං මාත් එනව. මට පුළුවන් මොන විපතක්‌ උනත් ඔබ වහන්සේ ගලවගන්ට කියමින්ම මාගන්දියද රජු සමග පිටත් වූවාය.
සාමාවතී බිසවද රජු පිළිගැනීමට සතුටින්ම සිටියාය. ඉක්‌බිති රජුට නමස්‌කාර කර අසුනක්‌ පනවා, මාගන්දියට ද ඒ අසලින්ම අසුනක්‌ සාදා දුන්නාය. ඇය එහි සිටියේ උණ පුරුක තුළ දමාගත් සර්පයාද සඟවා ගෙනමය. ඒ රහස දැන සිටියේද, ඇය පමණි.
සාමාවතී බිසවද රජු සමග ස්‌වල්ප වේලාවක්‌ පිළිසඳරෙහි යෙදී රජු වෙනුවෙන් සැකසුණු පලතුරු යුෂ බඳුනරැගෙන ඒමට ගෙතුළට ගියාය. උදේනි රජු ද ඇය පසුපසම ගියේය. ඒ අවසරයෙන් මාගන්දියා බිසව සිය ඇඳුම් අතර සඟවා ගත් සර්පයා සහිත උණපුරුක ප්‍රවේශමින් එළියට ගත්තාය. අනතුරුව රජුගේ වීනාවේ එක්‌ සිදුරකින් සීරුවට සර්පයා වීණාව තුළට රිංගවුවාය.
රජු පලතුරු පානය කර මොහොතක්‌ වීණාව වැයීමට කල්පනා කළේය. වීණාව අතට ගත් රජු ඉන් ශාන්ත ස්‌වර මාලාවක්‌ වැයීමට එහි තත් ලිහිල් කරමින් සිටියේය. එවිට ඒ තුළ සිටි සර්පයා කෝපයෙන් පිඹින්නට විය. විමසිල්ලෙන් බැලූ රජුට කිසිවක්‌ වටහා ගත නොහැකි වුවද වීණාව ඉබේම පසෙකට විසි වී ගියේය.
දින කීපයක්‌ නිරාහාරව සිටි නාගයා ද වීණාව තුළින් එළියට ඇදී පෙණ ගොබය විහිදුවා සිටිනු සියලුදෙනාම දුටහ. සාමාවති බිසව බියපත්ව සිටියාය. රජු ද එසේමය. මාගන්දියා බිසව ආරූඪ කරගත් කෝපයකින් මෙන් මෙසේ විලාප නැඟුවාය.
“අහෝ ස්‌වාමීනි, ඔබගේ ජීවිතය අද මා නිසා රැකුණා. මා ඔබ වහන්සේ ට කී වචනය ඇදහුයේ නම් මේ කරදර නැහැ නොවැ. දැන්වත් මේ නපුරු මැදුරෙන් පිටවෙලායමු. දැක්‌ක නේද මේ හැතිරියගෙ උපාසක කම්. තව පොඩ්ඩෙන් මේ නාගයා දෂ්ට කරනවා.
ඒවේලේ නම් රජුගේ සිතට නැඟුණේ කෝපයකි. නිසැකයෙන්ම කාගේ හෝ කුමන්ත්‍රණයක්‌ සිදුවෙමින් තිබෙන බවද රජුට පැහැදිලි විය.
අනතුරුව සාමාවතිය හා පිරිස අත්අඩංගුවට ගැනීමට නියෝගයක්‌ ද නිකුත් කළ රජු පසුදින ඔවුන්ට දඬුවම් ලබාදෙන බවද නිවේදනය කළේය.
රජ මාළිගාවම කැළඹී ගියේ ඒ පුවතිනි. සියලු දෙනාම පුදුම වූයේ සාමාවතිය වැනි යහපත් බිසවක්‌ මේ කාර්යයට චෝදනා ලැබීම නිසාය. මාගන්දිය ද ඉතා ප්‍රවේශමින් සිටියාය.
පසුදින සාමාවතිය හා පිරිස රාජාංගනයට රැගෙන ගොස්‌ පළමුව ඇයත් අනතුරුව එක්‌ අයෙක්‌ පසුපස තවත් අයෙක්‌ සිටින ආකාරයට සියල්ලෝම පෙළ ගැස්‌වූහ. එසේ කළේ රාජකීය දුන්නෙන්ම විද රජු අතින්ම සියලු දෙනා එක හී පහරින් මරා දැමීමටය.
