Skip to main content

90 අකතඤ‍්ඤුත ජාතකය

තවද ශාක්‍යකුලකල්පදාමවූ තිලෝගුරු සම්මාසම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා ජෙතවනාරමයෙහි වැඩවසනසේක්. මේජාතකය අනේපිඬු මහසිටානන් අරභයා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

අනේපිඬු මහාසිටානන්ට පසල්දනව්වැසි එක්තරා සිටානකෙණෙක් අදාෂටමිත්‍රව වාසය කරන්නාහුය, එකල්හි ඒ පසල්දනව්වෙහි උපදනා බඩුයෙන් ගැල්පන්සියයක් බඩුපුරා තමන්ගේ කාරියෙහි නියුකත පුරුෂයන් කැඳවා දරුවනි තොපි හැමදෙන මේ ගැල්පන්සියයෙහි බඩු ගෙන්වාගෙණ ගොස් සැවැත්නුවර අපගේ යාළුවූ අනේපිඬුමහසිටානන් සම්මුඛයෙහි ගෙන ගියාවූ බඩු විකුට ඒ රටින් අපට උවමනා බඩුවක් ගෙනඑවයි විධානකළාහ. ඒ පුරුෂයෝ සිටානන්ගේ බස්ගිවිසගෙණ බඩුගෙන්වාගෙණ සැවැත්නුවර අනේපිඬුමහසිටානන් දැක ඒ බඩු හා පඬුරුත් දක්වාදී තමන් ආ පවතුත් සිටානන්ට කීවාහුය, මහසිටානෝද ඔවුන් දැක අපලඟට තොප හැම ආයේ ඉතා යහපතැයි කියා හිඳිනා නවාතැන් බත් වැටුප් ආදියද දෙවෙව්වාහුය. අපගේ මිත්‍රවූ මහසිටානන්ට සුවදුක් කීමදැයි විචාරා සමීපයට එවූ බඩු පඬුරු විකුණවා මිළ පුරුෂයන්ට දෙව්වාහුය. තමන්ගේ පසල්දනව්වට ගොසින් ඒ කාරණය තමන්ගේ සිටානන්ට කීවාහුය.

තවද මෑතභාගයෙහි එක්සමයෙක්හි අනේපිඬුමහසිටානෝ බඩුපිරූ පන්සියයක් ගැල් පසල්දනව්වට යව්වාහුය, සිටානන්ගේ මිනිස්සු පසල් දනව්වට ගොසින් තමන් ගෙණගිය පඬුරු පසල්දනව්වැසි සිටානන්ට පෑදූටහ. සිටානෝද තොපි හැම කොයිසිට අව්දැයි විචාරා සැවැත්නුවර නුඹ වහන්සේගේ යහළුවූ අනේපිඬුසිටානන්වහන්සේ ළඟසිට ආම්හයි කීකල්හි අනේපිඬුමහසිටානෝයයි යන නමකුත් මිනිසුන්ට ඇද්දැයි අප හා සරිකොට කියා තමන් යව් පඬුරුත් ඇරගෙණ යහපත තොපි නික්මෙවයි කීහ. ගිය පුරුෂයන්ට හිඳිනා තැනක්වත් බත් වැටුප් ආදියක්වත් විචාරා නුදුන්හ. එකල්හි ගියපුරුෂයෝ තමන් ගෙණගිය පඬුරු තුමූම විකුට ඒ රටින් උවමනා පඬුරු ඇරගෙණ සැවැත්නුවරට ගොසින් අනේපිඬුමහසිටානන්ට එපවත් කීවාහුය. නැවත කලාතුරකින් පසල්දනව්වාසී සිටානෝ ගැල් පන්සියයක් බඩුපුරවා සැවැත්නුවරට යව්වාහුය. ඒ පුරුෂයෝ තමන් ගෙනගිය පඬුරු ඇරගෙණ අනේපිඬුමහසිටානන්ට දුටහ. එකල්හි අනේපිඬුමහසිටානන්ගේ මිනිස්සු මෙසේ කීහ. සවාමීනි මේ ආ සියල්ලවුන්ට හිඳිනා ගෙවල් බත් වැටුප් දීමත් අපට භාරයයි කියා ඔවුන්ගේ ගැල් පිටි නුවර එකතරා සථානයක මුදවා තොපි හැමදෙනම මෙතැන්හි ඉඳුවයි තොපි හැමදෙනාටම බත් බුලත් ආදීවූ සියල්ලම අපගෙන් ලැබෙන්නේ යයි කියා ඔවුන් විවරක් නොහැර උදුරගෙණ රථ අදිනා ගොන් ඒ ඒ තැන ලුහුබඳවා ගැලින් රතසක්ගලවා ගැල්පිට තබා ගැලසක් හැරගෙණ ගියාහුය, ඒ පසල්දනව් වැස්සෝ තමතමන් හැඳිපෙරවි අහිමිව මහත්වූ භයින් තැතිගෙණ නොරදා යුහුව නික්මුනාහුය, අනේපිඬුමහසිටානන්ගේ මිනිස්සු තමන් ඒ කළාවූ පවත් සිටානන්ට කීවාහුය, සිටානෝද එපවත් අසා සර්‍වඥයන්වහන්සේට දන්වන්ටසුදුසුවූ බස් පඬුරෙකැයි සිතාගෙණ සර්‍වඥයන්වහන්සේ සමීපයට ගොසින් ආදියෙහි පටන්ගෙණ තමන් කළ කටයුතු සහ පසල්දනව්වැසි සිටානන් කළදෙයත් සර්‍වඥයන්වහන්සේට දැන්වූවාහුය, ඒ වේලෙහි බුදුහු වදාරණසේක් එම්බල ගහපතිය පසල්දනව්වැසි සිටානන් කෙළෙහිගුණ උපකාර නොදත්තේ දැන්මතුනොවෙයි යටගියදවසත් කෙළෙහිගුණ උපකාර නොදත්තෝමයයි වදාරා සිටානන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

