අනන්ත බුදුගුණ බලය පෙන්වන සත්‍ය කථාවක්

පින්වත් යාලුවනේ මේ දැක්වෙන්නෙ අනන්ත බුදුගුණ බලය ගැන කියැවෙන වර්ථමාන කථාවක්. මේක උපුටාගත්තෙ මව්බිම පත්තරෙන්. මෙතනදි කියැවෙන්නෙ නාලාගිරි හස්තිය දමනය කල ආකාරයට ඒ ගාථාවෙන්මම අලින්මෙල්ල කල කථාවක්. මේක කියවල භෞතිකවාදීන් යුද්ධ ප්‍රකාශ කරන්න පටන්ගනීවි. බුදුබණ කියන්නෙ අලි මෙල්ල කරන ආගමක් නෙවෙයි කියල. ඒ ඇත්තො විද්‍යාත්මක කණ්ණාඩියෙන් බුදු දහම දැකගත්තාවේ. ඒත් මේ කථාවල තියෙන සත්‍යය දන්නෙ ඒවට මුහුණ පාපු අය විතරයි. එහෙනම් මෙන්න උපුටා ගත්ත විදිහටම තියෙනව. කියවල බලන්නකෝ.
*******************************************************************
රා කළගෙඩි දාසයක් පොවපු නාලාගිරි ඇතා එලෝ මෙලෝ සිහියක් නැතුව ඉස්සරහට දුවගෙන එනකොට බුදු හාමුදුරුවො නාලගිරි හස්තියා දමනය කෙරුවෙ කොහොමද?
අලි වෙඩි ගහලද? නෑ.
අලි වැටවල් දාලද? නෑ.
හක්ක පටස් දාලද? නෑ.
මරුවැල් කපලද? නෑ.එහෙනම් කොහොමද බුදුහාමුදුරුවෝ නාලාගිරි හස්තියා දමනය කෙරුවෙ.
ඔය කියන නාලාගිරි හස්තියා බුදු රජාණන් වහන්සේට පහර දෙන්න ආවේ කොහොමද? මේ නාලාගිරි දමනය කතාවේ ඒක දක්වලා තියෙන විදිය.
අෑත දූලින් වැසී ගිය ඇත් රජය.
මෑත සවණක් රැසින් සැදී ගිය බුදුරජාණෝය.
අෑත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇත් රජය.
මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණෝය.
අෑත එබු එබූ පයින් මහපොළව පළා පියන්නාසේ දුවන ඇත් රජුය.
මෑත එබු එබූ පයින් මිහිකත සනහා සහනා වඩනා බුදුරජාණෝය.
අෑත බැලූ බැලූවන් අනේ අනේ කියනා ඇත් රජය.
මෑත බැලු බැලූවන් සාධු සාධු යැයි කියවන බුදු රජාණෝය.
එවෙලෙහි ඒ ඇතු ළංවත් ළංවත් සැදැහැත්තෝ ළෙහි අත් ගසන්නට වන්හ.
මුහුණ අත් දෙන්නට වම්හ.
බලා සිටිය නොහිමිනයි මුහුණත් දෙන්නට වන්හ.
මේ ටික කියවන කොට, අහනකොට අපිට මොනවද හිතෙන්නේ. මොනවගේ රූපද හිතේ මැවෙන්නේ. මහා බියකරු අවස්ථාවක් නේද?
නිකමට හිතලා බලන්න පෙරහරක යන අලියෙක් කුලප්පු වුණොත් වෙනදේ. වැඩි අෑතකට යන්න නැතුව අපිට ඒ වගේ අවස්ථාවල් ගැන අහන්න දකින්න කොච්චර ලැබුණද?
ඔන්න ඉතිං දැන් නාලාගිරි හස්තියා දමනය වෙලා ඉවරයි. හීලෑ පූස් පැටියෙක් වගේ බුදු රජාණන් වහන්සේගේ දෙපතුල ළඟ වැඳවැටිලා ඉන්නවා.
