Skip to main content

54 වානරින්‍ද ජාතකය

තවද එක්සමයෙක්හි චතුවෛසාරද්‍ය ඥානයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක් දේවදත්ත ස්ථවිරයන්ගේ වධ පිණිස උත්සහා කිරීමක් අරබයා මේ ජාතකය වදාළසේක.

එසමයෙහි බුදු රජාණන් වහන්සේ දේවදත්ත ස්ථිවරයන් වහන්සේ වධ පිණිස උත්සාහ කෙරෙති අසා මහණෙනි දේවදත්ත ස්ථිවිර තෙම වධ පිණිස උත්සාහ කරන්නේ දැන් මතු නොවෙයි පෙරත් උත්සාහ කෙළේමය, එලෙස උත්සාහා කොට තැතිගැන්වීම පමණකුදු කරන්නට නොහැකි වූයේයයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ වඳුරු ජන්මයෙහි ඉපිද වැඩිවයසට පැමිණ අස්පැටවකු පමණ කායශක්තියෙන් යුක්තව එකවරම ගංගාතීරයෙක්හි වාසය කරණ සේක. ඒ ගංගාවගේ මැද අනේකප්‍රකාර වූ ආම්බ්‍රපනසාදී ඵල වෘක්ෂයෙන් යුක්ත වූ එක් දිවයිනක් වන්නේය. හස්තිබල හා සමාන කායශක්තියක් ඇති බෝධිසත්වයන් වහන්සේ ගංගාවගේ මෙතරින් පැනනැගී දිවයින මෙතර ගඟ මැද එක් අතලගලෙක් ඇත්තේය. එහි හෙන සේක. එතැනින් පැනනැගී ඒ දිවයිනෙහි හෙන සේක. එතැනදී අනේක ප්‍රාකාර ඵලයෙන් අනුභවකොට සවස ඒ උපායෙන්ම නැවත අවුත් තමා වසන තැන්හි විසීම කොට දෙවැනි දිනයෙහිද එලෙසම කරණ සේක. මෙම ක්‍රමයෙන් එතැන්හි වාසය කරණ සේක. එසමයෙහි වනාහී ප්‍රජාපතීන් සහිත වූ එක් කුම්භීලයෙක් ඒ ගංගාවෙහි විසීම කරන්නේය. ඔහුගේ භාර්යාව වූ කිඹුල් ධේනු තොමෝ ඔබිනොබ වඩනා වූ බෝධිසත්වයන් වහන්සේ දැක බෝධිසත්වයන් වහන්සේගේ හෘදයමාංශයෙහි දොළ උපදවා කිඹුලාට කියනුයේ ස්වාමීන් වහන්ස මට වනාහි මේ වානරෙන්ද්‍රයාගේ හෘදය මාංශයෙහි දොළෙක් උපන්නේය යි කීවාය. කුම්භීලතෙම යහපති පින්වන්ති ලබන්නෙහිය යි කියා අද සවස දිවයිනෙන් එන්නා වූ වානරේන්ද්‍රයා අල්වාගනිමි කියා ගොස් ගල් අත්ලෙහි හොත්තේය. බෝධිසත්වයන් වහන්සේ දහවල් ගොදුරු කා සවස් වේලෙහි දිවයිනෙහි සිටිසේක්ම පහණ බලා මේ පහණ දැන් උස්ව පෙණෙන්නේය. ඊට කාරණා කවරේදැයි සිතූසේක. උන්වහන්සේට වනාහි ජලප්‍රමාණයද, පාෂාණ ප්‍රමාණයද යහපත්ව වැටහී තිබෙන්නේය. ඒ කාරණයෙන් ඕහට මෙබඳු සිතෙක් වූයේය. අද මේ ගංගාවගේ ජලය අඩුවූයේත් නොවෙයි. වැඩිවුයේත් නැත. එසේ වුයේද මේ පහණ මහත්ව පෙණෙන්නේය. කිමෙක්ද මෙතැන්හි මා ගන්නා පිණිස කුම්භීලතෙම හුන්නේදැයි බෝධිසත්වයන් වහන්සේ පළමුකොට ඔහු පරීක්ෂා කරන්නෙම් සිතා එතැන්හිම සිට පහණ හා සමග කථාකරන්නාක්මෙන් පින්වත් පහණැයි කියා ප්‍රතිවචනයක් නොලබන සේක් තුන්වෙනිවර දක්වා පින්වත් පහණැයි කීසේක. එකල්හි පහණතෙම කවරහෙයකින් ප්‍රතිවචනයක් නොදන්නේයයි කියා නැවත ඕහට කියන්නාවූ වානරතෙම කිමෙක්ද පින්වත් පහණ අද මට ප්‍රතිවචන නොදෙන්නේයයි කී සේක. එකල්හි කුම්භිලතෙම සිතනුයේ ඒකාන්තයෙන් සෙසු දිනවල්හි මේ පහණ වානරේන්ද්‍රයාහට ප්‍රතිවචන දෙන්නේය. මෝහට දැන් ප්‍රතිවචන දෙන්නෙමි සිතා කිමෙක්ද පින්වත් වානරේන්ද්‍රයයි කීයේය, එවිට බෝධිසත්වයෝ තෝ කවරේහිදැයි විචාළසේක. මම කුම්භීලයෙකිමි කීයේය. කුමක් පිණිස මෙතැන්හි හොත්තෙහිදැයි විචාළ සේක. එවිට කිඹුල්වතෙම නුඹවහන්සේ්ගේ හෘදයමාංශය පතායයි කියේය. බෝධිසත්වයන් වහන්සේ සිතනසේක් මට යායුතු මගක් නැත්තේය. අද මා විසින් මේ කුම්භීලයා වඤාකටයුතුයයි සිතා ඉක්බිත්තෙන් ඕහට මෙසේ කීසේක. යහළු කුම්භීලය මම ආත්මභවය තොපට පරිත්‍යාග කරන්නෙම් තෝ මුඛය හයා මා තාගේ සමීපයට ආකල්හි ගණුවයි කීසේක. කිඹුලුන්ගේ වනාහි මුඛය විවෘත්වූ කල්හි ඇස් දෙක පියෙන්නේය. හෙතම ඒ කාරණය නොසලකා මුඛය විවෘත කෙළේය. ඉක්බිත්තෙන් ඔහුගේ ඇස්දෙක පිහිත වූයේය. හෙතම මුඛය විවෘතකොට ඇස්දෙක නිම්ලනය කොට හොත්තේය. බෝධිසත්වයන් වහන්සේ එලෙස වූබව දැන දිවයිනෙන් අසහසට පැන නැගී ගොස් කිඹුලාගේ මස්තකය ආක්‍රාන්ත කොට එතැනින් පැනනැගී විජ්ජුල්ලතාවක් මෙන් බබලමින් එතෙර සිටිසේක. කිඹුලා ඒ ආශ්චර්යය දැක මේ වානරේන්ද්‍රය මේ ලොකයෙහි චතුර්විධ කාරණයකින් සමන්විත වූ පුද්ගල තෙම පසමිතුරන් මැඩපවත්නේය. ඒ සියළු කාරණාවෝම තොපගේ අභ්‍යන්තරයෙහි ඇතැයි සිතමි කියා මෙසේ කීයේය. කෙසේද යත්?. වානරේන්ද්‍රය වාක්සත්‍යයද පරීක්ෂා ඥානයද අනෂට ධෛර්යයද නිස්සංගත්‍යාගයද යන මේ සතරගුණයෝ නුඹවහන්සේට මෙන් යමක්හට ඇද්ද, ඒ තෙම පසමිතුරා මැඩපවත්නේය. මෙසේ කුම්භීලතෙම බෝධිසත්වයන් වහන්සේට වදාරණසේක් මහණෙනි. දේවදත්ත ස්ථවිර තෙම මට වධ පිණිස උත්සාහ කළේ් දැන් මතු නොවෙයි පෙරත් උත්සාහ කෙළේමයයි මේ දම් දෙසුන් ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ වාරනින්‍ද ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කිඹුලා නම් දැන් දේවදත්ත ස්ථිවිරයෝය. ඔහුගේ භාර්යාව වූ කිඹුල් ධේනුව නම් දැන් චිංචිමානවිකාවෝය. වානරේන්ද්‍රව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.