Category

ජාතක කථා. ( Jathaka katha)

533 ගද්‍රභ ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

ඉහත කී උම්මග්ග ජාතකයෙහි කොටළු පැන විසඳු නියාව බලා දත යුතුයි.

මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ඒ බස් අසා රජ්ජුරුවෝ මාද පියාණන් වහන්සේ ද දක්නා කැමැත්තෝයයි සිතා පියාණන් අමතා එපවත් ඔහුට සැල කොට නුඹවහන්සේ පළමුකොට සිටුවරුන් දහසක් පිරිවරා වැඩිය මැනව. රජ්ජුරුවෝ ඔබතුමා සමග පිළිසඳර කතාකොට සුදුසු අස්නක් බලා හිඳුවයි කියති. ඔබවහන්සේ එසේ කළ මැනව. මමද ඒ වේලෙහි එමි. රජ්ජුරුවෝ මටද සුදුසු අස්නක් බලා හිඳුවයි කියති. එවිට මම නුඹ වහන්සේගේ මූණ බලමි. ඒ සළකුනෙන් හුනස්නෙන් නැගී පුත මහෞෂධ පණ්ඩිතයෙනි මේ අස්නේ හිටුවයි වදාළ මැනවි. එසේ කල්හි එක් පැනයෙක් අපට වන්නේ යයි වදාළසේක.

සිටාණෝ යහපතැයි ගිවිස පුතණුවන් කී සැටියේම ගොස් එපරිද්දෙන්ම රජ්ජුරුවන් සමීපයෙහි උන්නාහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සර්‍වාලංකාරයෙන් සැරසී කුමාරවරුන් දහසක් පිරිවරන ලදුව උතුම් රථයක හිඳ නුවරට වදනා සේක් අගල පිට තන කන එක් කොටළුවෙකු දැක ශක්තිමත් තරුණ පුරුෂයන් අමතා මේ කොටළුවා අල්වා ගෙන ශබ්ද නොනගින සේ මුඛය බැඳගෙන නොපෙන්නාගෙන එවයි වදාළසේක. පුරුෂයෝද එලෙසම කළහ. පණ්ඩිතයන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් නුවරට වන්සේක. කලින් පැතිරී ඇති කීර්තිය නිසා නුවර වැස්සෝ පණ්ඩිතයන් වහන්සේ දෙස බලබලා ස්තුති කළහ. පණ්ඩිතයොද රජවාසලට ගොස් දොරටුපාලයන් අත දන්වා යවා දහසක් කුමරුවන් සමග රජු සමීපයට ගොස් සිටිසේක. රජ්ජුරුවෝද ඔහු සමඟ මිහිරි කතාකොට පණ්ඩිතයෙනි සුදුසු අස්නක් බලා හිඳුවයි කීහ. පණ්ඩිතයන් වහන්සේ පියාණන් දෑ මූණ බැලූසේක. එවිට පියාණෝ අස්නෙන් නැගී පණ්ඩිතයෙනි මේ අස්නේ සිටුවයි කීහ.

පණ්ඩිතයන් වහන්සේ පියා උන් අස්නෙහි වැඩ උන්සේක. එවිටම ඒ අසලම සිටි සේනක, පුක්කුස, කාවින්‍ද, දෙවින්‍ද පණ්ඩිතවරු සතර දෙනාද සෙසු නුවණැත්තහුද අත්ලෙන් අත්ල ගසා මහත් කොට සිනාසී මේ නුවණ නැති කෙනෙකි. තම පියා අස්නෙන් නගා තෙමේ අස්නේ හුන්නේය. මොහු නුවණැතියන් කියන්ට යුක්ති නැතැයි පරිභව කළහ. රජ්ජුරුවෝ දුර්මුඛ වූහ. එවිට මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් අමතා කිමෙක්ද? දේවයන් වහන්ස කනස්සළු සේක්ද? එසේය පණ්ඩිතයෙනි පියාණන් අස්නෙන් නඟා උන් හෙයිනැයි කීහ. කිමෙක්ද දේවයන් වහන්ස ඔබවහන්සේ හැම තන්හිම පුතුන්ට වඩා පියෝම උතුම්හයි කියන සේක්දැයි විචාළසේක එසේය පණ්ඩිතයෙනි කීහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් අමතා ඔබ වහන්සේ අපට අශ්වතරයෙකු හෝ ශ්‍රේෂ්ඨතරයෙකු හෝ එවන්නැයි අසුන් යවනලදුදේ වේදැයි කියා හුනස්නෙන් නැගී මානවකයන් බැඳගෙන ආ කොටළුවා ගෙන්වා ගෙන රජ්ජුරුවන්ගේ පාමුල තබාල දේවයන් වහන්ස මේ කොටළුවා කෙතෙක් අගීදැයි විචාළසේක.

රජ්ජුරුවෝ ඉදින් උපකාර ඇත්තේ වී නම් අටමස්සක් අගනේයයි කීහ. මූ නිසා සෛන්‍ධව කුලයෙහි වෙළඹ බඩ උපන් අජාතීය අශ්වයා කෙතෙක් අගීදැයි විචාළසේක. පණ්ඩිතයෙනි අගය නැතැයි කීහ. දේවයන් වහන්ස කුමක් හෙයින් එසේ කියන සේක්ද? ඔබතුමා දැන් හැමතැනම පුතුන්ට වඩා පියෝම උත්තමහයි කියන ලද්දේවේද? ඉදින් එය සැබෑවීනම් ඔබතුමාගේ වාදයෙහි අජානීය අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේය. කිමෙක්ද දේවයන් වහන්ස ඔබතුමාගේ පණ්ඩිතවරු මෙපමණකුත් දැනගන්නට අසමර්ථව අත්පුඩි ගසා සිනාසෙන්නාහ. ඔබ පණ්ඩිතවරුන්ගේ නුවණ විශේෂය ආශ්චය්‍ර්‍ය. ඔබතුමා කොයින් මුත් සොයාගත් සේක්දැයි පණ්ඩිතවරු සතරදෙනාට පරිභව කොට රජ්ජුරුවන්ට ගද්‍රභ ප්‍රශ්නයෙහි එම කාරණා ගාථාවකින් කියා දේවයන් වහන්ස පුතුනට වඩා පියාණෝ උතුම්නම් මපියාණන් ඔබතුමාට වැඩ පසස්නා පිණිස ගත මැනව.
ඉදින් පියන්ට වඩා පුත්‍රයෝ උත්තමයෝනම් මා ඔබතුමා සමීපයෙහි රඳවාගත මැනවයි වඳාලසේක. රජ්ජුරුවෝ ඇතුළු සියළු රාජ පර්‍ෂද් පණ්ඩිතයන් විසින් ප්‍රශ්නය මනාකොට කියන ලදැයි ඔල්වර හඬ සහ සාධුකාර පැවැත්වූහ. සේනකාදී පණ්ඩිතවරු සතරදෙන දුර්මුඛ වූහ. (මහෞෂධ පණ්ඩිතයන් හා සමාන මව්පිය ගුණදත් අන් උතුමෙක් නැත) එසේ වුවද පියාණන් අස්නෙන් නගා තමා ඒ අස්නේ වැඩඋන්නේ පියාණන්ට අවමානයක් පිණිස නොවන්නේය. රජ්ජුරුවන් විසින් අශ්වතරයෙකුගේ ශ්‍රේෂ්ඨතරයෙකු එවන්නේයයි අසුන් යවන ලද හෙයින් ඒ පැනය විසඳුන පිණිසත් තමන් නුවණැති බව හඟවන පිණිසත් සේනකාදී පණ්ඩිතවරු සතරදෙනාගේ බැබලීම නැතිකරන පිණිසත් මෙසේ කළ බව දතයුතුයි.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

534 අමරා දේවි ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

මේ උම්මග්ග ජාතකයෙහි මහොෂධ පණිඩිතයන් වහන්සේ අමරා දේවී ප්‍රශ්නය විසඳු නියාව දැක්වෙයි.