හැබැයි බුදු හාමුදුරුවො ගහපු හක්ක පටස් එකකුත් නෑ. කපපු මරුවැලකුත් නෑ. පත්තු කරපු අලි වෙඩිල්ලකුත් නෑ. අටවපු අලි වැටකුත් නෑ.
ඒ වුණාට නාලාගිරි හස්ති රාජයා දමනය වෙලා.
මේ තමයි බුදු ගුණයේ බලය. ඒ බලය අනන්තයි. සීමාවක් නෑ. මේ සීමාව තේරුම් ගන්න අපි කාටවත් බෑ. තේරුම් කරන්නත් බෑ. මේ බුදුගුණ අනන්තයි කියන එකට බුදුන් වහන්සේම උදාහරණ දක්වලා තියෙනවා. ඒ මේ විදියටයි.
බුදු රජාණන් වහන්සේනමක් ලොව පහළ වෙලා වෙන කිසිම ධර්මයක් දේශනා කරන්නේ නැතුව බුදු ගුණ විතරක් දේශනා කළොත්,
මේ කැලෑවේ තියෙන කැලෑ කොළ කඩදාසි බවට පත්වෙලා, මේ ගස් වැල් පෑන් පැන්සල් බවට පත්වෙලා, මේ සයුර තීන්ත බවට පත්වෙලා.
ඒ බුදුගුණ ලියන්න ගත්තොත්.
අර කැලෑකොළ සියල්ල ඉවර වේවි.
අර පෑන් පැන්සල් බවට පත්වුණු ගස්වැල් ටික ඉවරවෙයි.
ඒත්, බුදුන් දෙසා වදාළ බුදුගුණ කවදාවත් ඉවර වෙන්නෙ නෑ.
මේ අපිට කියා දෙන්නේ මොනවාද?
බුදු ගුණ අනන්තයි කියලා නේද?
මේ තමයි බුදු පිරිතේ බලය. ඒ බලය බුදුන් වහන්සේ ලබාගත්තේ, උන්වහන්සේම වදාළ ගාථාවකින්. ඒ ගාථාව තමයි අලි, ඇතුන් දමනය කිරීමේ ගාථාව. උන්වහන්සේ ඒ දේ කළේ මේ විදියට. රා කළගෙඩි දහසය බීලා පොළොවේ පස් හාරගෙන දූවිලි අවුස්සගෙන වේගයෙන් දුවගෙන එන නාලාගිරි හස්තිරාජයා දිහාට උන්වහන්සේ ශ්‍රී හස්තය දික් කළා. ශ්‍රී හස්තය දික් කරනවත් එක්කම නාලාගිරි හස්තියා නැවතුණා. එතැනම දණ ගැහුවා. දමනය වුණා.
ඔන්න ඔය කතාව තමයි අපි හැමෝම දන්නෙ. දැන් අපි හිතාගෙන ඉන්නෙ අත දික්කල හින්දයි හස්තිරාජයා නැවතුණේ කියලා. නෑ. ඒක එහෙමම නොවෙයි වුණේ. බුදු රජාණන් ශ්‍රී හස්තය දික්කරන්න ඉස්සෙල්ලා ගාථාවක් වදාළහ.
බුදුන් වහන්සේ වදාළ මේ ගාථාව මොකක්ද? මෙන්න මේකයි ඒ ගාථාව.

”මා කුඤ්ජර නාග මාසදෝ
දුක්‌ඛං හි කුඤ්ජර නාග මාසදෝ
නහිනාග හතස්‌ස කුඤ්ජර
සුගති හෝති ඉතෝ පරං ගතෝ”

එදා බුදුන් වහන්සේ වදාළ මේ ගාථා අදටත් එසේම බලසම්පන්නයි. අලි, ඇතුන් මෙල්ල කරන්න පුළුවන්. නමුත්, අද අපි කරන්නෙ මොනවද?