සාමාවතිය සිය පරිවාර ලියන්ට උපදෙස්‌ දී තිබුණේ මෛත්‍රී සිත් වැඩීමටය. තමන්ගේ නිර්දෝෂභාවය පිළිබඳ සත්‍යක්‍රියා කිරීමටය. රජු මැරීමේ කුමන්ත්‍රණය පිළිබඳ චෝදනා පත්‍රය සියල්ලන් ඉදිරිපිට කියවා දඬුවමද ප්‍රකාශයට පත් විය. රජුද තමන්ට පමණක්‌ විදීමට හැකි දුන්න අතට ගෙන සාමා ඉලක්‌කයට ගෙන විෂ සහිත ඊතලය වේගයෙන් මුදා හැරියේය. පුදුමයකි. ඇයවෙත ගිය ඊතලය ඇගේ පාමුල වැටුණි.
තමාට නොවැරදුණු බව රජුට සහතිකය. හේ වහා දුන්න බිම දමා සාමාවතිය වෙතට දුව ගියේය. ඇගේ සත්‍යක්‍රියා බලයෙන් ඊතලය බිම හුණු බව සැකහැර දැනගත්තේය. අනතුරුව බිසව කමා කර ගත් රජු ඇයට අභිමත වරයක්‌ ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.
“දේවයන් වහන්ස, මට වුවමනා භෞතික සම්පතක්‌ නැත. ඒ සියල්ල දැනටමත් මා සතුව තිබේ. එසේ වුවද ඔබවහන්සේ ඉවසා වදාරන්නේ නම් මගේ මාළිගාවට බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වැඩමවා දානයක්‌ පිරිනැමීමට ඉඩ දෙනු මැනවයි ඇය කීවාය. රජු ද බෙහෙවින්ම සතුටුව ඇයට ඒ සඳහා අවසර ලබා දුන්නේය.
අනතුරුව බුදුහු සාමාවතියගේ මාළිගාවට වැඩම කළහ. උදේනි රජුද බුදුන් වහන්සේ සරණ ගොස්‌ සිය ප්‍රණාමයද පළ කර සිටියේය. සිහියෙන් කටයුතු කිරීමේ අනුසස්‌ ද පෙන්වා දුන් බුදුහු ආපසු වැඩියහ. සාමාවති බිසව මහත් සේ සතුටට පත්ව, තුන්සරණ ගොස්‌ සිය පිරිසද සමග සෝවාන් ඵලයට එළැඹුණාය.
මේ අතර මහත් කළකිරීමටද කෝපයට ද පත්වූ මාගන්දිය සිය සුළු පියාණන් කැඳවා අවසන් කුමන්ත්‍රණය ද කළාය. එවර ඇගේ අදහස වූයේ සාමාවතියගේ මාළිගාවම පිරිවර සමග ගිනිබත් කරවීමය. සුළු පියාටම එකාර්ය පැවරූ මාගන්දිය, සාමාවතිය මාළිගාවෙන් බැහැරව ගිය මොහොතක සැලසුම ක්‍රියාත්මක කරන ලෙසද කීවාය.
එදින සාමාවතී බිසව ඝෝෂිතාරාමයට ගොස්‌ බුදුන් බැහැ දුටුවාය. පිරිවාර ලියෝද ඇය සමගම වූහ. බුදුන් වහන්සේ ඔවුන්ට මෛත්‍රියෙහි අනුසස්‌ දක්‌වමින්ම දහම් දෙසූහ. වෛර සිතින් ක්‍රියා කරන්නවුන්ට තාවකාලිකව ජය ගත හැකිවන නමුත් එයින් කිසිsදිනක තිරසාර යහපතක්‌ උදා නොවන බවද බුදුහු කීහ. ඉමක්‌ කොනක්‌ නොමැති මේ සසර ගමන අවසන් කිරීමේ මාර්ගය ලබා ගත හැක්‌කේද මෛත්‍රි සහගත සිතින් බවද බුදුහු පෙන්වා දුන්හ.
සාමාවති බිසව ප්‍රමුඛ පිරිස මාළිගාව කරා ආපසු පැමිණෙන විට මාගන්දියාගේ සුළු පියා තවත් කීපදෙනකුගේ ද සහාය ඇතිව කුමන්ත්‍රණනය ක්‍රියාත්මක කර තිබුණි. මාළිගාවේ හැම තැනකම තෙල්වලින්ම පොඟවන ලද තිර හා රෙදි ගොඩ ගසා තිබුණි ගිනි පුපුරකින් ඇවිලෙන ආකාරයට දුම්මල මිශ්‍රණයක්‌ ද විය. සාමාවතී බිසව හා පිරිස පැමිණි සැණකින්ම ගින්දර ඇවිලවීමට කෙනෙක්‌ද යොදවා තිබිණි.
