අපේ රටටත් ශාසන මණ්ඩලයක් …

2500 බුද්ධ ජයන්තිය නිමිති කැරැගෙන බුරුමයෙහි ධර්මසංගායන‍ාවක් පැවැත්විණි. 1954 සිට 1956 දක්වා පැවැත්වුණු ඒ ධර්මසංගායනාව සංවිධානය කිරීමට ශාසනමණ්ඩලයක් පිහිටුවන ලදී. ධර්මසංගායන‍ාවේ කටයුතු ඉතා මැනවින් සිදු කැරිණි. එයින් සතුටට හා ප්‍රබෝධයට පත් ශාසනමාමක ගිහි පැවිදි උතුමන් ඉදිරි ශාසනික කටයුතු සඳහා ස්ථිර ශාසන මණ්ඩලයක් පිහිටුවා ගන්නට බලාපො‍ෙරාත්තු වුවත් පසුව ඇති වූ රාජ්‍ය පෙරළිය නිසා එය වැළැකිණි. එහෙත් අවුරුදු 24 කට පසු 1980 මැයි 22 වැනි දා ලක්ෂයකට අධික භික්ෂූන් වහන්සේ වෙනුවෙන් රැස්වූ දහසක් පමණ භික්ෂූන් වහන්සේ දින හතරක් සාකච්ඡා කොට “මධ්‍යම සංඝ පාලක සභාව” නමින් ශාසන මණ්ඩලයක් පිහිටුවා ගෙන ඇත.

සියමේ “ගණසංඝ පාලක සභාව” නමින් ශාසන මණ්ඩලයක් පිහිටුවා ගන්නා ලද්දේ බුද්ධ වර්ෂ 2484 වැන්නෙහි ය. එනම් මීට අවුරුදු 51 කට පෙර ය. සියමේ සංඝරාජ මාහිමියන් වහන්සේ රාජ වන්දන – ම‍ානන – පූජා ලබමින් මහත් ගෙ‍ෟරවයෙන් වැඩ සිටිති. රාජ්‍ය සභාවේ පනතකින් සම්මත වූ මේ ශාසන මණ්ඩලය ඉතා ප්‍රබල ය. සියලු ශාසනික කටයුතු දහයකට බෙදා ගණසංඝ මන්ත්‍රී භික්ෂු ඇමතිවරුන් දස නමක් පත් කොට ඇත. ඒ අමාත්‍ය සංඝ සභාවේ මූලාසනය ගන්නේ සංඝනායක මාහිමිපාණන් වහන්සේ ය. රටෙක පාලනය පහසුවට මහ නගර සභා, නගර සභා හා සුළු නගර සභා තිබෙන්නාක් මෙන් ශාසනික කටයුතු මැනැවින් කිරීම සඳහා ප්‍රදේශ අනුව පළාත් සංඝ සභා පිහිටුවා ඇත. මේ මනා වැඩ පිළිවෙළ නිසා තුන් ලක්‍ෂයකට අධික භික්ෂූන් වහන්සේත් විසිපන් දහසකට අධික විහාරාරාමත් මැනැවින් පාලනය වේ. මේ සංඝ සභාව ගන්නා තීරණ රජය හිස නමා පිළිගනී. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ශාසන දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඇත.

ලෝකයේ පැරණි ම සංවිධානය බුදු රජාණන් වහන්සේගේ සංඝ සභාව යි. බුදු වූ වර්ෂයෙහි ම පැමිණි නවම් පුණු පොහෝ දා සැරියුත් මුගලන් දෙ මහ රහතන් වහන්සේ ඇතුළු ප්‍රථම සංඝනිපාතය විය. බුදු වී අවුරුදු විස්සෙකින් පොහොය කිරීම් ආදී විනය කර්ම සිදු කිරීමට සංඝයාට ම පවරන ලදී. මීට අවුරුදු දෙ ‍දහස් පන්සිය අසූවකට පෙර ආරම්භ කළ මේ සංවිධානය හෙවත් සංඝ සභාව අද වන තුරු නො සිදී පවතී.

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ගිය තැන වජ්ජිපුත්තක භික්‍ෂූන් නිසා ශාසනාර්බුදයක් ඇති වී එය සංසිඳුවීමට රාජ්‍ය සහාය ද අවශ්‍ය වීය. එලෙසින් අර්බුදය සංසිඳුවා දෙ වැනි ධර්මසංගායනාව සිදු කැරිණි. ධර්මාශෝක රජතුමාගේ කාලය වන විට රාජ්‍ය සහාය පමණක් නො ව රාජ්‍ය බලය යොදන්නට ද සිදු විය. ධර්මාශෝක රජතුමා රාජ්‍ය බලය යොදවා දුශ්ශීලමල සෝදා හැර ශාසන ‍ෙශා‍්ධනය කළේ ය. අනතුරුව තෙ වැනි ධර්මසංගායනාව කොට ශාසනය සුරක්‍ෂිත කැරිණ.