අලින්ට කරදර හිරිහැර කරනවා. මරනවා. පිල් බෙදෙනවා. නිලධාරිවාදය අරවාදය මේ වාදය….. මිනිස්සු ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුව මිනිස්සුන්ට බනිනවා. කරන්ට් එක දානවා. ඒකෙන් අලි කුලප්පු වෙනවා. ඒ කරන්ට් එක වැදිලා මිනිස්සු මැරෙනවා. අලින්ට දාපු මරුවැල් මිනිස්සුන්ට වදිනවා. අලින්ට දාපු හක්කපටස් මිනිස්සුන්ට වදිනවා. මේවා අපරාධ. අලිත් මැරෙනවා. මිනිස්සුත් මැරෙනවා.
අලියා කියන්නෙ මහා ප්‍රඥවන්ත සතෙක්. අලියට තීක්‍ෂණ ඇහැක් තියෙනවා. දියුණු මොළයක් තියෙනවා. මේවා ඇත්ත කතා. බුදුන් වහන්සේගේ ධර්මය ගැන ලියවිච්ච කතා. ඒ හින්දා මේවා බොරු කියලා කාටවත් කියන්න බෑ. මොකද එහෙම කිව්වොත් මේ සාසනෙන් බොරු වෙනවා.
මේ කියන්න යන්නේ මගේම අත්දැකීම් දෙකක්. බුදුන් වහන්සේ එදා නාලාගිරි හස්තියා දමනය කරපු විදියට අලි දෙන්නෙක් දමනය කරන්න මටත් අවස්ථාවක් ලැබුණා.

ඒ වෙනකොට මට වයස අවුරුදු දහඅටයි. ඒ වෙනකොට අපි ජීවත් වුණේ පොළොන්නරුව, මැදිරිගිරිය පැත්තේ කැලෑබද ප්‍රදේශයක. එතකොට අපිට තිබුණේ පුංචි ගෙයක්. මම අපේ ගෙදර යනවා එනවා. ඒ කාලේ ගම්වල ගෙවල් එච්චර හයි හත්තිය නෑ. ඒ කාලේ හොර හතුරන්ගෙන් බයක් තිබුණෙ නෑ. තිබුණෙ එකම එක බයයි. ඒ අලි ඇතුන්ගෙ බය.
ඒ කාලෙත් අලියා ගම් වදිනවා. ඒ වැදුණම ගමට, ගම්මුන්ට කරදරයි. අලියා එළවන්න ඒ කාලෙ අපිට තිබුණෙ අලින්ට ගහන රතිඤ්ඥා විතරයි.
එදා මම අපේ ගෙදරට වැඩිය දවසක්. ඒ වෙලාවෙ මම විතරයි ගෙදර හිටියෙ. මට එළියෙන් ඇහුණා ජර බර සද්දයක්. බර අඩි සද්දයක්. මම දැනගත්තා මේ නම් අලියම තමයි කියලා. දැන් පුංචි මම බයේ ඉන්නේ. කෑ ගහන්නද පැනලා. දුවන්නද? අලියට ගහන්නද? අනික මේ සද්දන්ත අලියෙක් එක්ක.
එතකොට මම දැනගෙන හිටියා බුදුන් වහන්සේ නාලාගිරි හස්තියා දමනය කළ හැටි. මම ඒ ගාථාව දැනගෙන හිටියා. මට ඉතිරිවෙලා තිබුණේ ඒ පිහිට විතරයි. ඔන්න දැන් අලියා ඉස්සරහා මගේ ළඟට ඇවිත්. ඊළඟට කරන්නේ මාව බිම පෙරළන එක. එතකොට මගේ ජීවිතය.
මම ඒ බයටම බුදුන්වහන්සේ නාලාගිරි හස්ති රාජයා දමනය කරපු ගාථාව අතට මැතිරුවා. හත්සැරයක් මැතිරුවා. එතකොටම මට ඇහුණා අලියා තල්ලු වෙන සද්දෙ. ඊගාවට මම මගේ අත අලියා දිහාට දික් කළා. හොඬවැල උස්සගෙන ඉස්සරහට එන්න ආපු අලියා එකපාරටම නැවතුණා. තත්පර ගාණක් බලාගෙන හිටියා. හෙමිහිට හෙමිහිට පස්සට ගියා. මෙන්න ඊළඟට කැලේ කඩාගෙන දිව්වා. ඔන්න ඊට පස්සෙයි මට හුස්ම වැටුණේ.