එතැන් පටන් මහෞෂධ පණ්ඩිතයන්ගේ යසස කිරිමුහුද පරිද්දෙන් මහත් වූයේය. උදුම්බරා දේවිය පණ්ඩිතයන්ගේ දුක සැප නිතර විචාරන්නී සොළොස් හැවිරිදිවූ කල මාගේ මළණුවෝ වැඩිමළුව සිටගත. යශසත් මහත. උන්ට සමාන කුලයකින් සරණපාවා දෙන්ට සුදුසුයයි සිතූ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවොද සොම්නස්ව යහපත සොඳුර එපවත් උන්ට කියවයි කීහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ “අනුන් පාවාදෙන කුමාරිකාවක් කිසිසේත් මට අභිප්‍රාය නොවන්නීය. එහෙයින් මමම පළමුකොට සොයා ගනිමියි සිතා දේවීන් වහන්ස කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාර්යයට ගියයි නොකිව මැනව කුමාරිකාවත් පරීක්‍ෂාකොට ඔබ වහන්සේට දන්වා ලමියි කීහ. එසේ පවසා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙන හුදකලාව උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩිසේක. Read More

535 ‍දෙවතා පඤහ ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

මේ ජාතකයද උම්මග්ග ජාතකයෙහි එන්නේය.

රජ්ජුරුවෝ පණ්ඩිතයන් වහන්සේව රාජාසනයෙහි වඩා හිඳුවා තුමූ මිටි අස්නෙක හිඳ පණ්ඩිතයෙනිෟ සේසතෙහි වසන දෙව්දුව මාගෙන් පැන සතරක් විචාළීය. සේනකාදීන්ටද නොවැටහින. ඒ කියවයි ආරාධනා කළහ. එදවස් මහ බෝසතාණන් වහන්සේ සැට යොදුන් රත් ගල මුදුනෙහි සිංහනාද කරන අභීත කේශර සිංහයකුසේ දේවයනි, සේසතෙහි වසන දේවතාවා වේවයි චාතුර්මභාරාජිකාදීවූ සදිව්‍ය ලෝකයෙහි දේවතාවෝ වෙත්වයි, සොළොස් බඹ තෙලෙහි බඹහු වෙත්වයි, යම්කිසි කෙනෙකුන් විසින් විචාරණ ලද්දාවූ පැන නියුණු මුවහත් ඇති කඩුවකින් ඇඹුල මල් මිටියක් කපා වගුරුවන බල ඇති පිරිමියෙක් හු මෙන් මාගේ නිර්මල නුවණ නමැති කඩුවෙන් පිරිසිඳ කීයම්, කිව දේවයෙනි, දෙව් දූ විචාළ පැනයයි සර්වඥ ප්‍රචාරණයක් පරිද්දෙන් වදාළ සේක. Read More

536 ඛජ්ජෙිපනක ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

යට කියන ලද උම්මග්ග ජාතකයෙහි දේවතාදුව ඇසු ප්‍රශ්න විසඳු නියාව බලා දත යුත්තේ ය.

ඉක්බිති එක් දිනක් සේනකයෝ අතින් තුන්දෙනා අමතා පින්වත්නි මහෞෂධ පණ්ඩිතයන්ට උන්ටත් වඩා වියත් අඹුවක් ඇත. උන් කෙරේ රජ්ජුරුවන් කෙසේ හෝ බිඳවාපුව මැනවයි කතිකාකොට නිසි උපායක් යොදන්නේ මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගනිමි. පුක්කුසයෙනි තොපි රන්මාලාව ගෙනෙව කාවින්‍දයෙනි තොපි රජුන් පොරවන රන්පලස ගෙනෙව දේවින්දයෙනි තෙපි රන්මිරිවැඩි සඟල ගෙනෙවයි විධානය කොට සතර දෙනම වන්චාවෙන් එසේ කොට රහසින් මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙට යවමියි කියා මැණික මෝරු කලයක දමා මෙය අනික් කෙනෙකුන්ට නොදී මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙයි ඉදින් ගනිත්නම් මිළ නොගෙන දීපියා එවයි කියා කෙල්ලක අත යවූහ. Read More

537 දක රක්ඛස ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

ඉහත සඳහන් උම්මග්ග ජාතකයේ එන දියරකුසු පැණය බලා මේ ජාතකය දත යුත්තේය.

