බුදුසමිදු දැකගනිමු …

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.

පින්වතුනි බෞද්ධයන් හැටියට ඔබ බුදුරජාණන් වහන්සේ පිලිබද සිටින්නේ මොනතරම් අවබෝධයින් දැයි මොහොතක් සිතුවාද? අද බොහෝ දෙනෙක් බුදුවරයෙක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ. සමහරු නිර්දය ලෙස අපහස කරනව උන්වහන්සේට. බුදු හිමියන් කවුරුන්දැයි උන්වහන්සේ හදුන්වා දුන් අවස්ථාවක්‌ අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ චක්‌ක වර්ගයේ “ද්‍රෝණ ලෝක සූත්‍රයේ”සදහන්වනව. බුදුරජාණන් වහන්සේ දිනක් උක්කට්ඨා සහ සෝතව්‍යා නගර මැදින් වඩිමින් සිටියා. එහි දී ද්‍රෝණ නම් බමුණා බුදුරජාණන් වහන්සේ ගේ පා සටහන් දැක මේ නම් ඒකාන්තයෙන් ම මනුෂ්‍යයකු ගේ පා සලකුණු නොවන්නේ යැයි කල්පනා කළේය. උපශාන්ත ඉරියව්වෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක මෙසේ විමසන්නේ ය.

“ඔබ වහන්සේ දෙවියෙක් ද?”
“බමුණ මම දෙවියෙක් නොවෙමි.” බුදු හිමියෝ පිළිතුරු දුන්හ.
“ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද?”
“මම ගාන්ධර්වයෙක් ද නොවෙමි.”
“ඔබ යක්ෂයෙක් ද?”
“බමුණ මම යක්ෂයෙක් ද නොවෙමි.”
“එසේ නම් ඔබ මනුෂ්‍යයෙක් ද?”
“බමුණ මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.”


“ එසේ නම් ඔබ වහන්සේ කවුදැයි මට හඳුන්වා දෙනු මැනවි” යි ආයාචනා කළේය.
එවිට මුවපියුම විදහාහල වීතරාගිකයාණෝ “බමුණ, කෙලෙස් මල දෝතගෙන කාම ගින්නේ දැවෙන දෙවියෙකු බ්‍රහ්මයෙකු මිනිසකු හෝ යක්ෂයෙකු නොවෙමි. කෙලෙස් තනන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ දෘෂ්ටීන් මා විසින් සිද බිද දමා ඇත්තේය, සත්වයා සසරටද බැද තබන තණ්හාව නම් යොතින් මා මිදීසිටිමි’’. ‘‘නෙළුම්මලක්‌ දියෙහිම හටගෙන, හැදී වැඩී, පෝෂණය වී එම දියෙහිම ඉස්‌මතු වන්නේය. එසේ මතුවන නෙළුම දියෙහි නොගැටී තිබෙන්නේ යම් සේද, මම ද මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී, හැදී වැඩී පෝෂණය වී නෙළුම දියෙන් ඉස්‌මතුවී, දියෙහි නොගෑවී නොගැටී සිටින්නා සේ මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී, හැදී වැඩී පෝෂණය වී, ලෝකයාට ගැටීමක්‌ නොමැතිව, ඇලීමක්‌ නොමැතිව ලෝකයේ ඉස්‌මතුව සිටින්නේය. මම මනුෂ්‍යයෙකි. කෙලෙස් ගග සිද සම්බුද්ධත්වයට පත්වූ භාග්‍යවතෙකි’’. (බුද්ධෝති මං බ්‍රාහ්මවේධාරිනි) – අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රය.
මේ ගැටලුවම උපක ආජීවකයා ඇසූ අවස්ථාවේ දුන් පිලිතුර වූයේ “මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි. ”යි වදාල සේක.
පින්වතුනේ මේ උත්තම මනුෂ්‍ය රත්නය මුලු විශ්වයම ජයගත්ත කෙනෙක්. ඔබ දන්නවනෙ රතන සූත්‍රය ගැන. කෝටිලක්ෂයක් සක්වලට ආඥාචක්‍රය පැතිරුව රතන සූත්‍රය තුලින්.
පින්වත් ඔබ කියවල තියෙනවද සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය. එම සූත්‍රයේ කියවෙනව
බුදුහාමුදුරුවන් මුලු විශ්වය පුරාම සිටින ජීවීන්ට ආමන්ත්‍රණය කරන ආකාරය. පින්වත් යාලුවනේ ඔයාල ඔය සූත්‍රය කියවල සම්පූර්ණ විස්තරය දැනගන්න. දැන් පැහැදිලිද අපේ බුදුහාමුදුරුවො කොහොම කෙනෙක්ද කියල.

පින්වතුනේ බුදුහාමුදුරුවන්ට ක්ෂේත්‍ර තුනක් තියෙනව. ඒ තමයි බුදධ ක්ෂේත්‍රය, ආඥා ක්ෂේත්‍රය හා විෂය ක්ෂේත්‍රය. මේ බලන්න
1. සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000 = සක්වල 103 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්‍රය

2. ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 106 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්‍රය. බුදුවරයෙක් උපත, බුදුබව, ප්‍රධම ධර්මදේශනය, පිරිනිවීමේදී මංගල ලකුනු පහලවේ. මේතාක් සක්වලක එම මංගල ලකුණු පහලවේ.

3. ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000X1000 = සක්වල 109 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්‍රය. රතන සූත්රය වැනි සූත්‍ර මෙතරම් දුර ආඥාව පතුරවයි.

4. අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්‍රය. බුදුහිමියන්ට අනන්ත ලෝක ධාතූන් පිලිබද අපමණ දැනුමක් ඇත.

පින්වත් යාලුවනේ, මෙතරම් මහා බලගතු උත්තමයෙක් නේද මගෙ බුදුපියාණන් වහන්සේ. ඒත් උන්වහන්සේ මොනතරම් සරල සාමාන්‍ය මනුෂ්‍ය රත්නයක්ද? රුවන් වැහි වස්සවන්න පුලුවන් තරම් මහ බලගතු උත්තමයෙක් නේද සිව්රයි පාත්තරෙයි අරන් ගස්කොලන් යට වැඩ උන්නෙ.
හිතන්න පින්වතුනේ. කොහෙවත් නොපෙනෙන දෙවියෙක් මගින් නැතිව තමන් වහන්සේ කර්ම ශක්තියෙන් අම්මගෙ කුසට ආව. කාගෙවත් පණිවිඩයකින් ආවෙ නෑ. හැබැයි සතරවරම් දෙවිවරු මව්කුසට හානි නොවෙන්න රැක්ක කියල කියනව. බොහොම සාමාන්‍ය විදිහට අම්මගෙ කුසින් එලියට ආව. එතුමන් සහම්පතී බ්‍රාහ්මණය දෝතට පිලිගත්ත කියල සදහන් වෙනව. මහා පුදුමයන් දක්වමින් උපන් හැටියෙම ඇවිදගෙන ගියා.
( ඔය ඉංග්‍රීසි ජාතික ළමයෙකුත් එහෙම ඇවිදල කථාකල බව මම පසුගිය කාලෙක තොරතුරක් දැක්ක. ඒ කියන්නෙ ඒකත් පින්වන්තයින්ට සාමාන්‍ය දෙයක්. ) ඊලග‍ට ලොව පහල උන ශ්‍රේෂ්ඨතම පුතා පියවර හතක් ඉදිරියට ඇවිදගෙන ගියා. ලෝකයට සිංහනාද කලා.
බෝසත් පුතෙක් ඉපදුනු කුසක් නැවත වෙන කෙනෙකුට ඉපදීමක් වෙන්න බැරි තැනක්. ඒ නිසා මව දින හතෙන් මැරුන. ඒක නියමයක්. ඒවගේ නියම තිස්ගණනක් තියෙනව. මට හරියටම මතක නෑ. මම පොස්ට් එකක් දාන්නම්කො ඒ ගැන. උදාහරණයක් විදිහට ඔය සත්පියුම් මත වැඩම වීම, දින හතෙන් මව මියයාම, අභිනිෂ්ක්‍රමණය, මේව සෑම බෝසත්වරයෙකුට පොදු කාරනා.
ඉතින් බොහොම සාමාන්‍ය දරුවෙක් වගේ ලොකු මහත් උනා. විවාහ උනා. දරුවෙක් ලැබුව. සසර කළකිරුන. මහණ උනා. සත්‍යය සොයා ගියා. නොලැබුන තැන තනියම උත්සාහ කලා. අන්තිමේදි ලොව්තුරු සම්බෝධියට පැමිනුනා. බලන්න මොනතරම් සරල විදිහට සාමාන්‍යය විදිහට ජීවිතය ගලා ගියාද කියල.
දැන් කලින් කියෙව්වනෙ මගෙ බුදුපියාණන් වහන්සෙගෙ හැකියාවන්. ඉතින් එවන් උත්තමයෙක් මොනතරම් ආඩම්බර වෙන්න ඕනිද? බලන්න බුදුහාමුදුරුවො ගතකල ජීවිතය. සමහර දාට එලිවෙනකම් ගසක් මුල. සමහරදාට කොහේ හරි ගල්ලෙන. නැත්නම් ලොකු පර්වතයක් යට. ජේතවනාරාමය, වේලුවනාරාමය, පූර්වාරාමය, ආදී අනන්තවත් සුවපහසු තැන් තියද්දි නේද මේ එලිමහනෙ වැඩ හිටියෙ. ඇයි ඒ. මගෙ බුදුහාමුදුරුවො කිසිම දෙයක් අල්ලගෙන නැති නිසා. උන්වහන්සේට කොතනත් එකයි. මහා ආරාමයත්, දුගී කුටියත්, ගහ කොලත්, ගල් ලෙනත් උන්වහන්සේට වෙනසක් නෑ. පොරවන් ඉන්න සිවුරයි, තව සිව්රකුයි, පාත්තරෙයි හැර අන් කිසිවක් උන්වහන්සේට නෑ. හරිම සැහැල්ලුයි. හරිම අල්පේච්ඡයි.
