යසස වැඩෙන නොපමා බව

යහලුවනේ මම ඔයාලට ඉස්සරලම පුංචි කථාන්දරයක් කියල දෙන්නම්. රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා යුතු ය. මෙය කෙම් ක්‍රමයක්. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්‍ෂාවක් නැත. ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත් වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.

සිටුපුතාද දෙමවුපිය ඔවදන් පිළිගෙන අඬමින් මරණ බියෙන් පලාගොස් කඳුකර පෙදෙසක දොළොස් වසරක් දිවි ගෙවා යළි සිටුගෙදරට අවුත් ධනය නිධන් කළ ස්ථානය පිරික්සා යථාපරිදිව තැන්පත්ව ඇති බව දැනගත්තේ ය. එහෙත් මෙතරම් ධනයක් මාසතුව ඇතත් ඒවා පරිහරණය කිරීම ක්‍ෂණිකව සුදුසු නැතැයි නුවණින් සිතා දුගී දුප්පත් වේශයක් ගත්තේ ය. වසර ගණනක් ඈත පළාතක සිටිය බැවින්ද, දන්නා හඳුනන අය නැති බැවින්ද, ධන නිධාන සලකුණු රහසිගතව සිතේ තබාගෙන ගෙයින් ගෙට බැලමෙහෙවර කරමින් දිවිගෙවන්නට විය. කලක් ගතවන විට මොහුට දිනපතා කම්කරුවන් ප්‍රබෝධ කරන රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් වෙළෙන්දන් පහන්දොර නැඟිටවීම ඔහු සතු කාර්ය විය. හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා කම්කරුවන් අවධිකරවන හඬ නිසා ඔහුට ‘ඝෝෂක’ යන නම ව්‍යවහාර විය.

අලුයම පිබිදී සිටි බිම්බිසාර රජතුමන්ටද මේ ශබ්දය ඇසී රාජසේවකයන් යවා ඔහු කැඳවාගෙන එනලෙස නියම කළහ. බිම්බිසාර රජතුමා ශබ්දයෙන් පුද්ගලයන් හඳුනා ගන්නා ශබ්ද විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත වූහ. මේ නිසා ඝෝෂකගේ ජීවිතය ගැන තොරතුරු විමසා දැන ඔහු සතු හතළිස් කෙළක් ධනය රථවලින් ගෙන්වා මෙතරම් ධනයක් සතු මෙම ඝෝෂක බැලමෙහෙවර කරමින් ජීවත්වීමේ පුද්ගල තතු හා උපාය මාර්ග ජනතාවට පහදා දුන්හ. තවද රජතුමා මහත් සත්කාර සම්මාන සහිතව සිටු තනතුරු ද ප්‍රදානය කළහ. එමෙන්ම රජතුමා සිටුවරයා සමඟ බුදුරදුන් වෙත පැමිණ සියලු තතුද විස්තර කළහ. බුදුරජාණන් වහන්සේද මහරජ මෙම ඝෝෂක සිටුගේ ජීවිතය ධාර්මිකය, වීර්යවන්තය, ප්‍රඥා වන්තය. එවැනි අයගේ ජීවිතය ධනයෙන් ඉසුරු බවෙන් ප්‍රභාමත් වන්නේ යැයි දක්වා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. මෙන්න මා සදහන්කල සෙත් කවිය. කියවා බලන්න.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති

නැගී සිටිනා වීරියෙන් යුතු ඉතා හොඳ සිහි නුවණකින් යුතු පිරිසිදුව කරනා දෙයින් යුතු සොයා බලනා නුවණකින් යුතු මනා සංවර සීලයෙන් යුතු ධාර්මික ජීවිතයකින් යුතු පමාවෙන් තොර දිවි ගෙවන්නා වේ ය ලොව කිතු ගොස ලබන්නා “යාලුවනේ” මෙම ගාථා ධර්මයෙන් දහම් කරුණු හතක් පෙන්වා දී තියෙනව. උට්ඨානවතෝ – උත්සාහවන්තව ක්‍රියා කළ යුතු යි. එය ඇතිවීමට තමා කරන කාර්ය පිළිබඳ සාමාන්‍ය ප්‍රතිඵල සාධන හැඟීමක් තිබිය යුතු ය. සහජ පුරුද්දෙන් සමාජයෙන් සාධනීය කාර්යයෙන් ලබන මූලික අවබෝධය විසින් කායික මානසික ප්‍රබෝධයක් පියවර තැබීමේ වීර්යයක් ඇතිවේ. කුශලානුගත වීර්යය මතුමත්තෙහි ඉදිරි පියවර මානසික වශයෙන් ප්‍රසාරණයක් ඇතිවීම ස්වාභාවික ය. බෝධි සත්වයන් වහන්සේ නියත විවරණයේ පටන් ආරම්භ කරන පාරමිතාවන් අතර වීර්ය පාරමිතාව නිසා සියලු පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පෙරට එන බාධක අභිබවා ගමන් කරති. එමෙන්ම වීර්ය බෞජ්ඣංග ධර්මයකි. එම වීර්යයෙන් බුදු පසේ බුදු මහරහත් පදවි ලබාගන්නට චිත්ත සන්තානයේ නීවරණ ධර්මයන් පහකොට ධ්‍යාන, විදර්ශනා මාර්ගඵල සාධනයට යොමු කෙරේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයට අනුව මෙලොව දියුණුවට පාදක වන ප්‍රධානම කරුණ උට්ඨාන සම්පදාවයි. තමන් තුළ තිබෙන ක්‍රියා කෞශල්‍ය ක්‍රියාත්මක වන්නේ උත්සාහය තුළින්. හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබෙනවානම් ඕනෑම කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මෙයට කදිම උදාහරණය චුල්ලපන්ථක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත රහත් බව ලබා ගැනීම. ‘උට්ඨානවතෝ භික්ඛවේ කිං නාම න සිජ්ක්‍ධති’ උට්ඨාන වීර්යයෙන් යුතු පුද්ගලයාට සිදු කළ නොහැකි දෙයක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාළහ. “ වීර්ය වඩන්න, අලස බව දුරු කරන්න, බුදු සසුනෙහි පිළිවෙත් පුරන්න. ඇතා බටලී ගෙය පොඩිකරන්නාක් මෙන් මාර සේනාව මඩින්න. ඔබත් මේ කරුණු මතකයේ රඳවාගෙන අනලස්ව ක්‍රියා කරන්න. සතිමතො සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර විශේෂයෙන් දීර්ඝ කාලයක් තුළ පවත්නා සත්ව සන්තානගත ලෝභාදී ක්ලේශ ධර්මයන් නැති කිරීමට ඒවා එකිනෙක හඳුනාගැනීම ප්‍රහාණය කිරීම කමටහන්වලට සිත ආරෝපණය සිහියෙන්ම කළ යුතු වේ. සමථ භාවනාවේ දී චිත්ත ඒකාග්‍රතාවය ඇතිවීමට පදනම වන්නේ සතියයි.

යෑම, ඊම්, ඉදුම්, හිටුම් නින්දටයෑම, නිදි වැරීම්, කථා කිරීම්, කථා නොකිරීම්, ප්‍රඥාවෙන් දැන සිහියෙන් යුතුව කළයුතුªබව ‘ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ, තණ්භීභාවේ, සම්පජානනකාරි හෝති’ සතිපට්ඨාන සුත්‍රයේ දැක්වෙනවා. සතිය හෙවත් සිහිය කොටස් දෙකකින් යුක්තයි. අපිලාපන ලක්ඛන සතිය නම් සිතට වැඩුණු අරමුණු අමතක වන්නට ඉඩ නොදී සිහි කරවන ගතියයි. මේ සතර සතිපට්ඨාන, මේ චතුරාර්ය සත්‍යය, මේ සතර සම්‍යක් ප්‍රධාන, මේ සතර ඉර්ධිපාද, මේ පඤ්ච බල, මේ පඤ්ච ඉන්ද්‍රිය, මේ සත්ත බොජ්ක්‍ධංග, මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මේ සමථ භාවනා, මේ විපස්සනා භාවනා වශයෙන් සිතට ගත් ධර්ම අමතක වන්නට ඉඩ නොදී සිතේ රඳවා ගන්නේ මේ අපිලාපණ ලක්ඛණ සතියේ ශක්තියෙන්. සිඟාලෝවාද, මංගල, කරණීයමෙත්ත වැනි සූත්‍රවල සඳහන් සුචරිතවාදී ධර්ම ළංකරගෙන දුශ්චරිතවාදී අහිතකර ධර්ම ඉවත් කිරීමයි. උපගණ්හන ලක්ෂණ සතිය කියන්නේ. ‘මහණෙනි, සිහිය සියලු අර්ථ සිද්ධියම සිදුකරන බව මම වදාරමියි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි. අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සාමාජික, ආගමික, පවුල් කියන සෑම සංස්ථාවකම කටයුතු වඩාත් කාර්යක්ෂවම සාර්ථකව ගෙන යෑමට නම් සතිය නැතුවම බැහැ. එවිටයි විපුලඵළ නෙළාගත හැක්කේ. සිහියෙන් තොර පුද්ගලයාගේ ක්‍රියාදාමයන් තමන්ට මෙන්ම අනුන්ටත් අහිත කරයි. සිහිය තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් හයම රකින්නේ. ඒ නිසා සිහිය හරියට දොරටු පාලකයෙක් වගේ. සුචිකම්මස්ස කාය, වාග්, මනෝ කර්ම පිළිබඳ පවිත්‍රතාවය කුසල් කිරීමේදී අවශ්‍ය වේ. විශේෂයෙන් ලෞකික ජීවිතය ආරක්‍ෂාවන්ගේ සමෘද්ධියට පත්වන්නේ කායවාග් කර්මයන්හි පවිත්‍රතාවයෙනි. ප්‍රාණ ඝාත, අදත්තාදාන කාම මිථ්‍යාචාර යන අපවිත්‍ර කර්මවලට සන්තානයේ නම්‍යතාවය බහුලය. එමෙන්ම එවන් කර්ම කිරීමෙන් ලබන ආශ්වාදය මොහොතක් පාසා සිත නීවරණයන්ගේ ප්‍රවාහයෙන් කිලිටිවන්නේ ය. අතෘප්තිකර සන්තානගත ආශ්වාද ජනක චිත්තාවලිය මරණින් මතු සතර අපායට අරමුණු වන්නේ ය. කෙනකු වචන භාවිතා කරන්නේ සන්තාන ගත අරමුණු අනුවය. සිත අපවිත්‍ර කරන අරමුණු බොහෝ වේලාවක් තබාගැනීමෙන් එයට සමගාමීව වාග් ද්වාරයද ක්‍රියාත්මක වීමෙන් බොරු, කේලාම්, අසභ්‍ය හිස් වචන භාවිතය අපමණ වේ. එයින් තම ආත්මය කිලිටි වේ. තමාට තමා හතුරෙකු බවට පත්වේ. අපවිත්‍ර සන්තානයෙන් කරන කියන සෑම දේම පුද්ගලයාගේ පරිහානියට හේතුවේ. මරණින් මතු සතර අපායේ ඉපදීමට හේතුකාරක වේ. කාය වාග් මනෝ යන ද්වාරත්‍රයේ පවිත්‍රත්ත්වය දසකුසල ධර්ම වර්ධනයට හේතුවේ. එමෙන්ම සමථ විදර්ශනා භාවනාවෙන් දෙලොව ශාන්තිය භවාන්තයේ උතුම් නිවන් සම්පත් ලැබීමට පවිත්‍ර චේතනාවේ ශක්තිය මූලාධාර වේ. නිසම්මකාරිනෝ වෛද්‍යවරයෙකු රෝග නිදානය සොයා දැනගෙන රෝගාබාධයට නියමිත ප්‍රතිකාරය ලබාදෙන්නාසේ ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතයද සරුකරගන්නාට විමංසනය අත්‍යවශ්‍ය වේ. මෙයට අභිධර්මයේ මනසිකාරය යයිද දක්වා ඇත. එයට විශේෂ බුද්ධියක් මෙන්ම සිහියක් ද සමාධියක් ද තිබිය යුතු වේ. බොරු කීමෙන්, කේලාම් කීමෙන් , නපුරු වචන කීමෙන්, හිස්වචන කීමෙන් වැළකිම පිරිසුදු වාචසික කර්මයයි. දැඩි ආශාවෙන් (අභිධ්‍යා) අනුන්ට හානි පමුණුවන දුෂ්ට චේතනාවෙන්, (ව්‍යාපාද) වැරදි දැකීමෙන් (මිච්ඡා දිට්ඨි) වැළකීම පිරිසුදු මානසික කර්මයයි. සමගිය, සමාදානය, ශ්‍රමදායකත්වය, අන්‍යොන්‍ය විශ්වාසය, පි‍්‍රයමනාප බව ඇතිවන්නේ තිදොරින් නිවැරදිව, පිරිසුදුව කටයුතු කරන විටයි. සියලුම දේ නුවණින් විමසා බලා කටයුතු කිරීමටයි යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නෙත් මේකටමයි. තමන්ටත්, අනුන්ටත්, අවැඩක්, නපුරක් නොහොඳක් සිදුවෙනවානම් ඒ දේ නොකරන්න. ඒවා අකුසල්. තමන්ටත් අනුන්ටත් හිතකර නම් ඒ දේ කරන්න. ඒවා කුසල් බවයි අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ. එසේ ක්‍රියා නොකළහොත් ‘යස්ස අස්සමුඛොරෝදං විපාක පටිසේවති’ කඳුළු තැවරුණ මුහුණෙන් යුතුව එහි ඵල විපාක විඳින්නට සිදුවේවි. සඤ්ඤතස්සච කය, වචනය, මනස යන ද්වාරත්‍රයේ සංවර බව නිර්වාණ ගාමි ප්‍රතිපදාව වේ. සාර්ථකත්වයට අත්‍යවශ්‍යම වේ. කය වචන දෙකේ සිල් ගුණයද සිතේ සමාධි ගුණයද ලෞකික ලෝකෝත්තර සුබ සාධනයට මූලාධාර වන බව සහේතුකව බුදුරදුන් විසින් යළි යළිත් දක්වා ඇත. කයින් වචනයෙන් හා මනසින් සෑම කාරණයකදීම සංවරවීම ඉතා යහපත් වේ.

එය නිවනට මාර්ගයයි. එයින් සීලයත් සීලයෙන් සමාධියත් ඉන් ප්‍රඥාවත් වර්ධනය වේ. ‘සඤ්ඤ තස්ස’ නම් මනාව හික්මුණු බවයි. කොයිතරම් වීර්යවන්තයෙක් වුණත් සිහි ඇත්තෙක් වුනත්, හොඳ වැඩ කරන්නෙක් වුනත්, පරීක්ෂාවෙන් කටයුතු කළත් සංවරගති නැත්නම් ඒ පුද්ගලයා ගැන කවුරුවත් පහදින්නේ නැහැ. සංවරනම් බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සාදු සමාජයක් මිහිපිට බිහිවේවි. ‘විනයො නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය විනය යැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසයි. ඒ වගේම ‘විද්‍යා දාදති විනයං’ හික්මුණු ගතිය නැතිනම් ඉගෙනීමෙන් ඵල ප්‍රයෝජනයක්ද නැහැ. මනා සංවරය තුළින් පුද්ගල සංවර්ධනය,, ආධ්‍යාත්මික සංවර්ධනය, සමාජ සංවර්ධනය කියන මූලික අපේක්ෂාවන් තුනක් සංවර්ධනය කර ගන්න පුළුවන්. සංවර තැනැත්තා අප්‍රමාදවීමේ හේතුවෙන් ධනය වැඩිකර ගන්නවා. ඔහුගේ හොඳ නම සමාජයේ පැතිර යනවා. බියක් සැකක් නැතිව සමාජයේ හැසිරෙන ඔහු සිහි නුවණින් යුතුව කළුරිය කරලා හොඳ තැනක උපදිනවා. වැඩදායි නොවන කායික, වාචසික ක්‍රියාවන්ගෙන් වැළකී (විරමණය) වැඩදායි ක්‍රියාවන්හි යෙදීම (සමාදානය) ඔබට මෙන්ම අනුන්ට හිතකර බව සිතා ඔබේ අයිතිවාසිකම් සුරකමින් සමාජ ස්ථාවරත්වය සමෘද්ධිය සැලසීමට ඔබ වඩාත් සංවරශීලිවන්න. අනුන්ටත්, තමන්ටත්, මුළු පරිසරයටත් හානි නොවන ලෙස දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමටයි ධම්ම ජීවිනෝ – ලෞකික ජීවිතය සාරවත් වන්නේ ධාර්මික ජීවන ප්‍රවෘත්තියෙනි. වංචාවෙන් රැස්කරන ධනය සොරසතුරු කරදර අපමණ ඇතිවීමට හේතුකාරක වේ. කාම වස්තුවල නොඇලී, උදාසීන නොවී, දෙවි මිනිස්, නිවන් යන තිවර්ග සම්පත් ලබා ගැනීමට උපකාරවන වැඩෙහි නිරතවීමයි. අප්පමත්තස්ස මුලානොවූ සිහි ඇතිබවද දෙලොව ශාන්තියට සසරදුකින් මිදී නිවන් සුවෙන් සැනසීමට මහෝපකාරී වේ. අප්පමත්තස්ස’ අප්‍රමාදය කියන්නේ මව්පියන්ට සලකමින්, කුල දෙටුවන් පුදමින්, මිහිරි බස් කියමින්, කේලම් නොකියමින්, සත්‍යයම කතාකරමින් , මසුරුකම් දුරලමින්, ඉවසීමෙන්, අප්‍රමාදව කටයුතු කිරීමෙන් කියන මේ සත්ත්වත සමාජශීලි ව සම්පූර්ණ කළ නිසයි. මේ කරුණු නිතර පුරුදු පුහුණු කිරීමෙන් ඔබට අපමන සෙත ශාන්තිය ලගා කරගත හැකි වේවි. ඊටත් වඩා සෙත්කවියක් මේ අනන්ත විශ්වයම පීරා බැලුවත් සොයාගන්නනම් ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේ සෙත්කවිය නිතර පාඩම්කර උදේ සවස ගායනා කරන්න.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහට ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් යහපත් වචනයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල ...
මහානුභාව සම්පන්න කඨින පූජාවකට සම්බන්ධ උනෙමි.

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.