521 මුගපක්ඛ ජාතකය

තවද එක්සමයෙක්හි සකල ජනහිත විධායක විසුඬ බුඬ ඇති කරුණා නිධානවූ සම්‍යක්සම්බුඬ සර්වඥරාජොත්තමයානන්වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර වැඩවසනසේක් මේ මුගපක්ඛ ජාතක ධර්මදේශනාව තමන්වහන්සේගේ මහාභිනික්මන් අරභයාගෙණහැරදක්වා වදාළසේක.

එක් දවසක් දම්සභාවෙහි රැස්වඋන්නාවූ භික්ෂුහු බුදුන්ගේ මහාභිනික්මනෙහි ගුණ කිය කියා උන්නාහුය. සර්වඥයන්වහන්සේ එතැන්හි වැඩ මහණෙනි දැනි මා එන්නාට පූර්වභාගයෙහි මේ දම්සභායෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා නුඹවහන්සේගේ මහාභිනික්මනෙහි ගුණ කිය කියා උනුම්හයි කීකල්හි මහනෙනි, දැන් පුරනලද බොධිසම්භාර ඇති මා විසින් රාජ්‍යසම්පත්තිය හැර මහාභිනික්මන්කළ නියාව ආශර්වය්‍ර්‍යනෙවෙයි මම වනාහි නුමුහුකළාවූ ප්‍රඥාඇතිකල්හිද ද්‍රන සිලාදීවූ සමතිස් පෙරුම් පුරන්නේ මේ රජසැපත් හැර මහාභිනික්මන් කෙළෙම්වේදැයි වදාරා ඒ මහනුන් විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉතුත්වත් ගෙණහැරදක්වා වදාළ සේක.

හේ කෙසේදයත්?

පෙරබරණැස්නුවර කසීනම් රජෙක් දැහැමෙන් රාජ්‍යකරන්නේය. ඒ රජුගේ සොළොස් දහසක් බිසෝවරුන් වුවාහුය. ඔහුන් අතුරෙන් එකද ස්ත්‍රීයක්හට දුවෙක් හා පුතෙක් නුපන්නේය. නුවරවාසීන් කියන්නාහුඅපගේ රජ්ජුරුවන් වහන්සේගේ වංශය රක්ෂා කරන්නාහු පුත්‍රයෙක් නැතයි කුස ජාතකයේ හි අවාහු ක්‍රමයෙන් රැස්ව රජහට කියන්නාහු පුතකු ප්‍රාර්ථනා කීයේය. ඒ ස්ත්‍රීහු චන්ද්‍රසූර්‍යයාදීන්ට වැඳීම් පිඳීම් ආදි වූ උපස්ථාන කොට පාර්ථනා කරන්නාහුද දරුවන් නොලද්දාහුය. බිසවක් ඇත. ඒ බිසවුන්ට දරුවන් ප්‍රාර්ථනා කරවයි කීයේය.
එකල්හි ඒ චන්ද්‍රාදේවීතොම පෞණීමී දිනයෙහි පෙහෙවස් සමාදන්ව මිටි ආසනයක සැතපෙන්නී තමාගේ සීලය පරික්ෂා කොට ඕතොමෝ සත්‍ය ක්‍රියා කරන්නී මම අඛණ්ඩකොට රක්ෂාකළ සිල් ඇත්තෙම්ද මේ සත්‍යවචනය හේතුකොටගෙණ මට දරුවෝ ඇති වෙත්වයි මෙසේ සත්‍යක්‍රියා කළහ.

ඇගේ සීලානුභාවයෙන් ශක්‍රභවනය උනුආකාරයෙන් දැක්වීය. සක්දෙවි රජ තෙම පරික්ෂා කොට ඒ කාරණය දැන චන්ද්‍රාදේවී පුතකුපැතීය. ඈට සුදුසු පුතකු බතනුයේ බෝධිසත්වයන් දුටුයේය. එකල බෝධිසත්වයන්වහන්සේ විසිදහසක් අවුරුදු බරණැස රාජ්‍යයකොට එයිනුත් චුතව ඔසුපත්නරකයේ උපන්සේක් අසූදහසක් අවුරුදු එහි පැසි තවිතිසාභවනයෙහි උපන්සේක.

ඒ දිව්‍යලෝකයෙහිද ජීවිතාන්තය දක්වා හිට එයින් චුතව මත්තෙහි දිව්‍ය ලෝකයෙහි උපදනා කැමතිවිය. ශක්‍රදේවේන්ද්‍ර තෙම උන්වහන්සේ සමීපයට ගොස් කියනුයේ යහළු තොප මිනිස් ලොව උපන්කල්හි තොපගේ පාරමිතාවන් පිරෙන්නනේය. මහජනයාට මහත්වැඩද වන්නේය. මේ කසීරජුගේ මේ චන්දා නම් අගමෙහෙසුන් බුසවුතොම පුතකු පතන්නී ඇගේ කුස පිළිසිඳගනුවයි කීයේය. එකල්හි මහ බොසතාණන් වහන්සේ සක්දෙවිරජුගේ වචනයන් පිලිගෙන පන්සියක් දිව්‍යපුත්‍රයන් හා සමඟ ඒ දිව්‍යලෝකයෙන් චුතව තමන් වහන්සේ ඒ චන්ද්‍රානම් අගමෙහෙසුන්කුස පිළිසඳගත්සේක. සෙසුදිව්‍යපුත්‍රයෝද අමාත්‍යයන්ගේ භාර්ය්‍යාවන්ගේ කුස පිළිසඳගත්තාහුය. බිසවගේ කුස විදුරුපිරුවාක් මෙන් වූයේය. ඒ බිසව්තොම ගැබ්පිහිටි බව දැන රජරට දැන්වූවාය. රජ ඒ බව දැන ගැබ්පෙරහැර දෙවුයේය. ඕතොමෝ පිරුණු දරුගැබ් ඇත්තීය. පින්ලකුණු ඇත්තාවූ පුතකු වැදුවාය. එදවස් ඇමැත්තන්ගේ ගෙට ලද පන්සියක් කුමරුවෝ උපන්නයි කී කල්හි රජ ඇමතිගණ පිරිවරා මතුමහල්තලයෙහි උන්නේය. ඉක්බිති ඒ රජරට ඒ කුමාරයා උපන්බව කීවාහුය. ඕහට එබස් අසාම පුත්‍රසෙනහ උපන්නේය. ඒ සෙනඝ’ සිවි ආදිය විනිවිඳ ගොස් ඇටමිදුළු පැහැර සිටියේය. චින්තාභ්‍යන්තරයෙහි ප්‍රීති උපන්නේය. ළය සිහිල් වූවේය. මාගේ පුත්‍රයාගේ ඉපදීමෙන් තෙපි සතුටුවුදැයි අමාත්‍යයන් විචාළේය. එසඳ අමාත්‍යයෝ කුමක් කියනසේක් ද දේවයන්වහන්ස? අපි පෙර පිහිටක් නැත්තම්හ. දැන්වනාහි පිහිටක් ලදුම්භ, අප විසින් හිමිකෙනෙකුත් ලබන ලදැයි කීවාහුය. මාගේ පුත්‍රයාට පිරිවර උවමැනයි එබැවින් අමාථ්‍යකුලයෙහි උපන් කුමරුවන් මෙතෙකැයි බලා නියමදැන එවයි වහා සේන ගුප්තය යනඅමාත්‍යයෙකුට නියෝග කළේය. ඒ අමාත්‍යතෙම පන්සියයක් කුමරුන් දැක අවුත් රජරට දැන්වීය. එසඳ රාජකුමාර සතුටුව පන්සියයක් කුමාරාභරණ ගමන්කරවා පන්සියයක් කිරිමවුන්ද ගමන්කරවි. ඉතා උස් ස්ත්‍රීන්ගේ ඇකයෙහි හිඳ කිරි බොන දරුවන්ගේ කලවා රිදෙන හෙයි්ද ඉතා තරවූ ස්ත්‍රියගේ ඇකයෙහි හිඳකිරිබොන දරුවන්ගේ නාසා පැතලිවන හෙයින්ද සමහර ස්ත්‍රින්ගේ කිරිඇඹුල් රස හෙයින්ද සමහර ස්ත්‍රින්ගේ කිරි කුලුරස ආදිවූ වෙන වෙන රස ඇති හෙයින්ද මෙකී සියලු දෝෂ ඇති ස්ත්‍රීන් හැර මධුරවූ කිරිඇතිසේ තනසිටි සිවුසැටක් කිරිමවුන් බොසතාණන්ට තොරා දී මහත්වූ සත්කාර කොට චන්ද්‍රා දේවීන්ට වරයක් දුන්නේය. ඒ චන්ද්‍රාදේවී තොම ඒ වරය කැමති විට ඇර ගනිමියි නොගෙන තිබුවාය. ඒ කුමාරයාට නම් තබන්නාහු දිනයෙහි ලක්ෂණ කියන්නාවු බ්‍රාහ්මණයන්ට බොහෝ සත්කාර කොට ඕහට මතු උපද්‍රවයෙක් ඇද්ද නැද්දයි විචාළේය. ඔහු ඒ කුමාරයාගේ සාමුද්‍රිකා ලක්ෂණ සමුර්ධිය දැක මහරජ්ජුරුවන්වහන්ස, මෙතෙම පින් ඇති කුමාරයෙක. මෝඑක දිවයින තබා සතරමහදිවයින රාජ්ජ්‍යය කරන්නට සමත්‍ර්‍ථවන්නේය. මෝහට වනාහි කිසි උපද්‍රවයක් නුදුටුම්හයි කීවාහුය. ඒ බමුණක් කී නිමිති අසා සතුටු වු රජ තෙම කුමාරයාට නම් තබන්නේ මොහු උපන් දවස්හී සියලු කසී රට තෙම වැසි වටුහෙයින්ද තමාගේ ද ඇමති ආදීන්ගේ ද සිත් මෙමින් උපන් හෙයින් තෙකමිය කුමාරයයි නම් තුබුවේය. ඉක්බිති එක්මැසි කුමාරයා සරහා රජුගේ සමීපයට ගෙණහියාහුය. රජතෙම ප්‍රිය වූ පුත්‍රයා බලා වඩාගෙන ඇකයෙහි හිඳුවා සන්තෝෂයෙන් සනහා උන්නේය එකෙණෙහි සොරුන් සතරදෙනෙකු ගෙනාහුයාය. රජ්ජුරුවෝ ඔවුන් අතුරෙන් එකකුට කට ුසැමිටියෙන් දහසක් පාරදෙවයි කීය. එකෙකු ඇල්කීලෙවයි කීයේය. එකෙකුගේ අත් පා හරුවයි කීයේය. එකෙකු උල තබවයි නියම කලේය. මහ බොසතාණෝ පිය රජ්ජුරුවන්ගේ වධයෙදීම් අසා භයින් තැතිගෙණ මාගේ පිය රජ්ජුරුවන් වහන්සේ රාජ්‍යය නිසා නිරයගාමීවු බොහෝ අකුසල් කොට නැසෙන්නැයි සිතු සේක. දෙවැනි දවස් උන්වහන්සේ සේසතනය සරහන ලද ශ්‍රී යහන් මස්ත්‍රකයෙහි පිනවූවාය. ඒ කුමාර මදක් සැතපී පිබිදුනේය. ඇස්හයා සේසත් බලන්නේ මහත් ඓශ්වය්‍ර්‍ය දුටුයේය. ස්වභාවයෙන්ම අකුශලයෙහි භය ඇත්තාහු ඕහට ඒ ඓශ්වය්‍ර්‍ය දැක අධිකතරවූ භය උපන් නේය. ඒ රාජකුමාර තෙම මම මේ රජගෙට කොතැන්හි සිට ආයෙම්දැයි ජාතිස්මරණ ඥාණයෙන් බලනුයේ දිව්‍ය ලෝකයෙහි සිට ආබව දැන එයින් ඈතත් බලනුයේ නරකයෙහි පැසුනුබව දුටුයේය. එයිනුත් ඈත බලනුයේ එම නුවර රාජ්‍යය කළබව දුටුයේය. තුමුදු විසිවසරක් රාජ්‍ය කොට එකල්හි සිද්ධවූ අකුශල යෙන් අසුදහසක් අවුරුදු නරකයෙහි පැසුනෙමි. නැවතත් දැන් මේ සිර ගෙහිම උපනිමි. මාගේ පිය රජ්ජුරුවන් වහන්සේද ඊයේ දවස සොරුන් සතරදෙනකු ගෙනා කල්හි ඔවුන්ට කර්‍කශවූ තෙපුල් කියනුයේ තමාත් නරකයෙහි ඉපදීමට සුදුසුවූ බස් කීයේය. ඉදින් මම මතු රාජ්‍ය කෙරෙම්නම් නරකයෙහි ඉපද මහත් දුක් අනුභව කෙරෙමියි සිතින් සලකන්නාහට මහත් වූ භය උපන්නේය. ඔහුගේ රන්වන් වූ ශරීරය අතින් පිරිමදිනා ලද පියුමක් මෙන් මලානිකව නිශ්ශෝභා වූයේය. මම් සිරගෙන් කෙසේ මිදෙම්දැයි සිත සිතා හොත්තේය. පෙර ඕහට එක ජාතියෙක මව් වූ සේසත වසන එක් දෙව්දුවක් ඔහු අස්වසා එම්බල තේමිය කුමාරය තොප නොබවයි කියා ඉදින් මේ රාජ්‍යසම්පත්තියෙන් මිදෙනු කැමැත්තේ වීනම් නොපිළුව පිළුවව, නොබිහිරිව බිහිරිවව, නොගොලුව ගොළුවව, මෙතුන් අංග ඉටාගෙන යම් සේනුවණැතබව නොහඟවා අනතඃපුර පිටිනුවර වාසී ජනයාට අඥාන බව දක්වා මේ කාලකන්නි රජ ගෙන් නිකුත් කරවයි කියා නින්දා කරන පරිද්දෙන් පවත්නෙහිවේද එසේ කල්හි තොපට නොකමැති රාජ්‍යය හැර තපසට යාමෙන් වැඩ සිද්ධ වන්නේයයි කීවාය. ඒ කුමාරතෙම දෙව්දුවගේ බස් අසා එම්බල දිව්‍ය ස්ත්‍රිය තෝ මට වැඩ පිණිස යමක් කීයෙහිද, ඒ තොප කී පරිද්දෙන් කෙරෙමියි කියා තුන් අග ඉටා ගෙන ඒ වූ පරිද්දෙන් පවත්නේය. එකල්හි පිය රජ්ජුරුවෝ ඒ කුමාරයා උකටලී නොවන පරිද්දෙන් ඒ පන්සියයක් සැලැස්වූයේය. ඒ පන්සියයක් කුමරුවෝ කිරට අඬති. මහබෝසතාණෝ වහන්සේ අපාය භයින් භයපත් වූසේක්. රාජ්‍යය කිරීමට වඩා නිරාහාරව මියයාම උතුමැයි කිරට නොහඬනසේක. කිරිමව් එපවත් චන්ද්‍රාදේවීන්ට කීවාය. චන්ද්‍රාදේවී රජ්ජුරුවන්ට දැන්වූවාය. රජ්ජුරුවෝ නිමිති දන්නා බ්‍රහ්මණයන් කැඳවා විචාළේය. බමුණෝ කියන්නාහු දේවයන්වහන්ස කුමාරයා කිරි බොන වේලා ඉක්මවා කිරි දෙන්ට වටනේය. එසේ කල්හි ඒ කුමාර තෙම අඬමින් තනය දැඩි කොට තෙමේම කිරි බොන්නේයයි කීවාහුය. එතැන් පටන් ඒ කුමාරයාට වේලා ඉකුත් කොට කිරි දෙන්නාහුය. එසේ දෙන්නාහුද සමහර දවසෙක් වේලක කිරි නොදෙති, සමහර දවසෙක දෙවේලෙහිම කිරි නොදෙති. ඒ කුමාරතෙම එසේත් නොහඬන්නේය. එසේ කල්හි නොහඬන්නාවූ ඒ කුමාරයා මෑණියෝ හෝ මාගේ දරුවෝ සයින් පීඩිතහයි කිරි පොවති.

සෙසු දරුවෝ කිරි නොලත් කල්හි මහ හඬින් හඬති. ඒ කුමාරතෙම එසේ නොහඬන්නේය, නොනිදන්නෙය, අතපය නොදික්කරන්නේය, කථා නොඅසන්නේය, එසේ කල්හ ඔහුගේ කිරිමවු පිලු අයගේ හසතපාදයෝ මෙසේ නොවෙති, ගොළු අයගේ හසතපාදයෝ මෙසේ නොවෙති. ගොළු අයගේ හනු කෙළවර මෙබදු නොවෙයි, බිහිරි අයගේ කන්සිදුරු මෙසේ නොවෙයි, මේ වූකලී පාවාකොට ගත් දෙයක් වන, ඒ පරීක්‍ෂා කරම්හයි සිතා පළමුකොට කිරින් පරීක්‍ෂා කරම්හයි රෑ දවල් නොදෙති, ඒ කුමාරතෙම කිරි නොබී වියලෙන්නේත් කිරට නොහඬන්නේත් එසේ නොහඬන කළ ඔහුගේ මෑණියෝ මාගේ දරුවෝ සාදුකින් පීඩිතයෝය. ඕහට කිරිදෙවයි කියා දෙවන්නීය, මෙසේ අතරතුරයෙහි කිරි නොදී අවුරුද්දක් මුළුල්ලෙහි පරීක්‍ෂා කරන්නාහු-මේ කාරණය දුටුවාහුය, නැවත පරීක්‍ෂා කරන්නාහු බාල දරුවෝ නම් පූපාපූපයට කැමතිවෙති, ඉන් ඔහු පරීක්‍ෂා කරම්හයි පන්සියයක කුමරුවන් ඔහු ළඟ හිඳුවා නොඑක් පූපාපූපයන් එලවා ලඟ තබා තොප කැමති අවුලක් ගනුවයි සැඟවී සිටියාහුය. එසේ කල්හි සෙසු දරුවෝ විවාද කොට ඔවුනොවුන් පහරන්නාහු ඒ ඒ අවුළු ගෙණ අනුභව කෙරෙති, මහ බෝසතාණනන් වහන්සේ වනාහි එම්බා තේමිය කුමාරයෙනි තොප නරකයෙහි දුක් කැමැත්තෝද මේ කැවුම් කැමැත්තෝදැයි කියා නරක භයින් භය පත්ව ඒ කැවුම් දිශාවද නොබැලූසේක.

මෙසේ අවුරුද්ක් පූපාපූපයෙන් පරීක්‍ෂා කොට එයිනුදු සිදුරක් නොදැක බාල දරුවො නම් ඵලාඵල කැමතිවෙතියි බොහෝ ඵලාඵල ගන්නා එයිනුදු පරීක්‍ෂා කළාහුය. සෙසු කුමරුවෝ සටන් කරන්නවුන් මෙන් ඵලාඵල උදුරා කති, මහබෝසතාණන් වහන්සේ ඒ දිසාවත් නොබලනසේක. මෙසේ ඵල ඵලයෙනුත් අවුරුද්දක් පරීක්‍ෂා කළාහුය. නැවත බාල දරුවේ නම් කෙළිමඩුවට ප්‍රිය වෙති. රත්රන් රිදියෙන් කරණ ලද ඇත් රූ අස් රූ ආදිය එලවා තුබුවාහුය, සෙසු දරුවන් උදුරා ගන්නවුන් මෙන් කෙළිති. බෝසතාණන් වහන්සේ එදිසාවත් නොබැලූසේක. මෙසේත් අවුරුද්දක් පරීක්‍ෂා කළෝද බෝසතාණන් සතර හැවිරිදි වයසට පැමිණි සතර අවුරුදු කුමරුවෝ නම් භෝජනයට ප්‍රිය වෙතියි. එයිනුත් මොහු පරීක්‍ෂා කරම්හයි නොයෙක් ආහාර එලවූහ. සෙසු කුමරුවෝ පිඬු පිඬු කොට අනුභව කෙරෙති. මහබෝසතාණන් වහන්සේ වූ කලී නරක භයින් භය පත්ව එම්බා තේමිය කුමාරයෙනි තොප අහර නොලත් ජාති ගණනෙක් නැත. මේ එබඳු කොට සලකවයි අහර තුබූ දිසාවත් නොබැලූසේක. කිරි මව් තමන් සිත් නොසාහන්නෙන් තුමූම අතින් ගෙන වළඳවූවාහුය. ඉක්බිති පස් හැවිරිදි කුමරුවෝ නම් ගින්නට භය ඇති භයින් මොහු විමසම්හයි නොයෙක් දොර ඇති මහත් ගෙයක් කරවා තල් කොලින් සොයා සෙසු කුමරවරුන් හා සමඟ බෝසතාණන් වහන්සේ ඒ ගෙමැද හිඳුවා ගේ ගිණි ලැවුවාහුය. සෙසු කුමරුවෝ හඬාගෙන නික්මුණාහුය, මහබෝසතාණන් වහන්සේ වනාහි නරක ගින්නෙන් පැසීමට වඩා මේ උතුමැයි නිරොධ සමාපත්තියට සමවන්නාක්හු මෙන් නිශ්චලව උන්සේක. ඉක්බිති ගිණි එන කල්හි එයින් පහකළාහුය. ඉක්බිති සාවිරිදි කල්හි කුමාරයෝ නම් මතැතුන්ට බාති, ඇතුන් හික්මවා තෙසු කුමරවරුන් පිරිවරා රජගෙයි මළුවෙහි හිඳුවා ඇතුන් මුදැති, ඔවුන් කුචනාදන කොට සොඬ බිම ගසා දිව එති, සෙසු කුමරුවෝ මහා භයින් භයපත්ව ඒ ඒ දිග දිවති, මහ බෝසතාණන් වහන්සේ නරක භයින් භයපත්ව එහිම වැඩහිඳුනාසේක. හික්මුණු ඇත්තෙම උන්වහන්සේ සොඬින්ගෙණ ඈත් මෑත් කොට සොඬ මිරිකාම යන්නේය, සත්හැවිරිදි කාලයෙහි කුමරුවන් උන් බෝසතාණන් සමීපයට දළ උපුටා මුඛ බැඳ සර්පයින් ඇරියාහුය. සෙසු කුමාරවරුන් මහ හඬින් හඬා දිව එති, මහබෝසතාණන් වහන්සේ නරක දුක් විඳීමට වඩා සර්පයාගේ මුඛයෙන් විනාශ වීමම උතුමැයි නිශ්චලව හිඳිනා සේක. සර්පයෝ සියලු ශරීරය වෙලා මුදුන්හි පෙණ කොට හිඳිති, එසේත් නිශ්චලව ම උන්සේක.

මෙසේ අතරතුරෙහි පරීක්‍ෂා කරන්නෝත් සිදුරක් නුදුටුවාහුය.

ඉක්බිති අට ඇවිරිදි කුමරුවෝ නම් නළුනාටක කැමැත්තෝයයි පන්සියයක් කුමරුවන් හා සමඟ ඔහු රාජාංගනයෙහි හිඳුවා නළුනාටක පැවැත්වූවාහුය. කුමරුවෝ නැටුම් ආදිය දැක යහපතැයි යෙති. උපන් තොපට ඇසිල්ලකුත් සිනාවෙක් වත් සොම්නසෙක් වත් නැත්තේම වේදැයි නරක දුක් සලකා නැටුම් නොබලා නිශ්චලව හිඳිනා සේක. මෙසේ අතරතුරෙහි පරීක්‍ෂා කොටත් සිදුරක් නොදැක නැවත මොහු කඩුවෙන් පරීක්‍ෂා කරම්හයි කුමරුවන් හා සමඟ රජගෙල මලුවෙහි හිඳුවා ඔවුන් කෙළනා කල්හි එක් පුරුෂයෙකු යවති. ඒ පුරුෂතෙම දෑවානසේ සුදුවූ කඩුවක් ඉස සිසාරමින් පැන පැන නාදකරමින් කසී රජ්ජුරුවන්ගේ එක් කාලකන්නි පුතෙක් ඇත්ල, ඒ කොයිද? ඔහුගේ හිස මේ කඩුවෙන් සිඳීමියි දිව ආයැ ඔහු දැක සෙසු කුමරුවෝ මහ හඬින් හඬා පලා ගියහ. බෝසතාණෝ වූකලී නරක දුක් සලකා නොදන්නක්හු මෙන් නිශ්චලව උන්සේක. ඉක්බිති ඒ පුරුෂතෙම කඩුවෙනඉස පිරිමැද තොපගේ ඉස බොටුවෙන් කපමියි භය ගන්වා චලිත කොට ගතනොහී පහවිය. මෙසේත් අතරතුරෙහි විමසා සිදුරක් නුදුටුවාහුය. දස ඇවිරිදි කල්හි වනාහි මොහුගේ බිහිරි බව විමසම්හයි බෝසතාණන් වහන්සේ ගෝනා ඇඳ තිරයකින් වට කරවා සතර පිට සිදුරු සතරක් තබ්බවා ඔහු නොදක්වාම යට ඇඳ සක් පිඹින්නන් හිදුවා එකපැහැර සක් පුඹුවති, රජගෙය එකනින් නාදවන්නේය. අමාත්‍යයෝ ඇඳ සතර දිසාවෙහි සිට තිරයෙහි සිදුරෙන් බලා එක දවසකුත් බෝධිසත්ත්වයන්ගේ සිහි නැතිවීමක්වත් අතපය දිගු කිරීමක්වත් නුදුටුවාහුය. මෙසේ අවුරුද්දක් ගිය කල්හි නැවත අනික් අවුරුද්දක් එසේම බෙරහඬින් විමසන්නාහු. අතුරක් නුදුටුවාහුය. ඊට ඉක්බිත්තෙන් පානින් පරීක්‍ෂා කරම්හයි රාත්‍රී භාගය අඳුරෙහි අතපය සොල්වන්නේ නොවේදැයි කලය ඇතුලෙහි පහන් අවුළුවා සෙසු පහන් නිවා මදක් අඳුරෙහි ඉඳුවා කලයෙන් පානගