546 මෙණ්ඩක පඤ්හ ජාතකය

මේ ජාතක කථාව උම්මග්ග ජාතකයෙහි එළක ප්‍රශ්නයෙහි ආයේය. එයින් බලා දැන ගත යුතුයි.

එක් දවසක් රජ්ජුරුවෝ එක් එළුවකු හා බල්ලකු හිතමිත්‍රකමින් වාසය කරනවා සී මැඳුරු කවුළුවෙන් දුටහ. දිනක් එළුවා ඇත්හළ තුලට ගොස් ඇතුන්ට ලාලූ තණ අනුභව කොට ඇත්හලයාගෙන් පිට අවුරා පහරක් ලබාගෙන වේදනාවෙන් මිරිකි මිරිකී ගොස් රජගෙයි අගුවේ වැද හොත්තේය. එදවස්ම බල්ලාත් මුළුතැන්ගෙට ගොස් මාංශ අනුභව කොට අරක්කැමියාගෙන් පහර කා වේදනාව විදිමින් එන්නේ කෙඳිරිගාමින් පසුවන තම මිත්‍ර එළුවා දැක සබඳ දැන් ඉතින් කෙසේ ජීවත්වමෝදැයි කීහ. එළුවා කියන්නේ මිත්‍රය තොප තණ නොකන බැවින් තොප ගැන සැකයෙක් නැත. ඇත්හළට ගොස් එහි හැසිර අවසරයක් බලා තණ කට්ටයක් රැගෙන එව. මා ගැනද සැක නොකරන බැවින් මමද මුළුතැන්ගෙයි හැසිර අවසරයක් බලා මස් කැටියක් රැගෙන එන්නෙමි. එය තොපට අනුභව කරත හැක. මේ නියායෙන් අපි දෙදෙනා ජීවත්වන්නමෝවේදැයි කීහ. උන් දෙදෙනා මෙසේ සැපසේ වෙසෙති.

රජ්ජුරුවෝ උන්දෙන්නාගේ මිත්‍ර ධර්‍මය දැක මා විසින් නොදුටු විරූ කාරණයක් දුටුවෙමි. මොහු දෙන්නා ඔවුනොවුන්ට පස මිතුරුවත් එකට වාසය කරති. මේ කාරණය අලලා පැනයක් ගොතා පණ්ඩිතවරු පස්දෙනාගෙන් අසා ඒ නොදත් කෙනෙකුන් රටින් යවන්නෙමි. දත් කෙනෙකුන්ට උපකාර කරන්නෙමි. අද වේලා මදව ගියේය. සෙට සේවයට ආකල විචාරන්නෙමියි සිතූහ. දෙවන දින සේවයට අවුත් උන් කල්හි ගාථාවකින් මේ සත්ව ලෝකයෙහි කිසි විශ්වාසයෙක් නැති පසමිතුරු වූ දෙදෙනෙක් සබඳවූහ. මිත්‍ර ධර්‍මය පවත්වමින් ඇවිදිනාහ. එයට කරුණු කිමෙක්දැයි කීහ. අද පෙරවරු වේලෙහි මේ පැනය නොවිසඳන්නහු නම් තොප හැම දෙනම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තවුන්ගෙන් මට ප්‍රයෝජණ නැතැ”යි කීහ. සේනකයෝ මුල් අසුනෙහි හුන්හ. මහෞෂධ පණ්ඩිතයෝ කෙළවර අසුනෙහි වැඩ උන්සේක. උන්වහන්සේ ඒ පැනය පරීක්‍ෂා කෙරෙමින් අත්‍ර්‍ථනොදැන “මේ රජතෙමේ බොළඳ ගුණ ඇත්තේය. මේ පැනය සිතා ගෙන දැනගන්ට නොපොහොසත. ඔහු විසින් කිසිවක් දක්නා ලදැයි සිතා එක දවසකට අවසර ලබන්නෙම් වීනම් මේ පැනය දැනගනිමි යි සිතූසේක.

සේනකාදී පණ්ඩිතවරු සතරදෙන අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. එබැවින් රජ්ජුරුවන් වැඳ එක්දිනයකට අවසර ලබාගෙන ගියාහ. මහෞෂධ පණ්ඩිතයෝද හුනස්නෙන් නැගී උදුම්බරා දේවීන් සමීපයට ගොස් දේවීන්වහන්ස අද හෝ ඊයේ රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැන සිටියෝ”දැයි විචාළසේක.

සේනකාදී පණ්ඩිතවරු සතරදෙන අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. එබැවින් රජ්ජුරුවන් වැඳ එක් දිනයකට අවසර ලබාගෙන ගියාහ. මහෞෂධ පණ්ඩිතයෝද හුනස්නෙන් නැගී උදුම්බරා දේවීන් සමීපයට ගොස් දේවීන්වහන්ස අද හෝ ඊයේ රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැන සිටියෝ” දැයි විචාළසේක.

මලණ්ඩ සී මැදුරු කවුළුවෙන් පිටත බලමින් සක්මන් කළහයි බිසව කීහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් මේ දිසාවේ කිසිවක් දක්නාලද වන්නේයයි සිතා ඒ ස්ථානයට ගොස් පිටත බලා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව දැක මේ දෙදෙනා ගැනම මේ පැනය සලකන ලදැයි සනිටුහන් කොට ගෙන ගෙට වැඩිසේක. පුක්කුසාදී වූ අනික් තුන්දෙනාට ප්‍රශ්නය විසඳා ගත නොහැකිව එක්ව පැනය නොවිසඳු කල්හි රජ්ජුරුවෝ කිපෙති. කුමක් කරමෝද? අපට වර්ෂයක් සිතුවත් මෙහි අදහස නොවැටහෙයි. මහෞෂධ පඬිතුමා මෙය සත සහශ්‍ර ගුණයෙන් සිතා නිමවා ඇත. උන් සමීපයට යම්හයි එහි ගොසින් එකත්පස්ව සිට පණ්ඩිතයෙනිෟ නුඹවහන්සේ විසින් පැනය විසඳන ලදදැයි විචාළහ.