මේ මහා පුරුෂයට මහා මන්දිරවලින් ආරාධනා ලැබුන දාන වේලට. අවශ්‍ය ඕනෑ වෙලාවක ඕනිම රජ ගෙදරකින් දානෙ ගන්න තිබුන. ගත්තද ? නෑ. අසරණ අහිංසක පැල්පත් ගානෙ වැඩිය. අසරණ මිනිස්සු බනිද්දි, කුලියක් කරන් කාපන් කියද්දි, සිගාකනව කියල අපහාස කරද්දි පවා ඒ ඇත්තන්ට මහා කරුණාවෙන් ඒ තැන් වලටම වැඩම කලා. අක්කෝසක බාරද්වාජ බමුණා කෙරේ මෙත් සිතින් එහි වැඩිය වෙලේ “ කුඹුරක් කරන් කාපන් ” කිව්ව. “මමත් කුඹුරක් වපුරනව” කියල දහම් දෙසුව නේද? රජවරු සිටුවරුන්ගේ දැඩි විරෝධය මැද්දේ අම්බපාලී ගණිතාවගේ දානයට වැඩිය නේද? ඒතියා තමන්ගෙ ගෙදරට ගිහින් පවා කිඹුල්වත්නුවර පුරා පිඩුසිගා වැඩිය. ගෙදර බත්ටිකවත් බලෙන් ඉල්ලන් කන්න ගියෙ නෑ නේද? වේරංජනාවේ වස්කාලයෙදි අපූරුවට වෙන තැන්වලට ඍද්දියෙන් වඩින්න තිබුනෙ නැද්ද? දස සහශ්‍රී ලෝකධාතුව කම්පාකල උත්තමයෙකුට අල්ලපු ගමට ඍද්ධියෙන් යන්න බැරිද? ඒත් ගමේ මිනිස්සු එක්ක එකට දුක බෙදාගත්ත නේද? අශ්වයන්ට දෙන කෑම වලදල සැනසුනා. වරක් මාරය බුදුහිමියන්ට දානෙ ලැබෙන එක නැවැත්තුව නේද? දානෙ නොලැබිල ආපසු වඩිනකොට මාරය හිනාවෙලා කිව්ව ආයි වඩින්න, දානෙ ලැබෙයි කියල. වැඩියද? නෑ කුසුගින්නෙ ඉවසන් හිටිය පහුවදා වෙනකල්. මේ තමයි අපේ බුදුහාමුදුරුවො.
තමන්ගෙ පුතා රාහුල, සැඩොල් කුලේ සුනීත, සොහොනෙ තනිඋන සෝපාක, මේ කවුරුත් එකම මට්ටමින් සැලකුව නේද? මගෙ පුතා රාහුල කියල වැඩියෙන් සැලකුවද? කවදාවත් නෑ. අනිත් අයට අඩුකුලේ කියල අඩුවෙන් සැලකුවෙත් නෑ. සෝපාක අමුසොහොනෙ ඉද්දි, කෑගහද්දි, අඩද්දි, බුදුහාමුදුරුවො ගදකිලියෙන් දම්සභා මණ්ඩපයට වඩිමින් සිටි අවස්ථාවයි. ඒ මහා කරුණා දෙනෙතට ඒ අසරණ දරුවව හසුඋනා. මහ ජනතාවගේ සාධුකාර හඩ මැද්දෙ වඩිනගමන් ක්ෂණිකව අතුරුදන් උන උන්වහන්සේ ඊලග නිමේශයෙ දම්සභා මණ්ඩපයෙ පෙනී හිටියෙ පුංචි පුතෙක් අතින් අල්ලගෙන. ඒ තමයි පුංචි සෝපාක පුතා බුදු පියාණන් ලගට වැඩි හැටි.
සුනීත පුතා සැඩොල් කුලේ උපන් දරුවෙක්. එයා කුණු අදින රස්සාවක් තමයි කලේ. උදේ පාන්දර පුතාගෙ මුහුන දකින මිනිස්සු පුතාගෙ මුහුණට කෙළ ගහනව. ගල්මුල් අරන් පුතාට ගහනව. දවසක් පුතා පාන්දරින්ම පාරවල් අතුගානව. බුදුහාමුදුරුවො මහ සගරුවනත් එක්ක ඒ පාරෙම වඩින ගමන් ඉන්නෙ. බුදුසාදු දැකල පුතා හැගුනා. පෙර පින් ඇති පුතාගෙ සසර ගමන වැඩි කලක් නොගොස් හමාරවෙනබව බුදු කරුණා දැලට හසුවුන පුතා ගැන බලපු බුදුසාදුට පෙනුන. “සුනීත මෙහෙ එන්න” බියෙන් ගැහෙමින් ලගට ආපු සුනීත පුතාගෙ හිස මත ශ්‍රී හස්තය පිහිටියා. සුනීත පුතාගෙ හිස අතගාපු බුදු සාදු සුනීත පුතා සිය භික්ෂු සංඝයා අතරට එක් කලා. අනුන්ගෙ කුණු කන්දල් අතුගාපු සුනීත පොඩිසාදුට තමන්ගෙ කෙලෙස් කුනුකන්දල් ටික අතුගාදමන්න පුලුවන් උනා. උතුම් මහරහත් පදවිය ලැබුව. මේ අපේ බුදුසාදුගෙ මහා කරුණාවේ තරම.
තාත්තගෙ කිසිම අනුකම්පාවක් නොලබපු පුංචි පුතෙක් හිටිය. නම මට්ඨකුණ්ඩලී. තාත්ත වස්තු තණ්හාවෙන් පණ අදින පුතා අගුපිලට දාල තිබුනනෙ. තමන්ගෙ තාත්ත අම්මවගෙන්වත් ආදරයක් නොලබපු පුංචි පුතාව දැකපු මේ මහා පුරුශෝත්තමයගෙ කරුනා දැලට මේ කොලුපැංච අසුඋනානේ. උන්වහන්සේ එතනට වඩිද්දි මේ පැංච පණඅදිමින් හිටියෙ බිත්තිය පැත්ත බලාගෙන. බුදුහාමුදුරුවො කථාකරල කරදර කරන්න ගියෙ නෑ. ෂඩ්වර්ණ රශ්මි ධාරාවක් යවල පුන්චි පුතාට ඉගියක් කලා. නිල්, කහ, රතු, සුදු, තැඹිලිපාට එළිවගයක් බිත්තිය පැත්තෙ පෙනෙද්දි අමාරුවෙන් ඔලුව හරවල බැලුවේ කවුදමේ කියලයි. තිලොවට තිලක අමාමෑණී පියාණන්වහන්සෙ මහා කරැණා දෙනෙතින් ඔහුසෙ බලා ඉන්නව. තමන්‍ෙ අම්මට, අප්පච්චිට අමතක උන තමන්ව බලන්න බුදුසාදු ඇවිත්. පුංචි පුතාට සාධු කියවුනත් එක්කම පුතා මෙලොවින් සදහටම සමුගත්ත. හැබැයි ඒ අපායට යන්න නොවෙයි. මට්ඨකුණ්ඩලී නම් ගව් තුනක් උස විමානයක් හිමි මහේශාක්‍ය දෙවිකෙනෙක් විදිහට උපතලබමින්. බලන්න මොනතරම් කාරුණික පියෙක්ද මගෙ සම්බුදු මැණික.
