Skip to main content

533 ගද්‍රභ ජාතකය

ඉහත කී උම්මග්ග ජාතකයෙහි කොටළු පැන විසඳු නියාව බලා දත යුතුයි.

මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ ඒ බස් අසා රජ්ජුරුවෝ මාද පියාණන් වහන්සේ ද දක්නා කැමැත්තෝයයි සිතා පියාණන් අමතා එපවත් ඔහුට සැල කොට නුඹවහන්සේ පළමුකොට සිටුවරුන් දහසක් පිරිවරා වැඩිය මැනව. රජ්ජුරුවෝ ඔබතුමා සමග පිළිසඳර කතාකොට සුදුසු අස්නක් බලා හිඳුවයි කියති. ඔබවහන්සේ එසේ කළ මැනව. මමද ඒ වේලෙහි එමි. රජ්ජුරුවෝ මටද සුදුසු අස්නක් බලා හිඳුවයි කියති. එවිට මම නුඹ වහන්සේගේ මූණ බලමි. ඒ සළකුනෙන් හුනස්නෙන් නැගී පුත මහෞෂධ පණ්ඩිතයෙනි මේ අස්නේ හිටුවයි වදාළ මැනවි. එසේ කල්හි එක් පැනයෙක් අපට වන්නේ යයි වදාළසේක.

සිටාණෝ යහපතැයි ගිවිස පුතණුවන් කී සැටියේම ගොස් එපරිද්දෙන්ම රජ්ජුරුවන් සමීපයෙහි උන්නාහ. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ සර්‍වාලංකාරයෙන් සැරසී කුමාරවරුන් දහසක් පිරිවරන ලදුව උතුම් රථයක හිඳ නුවරට වදනා සේක් අගල පිට තන කන එක් කොටළුවෙකු දැක ශක්තිමත් තරුණ පුරුෂයන් අමතා මේ කොටළුවා අල්වා ගෙන ශබ්ද නොනගින සේ මුඛය බැඳගෙන නොපෙන්නාගෙන එවයි වදාළසේක. පුරුෂයෝද එලෙසම කළහ. පණ්ඩිතයන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍ර ලීලාවෙන් නුවරට වන්සේක. කලින් පැතිරී ඇති කීර්තිය නිසා නුවර වැස්සෝ පණ්ඩිතයන් වහන්සේ දෙස බලබලා ස්තුති කළහ. පණ්ඩිතයොද රජවාසලට ගොස් දොරටුපාලයන් අත දන්වා යවා දහසක් කුමරුවන් සමග රජු සමීපයට ගොස් සිටිසේක. රජ්ජුරුවෝද ඔහු සමඟ මිහිරි කතාකොට පණ්ඩිතයෙනි සුදුසු අස්නක් බලා හිඳුවයි කීහ. පණ්ඩිතයන් වහන්සේ පියාණන් දෑ මූණ බැලූසේක. එවිට පියාණෝ අස්නෙන් නැගී පණ්ඩිතයෙනි මේ අස්නේ සිටුවයි කීහ.

පණ්ඩිතයන් වහන්සේ පියා උන් අස්නෙහි වැඩ උන්සේක. එවිටම ඒ අසලම සිටි සේනක, පුක්කුස, කාවින්‍ද, දෙවින්‍ද පණ්ඩිතවරු සතර දෙනාද සෙසු නුවණැත්තහුද අත්ලෙන් අත්ල ගසා මහත් කොට සිනාසී මේ නුවණ නැති කෙනෙකි. තම පියා අස්නෙන් නගා තෙමේ අස්නේ හුන්නේය. මොහු නුවණැතියන් කියන්ට යුක්ති නැතැයි පරිභව කළහ. රජ්ජුරුවෝ දුර්මුඛ වූහ. එවිට මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් අමතා කිමෙක්ද? දේවයන් වහන්ස කනස්සළු සේක්ද? එසේය පණ්ඩිතයෙනි පියාණන් අස්නෙන් නඟා උන් හෙයිනැයි කීහ. කිමෙක්ද දේවයන් වහන්ස ඔබවහන්සේ හැම තන්හිම පුතුන්ට වඩා පියෝම උතුම්හයි කියන සේක්දැයි විචාළසේක එසේය පණ්ඩිතයෙනි කීහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් අමතා ඔබ වහන්සේ අපට අශ්වතරයෙකු හෝ ශ්‍රේෂ්ඨතරයෙකු හෝ එවන්නැයි අසුන් යවනලදුදේ වේදැයි කියා හුනස්නෙන් නැගී මානවකයන් බැඳගෙන ආ කොටළුවා ගෙන්වා ගෙන රජ්ජුරුවන්ගේ පාමුල තබාල දේවයන් වහන්ස මේ කොටළුවා කෙතෙක් අගීදැයි විචාළසේක.

රජ්ජුරුවෝ ඉදින් උපකාර ඇත්තේ වී නම් අටමස්සක් අගනේයයි කීහ. මූ නිසා සෛන්‍ධව කුලයෙහි වෙළඹ බඩ උපන් අජාතීය අශ්වයා කෙතෙක් අගීදැයි විචාළසේක. පණ්ඩිතයෙනි අගය නැතැයි කීහ. දේවයන් වහන්ස කුමක් හෙයින් එසේ කියන සේක්ද? ඔබතුමා දැන් හැමතැනම පුතුන්ට වඩා පියෝම උත්තමහයි කියන ලද්දේවේද? ඉදින් එය සැබෑවීනම් ඔබතුමාගේ වාදයෙහි අජානීය අශ්වයාට වඩා කොටළුවා උතුම් වන්නේය. කිමෙක්ද දේවයන් වහන්ස ඔබතුමාගේ පණ්ඩිතවරු මෙපමණකුත් දැනගන්නට අසමර්ථව අත්පුඩි ගසා සිනාසෙන්නාහ. ඔබ පණ්ඩිතවරුන්ගේ නුවණ විශේෂය ආශ්චය්‍ර්‍ය. ඔබතුමා කොයින් මුත් සොයාගත් සේක්දැයි පණ්ඩිතවරු සතරදෙනාට පරිභව කොට රජ්ජුරුවන්ට ගද්‍රභ ප්‍රශ්නයෙහි එම කාරණා ගාථාවකින් කියා දේවයන් වහන්ස පුතුනට වඩා පියාණෝ උතුම්නම් මපියාණන් ඔබතුමාට වැඩ පසස්නා පිණිස ගත මැනව.
ඉදින් පියන්ට වඩා පුත්‍රයෝ උත්තමයෝනම් මා ඔබතුමා සමීපයෙහි රඳවාගත මැනවයි වඳාලසේක. රජ්ජුරුවෝ ඇතුළු සියළු රාජ පර්‍ෂද් පණ්ඩිතයන් විසින් ප්‍රශ්නය මනාකොට කියන ලදැයි ඔල්වර හඬ සහ සාධුකාර පැවැත්වූහ. සේනකාදී පණ්ඩිතවරු සතරදෙන දුර්මුඛ වූහ. (මහෞෂධ පණ්ඩිතයන් හා සමාන මව්පිය ගුණදත් අන් උතුමෙක් නැත) එසේ වුවද පියාණන් අස්නෙන් නගා තමා ඒ අස්නේ වැඩඋන්නේ පියාණන්ට අවමානයක් පිණිස නොවන්නේය. රජ්ජුරුවන් විසින් අශ්වතරයෙකුගේ ශ්‍රේෂ්ඨතරයෙකු එවන්නේයයි අසුන් යවන ලද හෙයින් ඒ පැනය විසඳුන පිණිසත් තමන් නුවණැති බව හඟවන පිණිසත් සේනකාදී පණ්ඩිතවරු සතරදෙනාගේ බැබලීම නැතිකරන පිණිසත් මෙසේ කළ බව දතයුතුයි.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.