ශ්‍රී ලංකාවෙහි ද බෞද්ධ රජවරු ශාසනාර්බුද ඇති වූ අවස්ථාවන්හි දී රාජ්‍ය බලය යොදා දුශ්ශීලමල දුරලා ධර්මසංගායනා හා කතිකාවත් ක්‍රියාවට නංවා ශාසනය සුරක්ෂිත කළහ.

බෞද්ධ රජවරුන් නැති වී විදේශීය පාලනය ඇතිවූවාට පසු බෞද්ධ තත්ත්වය හොඳට ම දුර්වල විය. බෞද්ධකම නැති කරන්නට ඔවුන් කඩුව, තුවක්කුව, හමුදාව යන හැම බලයක් ම යෙදුවා. හැම අපරාධයක් ම කළා. ක්‍රෛස්තවයන් බලවත් වී සංවිධානය වුණා. එ‍් සංවිධානය 1885 දී නීතිගත සංස්ථා තත්ත්වය ලබා ගත්තා. එයින් ඔවුන් තවත් ප්‍රබල වුණා. බෞද්ධයන් තවත් දුර්වල වුණා.

බත්තරමුල්ලේ ශ්‍රී සුභූති මාහිමි, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමි ආදී විරෝදාර උතුමන් නිසා බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා. 1880 දී සෙන්පති ඕල්කට්තුමාගේ පැමිණීමෙන් බෞද්ධයන්ගේ ප්‍රබෝධය වැඩි වුණා. අනගාරික ධර්මපාලතුමා, බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්‍ද්‍රතුමා ආදී උදාර පුරුෂයන් ඉදිරියට ආවා. පරමවිඥානාර්ථ බෞද්ධ සමිතිය, මහාබෝධි සමාගම, කොළඹ තරුණ බෞද්ධ සමිතිය, සමස්ත ලංකා බෞද්ධ සහා සම්මේලනය ආදී බෞද්ධ සංවිධාන ඇති වුණා.

බෞද්ධ ප්‍රබෝධය දිනෙන් දින ම වැඩි විය. ඒ අතර ම බෙ‍ෟද්ධ සංවිධානයක් නැතිකමේ පාඩුව කැපී පෙනෙන්නට විය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙබඳු කරුණු සොයා බලා වාර්තා කිරීමට 1954 අප්‍රේල් 2 වැනි දා බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා පත් කරන ලදී. 1956 පෙබරවාරි 4 වැනි දා ඉදිරිපත් කැරුණු එම වාර්තාවෙහි බුද්ධ ශාසන මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කැර ඇත. එබඳු යෝජනා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් සැකැසීම සඳහා පත් කරන ලද බුද්ධශාසන කොමිෂන් සභාව බුද්ධශාසන මණ්ඩලයක් පිහිටුවීමට ආදර්ශ සැලැසීම හා පනතක් 1959 දී ඉදිරිපත් කරන ලදී. යෝජිත බුද්ධශාසන මණ්ඩලයේ පරමාර්ථ හා ක්‍රියාකාරිත්වය මෙසේ ය.

 

  1. බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවයේ ම අයිතිවාසිකම් රැක ගැනීම .
  2. බුද්ධ ශාසනයට අදාළ සියලු ම කරුණු පිළිබඳ ව රජයට උපදෙස් දීම.
  3. බුද්ධ ශාසනය පිළිබඳ ව බෞද්ධ රජවරුන් වෙත එවකට පැවරී තිබූ වර්තමාන රජය මඟින් සිදු නෙ‍ාවන්නා වූ යුතුකම් සියල්ල ම බාර ගෙන නිසි පරිදි සිදු කිරීම.
  4. රජය මඟින් බුද්ධ ශාසනය පිළිබඳ ව පවත්නා වගකීම්වලින් විටින් විට අත්හැරීමට බලාපොරොත්තු වන වගකීම් ඇත්නම් ඒවා පවරා ගැනීම.
  5. බෞද්ධ ජනතාව එක්සත් කිරීමට කටයුතු සංවිධානය කිරීම.
  6. ආගමික සිරිත් විරිත් ශාසනානුලෝම ව සකස් කිරීම.
  7. බෞද්ධ පර්යේෂණ කටයුතු පිළිබඳ උනන්දුව ඇති කිරීම, සමාජය හැඩගැස්වීමේ බලවේගයක් වශයෙන් බුද්ධ ශාසනයට නියමිත තැන නැවතත් ලබා දීම පිණිස ධර්මානුකූල ව වර්තමාන ප්‍රශ්න විසඳීමට උපකාර වන පර්යේෂණ පැවැත්වීමට අනුබල දීම.
  8. භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය සකස් කිරීම හා ගිහියන්ගේ බුද්ධ ධර්ම ඥානය දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
  9. බෞද්ධ කටයුතුවලදී පුරෝගාමී ව ක්‍රියා කිරීමට සුදුසු තරුණ තරුණියන් පුහුණු කිරීම.
  10. ආගමික හා සමාජසේවා කටයුතුවල නිරතව සිටින බෞද්ධ සමිති සමාගම්වල වැඩ ක්‍රමවත් ලෙස සංවිධානය කිරීමට උපකාර කිරීම.
  11. පොදු බෞද්ධ මුදල් ආරක්ෂා කිරීම සහ එයින් නිසි ලෙස ප්‍රයෝජන ගැනීමට සැලැස්වීම.
  12. බෞද්ධ සිද්ධස්ථානයන්හි පැරණි හා අලුත් ගොඩනැගිලි සුරක්‍ෂිත ව තබා ගැනීම හා අලුත්වැඩියා කිරීම.
  13. බෙ‍ෟද්ධ කටයුතු සඳහා ලැබෙන පරිත්‍යාග බාර ගැනීම හා අරමුදල් ඇති කිරීම.
  14. බෞද්ධ කලා හා බෞද්ධ සාහිත්‍ය දියුණු කිරීම.
  15. ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් එහි වැඩි දියුණුවටත් අදාල වෙතැයි වැටහෙන වෙනත් හැම දෙයක් ම කිරීම.

 

මෙසේ උදාර පරමාර්ථයන් යටතේ පිහිටුවන සංවිධාන

  1. උත්තර සංඝසභාව
  2. ශාසන සංගමය
  3. කෘත්‍ය විධායක සංසදය

යයි අංග තුනකින් යුක්ත වීම, භික්ෂූන් වහන්සේලා 51 නමකගේ යුක්ත වන උත්තර සංඝසභාව භික්ෂූන් වහන්සේලාගේ සියලු කටයුතු සඳහා මුල් තැන ගනී. මේ සංඝ සාභාවට සාමාජිකයන් පත් වන පිළිවෙළ යෝජිත පනත් කෙටුම්පතෙහි සඳහන් වෙයි. ගිහි පැවිදි 101 දෙනෙකුගෙන් යුක්ත වන ශාසන සංගමය කාරක සභා අටකට බෙදෙයි.

  1. මුදල් කාරක සභාව.
  2. සංඝ කෘත්‍ය කාරක සභාව.
  3. අධ්‍යාපන හා ප්‍රචාරය පිළිබඳ කාරක සභාව.
  4. නීති රීති කාරක සභාව.
  5. සමාජ සේවා කාරක සභාව.
  6. විහාරස්ථාන හා පූජනීය ස්ථාන කාරක සාභාව.
  7. පොදු බෞද්ධ මුදල් කාරක සභාව.
  8. බෞද්ධ සමිති සංවිධාන කාරක සභාව යනු යි.

බරපතල වගකීමකින් යුත් කෘත්‍ය විධායක සංසදය සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුක්ත වෙයි.

මෙය ශාසනාරක්ෂාව සඳහා ඉතා අවශ්‍ය වැඩ පිළිවෙළක් වුව ද මෙයට කලින් පත් වූ කිසිම රජයක් ඉදිරිපත් වූයේ නැත. වර්තමාන ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බුද්ධ ශාසන අමාත්‍යංශයක් පිහිටුවා එම අමාත්‍යංශය තමාගේ භාරයට ගෙන ඇති බැවින් මහජනතාව විශාල බලාපොරොත්තුවකින් සිටින බව ශාසනාභිවෘද්ධිකාමී වැ දන්වා සිටිමි.

 

දිවයින 1991.08.27

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

දෙමළ ජනයාට උතුර හා නැගෙනහිර පාරම්පරික මාතෘ භූමියක් තුබුණා ද? තිබේද?
ලෝකයට සුදුසු බෞද්ධ අර්ථක්‍රමය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.