තවත් අවස්ථාවක අහිංසක අම්මකෙනෙක් කාගෙන්වත් පිලිසරණක් නැතිව ජීව්වෙන වෙලාවක් තිබුන. අම්ම අද මියයනව. අම්මගෙ ඇස්පෙනීමත් හරිම දුර්වලයි. යන්න එන්න බෑ. හොදටම ජරාජීරණ වෙලානෙ හිටියෙ. මහාකරුණාදෙනෙතින් දුටු මේ අසරණ අම්ම ඉන්නතැනට පයින්ම වැඩමකලානෙ. බුදුහාමුදුරුවො වැඩිය කියල අම්මට අවබෝධයක් නෑ. ආනන්ද හාමුදුරුවො මේ අසරණ අම්මට කියනව “ අම්මෙ මේ ඉන්නෙ තුන්ලොවටම තිලක වූ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ, සාධු කියන්න” කියල. අම්ම දොහොත්මුදුන්දීල සාධු කිව්ව විතරනෙ. මියපරලොව ගිහින් සුගතිගාමී උනා.
මහාපන්ථක සහ චුල්ලපන්ථක අයියයි මල්ලි බුදුසසුනෙ මහණ උනා. අයිය හොදින් ඉගෙන ගත්ත. මල්ලි පෙර අකුසලයක් කරල තිබ්බ. පෙර භවයක ඉගෙනගන්න බැරි යහලුවෙකුට ඔච්චම් කරල. ඒ පව නිසා මාස තුනක් යනකලුත් එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැරිඋනානෙ. අයිය මල්ලිව එලවල දැම්ම. “දුවනව ගෙදර, මෙහෙඉදල වැඩක් නෑ. ගිහින් වෙලදාමක් කරන් ජීවත්වෙනව. ඔයාගෙන් ශාසනේට වැඩක් නෑ”කියල. ඒත් පුංචි මල්ලිය සිව්රෙ ඉන්න හරි කැමතියි. යන්න හිත නෑ. මොනව කරන්නද? යන්නකිව්වනම් යන්න එැයි. අඩ අඩා පන්සලෙන් එලියට ගියා. මේ කාරණය මගෙ බුදුසාදුට පෙනුන. සසර කතර පුරාම මාගේශාසනය තුල නිවන් දකින්න පෙරුම් පුරපු පංචිපුතාට නිවන ම‍ගඇරෙන්න දෙන්න බෑ. ආයිත් කල්ප කෝටිගානක් මෙ පුතාට සසරෙ දුක්විදින්න වෙයි. පුතාගාව පෙනීහිටපු මේ මහාකාරුණික පියා ඉතාම කරුණාවෙන් හිස අතගෑවනෙ. උන්වහ්සේ සියල්ලම දන්නව. ඒත් පුතාගෙ හිතේ තියෙන වේදනාව ඉවත්වෙනකම් අඩන්න ඉඩදෙන්න ඕනි නිසා “ පුංචිහාමුදුරුවනේ කවුද ඔබවහන්සේට තරවටුකලේ ”යි මහා කාරුණික දෙනෙත් යොමා ඇසුව. පුංචි හාමුදුරුවො ඉකිගහ ගහ අඩමින් කියපු සියල්ලම අහගෙන හිටපු මේ දයාබර තාත්ත “පොඩි හාමුදුරුවනේ, ඔබවහන්සේ පැවිදි උනේ මම වෙනුවෙන්. මම ඔබවහන්සේට යන්න කිව්වෙ නෑ. ඔබවහන්සේ මාඑක්ක එන්න”යි කියමින් හිරුඑළිය තියෙන තැනට එක්කගෙන ගියා. සුදුපාට රෙදිකෑල්ලක් දීල “රජෝහරනං, රජෝහරනං ” කියල පිරිමදින්න දුන්නනෙ. පෙර කල කුසල් බලෙන් වහා සත්‍ය අවබෝධකරගත් උන්වහන්සේ මනෝමය ඍද්ධිරෑප මවන්නන් අතර අග්‍රස්ථානය ඇති මහ බලසම්පන්න මහරහතන්වහන්සේ නමක් උනානෙ. බලන්න මහා කරුණාවක තරම.
බුදුහාමුදුරුවො දවසක් විහාර චාරිකාවෙ යන අතර ලෙඩවෙලා හොදටම අමාරුවෙච්ච තිස්ස හාමුදුරුවො දැක්ක. එතුමාගෙ ඇගපුරාම ගෙඩි ඇවිත් ඒව පුපුරල සැරව ගලල ඒව සිවුරටම ඇලිල. ඇගේ ඇට දිරල ගිහින් කෑලිවලට කැඩිල. ඒ නිසාම උන්වහන්සේව පූතිගත්තතිස්ස නමින් ප්‍රසිද්ධ උනා. කවුරුත් උපස්ථාන කරන්නෙ නෑ. බුදුහාමුදුරුවො උන්වහන්සේගාවට වැඩමකලා. ආනන්ද හාමුදුරුවන්ට කියල උණුවතුර ටිකක් සකස්කරගත්ත. වහාම තිස්ස හාමුදුරුවන් ඇදත් එක්ක එලියට ගත්ත. ශරීරයේ ඇලිල තියෙන සිවුරු ඉවත්කරල පිරිසිදු කරන්න පටන්ගත්ත. අනිත් හාමුදුරුවරුන්ට පුදුමයි වගේම හරිම ලැජ්ජ හිතුන. බුදුහාමුදුරුවො තිස්ස හාමුදුරුවන්ගෙ සැරව පිරුන සිව්ර තමන්ගෙ අතින්ම පිරිසිදු කලානෙ. අනිත් දේවලුත් පිරිසිදු කලා. ඒක අව්වෙ වේලෙන්න ඇරල උණුවතුරින් හාමුදුරුවන්ගෙ සිරුර පිරිසිදුකලා. ශ්‍රී හස්තයෙන් ඒ සැරව පිරිල තුවාල උන සිරුර පිරිසිදු කලා. ඒ වැඩේ ඉවරවෙනකොට සිවුර වේලිල. හොදින් ඇග පිහදමල සිවුර පෙරෙව්ව. ඇදේ හාන්සිකලා. “ඔබවහන්සේට දැන් සනීපයක් දැනෙනව නේද? ” මගෙ සම්බුදු මැනික නෙලුම්මල් සුවද විහිදෙන ශ්‍රීමුඛය විවරකරමින් ඇසුව. තිස්සහාමුදුරුවන්ගෙ ඇස්වලින් කදුලු කඩාහැලෙනව. තමන්වහන්සේ කාටවත් උවටැන්කලේ නෑ. ඒනිසාම තමන්වහන්සේ වෙනුවෙන් කිසිකෙනෙක් උදව්කරන්න ආවෙ නෑ. දරුවො මොන වැරැද්ද කලත් දෙමාපියො ඒව හිතන්නෙ නෑ. සම්බුද්ධ නම් වූ මේ පියතුමා ඒ යුතුකම ඉටුකලා. “තිස්ස, අපි හැමෝම ඉපදෙනව, ලෙඩවෙනව, වයසට යනව, මැරෙනව තිස්ස. මේ දේට අපි කොයිතරම් කාලෙක දල මුහුණ දෙන්න ඇද්ද? තව කී කාලයක් මුහුණදෙන්න වෙයිද? මේ ගමනෙ ඉවරයක් නෑ තිස්ස. ශරීරයට තියෙන ආශාව අත්හරින්න. මේ ශරීරය මහා දුකක් නේද? ඔබට ඒක වැටහුණානේද? ශරීරය කියන්නෙ අශූචි පිරුන මැටි භාජනයක් තිස්ස. ඒ මැටිභාජනයත් දවසක විනාශවෙලා යනව. ආයි අලුතින් මැටි භාජනයක් හැදෙනව. අනන්ත සසර පුරා මේදුක වින්ද ඇති තිස්ස. දැන් නිදහස් වෙන්න.” බුදුහාමුදුරුවො කියන තාත්ත තමන්ගෙ පුත්‍රයට මහා කරුණාවෙන් අවවාද දෙන්න පටන්ගත්ත. තිස්ස හාමුදුරුවො කදුලුපිරි දෙනෙතින්ම අනිත්‍ය සිහිකලා. සිත කෙලෙස්වලින් නිදහස් උනා. කාමලෝකයෙන් නිදහස් උනා. උන්වහන්සේ අපවත් උනේ නෑ. ගෝතම සසුන එකලුකල තවත් එක් රහතන්වහන්සේ නමක් විදිහට පිරිනිවන් පෑව. “ මහණෙවනි, ගිලනුන්ට උපස්ථාන කරන්න මට උපස්ථාන කරන්නෙකි.” සම්බුදු මැනික අවසානයේදී දේශනාකලා.
දේවදත්ත කියන්නෙ ගිහිකාලෙ හිටපු මස්සිනා. බුදුහාමුදුරුවො බුදු තනතුරෙන් පන්නල එයා බුදු තනතුරට එන්න කුමන්ත්‍රණ කලා. ඒබව බුදුහාමුදුරුවො කලින්ම දැනගෙනයි හිටියෙ. තමන්වහන්සේ මරන්න, අපහාස කරන්න දෙවිදත් උත්සාහ කරනව කියල. දැන දැන ඇයි දේවදත්තයන් මහණ කරගත්තෙ. දේවදත්තයන් අවසන් අවස්ථාවේ බුදුසරණ ගියා. හාමුදුරු නමක් විදිහට බුදුසරණ ගිය නිසා දේවදත්ත අවීචියේ පැසෙන කාලය අඩු උනා. මේ මහා කාරුණිකයන් අනුන්ගෙ සැපත වෙනුවෙන් තමන්ගෙ සැපත පරිත්‍යාග කලේ එහෙමයි.
බුදුහාමුදුරුවො ජේතවනාරාමයෙ ටික කලත් වැඩ ඉදල නැවත ධම්මචාරිකාවෙ යන්න අදහස්කලා. තව කලක් වැඩඉන්න කියල අනේ පිඩු සිටුතුමා, කොසොල් රජතුමා, විශාඛා මහ උපාසිකාව කල ඉල්ලීම් ප්‍රතිකක්ෂේප උනා. අනේපිඩු සිටුතුමා දුකින් ඉන්න වෙලාවෙ ගෙදර වැඩකාරිය පුණ්නා හේතුව විමසනව. බුදුහාමුදුරුවො චාරිකාවෙ වඩිනව. තව කලක් වැඩ ඉන්න කිව්වට ආරාධනාව පිලිගත්‍තෙ නෑ. ඕකයි හේතව කිව්ව. “සිටුතුමනි මම බුදුහිමියන් නවත්තගත්තොත් මට මොනවද දෙන්නෙ” ඇහුව. “නුඹ දාසි බවින් මුදවල පින්කම් කරන්න ඉඩදෙනව ” කිව්ව. පුණ්නා ජේතවනාරාමය හැරයන බුදුහිමියන් වෙතට දුවල ගියා. මග හරස්කරමින් වැද වැටුන. කදුලුපුරව‍ගත්තු ඇස් බුදු මුවපියුම දෙසට යොමුකලා. “පුණ්නාවෙනි, මොකදමේ? ” ඒ බුදුහාමුදුරුවො. “ අනේ ස්වාමීනී, තව ටිකකලක් මෙහිම වැඩඉන්න.” පුණ්නා කිව්ව. “ මා මෙහි වැඩ සිටීමෙන් නුඹට ලැබෙන යහපත කුමකද? ” “අනේ ස්වාමීනී, ඔබවහ්සේ ආපසු වැඩියොත් අද මම දාසි තනතුරින් නිදහස්වෙනව. මට මහ පින්කම් කරගන්න පුලුවන්. සසර කෙටිකරගන්න පුලුවන් වෙවි.” පුණ්ණා කිව්ව. මදක් වේලා පුණ්නා දෙදස බලා හිටි බුදුහාමුදුරුවො ආපසු හැරුනනෙ. නැවත ජේතවනාරාමයට වැඩම කාලා. වැඩිකාලයක් ගියෙ නෑ. භික්ෂුනී ආරාමයක පුණ්නා නමින් තවත් මහරහත් මෙහෙණින් වහන්සේ නමක් සම්බුදු සසුනට එක්උනා.
බුදුහාමුදුරුවො අඩුම තරමින් සෝවාන් වෙන්නවත් පින තියෙන ඇත්තන් හොයාගෙන ඈත ගම්දනව්ව පුරා වැඩම කලා. සමහර වෙලාවට ඒ ඇත්තන්ට සෝවාන් වෙන්න වාසනාව තිබ්බත් පින් මදි. බුදුහාමුදුරුවො සතිගණන් ඒ පුද්ගලයට දන්දෙන්න ඉඩ ලැබෙන විදිහට ඒ අහල පහල වැඩ සිටිය. එයාගෙ පින සම්පූර්ණ උන ගමන්ම එයාට ධර්මය දේශනා කරල මාර්ගඵලයට පැමිනෙව්ව. අනේපිඩුසිටුතුමාගෙ හරක් බලාගත්ත ගොපල්ලෙක් හිටිය. නම නන්ද. මෙයා අධික ශ්‍රද්ධාවන්තයි. හොද බොදුනුවෙක්. නිතර බුදුහාමුදුරුවන්ගෙන් බණ අහනව. බුදුහාමුදුරුවනට ආරාධනා කරනව ඒපැත්තටත් වඩින්න කියල. සුදුසු කාලය බලල බුදුහාමුදුරුවො වැඩම කලා. සතියක් තිස්සෙම ඒ නන්දට දන්දෙන්න ඉඩ ලබාදුන්න. පින්රැස්කරගන්න ඉඩදුන්න. අවසානයේ බුදුබණ අහල ඔහු සෝවාන් උනා. දැන් බුදුහාමුදුරුවො ආපසු වඩින්නයි හදන්නෙ. මේ නන්ද ගොපල්ල බුදුහාමුදුරුවන්ගෙ පාත්‍රය අරන් පිටිපස්සෙන් යනව. ටිකදුරක් ගිහින් බුදුහාමුදුරුවො කියනව “නන්ද, ඔබ දැන් ආපසු යන්න” කියල. මෙයත් බුදුහාමුදුරුවන්ට වැදල ආපසු යන්න පිටත් උනා. වැඩිදුරක් යන්න ලැබුනෙ නෑ. වැද්දෙක් සතෙකුට විද්ද ඊතලයක් නන්දගෙ සිරුර පසාරු කරගෙන ගියා. ඔහු එතැනම මිය ඇදුන.
මේ ගොපලු දරුව හරියටම මින් සතියකට පස්සෙ මිය යනබව දැකපු බුදුහාමුදුරුවො සුදුසු කාලය බලල වැඩම කලේ. බුදුහාමුදුරුවො වැඩියෙ නැත්නම් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට නැවත සසරේ අතරමං වෙනව. බලන්නකෝ මොනතරම් මහා කරුණාවක්ද?
දනිය ගෝපාල කියන්නෙ ඉතාම ධනවත් ගොපල්ලෙක්. එයාට විශාල හරක් රංචුවක් හිටිය. එකදවසක් මගෙ බුදුසාදු සවස්යාමෙ දනිය ගෝපාල ජීවත් උන මහීගංතරෙට වැඩිය. එදා වැහිබර දවසක්. ඉතින් සියලු වැඩ කටයුතු ඉවර වෙලා දනිය කවියකින් සිය ජීවිතය සාර්ථකත්වය කියන්න ගත්ත. මම හරකුන්ට තණකොල කවල තියෙන්නෙ. ගේ හොදට සෙවිලි කරල තියෙන්නෙ. ගෙදර කෑම අතිරික්තයකුත් තියෙනව. වැහැපන් වැස්ස ගග ඉතිරිල යන්න, මට ප්‍රශ්නයක් නැහැ කියල.
