536 ඛජ්ජෙිපනක ජාතකය

යට කියන ලද උම්මග්ග ජාතකයෙහි දේවතාදුව ඇසු ප්‍රශ්න විසඳු නියාව බලා දත යුත්තේ ය.

ඉක්බිති එක් දිනක් සේනකයෝ අතින් තුන්දෙනා අමතා පින්වත්නි මහෞෂධ පණ්ඩිතයන්ට උන්ටත් වඩා වියත් අඹුවක් ඇත. උන් කෙරේ රජ්ජුරුවන් කෙසේ හෝ බිඳවාපුව මැනවයි කතිකාකොට නිසි උපායක් යොදන්නේ මම රජ්ජුරුවන්ගේ චූඩා මාණික්‍යය සොරා ගනිමි. පුක්කුසයෙනි තොපි රන්මාලාව ගෙනෙව කාවින්‍දයෙනි තොපි රජුන් පොරවන රන්පලස ගෙනෙව දේවින්දයෙනි තෙපි රන්මිරිවැඩි සඟල ගෙනෙවයි විධානය කොට සතර දෙනම වන්චාවෙන් එසේ කොට රහසින් මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙට යවමියි කියා මැණික මෝරු කලයක දමා මෙය අනික් කෙනෙකුන්ට නොදී මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙයි ඉදින් ගනිත්නම් මිළ නොගෙන දීපියා එවයි කියා කෙල්ලක අත යවූහ.

ඒ කෙළි පණ්ඩිතයන්ගේ ගේ දොරකඩම මෝරු ගනුවයි කියමින් දුර නොගොස් සිටින්නීය. ඒ දුටු අමරා දේවිය ඈත නොගොස් මෙහිම සිටින්නී යම් කාරණයක් ඇතැයි දැන කැඳවා එහි තුළවූ මැණික දැක නම්ගොත් විචාරා “අසවල්දින අසවල් දවස සේනක පඩිතුමා තම අසල්වැසි කෙල්ල අත චූඩා මාණික්‍ය පණයම් පිණිස එවුහ”යි පතක ලියවා ගත්හ. එසේම රන් මාලාව සමන් මල් කරඩුවකද පලස පලා පැසකද රන් මිරිවැඩි සඟල පිදුරු කැරැල්ලක් ඇතුළේද දමා නොයෙක් උපක්‍රම ලෙසින් පෙරසේම යවූහ. අමරා දේවියද ඒ සියල්ලම තත්වූ පරිදි සියළු තොරතුරු ලියවා තැබූහ.

ඒ සේනකාදී සතර දෙන රජගෙට ගොස් ඒ ඒ වස්තු කෙරෙහි රජ්ජුරුවන්ගේ සිත යොමුකොට රජතුමනිෟ මේ සියල්ලම මහෞෂධ පණ්ඩිතයන්ගේ ගෙහිය. ඔහු එකී වස්තු පළදිනාහ. ඔබ වහන්සේට සතුරුකම් කරන්නේයයි පණ්ඩිතයන් කෙරෙහි රජ්ජුරුවන් බිදවූහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් හමුවට ගියහ. රජ්ජුරුවෝ පණ්ඩිතයන් කෙරෙහි කිපී නොදනිමි, නුඹ අවුත් කුමක් කෙරේදැයි තමන් දැක්ක නුදුම්හ. පණ්ඩිතයන් වහන්සේ වහා ගෙට අවුත් පලායන්ට සුදුසු කලැයි අමරා දේවීන්ට සලකුණු කියාදී අප්‍රසිද්ධ වේශයෙන් නුවරින් නික්ම දකුණු යවමැදුම්ගමට ගොස් කුඹල්කම් කරමින් වසන සේක. නුවර මුළුල්ලෙහිම මහෞෂධ පණ්ඩිතයෝ පලාගියහයි ඒක කෝලාහල විය.

ඉක්බිති සේනකාදී සතරදෙන කිමෙක්ද අපිත් පණ්ඩිතවරු නොවමෝද එක්වෙමුයයි ඔවුනොවුන් නොදන්නාම අමරා දේවීන්ට පත් යවූහ. ඈද ඒවා බලා අසවල් වේලාවට එන්නැයි වෙන වෙනම ගෙන්වා නොසැලෙන සේ අත පය බැඳ හිස මුඩු කොට පැඳුරු මාළුවල ඔතා බොහෝ හිංසා කොට රජ්ජුරුවන්ට කියා යවා මහෞෂධ පණ්ඩිතයෝ සොර නොවෙති. රාජකීය භාණ්ඩ සොරකම් කළෝ මුන් සතරදෙන යයි කලින් ලියවා ගත් පත් දක්වා බලා වදාළ මැනවයි කියා ගෙට ගොස් ඒ බඩු සතරද සේනකාදී සතර දෙනාවද පාවා දුන්හ.රජ්ජුරුවෝ මහෞෂධ පණ්ඩිතයන් නැගීගිය බැවින් උන්කෙරේ සැකයෙන්ද අනික් මන්ත්‍රී කෙනෙකුන් නැති බැවින්ද සේනකාදී පණ්ඩිතවරු සතරදෙනාට කිසිවක් නොකියා නා පියා තොප තොපගේ ගෙවලට යවයි කීහ.

ඉක්බිත්තෙන් රජ්ජුරුවන්ගේ දළපුඩු සේසත අධිගෘහිත දේවතා දූ පණ්ඩිතයන් ගෙන්වන උපායක් කෙරෙමියි මධ්‍යම රාත්‍රියෙහි දළපුඩු සේසත් සිදුරෙහි සිට අර්‍ධ ශරීරයක් දක්වා

“හන්ති හත්‍ථෙහි පාදෙහි මුඛඤ්ච පරි සුම්භති

සචෙ රාජ පියො හොති කංතෙන මහි පස්සසී”

යනාදී ගාථා සතරකින් ප්‍රශ්න සතරක් රජ්ජුරුවන්ගෙන් විචාළීය. රජ්ජුරුවෝ එකී අර්‍ථ නොදන්නාහු මම නොදනිමි. සේනකාදීන්ගෙන් විචාරමි’යි එක් දවසකට අවසර ගෙන ඒ සතර දෙනාට වහා එවත්වයි අසුන් යවා අපේ හිස් මුඩු බැවින් වීථිදිගේ බස්නට විලි ඇතැයි කී කල්හි පයිසතරක් විද්දවා එය හිසලාගෙන එත්වයි දන්වා යවූහ. (හිස්වැසුම් ඇති වූයේ එතැන් පටන්) පණ්ඩිතවරු සතර දෙන අසුන් ගත්කල දෙව්දුව ඇසූ පැණ සතර ඉදිරිපත් කළහ. උන්ට කිසිවක් කියාගත නොහැකිව දොඩමළුව කරබා ගත්හ.
රජ්ජුරුවෝ දොම්නස්ව එදින රාත්‍රී අර්‍ථ විසඳා ගත නොහැකි බව දෙව්දුවට පැවසූහ. දෙව්දුව සේනකාදීන්ට ගරහා මහෞෂධ පණ්ඩිතයන් ගෙන්වා මේ පැනය උන්ලවා නොකියවූනම් මේ දිලිසෙන යකුලින් ගසා තොපගේ හිස සත්කඩකට බිඳ පියමියි රජ්ජුරුවන් බිය ගන්වා රජතුමනි ගින්නෙන් ප්‍රයෝජන ඇති කල්හි කණමැදිරියන්ගෙන් ප්‍රයෝජන කිම්ද? කිරෙන් ප්‍රයෝජන ඇති කල්හි අඟ මිරිකීමෙන් ඵලයක් වේදැයි ඉදින් තොපගේ පණ රකිනා කැමැත්තෙහි නම් දිලිසෙන මහ ගිනිකඳක් බඳු නුවණින් යුතු මහෞෂධ පණ්ඩිතයන්ගෙන් විචාරා මට අර්‍ථ කියාලව නැතහොත් තොපගේ ජීවිතය නොරඳීයයි කියා යවූහ.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.