උන්වහන්සේ මා පැනය නොවිඳනකල්හි භුවනත්‍රයේ අනික් කවරෙක් විසඳන්නේද? එසේය පැනය සිතන ලදැයි වදාළසේක. අනික් පණ්ඩිතවරු සතරදෙන එසේවීනම් අපටත් වදාළ මැනවයි කීහ. මහාකරුණා ගුණයෙන් යුතු මහතාණෝ” ඉදින් මම මුන් සතරදෙනාට පැනය නොකියෙන්නම් රජ්ජුරුවෝ මේ ජඩ කොල්ලන් සතර දෙනාවම රටින් නෙරපනාහ. මට සත්රුවනින් පුදන්නාහ. එය මාගේ කරුණාවට තරම් නොවේයයි උන් කෙරෙහි කරුණාවෙන් උන් මිටි අසුන්වල හිඳුවා තමා දෙසට දොහොත් මුදුන්දී වැඳගෙන ඉන්නා ලෙස නියමකොට රජ්ජුරුවන් දුටු නියාව නොහඟවා රජ්ජුරුවන් විචාළකල මෙසේ කියවයි ගාථාසතරක් උගන්වා එහි අත්‍ර්‍ථය නොවුගන්වා යවූසේක.

දෙවන දින රාජ සභාවේදී සේනකයෝ දේවයන් වහන්ස මා පැනය නොදන්නා කළ අනික් කවරෙක් දනීදැයි වැඳුවන් ඉදිරියෙහි කොළඹු ලන්නාසේ මහෞෂධ පණ්ඩිතයන් හමුවෙහි තමාගේ වියත්කම අඟවා කලින් ඉගෙන ගත් ගාථාව කීහ.

ඒ ගාථාවේ අදහස නම්:- ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රාදීන්ට එළුමස් ප්‍රියය. ඔවුහු බළුමස් අනුභව නොකරන්නාහ. එසේවූ බල්ලාගේ හා එළුවාගේ සමගි සංඛ්‍යාත විශ්වාස වී” ගාථාව කී මුත් සේනකයෝ අත්‍ර්‍ථය නොදන්නාහ. රජ්ජුරුවෝ අත්‍ර්‍ථය තේරුම්ගෙන පුක්කුසයන් අතින් විචාළහ. ඔහුද කටමැත දොඩා කටපාඩම් කරගත් ගාථාවකීහ.

එහි අදහස:- අසුපිට ඇතිරීම සඳහා එළුසම් ගන්නාහ. බල්ලන්ගේ සම් නොගන්නාහ. එසේ වුවද එළුවාගේ සහ බල්ලාගේ විශ්වාසය වී ඔහුද අත්‍ර්‍ථය නොදත් නමුත් රජ්ජුරුවෝ එයද තේරුම්ගෙන කාවින්‍ද පණ්ඩිතයන් අතින් විචාළහ. උයිත් තමා උගත් ධර්‍මය නොදත් ගාථාව කීහ. ඒ ගාථාවේ අදහස මෙසේ දතයුතුයි:- එළුතෙමේ ඇඹරී ඇති අංඇත්තේය. බල්ලාට අං නැත්තේය. එළුතෙමේ තණ හා කොළ කන්නේය. බළුමස් නොකන්නේය. බළුතෙම සාවුන් හා බළලුන් කන්නේය. එසේද වුවත් එළුවාගේ හා බල්ලාගේ විශ්වාසය වී”මෙසේ සෙනකාදී සතරදෙන තමන් උගත් ගාථා පමණක් කී කල්හි රජ්ජුරුවෝ අත්‍ර්‍ථ දත් හෙයින් නොවිමසා පස්වැනි වූ අසරණ සරණ මහෞෂධ පණ්ඩිතයන් අතින් විචාළහ. උන්වහන්සේ එසේ නම් ඇසුව මැනවයි සිංහනාද කොට තත්වූ පරිදි ගාථා දෙකකින් කීසේක. “සතර පයෙහි අටකුරෙක් ඇති එළුතෙමේ මස්ගන්නා වේලෙහි කිසි කෙනෙකුන්ට නොපෙනී මේ බල්ලාට මස් ගෙනෙන්නේය. මේ බල්ලාද එළුවාට තණ ගෙනෙන්නේය. මොවුන් දෙදෙනාගේ පෙරළිය ජන ප්‍රධාන වූ වේදේහ රජතෙමේ ප්‍රසාදයෙහි සිටියේ දිටීයයි වදාළසේක. රජ්ජුරුවෝ සතර දෙනා ගැනම පැහැදී ගාථා දෙකකින් ඔවුන්ට ප්‍රශංසාකොට අජානීය අශ්වයින් යෙදූ අලංකාර රථයක් සමඟ සියළු සැපතින් සමෘද්ධ වූ ගම්වරය බැගින්ද දෙවූහ.

 

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

547 කුම්භිල ජ‍ාතකය
545 සිහ කොත්ථුක ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.