ඒ වෙලාවෙ අපේ බුදුසාදු ගගේ අනිත් පැත්තෙ ඉදන් ඒ කවිවලට පිලිතුරු කවි කියනව. මට ‍බලාගන්න හරකුන් නැහැ, සෙවලි කරන්න ගෙවලුත් නැහැ, රැස්කරගත්ත කෑමත් නැහැ, වැහැපන් වැස්ස ගග ඉතිරිල යන්න මට ප්‍රශ්නයක් නැහැ කියල. ඉතින් මේ විදිහට දනිය ගෝපාල කියන කවිවලට බුදුසාදු කවියෙන්ම පිලිතුරු දෙද්දි දනියට ටිකින් ටික ධර්මාවබෝධය ලැබන්න ගත්ත. අවසානෙදි දනිය සෝවාන් උනා. එදා රෑ මහ වැස්සට දනියයි, එයාගෙ බිරිද හා දරුවන් ඇතුලු ගව පට්ටියයි සියලු දෙනාම මහ ගංවතුරට ගසාගෙන ගියා. මගෙ වීතරාගී බුදු හාමුදුරුවො ඒක කලින් දැනගෙන තමයි එතෙන්ට වැඩියෙ දනිය ගෝපාල සසර දුකින් මුදවන්න.
කිසාගෝතමයි දරු පැටිය කිහිලිගන්නගෙන ආවෙ බුදුහිමියන්ට කියල පණ උපද්දවගන්නයි. මෙයාගෙ පුතා මැරිල කියල මෙයා විශ්වාස කලේ නැහැ. එයා තැන් තැන්වල ගිහින් පුතා සුවපතත් කරගන්න උදව් ඉල්ලනව. ඒත් මිනිස්සුන්ට ඇය වෙනුවෙන් කරන්න දෙයක් තිබුනෙ නැහැ. එක් නුවණැති මිනිසෙක් එයාව බුදුසාදු ලගට එව්ව. බුදුපියාණන් වහන්සේ ඇයව එලවගත්තද? පිස්සියක් කියල බැනල පැන්නවුද? නැහැ. “ගොත්මියනි, මට පුලුවන් පුංචිපුතාව සුවපත් කරන්න, හැබැයි නැගනියෙ මට අබමිටක් ගෙනත් දෙන්න ඕනි” බුදුසාදු බ්‍රහ්මස්වර විහිදුවමින් නිල්මානෙල් මල් සුවද විහිදෙන මුඛ පද්මයෙන් ගෝතමියට උත්තර දුන්න. ගෝතමියගෙ සතුට ඉහවහ ගියාත “ අබ මිටට අබ ගොනියක් ගෙනෙන්නම් බුදුහාමුදුරුවනේ. මට පුතා හොදකරල දෙනවනම්.” ගෝතමිය පුතත් අරන් අබ ගේන්න දිව්ව. පුංචි දුරක් ගියතැන ඇයිත් කථාකලා. “ නැගනියනි, හැබැයි කිසිවෙක් නොමල ගෙයකින් තමයි අබ අවැසි වෙන්නෙ” ගේතමිය එයද පිලිගෙන දිව ගියා.
සවස්වනවිට ගෝතමිය යලි බුදුහිමියන් පාමුල වැදවැටුන. හැබැයි පුතා කරතියන් හිටියෙ නැහැ. ඒවෙනුවට ජීවිතය පිලිබද මහා අවබෝධයක් කරපින්නගෙනයි ඇය ඇවිත් හිටියෙ. “මට ඇත්ත තේරුනා බුදුහාමුදුරුවනේ, මගෙ පුතා විතරක් නෙවෙයි. තව බොහෝදෙනා මියයනව. මට නිවෙන මග කියාදෙන්න බුදුහාමුදුරුවනේ. ” සංසාරෙ පුරා දරුවන් කරපින්නගෙන දිව්ව කිසාගෝතමිය ඒ සියලු බර බිමින් තිබ්බ. කිසා ගෝතමිය නමින් මහරහත් මෙහෙනියක් මහරහත් පිරිසට එකතුඋනා. බලන්න මහා කරුනාවක අරුමය.
ඇදුම් නැති පිස්සු ගැහැනියක් ජේතවනාරාමෙට දුවන් එනව දැකපු මිනිස්සු කලබල උනා. “මේ මහා පූජෝත්තමයන් වහන්සෙට මේක අපහසයක්. ඇයට එන්න දෙන්න එපා” මිනිස්සු කෑගැහුව. බුදුසාදු මේ සිදුවීම බලාගෙනයි හිටියෙ. ඇයට වෙච්චි ඇබැද්දිය මොකක්ද? මෙවන් ඉරණමකට වැටෙන්න ඇය සංසාරෙ කල අකුසල් මොනවද? ඇයට සසරින් එතෙරවෙන්න මොනතරම් පින්කරල තියෙනවද ? මේ සියල්ල ලොව්තුරු බුදු ඇස දුටුව. “ ආනන්ද, ඇයට මාවෙත පැමිණෙන්න ඉඩදෙන්න ” ඒ බුදුසාදුගෙ හඩයි.
