සම්බුදු දහම හෙළි කළ පෞරුෂය

අද පෞරුෂ වර්ධනය සඳහා විවිධ පන්ති පවත්වනු ලැබේ. මිල මුදල් වියදම් කරගෙන පෞරුෂය ගොඩ නගා ගැනීමට වෑයම් කරති.

එයාට හොඳ පෞරුෂයක් තියෙනවා. එයාට කිසිම පෞරුෂයක් නැහැ. ආදී වදන් අපට දසතින්ම ඇසේ. විවිධ ක්‍රීම් වර්ග, විලවුන් වර්ග ඇඳුම්, පැළඳුම් ආදියෙන් පෞරුෂය ඉහළින් පෙනේ යැයි සමහරු සිතති.

කෑ කෝ ගසමින් අනුන්ට පෙළා තලා කථා කරමින් පෞරුෂයක් ගොඩනගා ගැනීමට තවත් සමහරෙක් කෑ ගසති.

මෙහිදී බොහෝ දෙනෙකු පෞරුෂය හැටියට සිතාගෙන සිටිනුයේ බාහිර පෙනුම, කථා කිරීමේ විලාශය උසට සරිලන මහත, අන් අය යටත් කර ගැනීමේ දක්ෂතාව ආදියයි.

එබඳු පෞරුෂයක් නම් නයාට, අලියාට පමණක් නොව බල්ලාටද ඇත. පොලිසියේ අපරාධ විමසන සුනඛයාට සාමාන්‍ය සුනඛයකුට වඩා එඩිතර බවක් හා ගැඹුරු හඬක් ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේ වදාළ පෞරුෂය එබඳු බාහිර පෙනුමක් නොව ඇතිකර ගත යුතු ආධ්‍යාත්මික ගුණධර්ම සමුදායකි.

ඒවායේ අගය නොදන්නාකම තරම් මුග්ධ බවක් තවත් ඇතැයි නොසිතේ. කරණීය මෙත්ත සූත්‍රයේ මෙම පෞරුෂ ලක්ෂණ ඉතා හොඳින් දක්වා තිබේ.
සක්කෝ, උජූ, සුජූ, සුවච, මුදු, අනතිමානී, සන්තුස්ස, සුභර, අල්ප කෘත්‍ය ඇති බව, සැහැල්ලු ගති පැවතුම් සන්සුන් ඉඳුරන්, නිපක ගුණය, රළු පරළු ගති නැති බව, කුලයන්හි නො ඇලුණු බව, නුවණැත්තන් විසින් ගර්හා කරන කුඩා වූ වරදක් හෝ නොකිරීම, එම පෞරුෂ ලක්ෂණයි.

‘සක්කෝ’ යනු දක්ෂ බවයි. යම් දෙයක් කරනවිට එහි දක්ෂ බවක් නිපුණබවක් පෙන්වීමට හැකිනම් එය හොඳ පෞරුෂ ලක්ෂණයකි. යමක පෙරමුණ ගෙන දක්ෂ ලෙස ක්‍රියාකරන අය සමාජයේ කැපී පෙනීම වැළැක්විය නොහැකි ය. මෙම පෞරුෂ ලක්ෂණ එකිනෙකට බැඳී ඇති සෙයක් පෙනේ. මීළග පෞරුෂ ලක්ෂණය ‘උජූ’ යන්නයි. එනම් අවංක බවයි. නිවැරැදි අවංක පුද්ගලයාට ඕනෑම තැනකට බිය නැතිව පිවිසිය හැකි ය. වංචනිකයන්ට ධෛර්යයක් නොමැත. වංක පුද්ගලයා නිතරම සිටින්නේ බියෙනි. සැකයෙනි. එයින්ම ඔහුගේ පෞරුෂය බිඳ වැටෙයි.

උවමනාවට වඩා අවංක වීම හොඳ නැහැ. උවමනාවට වඩා අවංක වීම මෝඩකමක්. හැමෝම වංක වැඩ කරද්දී අපි විතරක් ඕනෑවට වඩා අවංක වෙන්නේ මොනවටද? බොහෝ දෙනා අතර පවතින මතයකි මෙය. බුදුරජාණන් වහන්සේ වදාළේ ‘සුජූ’ ගුණය අවශ්‍ය බවය. එනම්, මැනවින් අවංක විය යුතු බවයි. සැබෑ බෞද්ධයා අවංක විය යුතු ය. බුද්ධ ශ්‍රාවක මහා සංඝරත්නය ‘උජුපටිපන්නය’ උන්වහන්සේ සෘජු ප්‍රතිපදාවයක් අනුගමනය කරති. බෞද්ධාගමිකයන් වන අප ද උජුපටිපන්න විය යුතු ය. තෙරුවන් කෙරෙහි ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමෙන් නිවන් මඟට අවතීර්ණ වන්නට සෘජු ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුය. දකින අසන දේ පැත්තට අවිචාරවත්ව දුවන්නට යාමෙන් බුදු දහමේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල අත් දැකිය නොහැකි ය. මිගාර සිටුතුමා ඉදිරියේ එදා විශාඛාවට අභීතව ක්‍රියාකළ හැකි පෞරුෂයක් ලැබුණේ තෙරුවන් කෙරේ ඇති වූ අචල විශ්වාසය පදනම් කරගෙන ය. එසේම දරුවන් දෙතිස් දෙනාත් බන්ධුල සෙන්පති නම් සිය ස්වාමියාත් යුද බිමේ දී මළ පුවත ඇසූ බන්ධුල මල්ලිකාව සසල වූයේ නැත. මනා පෞරුෂයක් ඇති අය තුළ හොඳ විනයක් ද ඇත. මීළඟ පෞරුෂ ලක්ෂණය ‘සුවච’ බවයි. කීකරු බව හා නම්‍යශීලී ගුණයයි. එය නෝංජල් බවක් නොවේ. හොඳ විනයකින් හික්මුණු තැනැත්තා නම්‍යශීලීය. බුදුරජාණන්වහන්සේ තුළ මේ ගුණය ඉතා හොඳින් ප්‍රකට විය. සුදොවුන් රජතුමා මවුපියන් නොඅනුදත් දරුවන් පැවිදි කරන්නට එපාය යැයි කී අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඊට එකඟ වී විනය නීතියක් ද පැනවූහ. ‘වැසි සමයේ ලා තණපත් පා ගමින් පිණ්ඩපාතයේ වැඩම කිරීම අනුචිත යැයි’ මහජනයා දැක් වූ මතයට එකඟ වෙමින්, වැසි සමය තුළ වස් සමාදන් වීම අනුදත්හ. අලව් යකු දමනයට යකු ගේ විමනට වැඩි අවස්ථාවේදී යකා දමනයට ගත් පළමු පියවර වූයේ යකු ගේ අණට නම්‍යශීලි වීමයි.