පඤ්චාලචණ්ඩි දේවිය වේදේහ රජ්ජුරුවන්ට ප්‍රියව වසන්නී දෙවන අවුරුද්දේ පුතණු කෙනෙකුන් වැදූය. ඒ කුමාරයන් වැඩී දස අවුරුදු කල වේදේහ රජ්ජුරුවෝ සවර්‍ගස්ථ වූහ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරයන් රාජ්‍යයෙහි පිහිටුවා දේවයන් වහන්ස මම නුඹවහන්සේගේ මුතුන් රජ්ජුරුවන් සමීපයට යෙමියි වඳාළසේක. කුමාරයෝ මා බාල තැනැත්තාවූ ඇරපියා නොයව මම තොප පිය තනතුරේ තබා රකිමි. නොයවමි’යි කීය. පඤ්චාලචණ්ඩි බිසවද පණ්ඩිතයෙනි මම වේදේහ රජුට පාවාදුන්නේත් දෙරජුන්ගේ වෛරය හරවා සමගි කළේත් නුඹවහන්සේමය. එහි ගියකල අපට කිසි පිහිටෙක් නැත. මෙහිම රඳාපියා සියළු සම්පත් වළදාපී මැනවයි කීහ. එවිට පණ්ඩිතයන් වහන්සේ එසේය මා එන ගමනේ වේදේහ රජ්ජුරුවෝ මළ කල මා එන්නෙමියි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට ප්‍රතිඥාදී ආවෙමි. එබැවින් රඳන්ට නොපිළිවෙනැයි කියා මියුළු නුවර බොහෝ දෙනාගේ බැගෑහඬ අසන්නේ අමරා දේවින්ද සහජාත යෝධයින්ද කැටිව නික්මුණු සේක් පඤ්චාලනුවරට පැමිණිසේක. Read More

538 දහම්සොඬ ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

මෙම දහම්සොඬ ජාතකය මුද්‍රිත ජාතකට්ඨ කතාවෙහි හෝ සිංහල ජාතක පොතේ නොමැත.

යටගිය දවස බරණැස රාජ්‍යකළ බ්‍රහ්මදත්ත රජුට දහම්සොඬ නම් කුමාරයෙක් විය. ඒ කුමාරයා ක්‍රමයෙන් වැඩි සූසැට කලා ශිල්පද අෂ්ටා දස පුරාණ ද අවි ශිල්පද නිමවා සොලොස් හැවිරිදි කල්හි යුව රාජ තනතුරට ද පියාගේ ඈවෑමෙන් රජකමද ලැබ චතුර් විධවූ උපායෙන්ද ත්‍රිවිධ ශක්තියෙන්ද ෂඩ් ගුණයෙන්ද සප්තාංග යෙන්ද චතුස්සංග්‍රක වස්තුවෙන්ද යුතු ව රට ආරක්ෂා කරමින් සිටින කල්හි දිනක්මෙබඳු සිතිවිල්ලක්ඇති විය.

සංසාරයෙහි වාසය කරන සත්වයා කෙරෙහි මෛත්‍රී කරුණා වෙන් නිවවන් පුරයට පමුණුවන අපගේ සර්වඥයන් වහන්සේ විසින් අමෘතය මෙන් දේශනා කරනලද ශ්‍රී සද්ධර්මය දැන නොගෙන සැළකීමක් නොකොට කරන්නා වූ මේරජ කම මට සුදුසු නොවෙයි. Read More

539 උම්මාදන්තී ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

ත්‍රෛතල තිලක සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන සේක් එක් ස්ත්‍රියක් දැක ශාසනය කෙරෙහි උකටලී වූ නමින් රටට ප්‍රකට නැති එක් භික්ෂුවක් අරභයා මේ මන් උදන්වන උම්මාදන්තී ජාතකය වදාළ සේක.

යටගිය දවස සිවි රට ශ්‍රේෂ්ඨීන් තුෂ්ට වූ අරිෂ්ට නම් නුවර විශිෂ්ට ගුණධර අරිෂ්ට නම් රජුට සිවි නමින් කුමාරයෙක් වීය. ඒ කුමාරයා කුඩා කල පටන්ම අභිපාරක නම් සේනාපති පුත්‍රයෙක් සමඟ මිත්‍රව විසීය. ඒ දෙකුමරුවන් සොළොස් හැවිරිදි කල්හි තක්සලා නුවරට ගොස් සියලු ශිල්ප දැන නිමවා ස්වකීය නුවරට පැමිණ පිය රජතුමාගේ කැමැත්තෙන් රාජ්‍යයට පත්විය. හිතමිත්‍ර අභිපාරකයන් සේනාපති ස්ථානයෙහි තබවා දැහැමින් රජ කරන සේක. එසමයෙහි එම නුවර අසූ කෙළක් ධනය ඇති සිරීට තැන වූ කිරීටවඡ්ච නම් සිටාණන්ට සුන්දර රූපශ්‍රීයකින් යුත් උම්මාදන්ති නම් කුමාරියක් වූවාය. ඈ දක්නා අන්ධ පෘතග්ජන කෙනෙක ඇත් ද රහමෙර පුවාක් මෙන් ක්ලේශ මදයෙන් මත් වන්නාහ. දිනක් ඇගේ පියා වූ කිරීටවඡ්ච සිටාණෝ රජ්ජුරුවන් කරා එළඹ දේවයන් වහන්ස මාගේ ගෙයි ස්ත්‍රී රත්නයකන් ඇත. ඔබ වහන්සේට සුදුසුය. Read More