යටගියදවස බරණැස්නුවර බ්‍රහමදතත නම රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි පුරණලද බොධිසමහාර ඇති අප මහබෝසතානන් වහන්සේ බරණැස මහාසමපත් ඇත්තාවූ සිටුකුලයක උපන්නාහ, ඒ බොධිසත්‍වයන්ට අදාෂටමිත්‍රව වාසයකරන්නාවූ පසල්දනව්වැසි අනික් සිටාන කෙනෙක්ද වූවාහයි කියා ඒ සියළු ඉකුත්වත් කථාව වර්‍තමාන කථාව හා සදාෂවන්නේය. බොධිසත්‍වයෝ වනාහි තමාගේ මිනිසුන් අද මේ කටයුත්තක් අප විසින් කරණලදැයි කියා අවුත් තමන්ට කීකල්හි පළමුව අනුන් විසින් තමාට කළාවූ උපකාරයක් නොදන්නාවූ යම් සත්‍වකෙණෙක් ඇත්නම් මෙබඳු විකාරයට පැමිණෙන්නාහුයයි කියා සම්ප්‍රාප්තවූ පෂීදට ධර්‍මදෙශනාකරන්නාවූ බොධිසත්‍වයෝ මේ ලෝකයෙහි ක්‍ෂත්‍රිය බ්‍රාහමණාදීවූ යම්කිසි පුරුෂයෙක් අනුන් විසින් පළමුකොට තමා කරණලද්දාවූ උපකරණයක් නොදන්නාවූ අඥානපුරුෂතෙම කුදු මහත් යම්කිසි කටයුත්තක් තමාට පැමිණගියාවූ යම්කාලයෙක් ඇද්දා එබඳු කාලයෙහි ඊට ප්‍රතිබලව සිටියවූ අනික්සහයක්වත් නොලබන්නේ යයි යනාදී ධර්‍මදෙශනාකොට තුමූ දිවිපමණින් දානාදී පින්කම්කොට තමාගේ කම්වූපරිද්දෙන් මිය පරළොව ගියාහ, ශාසතෘවූ බුදුරජාණන්වහන්සේ මේ ජාතක ධර්‍මදෙශනාව ගෙණහැරදක්වා වදාරා ජාතකය පූර්‍වාපර සන්‍ධිගළපා නිමවා වදාළසේක.

එකල්හි පසල්දනව්වැසි සිටානෝනම් දැන් මේ පසල්දනව්වැසි සිටානෝය, බරණැස්නුවර සිටානෝනම් මේ සර්‍වඥපදප්‍රාප්තවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.