නම්‍යශීලි බව හොඳ පෞරුෂයක ලක්ෂණයකි. මෘදු බව, මීළඟ ලක්ෂණයයි. මෘදු බව තුළ පෞරුෂයක් නැතැයි කෙනකුට සිතිය හැකි ය. එහෙත් නායකත්වයක් තුළ වුවද මුදු මොළොක් බව පැවතිය යුතුය. බුදුරජාණන් වහන්සේ කදිම පෞරුෂයකට අසම සම නිදසුනකි. බොහෝ අන්‍යාගමිකයන් බුදුරදුනට පැහැදුණේ උන්වහන්සේ ගේ මෙම ගුණයට ය. බුදුරජාණන් වහන්සේ ‘බැම හකුළුවා බලන කෙනෙකු නොවේ’ යැයි ඔවුහු පැවසූහ. තමා ට තදින්ම බැණ වැදුණු අක්කෝස පරිබ්‍රාජකයා ගේ සියලු පරිභව ඉවසූ උන්වහන්සේ ඒ සියල්ලම ඔහුට භාරගන්නැයි සැහැල්ලුවෙන් ප්‍රකාශ කළහ. තුන් ලෝකාග්‍ර වූ මහා පුරුෂයා ඒ පරිභව වලින් සැලුණේ් නැත. සෑම දෙයකම අනිස බව දුටු උන්වහන්සේ කුමකට සැලෙන්න ද? මානයෙන් තොර බව අනතිමානය යි. වී කරලක් පැසෙන්නේ නැමී ගෙන ය. හරයක් ඇති හැම අයකුටම නිහතමානී ය. සේවකයන්ට පවා ඇල්හාලේ බත් දුන් සුදොවුන් රජුගේ පුතු බුදු වී මහමඟ පිඬු සිඟා වැඩියේ, දාසියන් ගේ කුඩු රොටිය වැළඳුවේ නිහතමානි ගුණය නිසා ය. යොදුන් ගණන් පා ගමනින් වැඩම කළ බුදුන් වහන්සේ, අන් අයකුට යහපතක් වේ නම් සොහොනට වුවද වැඩීමට පසුබට නොවූහ. මිනීමරුවන්ද සොයා ගියහ. අසරණයින්ද ලෙඩුන්ද සොයා ගියහ. අද කුඩා හෝ තනතුරක් ඇත්නම් ඇතැම් අය හිස උදුම්මා ගනී. අන් අය පයට පෑගෙන දූවිලි ලෙස සලකති. කරණීය මෙත්ත සූත්‍රය කියමින් බෝධීන් වහන්සේ අබියස තම තනතුර රැක දෙන්නැයි යදින බොහෝ දෙනා එම තනතුර රැක ගන්නට උපක්‍රම කියා දෙන ප්‍රායෝගික පුහුණුවක් බව නොදනිති. ඉතා කෙටි කලක් තුළ ජීවත්වන මේ ලෝකයේ මුතු මැණික් රන් රිදියෙන් නිර්මිත නොවූ අප තවත් මනුෂ්‍යයෙකුට ආඩම්බරකම් පෑ යුත්තේ කුමටදැයි නොවැටහේ. සුනාමි වැනි ව්‍යසන වලින් වත් අප යමක් උගත යුතු ය. තමන් ගේ රාජ මාලිගය අසලින්ම මැටි පාත්‍රයක් ගෙන පිඬුසිඟා වඩින්නට තරම් මහා ආත්ම ශක්තියක් බුදුරදුන් තුළ පැවතිණි. උන්වහන්සේ සිය අනුගාමිකයන්ට වදාළේ අනතිමානී වීමටය.

ලද දෙයින් සතුටුවීම මීළඟ පෞරුෂ ලක්ෂණයයි. කොතෙක් ලැබුණත් මදි වන අය අද අපට දකින්නට ලැබේ. හැම විටම අසහනයෙන් අතෘප්තියෙන් ඉන්නේ ඔවුන්ය.

‘සුභරතාව‘ මීළඟ කරුණයි. පහසුවෙන් පෝෂණය කළ හැකිවීම, එහි අරුතයි. අප රට තුන්වන ලෝකයේ රටක් බව අපේ බොහෝ දෙනකුට අමතකය. ඒ නිසා විදේශ භාණ්ඩ පරිභෝජනයට පි‍්‍රයකරති. එය සපුරා ගත නොහැකි නම් දරු මල්ලන් අතහැර නන්නාඳුනන රටකට වුව යෑමට පෙළඹෙති. තමාට ලැබෙන දෙයට වඩා ණය වී හෝ අසල්වාසීන් පරිභෝජනය කරන දෑම මිලට ගන්නට පෙළඹෙති. අපේ රටේ ආර්ථිකය ගැන අවධානයෙන් යුතුව රට පිළිබඳ හැඟීමෙන් ක්‍රියා කිරීම නුවණට හුරු යැයි සිතමි. අද පාසල් යන දරුවන් එදා අප පාසල් ගිය සමයට වඩා වැඩි භාණ්ඩ පරිභෝජනය කරති. ගුණාත්මක බවින් එතරම් පෝෂණයක් ඔවුන් ලබන බවක් පොදුවේ පෙනෙන්නට නැත. නැතිබැරි දරුවාට ඇත්තේම නැත. ඇති හැකි දරුවාට ඕනෑ තරම් ඇත. බෙදා හදා ගන්නට නොව බදා ගන්නට උගන්වන බවක් රූපවාහිනී ආදී ජනමාධ්‍ය වලින් ;පන්වයි.

අම්මා රවටන, ගුරුවරිය කිරි පැකට් දුන්විට සන්සුන් වන දරු පිරිසක් හදන්නට හදන්නේ් මන්ද? වෙළෙඳ ප්‍රචාරකයන්ට බහු ජාතික සමාගම් වලට අපේ සංස්කෘතිය වනසන්නට දෙන්නේ ඇයි?

අල්ප කෘත්‍ය ඇති බව මීළඟ පෞරුෂ ලක්ෂණයයි. තමාට කළ හැකි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක පටලැවී සිටීම අද බහුල ලෙස දැකිය හැකිය. මොන්ටිසෝරි දරුවා ගේ පටන් වැඩිමහල්ලා දක්වා බහු කෘත්‍ය ඇති බව සමාජයේ හැසිරෙන විට දැක ගත හැකිය. දරුවාට ඉංගීි‍්‍රසි පන්ති, නැටුම් පන්ති පිහිනුම් පන්ති ආදී මෙකී නොකී පන්තිය. කොටින්ම කිවහොත් කෑම කන්නට නාන්නට තබා නිදන්නට ද වේලාවක් නැත. මඟුල් ගෙදරකට අවමඟුල් ගෙදරකට යන්නට වෙලාවක් නැත. නෑදෑයින් හඳුනන්නේ නැත. දැනට සිටින ළමා පරපුර හඳුනන්නේ යහළුවන් පමණි. ආදර්ශයක් ගන්නට අවවාදයක් ලබන්නට ඔවුන්ට වැඩිහිටි ඇසුරක් ලැබෙන්නේ ඉතා අඩුවෙනි. ආගමික කටයුතු සඳහා වෙන් වූ පෝ දිනයේත් ටියුෂන් පන්තියටම යති. ටියුෂන් ගුරුවරු ද එය එලෙසම කරගෙන යති. දහම් පාසල් යන දරු පිරිස ක්‍රමයෙන් හීන වී ගෙන යයි. බෞද්ධයින් හැටියට අපට යහපත් පෞරුෂයක් ගොඩනැගීමට ලැබෙන අවස්ථා මඟ හරිමින් සිටින්නේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මඟුල් ගෙදරකදී අවමඟුල් ගෙදරක දී දානමාන පින්කම් පොළකදී අප උගත යුතු ආදර්ශ බොහොමයකි. පන්සලේදී දහම් පාසලේදී ඉගෙනීමට ලැබෙන දෑ රාශියකි. පොතටම ඇලුණු දරුවා වෛද්‍ය හෝ ඉංජිනේරු උපාධියක් ලද පමණින් හොඳ බෞද්ධ පෞරුෂයක් නොලබයි. ශාරීරිකව හා දැනුමෙන් යම් පෞරුෂයක් ලැබුණත් ආකල්ප ගොඩ නො නැගුණු උගතුන් අප සමාජයේ ඕනෑ තරම් ඇත. තව ජීවිතයක් නසන්නට පිඹුරුපත් සකසන උගතුන් අප අතර ඕනෑ තරම් ඇත.

සැහැල්ලු ගති පැවතුම් ඇති බව සරල බව, තිබිය යුතු ය. නිතරම රාජකාරියෙන් හෝ වෙනත් කටයුතු වලින් හෙම්බත් වී සිටින පුද්ගලයන් තුළ නිර්මාණශීලී බවක් ඇතිවන්නේ නැත. නවමු යමක් ලෝකයට දායාද කරන්නට ඔවුනට හැකියාවක් නැත.

අදත් අපි ආඩම්බරයෙන් කථා කරන අපේ ඓතිහාසික නිර්මාණ සඳහා අපේ මුතුන් මිත්තන්ට හැකියාව ලැබී ඇත්තේ සරල ඇවතුම් පැවතුම් වලට ඔවුන් හුරු වූ නිසාය.

අදත් ලෝකයේ ඉංජිනේරුවන් විළි ගන්වන ජයගඟේ බැස්ම සැතපුමකට අඟලකි. සොර බොර වැවේ ශෛලමය සොරොව්ව විස්මය දනවයි. රුවන්මැලි සෑය, ජේතවනය වැනි අහස තෙක් විහිදී මහා නිර්මාණ ඉදිවූ තාක්ෂණය කොතරම් අපූරුද? සැහැල්ලු සරල ගති පැවතුම් ම ජාතියකට නිර්මාණශීලිව දායාද කරයි. අද කිසිම දෙයක සරල බවක් නැත. ජීවිතය අතිශයින්ම සංකීර්ණ වූ ප්‍රහේලිකාවක් වී ඇත. හේන කුඹුර අස්වද්දා ගෙන ගමේ ගොඩේ ගොයම් කයියට හවුල් වී ගෙන ආගමට දහමට නතුව දිවි ගෙවූ කාලයේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය විය. ධර්මද්වීපය විය. අද තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි. ඒ කාලයේ සව් අබරණින් සැරසුණු කන්‍යාවකට රුහුණේ කෙළවරේ සිට නිරුපද්‍රිතව උතුරුකරයට යාමට හැකියාව තිබිණි.