මේ අනිත් අත්දැකීම.
එක කාලෙක මම මින්නේරියෙ නාගලකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියා. එහෙම ඉන්නා අතරෙදි මම වැඩ හිටපු ගල්ලෙන ළඟට අලියෙක් ආවා. දැන් මම දන්නවා ඊළඟට මට වෙන දේ. ඒ එක්කම මට කලින් සිදුවීම මතක් වුණා. ඒ පාරනම් මට බය හිතුණේ නෑ.
මම මොකද කළේ? නාලාගිරි හස්ති රාජයා දමනය කරපු බුද්ධ ගාථාව අතට මැතිරුවා. හස්තියාට ඇහෙන්න. ඊළඟට හස්ති රාජයා දිහාට අත දික් කළා. එතකොටම හස්තියා මං දිහා හොඳට බලාගෙන හිටියා. ඊළඟට මං හස්ති රාජයාට මෙහෙම කිව්වා. ‘ඇත් රජ’ කරුණාකර දැන් මෙතනින් යන්න.
ඊට පස්සෙ හස්තිරාජයා අලි ගොඬය උස්සගෙන ආපහු හැරිලා යන්න ගියා.
එදා කාලෙත් අද කාලෙ වගේමයි. අලින් ගම් වදිනවා. මිනිස්සු කැලේ කපනවා. එතකොට අලින්ට ඉන්න තැන් නෑ. ඊටත් එහාට ගිහින්. අද අලි මරනවා. ඇත් දළ කපනවා. මේකට අද කියනවා හරි අමුතු නමක්. ඒ නම තමයි අලි – මිනිස් ගැටුම්. නමුත්, ඒක බොරුවක්. ඒක මවාගත්තු දෙයක්. අලි මිනිස් ගැටුමක් කියලා සටනක් ලෝකෙ කොහේවත් නෑ. අලි ඉන්න කැලේ කපලා දැම්මම අලි කොහේ යන්නද? ගමට එනවා ඇරෙන්න. කපපු කැලේ උන්ට කෑම තියෙනවද? නෑ. වතුර තියෙනවද? නෑ. ඉතිං ඒවා හොයාගෙන එනවා ඒ ගමට. අද ගිහින් බලන්නකෝ උඩවලට අලි වැට මායිමට. එතන ඉඳගෙන හොඬය දික් කරලා කන්න ඉල්ලන හැටි. හරියට හිඟන්නො අතපානවා වගේ.
මේ අලින්ට අද වගේම එදා කාලෙත් කරපු දරුණු අපරාධ ගැන පුංචි කතාවක්.
මේ කතාව ආරම්භ වෙන්නේ යටගිය දවස බරණැස නුවරින්. මීට කල්ප ගණනකට කලින් අප මහ බෝසතාණන් වහන්සේ හස්තිරාජයෙක්ව ඉපදිලා තියෙනවා. මේ බෝසත් හස්තිරාජයා යටතේ හිටියා අලි ඇතුන් පන්සීයක්. මේ බෝසත් හස්ති රාජයාගේ සිරිතක් තිබුණා. ඒක තමයි තමන්ගෙ නඩය පිරිවරාගෙන හැමදාම උදේට කෑම, වතුර හොයාගෙන යෑම.
උදෙන්ම යන මේ අලි නඩය ආපහු එන්නෙ හැන්දෑවෙලා. ඒ එනකොට බෝසත් ඇත් රජා අලි නඩය ගණන් කරනවා. හැමදාම බලද්දී දවසට එක අලියෙක් ගාණේ අඩුවෙනවා කියලා බෝසත් ඇත් රජාට තේරුණා. බෝසත් ඇත් රාජා මේක කල්පනා කෙරුවා. එතැනදී ඇත් රජාට කාරණයක් මතක් වුණා. ඒ ඇත් රැළ ගමන් ගන්නා මාර්ගයේ ගසක් මුල පසේ බුදු කෙනෙක් වාසය කරන බව. මෙතැන යම් දෙයක් ඇති කියලා බෝසත් ඇත්රජා කල්පනා කළා.
ඊට පස්සෙන්දා මේ බෝසත් ඇත් රජා හරි අමුතු දෙයක් කළා. ඒ අලි රැළ ඉස්සරහින් නොගිහින් පිටිපස්සෙන් ගිහින් ගහකට මුවාවෙලා බලා ඉන්න එක. එතැනදී මේ බෝසත් ඇත් රජා දැක්කා හැම අලියෙක්ම මේ පසේ බුදුවරයට වැඳලා යන්නෙ. මෙහෙම ගිහින් අන්තිම අලියත් දණ ගහලා වැඳලා යන්න හදනකොටම සිවුරු අස්සෙන් ගත්තු විස පොවපු ඊතලයකින් අලියාගෙ කුම්භස්තලයට විද්දා. එතකොටම අලියා බිම වැටුණා. ඊට පස්සේ හැංගිලා හිටපු දඩ වැද්දන් දුවගෙන ආවා. දළ කපාගත්තා.
බෝසත් හස්තිය මේක දැක්කා. ඉස්සරහට පැනපු බෝසත් හස්ති රාජයා පසේ බුදුවරයෙක් වගේ වැද්දා ඇඳගෙන හිටපු චීවරේ ඉවත් කරලා හොඬෙන් උස්සා පොළොවේ ගහන්න හැදුවා. නමුත්, මේ බෝසත් හස්ති රාජයාට එකපාරටම තම බෝසත් සිත ගැන මතක් වුණා. ඊට පස්සේ බිමට දාලා යන්න ගියා. එදා ඉඳලා දඩ වැද්දන්ගෙන් අලි රැළට කරදරයක් වුණේ නෑ.
ඉතිහාසය පුරාම හැමදාමත් අපි කෙරුවෙ අපිට කරදරයක් කරන සත්තු මැරීම. අලියටත් ඒක පොදුයි. ඇයි අපි මේ අහිංසක සත්තු මරන්නෙ. උන් අපේ ගෙවල් දොරවල් ටික කොල්ල කන්න එනවද? හරක බාන අයිතියක් ගන්න එනවද? කුඹුරු ඉඩකඩම්වලට අයිතිය කියන්න එනවද? නෑ.
මෙතෙන්දී අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ හැමදේකටම දඬුවම් දෙන්න හොඳ නෑ කියන එක. දඬුවම් නොදීමෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්.
අලින්ට හරි ඇත්තුන්ට හරි මතුරන කොට සෙරෙප්පු, සපත්තු ගලවන්න ඕන. කකුල්වල යටිපතුල් දෙක පොළොවට හොඳින් ස්පර්ශ වෙන්න ඕන. ඒ වගේම මැස්සක් උඩ, ගහක් උඩ ඉඳගෙන මතුරන්න එපා. අලියට හරි ඇතාට හරි එහෙමත් නැත්නම් රංචුවටම හරි මතුරන කොට පොළොවේ ආකර්ෂණය ඇඟට වදින්න ඕන. එතකොට තමයි ඒ බලය අලියට දැනෙන්නෙ.
අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ මොනවා කරත්, විස්වාසය නැත්නම් සිල්වත්කම නැත්නම් කිසිම සාත්තරේක බල පිහිටන්නෙ නෑ.
ඒකයි බුදු බණේ.

ඒකයි අනන්ත බුදු ගුණය අපිට කියා දෙන පාඩම.

ආලවක දමනය ...
අෂ්ඨ පල රුහ බෝධීන්වහන්සේලා

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.