සාමාවතියගේ මාළිගාව අඳුර තුළ ගිලෙමින් තිබුණි. මාගන්දිය ද වේලාසනින්ම යහන් ගැබට වී සිටියාය. එක්‌වරම අඳුර දවමින් අහසට විහිදුණු ගිනි ජාලාවකට මාළිගාව මැදි විය. උදේනි රජුට ද සාමාවතියගේ මාළිගාව ගිනිගන්නා බව ආරංචි විය. රජු සැණකින්ම බලඇණි දෙකක්‌ම ඒ පෙදෙසට එවිය. පසුව රජුද අප්‍රමාදව එතැනට පැමිණියේය. වෛරයේ ගිනි ජාලා අහස්‌ කුසට විහිද යන අයුරු ඔහු සෝකයෙන් බාල සිටියේය. කිසිවකුට ඒ ගිනි කඳ මැඩලීමට ද නොහැකිවිය. සාමාවතිය ප්‍රමුඛ පිරිස මෙත් සිතින්ම වෛරයේ ගිනි කඳ ඉවසූහ.
උදේනි රජු මහත් සේ කම්පා විය. මේ අපරාධය මාගන්දියගේම බව ඔවුන්ට සිතුණි. එහෙත් ඇය කිසි දිනක ඒ වරද පිළිනොගන්නා බවද රජුට පසක්‌ විය. රජුද චරපුරුෂයන් යොදවා ඒ පිළිබඳ විමර්ශනයක්‌ කළේය. ඉක්‌බිති එය මාගන්දිය විසින් ඇගේ සුළු පියාගේ සහාය ඇතිව කරන ලද අපරාධයක්‌ බව ද තහවුරු විය. එසේ වුවද රජු ඒ බව කිසිවකුට නොදන්වා මාගන්දිය හමුවීමට ගියේය.
“ඔබ නිසා මගේ ජීවිතය රැකුණා. ඒ වගේම මට සතුරු කම් කළ අයත් නැසුණා. දැන් අපටසුවසේ නිදාගන්න පුළුවන්.” ඒ නිසාම මා ඔබටත් ඔබේ නෑයන්ටත් ප්‍රණාමය පළ කළ යුතුයි. ඔවුන් මාළිගාවට කැඳවන්න.
උදේනි රජුගේ වදන් ඇසූ මාගන්දිය එලෙසම සියලු ම නෑයන් මාළිගාවට කැඳ වූවාය. රජු ඉතා රහසිගතව රාජාංගනයෙහි විශාල වළක්‌ හාරවා එය පිදුරුවලින් වසා දමා ඒ මත ආසන පනවා සියල්ලන්ටම එහි ආහාර පානාදියෙන් සංග්‍රහ කරවීය. මාගන්දියද ප්‍රමුදිතව ඒ මේ අත යමින් සිටියාය. එකවරම පිදුරුවලට ගිනි ඇවිලිණ. කිසිවකුටත් පිටතට දුවගත නොහැකි විය. දුවන්ට සැරසුණු අය ද දැවෙන පිදුරුත් සමග එහි වූ මහා වලටම වැටී අළු වී ගියහ. රාජාංගනයම එකම අළු ගොඩක්‌ විය.
පසුදිනට පහන් වනවිට කොසඹෑනුවර පුරාම ඒ සියලු පුවත් පැතිර ගොස්‌ තිබුණි. ආනන්ද හිමියෝ ඒ තොරතුරු බුදුන්ට ද දන්වා සිටියහ. ආනන්දය වෛරයේ ගිනි වෛරයේම අළු බවට පත් විය. මේ සංසාරයේ දිගු කලක්‌ මෙම වෛර ගිනි ඇවිල ගියේය. වෛරයේ ආදීනව මෙයින් වත් වටහා ගත යුතුය. මෛත්‍රියෙන් කටයුතු කළ යුතු යෑයිද බුදුහු වදාළහ.

ගාමිණී සුමනසේකර

32. බුදුහු ආයුසංස්‌කාරය හරිති මිහිකත සැලෙයි. දෙව් ලොවම කැළඹෙයි ...
30. රුදුරු යකු දැමුණේ කුමරු දිවියද රැකුණේ ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.