දියුණුය කියා ගන්නා අද දස දෙසම අපරාධය. අපයෝජන ය විසින් වෙළා ගෙන ඇත.

නවීන තාක්ෂණය මේ විනාශය දෙගුණ තෙගුණ කරවයි. සන්සුන් ඉඳුරන් ඇතිබව මීළඟ පෞරුෂ ලක්ෂණයයි. එදා පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා මොළොක් සිත් ඇති වූ චණ්ඩාශෝක අධිරාජයා ශ්‍රී ලංකාවට බුදුදහම ලබාදීමට පියවර ගත්තේ ය.

පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ඉඳුරන් ගේ සන්සුන් බව නිසාම චණ්ඩාශෝක රජුගේ රුදුරු සිත සොඳුරු විය. මහා නපුරු බලකාමී අධිරාජයකු කුඩා දරුවකු ඉදිරියේ දණ ගැසුවේ ඉඳුරන් සංවරකම නිසාම ය. ගුණයෙන් පිරිපුන් සිරුරින් කුඩා වුවත් සන්සුන් ඉඳුරන් ඇති පුංචි හාමුදුරුවන්ට මහා පෞරුෂයක් තිබිණි. ඒ යෝධ පෞරුෂය ඉදිරියේ අධිරාජයා අඟුටු මිට්ටකු විය.

චණ්ඩ නපුරුකම තුළ ඇති පෞරුෂයක් නැත. ඇත්තේ හිස් බව පමණකි. හීන මානය පමණකි. බුදුරජාණන් වහන්සේට අසම සම පෞරුෂයක් ලැබුණේ ඉන්ද්‍රිය සංවරයෙනි. උන්වහන්සේ සිය අනුගාමිකයනටද ඉන්ද්‍රිය සංවරය අනුදැන වදාළහ. උපතිස්ස තවුසා අස්සජී තෙරුන්ට පැහැදුණේ ඉඳුරන් ගේ ප්‍රසන්න භාවය නිසාය. කොටියාට සිංහයාට අනෙකා යටත් කර ගන්නට රෞද්‍ර භාවය සහජයෙන් ලැබුණත් මිනිසාට එය ලැබී නැත. මිනිසාට එය සන්සුන් ඉඳුරන් ගෙන්ම කළ හැකිය. මේ දේ කළොත් මේ දේ වන්නේ යැයි යමකු දන්නේ නම් කිසිදිනක වැරැදි වැඩකට නො පෙළඹේ. නිපක ගුණය ඇති නුවණැත්තා යමක හොඳ නරක වටහාගනී. එය ආදර්ශවත් පෞරුෂ ලක්ෂණයකි. එසේම කුලයන් හි නො ඇලුණු ස්වභාවය ද තවත් පෞරුෂ ලක්ෂණයකි. එක් එක් අයගේ ආහාර පානවලට අල්ලසට ගැති වුවහොත් ඔහුට එඩිතර පෞරුෂයක් නොලැබේ. මේ නිසා බුදුරදුන් විශේෂයෙන්ම මෙය භික්ෂූ සංඝයාට වදාරා ඇත. භික්ෂුව සමාජයේ මහා පෞරුෂයක් ලෙස විරාජමාන විය යුතුය. දේශපාලනයට ගැතිකම් කරන බොහෝ දෙනා සිය පෞරුෂයට හානි කරගනිමින් ප්‍රතිරූපය විනාශ කර ගනිති.

පෞද්ගලික උපදේශකයින් පතා ගෙන, අධික වියදම් කරගෙන නවීන විලාසිතාවක් වූ පෞරුෂ පන්ති යෑමට වඩා අප අතර පවතින උතුම් සූත්‍ර දේශනාවක් වූ කරණීය මෙත්ත සූත්‍රයේ දක්වන පෞරුෂ ලක්ෂණ අනුගමනය කරමු.

උපුටාගැනීම
http://www.lakehouse.lk/budusarana/2008/04/12/PrintPage.asp?REF=vision06

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි ....
මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.