පිරිස මැද්දෙන් ඉදිරියට වැඩි පටාචාරවට “නැගනියනි, සිහිඑළවාගන්න ” යයි සම්බුදු මැනික වදාලා. ඒ ක්ෂණයකින් පියවි සිහිය ලද ඕතොමෝ පිරිසෙහි පුද්ගලයෙකු විසිකල සලුපටකින් විලි වසාගත්ත. “අනේ බුදුහාමුදුරුවනේ, මම අසරණ අහිංසක ගැහැණියක්” පටාචාරාව හඩාවැටුන. බුදුසාදු සියලු විස්තර දන්නව. ඒත් ඇගේ කුදුලු ගංගාවට දෝරගලන්න ඉඩදීල උන්වහන්සේ ඉවසා වදාලා. “ නැගනියණි, අනන්ත සංසාරය පුරාවට ඔබ දරුවන් කොපමණ ප්‍රමාණයකට මව වෙලා ඇතිද? කොපමණ දරුවන් අකල් මරණවලට ගොදුරුවොල ඇතිද? තව සසර පුරා කොතරම් වාරයක් මේ දුක විදින්නද? ” බුදුසාදු කෙමෙන් කෙමෙන් ජීවිතයේ ඇති අස්තිරබව දැක්වෙන ගැඹුරු ධර්මදේශනාවට පිවිසුනා. ධර්මදේශනාව අවසන් උනේ තවත් එක් මෙහෙණියක් සම්බුදු සසුනට එක් කරමින්. දරුවන් අහිමිව ආපු පටාචාරාව කෙලෙස් වනය බිද දමා මහ රහත් මෙහෙණියක් වෙන්න වැඩි කාලයක් ගියෙ නැහැ.

අසරණ ගොවියෙක් කුඹුරක් කරනව දැකපු බුදුහාමුදුරුවො හැමදාම ඔතනින් දනට වඩිනව. කුඹුර සීසාන දවසෙ ඉදල හෙට ගොයම් කපනව කියන දවස වෙනකම් හැමදෑම ගොවියට කථාකරල තමයි පිඩුසිගා වඩින්නෙ. බුදුහාමුදුරුවො ගොවියගෙ හිතට කොයිතරම් සමීප උනාද කිව්වොත් කුඹුර කපල කොටසක් බුදුහාමුදුරුවන්ට පූජ කරන්න ගොවිය තීරණය කලා. එදා රෑ මහ වැස්සකින් කුඹුර විනාශ වෙලා ගියානෙ. ගොවිය ශෝකයෙන් ඇදට වැටිල වැතිරිල හිටිය. එදා බුදුහාමුදුරුවො ගොවියගෙ නිවසටම වැඩියනෙ. ගොවියට කථාකරල තණ්හාවෙ ආදිනව කියල දීල ගොවිය සෝවාන් ඵලයට පත්කලා නේද? තුන්මාසයක් මුලුල්ලේ බුදුහාමුදුරුවො කුඹුර ලගින් වැඩම කලේ මේ තත්වය කලින්ම දැනගෙන නේද? බලන්න මොනතරම් නම් කරුණාවක් බුදු හදවතේ තිබුනද කියල.

කොසඹෑ නුවර උදේනි රජතුමාට යුද්ධයෙදි අපමණ උපකාර කල භද්‍රවතිකා ඇතින්න වයසට ගිහින් කිසිම සැලකිල්ලක් නොලබන වෙලාවෙ බුදුහාමුදුරුවො සිය මහා කරුණා දෙතෙින් මේ කරුන දුටුව. ඇතින්නගෙ දුක බුදු හදවතිතේ මහා කරුණ‍ාවෙන් සුවපත්කලා. ඒ ඇතින්නට නැවත රජ සැප ලබාදුන්න නේද?
බුදුහාමුදුරුවො මොනතරම් මිනිස් ජීවිත බේරගත්තද? නාගදීපයට වැඩියෙ යුද්ධයක් නතර කරන්න. ශාක්‍ය කෝලිය වංශයේ ගැටුම නතර කරන්න වැඩිය නේද? කෝලහාල කොච්චරනම් සමනය කරල ඇත්ද? මිනිස්සු කොයිතරම් නම් සුගතිගාමී වෙලා ඇද්ද? අදවෙනකොටත් දිව්‍ය තලවල මාර්ගඵල ලාභී දෙවිවරු කොතරම්නම් ඇද්ද?

මේ ආකාරයට, රජ්ජුමාලා, ආලවක, අංගුලිමාල, ආදී අපමණ පිරිසකට කොතරම්නම් යහපත සැලසුවද? ඒව ලියන්න ගියොත් මේ ලිපිය ලියල ඉවර කරන්න ලැබෙන්නෙ නෑ
බලන්නකො බුදුහාමුදුරුවො පිරිනිවන්පාලත් උන්වහන්සේ මිනිසුන්ට අපමණ කුසල් කරගන්න ධාතූන්වහන්සේලා කොතරම් ප්‍රමාණයක් ඉතිරි කරල ගියාද? ශ්‍රී මහා බෝධිය ඇතුලු මොනතරම් පූජනීය වස්තු අපිට ඉතිරිකරල ගියාද? ඒ නිසාම අද පවා අපි මොනතරම්නම් කුසල් රැස්කරගන්නවද? එවන් අනන්ත ගුණැති බුදුසමිදු ඔබේ හදවතට අද අදම වැඩමවා ගන්න.

ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් කථාකර මා ශක්තිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

පරිසරය සහ බුදු දහම ...
බෞද්ධ ස්තූපයේ ආරම්භය ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.