524 නිමි ජාතකය

බුදුරජාණන් වහන්සේ මියුලු නුවර මුවදෙව් නම් අඹ උයන්හි සැරිසරා ඇවිදිනා සේක්. එක් සිත් කළු භූමි ප්‍රදේශයක් දැක පූර්ව චරිතයක් සිහි වී සිනහ පහළ කළ සේක. ඒ දුටු ආනන්දතෙරන් වහන්සේ උත්කටුකයෙන් හිඳ දොහොත් මුදුන් දී වැඳ ඊට හේතුව විචාල සේක. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්දයෙනි, මේ භූමිය පෙර මම මඛාදෙව නමින් රජව ධ්‍යාන කෙළි කෙළ විසූ තැන යයි පවසා තවත් පැහැදිළි කරනු සඳහා ඉකුත්වත වදාළ සේක.

එදා වේදේහ රට මියුළු නුවර රාජ්‍ය කළ මඛාදේව නම් රජ්ජුරු කෙනෙකුන් සුවාසු දහසක් අවුරුදු කුමාර කෙලියෙන් ද සුවාසු දහසක් අවුරුදු යුවරජු කමින් ද සුවාසු දහසක් අවුරුදු මහ රජ කමින් ද කල් යව කපුවා විසින් රන් අඩුවෙන් උගුල්ලා තම අතෙහි තුබූ නර කෙස දැක මරණය නලලට පැමිණියාක් මෙන් යයි නුවණින් සලකා බලා මගුල් කපුවාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කැඳවා මම මහණ වෙමි. රාජ්‍ය ගනුවයි කී කල නුඹවහන්සේ මහණවන කාරණය කවරේදැයි විචාල සඳ
උත්තමඞග රුහාමය්හං – ඉමෙජාතාවයොහරා

පාතභූතා දෙවදූතා – පබ්බජ්ජා සමයො මමන්ති

යනාදින් පුත, සත්වයන් හිස නරකෙස් හට ගැනීම මරණය ලන් බව කීමට එන දේවදූතයන් වැන්න. එසේ හෙයින් මාගේ හිස නරකෙස් හට ගත. ඒ කාරණයෙන් මම ජරාවට පැමිණියෙමි. මහණ වනු කැමැත්තෙමි. තොපි රාජ්‍ය කරව් කියා අවවාද කොට නුවරින් නික්ම මුවදෙව් නම් උයනෙහිදි පැවිදිව අසූසාර දහසක් අවුරුදු සතර බ්‍රහ්මවිහාර භාවනා කොට බඹලොව ගියාහ. ඒ රජ්ජුරුවන්ගේ පුත්‍රයාද මෙසේම හිස නරකෙස් දැක රාජ්‍යය තම පුත්‍රයාට භාරදී පැවිදිව භාවනා කොට බඹලොව ගියහ. මෙසේ ඔහුගේ පුත්‍රයාදැයි පුතුන් දෙදෙනෙක් අඩු සුවාසු දහසක් රජහු බඹලොව ගිය මඛාදේව රජ්ජුරුවෝ මාගේ ප්‍රවෘජ්‍යාවංශය කඩ නොකොට මතු පවතීදැයි බලා නොපමාව තීන බව දැන මමම එය කඩ නොකොට පවත්වමියා සිතා එයින් චුතව ම්යුලු නුවර මහරජහුගේ අගමෙහෙසුන් කුස පිළිසිද දසමසකින් බිහි වුයේය. ඒ කුමාරයන්ට නම් තබන දවසෙහි නිමිත්තපාඨකයෝ ලක්‍ණ බලා මේ කුමාරයෝ තොපගේ වංශයට රථ සකෙහි කෙමියක් මෙන් වංශය රකිමින් උපන් හෙයින් නිමි කුමාරයෝ යයි නම් තැබීය. ඒ කුමාරයා කුඩාකල පටන් දන්දෙමින් සිල් රකිමින් කුසල ක්‍රියාව කරන්නේය. ඒ කුමාරයා පියාගේ අවෑමෙන් රාජ්‍යයට පැමිණ නුවර සතර වාසලෙහිම දන්හල් කරවා දවස පන්ලක්‍ෂයක් ධන විසදා මහදන් පැවැත්වූහ. මහාජනයාද දානාදි වූ කුසල ධර්මයෙහි යොදවා ස්වර්ගමාර්ගය කියා අනුශාසනා කරන්නේය. එකල දෙව්ලොව පිරි නරකාදිය සිස් වූ කලක් මෙන් විය.