540 මහාබෝධි ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

තවද එක් සමයෙක්හි තිලෝතුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරනසේක් තමන් වහන්සේගේ මනොඥවූ ප්‍රඥපාරංමිතාව අරභයා මේ මහා බෝධි ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි කසීරට අසුකෙළක් ධනය ඇති මහා සාර කුලයක උපන් බෝධීකුමාරයොයැයි නම් ලත් බ්‍රාහ්මණ කුමාරයෙක් පංචගාම සම්පත් හැර හිමාලයට වැද පැවිදිව බොහෝ කාලයක් එහි වැස වස්සාන සෘතුවෙහි හිමවතින් බැස ක්‍රමයෙන් බරණැසට පැමිණ පිඩුසිඟායන්නේ රජ ගෙදරය වැඩිසේක, රජ්ජුරුවෝ ඒ තාපසයන්ගේ දැමුනු ඉඳුරන් දැක පැහැදී බණ අසා දන් වළදවා එම උයනෙහිම පන්සලක් කරවා එහිම වැස්වූ සේක. රජතෙම දිනකට තුන්වරක් උපස්ථානයට යන්නේය. තාපසයන් වහන්සේ දානය සඳහා රජ ගෙදරට වඩින්නා සේක. මෙසේු දෙළොස් වසක් ඉකුත්විය. ඒරජ හට අමාත්‍යයෝ පස් දෙනෙක් අර්ථ ධර්ම දෙකින් අනුශාසනා කරන්නාහ. උන් අතුරෙන් එකෙක් අහේතුකවාදීය. එකෙක් ඊශ්වර කරණාවාදීය. එකෙක් පුර්ව කෘතිය වාදීය එකෙක් උච්ජේදවාදීය. එකෙක් ශත්‍රවිද්‍යාවාදීය. මෙබඳු ප්‍රඥාවෙන් විරහිත ඔවුන් පස්දෙනා මෙසේ යුක්තිය නොවිසවා අත්ලස්කන්ට පටන්ගෙන අහිමියන් හිමියන් කිරිම වශයෙන් අනර්ථ කරන්නාහුය. Read More

541 වෙස්සන්තර ජාතකය

By | ජාතක කථා. ( Jathaka katha) | No Comments

ත්‍රිභුවන චන්‍ද්‍රවූ ජගදානන්‍ද ලොචන වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක් බන්ධු සමාගමයෙහි පොකුරු වැසි වැසිම අරභයා මේ ජාතකය වඳාළසේක.

බුදුරජාණන් වහන්සේ ඉසිපතන්හි දම්සක් දෙසා පිළිවෙලින් දනව් සැරිසරා කිඹුල්වත් නුවරට වැඩ මනාව සරසන ලද නිග්‍රොධ නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ උයනෙහි වැඩඋන් සේක. අභිමානයෙන් යුත් ශාක්‍ය රජ්ජුරුවෝ සිතන්නාහු සිද්ධාර්ථ කුමාරයෝ ඉතා බාලයහ. අපගේ කණිටු සොහොවුරුය. අපගේ බෑණාහ. අපගේ පුත්‍රයහ. අපගේ මුණුබුරුහ. යනාදීන් සිතා කුඩාකුමාරවරු ළඟට කැඳවා තෙපි පෙරට ගොස් සිද්ධාර්ථ කුමාරයන් වඳිව්, අපි තොප හැමට පසුවලා නොහඟවා වදුම්හයි යවූහ. එබස් අසා බුදුන්ට බාලවූ රජකුමරුවෝ පෙරටුව සිට බුදුන් වැඳ මහළු නෑයන්ට අවකාශ නොදීම සිටගත්හ. Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.