ඒ නිමි රජ්ජුරුවෝ පසළොස්වක් පොහෝ දිනයක පෙහෙවස් සමාදන්ව සැතපී පශ්චිම යාමයෙහි පිබිද පලක් බැඳ යහන් මතුයෙහි හිඳ මෙසේ සැකයක් සිතුවාය. මම වනාහි මහජනයාට නිත්පතා මහා දන් දෙමි. නිති සිල් ආරක්‍ෂා කෙරෙමි. මේ දෙකින් දානයෙහි ඵල මහත් වේදෝ හෝ සීලයෙහි ඵල මහත් වේදෝ හෝයි, මෙසේ වූ සැකයක් සිතා ඒ සැකයෙහි පසිඳ පිය නොහී උන්හ. ඒ සිතූ ක්‍ෂණයෙහි ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු වී ඊට කාරණා බලන්නේ නිමි රජ්ජුරුවන්ගේ සිත උපන් සැකය දැක හුදකලාවම වහා අවුත් රාජ භවනයම බබුළුවා ශ්‍රී යහන් ගබඩාවට ඇතුළුව ආකාශයෙහි හිද තමා ශක්‍රයා බව හගවා කැමති පැණයක් මා අතින් විචාල මැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ එම්බා ශක්‍රය, දානය ශීලය දෙකින් කවරෙක් මහත්ඵල වේදැයි විචාළේය. එවිට ශක්‍රයෝ

හීනෙ නබ්‍රහ්මචරියේන – ඛත්තියෙ උප්පජ්ජති

මජ්ඣිමෙන ච දෙවතතං – උත්තමෙන ව්සුජ්ඣති

මජ්ඣිමෙන ච දෙවතතං – උත්තමෙන ව්සුජ්ඣති

තවද මහරජ අතීතයේ දුදීප, සාගර, සේල, මුචලින්ද, භාගිරථ, උසීනර, අට්ඨක, අස්සක ආදී රජ දරුවෝද බ්‍රාහ්මණාදී වූ බොහෝදෙනාද අනේකප්‍රකාර දන් දී මරණින් මතු කාමස්වර්ගයෙහි ම උපන්හ. සාමහනු, සෝමියෝග, මනෝජව, ආදී සෘෂිවරයෝ එකොළොස්දෙන සිල් රක්‍ෂා කොට දෙව්ලොව ඉක්ම බඹලොව උපන්නාහ.

තවද ශීලය මහත් බව හගවනු පිණිස කථාවක දන්වන්නාවූ ශක්‍රයෝ මහරජ, පෙරඋතුරු හිමවත ස්වර්ණ පර්වත දෙකට අතර පැවැත්තාවූ සීදා නම් වූ ගංඟාවක් වූවාය. ඒ අවට සිත් කළු වූ භූමි ප්‍රදේශයෙහි වාසය කළ දසදහසක් සෘෂිවරු සමාපත්තිලාභීහුමය. පිඩුසිගා වළඳති. එක් තාපස කෙනෙක අහසින් බරණැස්නුවරට ගොස් පුරෝහිත බ්‍රාහ්මණයාගේ ගෙදරට පිඩු පිණිස පැමිණි සේක. පුරෝහිත තෙමේ දැමුණු ඉදුරන් දැක ඉතා පැහැද ගෙට කැඳවා වඩා හිදුවා දන් පිළිගන්වා තොරතුරු සුවදුක් විචාරා තමාත් මහණවනු කැමතිව ස්වාමීනි, මාවද පැවිදිකර වදාළ මැනව. මම රජ්ජුරුවන්ගෙන් අවසර ගෙන එමියි දන්වා තම රජ්ජුරුවන් ළඟට ගොස් ඊට කැමත්ත ඊට කැමැත්ත අයැද සිටි සඳ ආචාය්‍ර්‍යයෙනි, කුමක් නිසා පැවිදිවනු කැමතිදැයි විචාළ වේලේ කාමයෙහි ආදීනව හා මහණ වීමෙහි ආනිශංස දැක යයි කීයෙන් එසේ නම් මහණව මා දැකීම පිණිස එවයි අවසර ගෙන ඒ බව තාපසයන් වහන්සේට දැන්වීය. තාපසයන වහන්සේ තම සෘධි බලයෙන් ඔහුවද අහසින් ගෙන ගොස් පැවිදි කරවා කසින පරිකර්‍ම ඉගන්වූ සේක. ඔහු කීපදවසකින් සමාපත්ති උපදවාගෙන මම රජ්ජුරුවන්ට දුන්ප්‍රතිඥාවෙන් මිදෙමියි සිතා තාපසයන් වැඳ අවසර ගෙන අහසින් අවුත් රජතුමා සමීපයට වැඩ සතුටුසාමීචී කථා කොට දන් වළදා ධර්ම දේශනා කළ සේක. රජ්ජුරුවෝ ඒ තාපසයන් ගැන අසා ඉතා පැහැද ඒ සියළු දසදහසක් තාපසවරුන්ට දන්දෙනු කැමති බව දැන්වීය. මහරජ කුමක් කෙරෙම්ද සෘෂිවරයෝ රසයෙහි ගිජු නොවන බැවින් මෙහි කැඳවාගෙන එන්ට නොහැක. එබැවින් මම එක් උපායක් කියමි. මෙයින් නික්ම සීදා නම් ගංතෙර සිට දන්දෙවයි කියා වැඩියහ. රජ්ජුරුවෝ යහපතැයි සියළු උපකරණ ගෙන චතුරඞගනී සේනාව සමඟ නික්ම ගංතෙර කඳවුරු බැදඞගෙන තපස්වීවරයන්ට දසදහස් අවුරුදු මහදන් දී එම ගංතෙරම නුවරක් කරවා ගොවිතැන් කර්මාන්ත කරවූහ. මහරජ ඒ රජ්ජුරුවන්ගේ අනිත් කෙනෙක් නොවෙත් මම්මය. මම එකල දන් දීමෙහි ශ්‍රේෂ්ඨව මහ දන් දී දෙව්ලොව ඉක්මවා බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමට නොහැකි වී මා දුන් දන් වළදා සිල් රැකි තපස්වරු කාමලෝකය ඉක්මවා බඹලොව උපන්නාහ. මහරජ මම දානයෙහි ඉතා ශ්‍රේෂ්ඨ වීමි. ඒ තපස්වරු සීලයෙන් උත්තමවූහයි කියා ශක්‍රදේවේන්‍දයෝ දෙව්ලොවට ගියහ.

දෙව්ලොව දෙවියෝද බ්‍රහ්මවිෂ්ණු මහේෂ්වරයෝද නිමි රජ්ජුරුවන්ගේ ගුණ අසා ඒ නුවරට ගොස් බණ අසනු කැමති බව සක්දෙව් රජුට දැන්වූහ. එවිට සක්දෙව් රජ තෙපි හැම එහි ගියාහු නම් අසුරයෝ අවුත් තොපගේ විමන් පැහැර ගතහොත් නපුරුය. එබැවින් මාතලී පුත් යවා නිමි රජ්ජුරුවන් මෙහි ගෙන්වමියි මාතලී දිව්‍ය පුත්‍රයන්ට නියම කළේය. මාතලී දෙව්පුත් අශ්වයන් දහසක් යෙදූ නාරිවාහන නම් රථය ගෙන නිමි රජ්ජුරුවන්ගේ මාළිඟාවට ගොස් සක්දෙව් රජ්ජුරුවන්ගේ ආරාධනාව දන්වා සිටියහ.

නිමි රජ්ජුරුවන්ගේ මහාජනයා රැස්කරවා අවවාද අනුශාසනා කොට අප්‍රමාදව දන්සිල් රකුවයි නියම කොට බොහෝ දෙන බල බලා සිටියදීම රාජහංසයෙකු සේ රථයෙන් අහසට නැංගාහුය. මාතලී දෙව්පුත් කියන්නේ මහරජ, දෙව්ලොව බලා පදිම්ද නරකය බලා පදිම්දැයි කීය. නිමි මහරජාණෝ නරකය බලා පදුවයි කීහ. නරකය බලා යන්ට වූ කලි නිමි රජ්ජුරුවන්ගේ සිරුර තුන්ගව් පමණ විය. ගව්වක් පමණ මිණි ඔටුන්නක් විය. ගැල් හැටක් පමණ ආභරණ විය. හිසට රන් සේසත් ඇතිව ශක්‍රයා සේ බබළන්නට විය. රථය ක්‍රමයෙන් ලඟා වී පළමුවෙන් වේතරණී නම් නරකයට ඇතුල් විය. එහි දිග සැට යොදුනකි. පළල සැට යොදුනකි. ගැමුර සැට යොදුනකි. සිසාරා ගිනිගෙන දිළිසෙන මේ නරකයෙහි දාගැබ් පිළිම ගෙවල් කඩා බිඳ දමා සඟසතු දේ අනිසි අන්දමින් පරිභොග කළවුන් උපදින නරකය බව මාතලී දෙව්පුත් අතින් දැනගත් නිමි රජ්ජුරුවෝ නැවත අම්බලම් ඒ දඩු සාදවම්හයි මුදල් එකතුකොට වංචාකළවුන් ඉපිද දුක්විදින ඔසුපත් නරකයට දැයි මෙසේ එක් සිය සතිස් නරකයම බලා එතැනින් දෙව්ලොවට ගොස් සියළු දෙව් විමන් බලා ඔවුන් කරන ලද කුසලා කුසල කර්ම අසා දැන සියළු දෙවියන්ට ධර්ම දේශනා කර නැවත රාජ්‍යයට පැමිණ තමා හිස නරකෙසක් දැක රාජ්‍යය පුතුට භාරදී මහණව භාවනා කොට බඹලොව ගියහ.

නිමි රජව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.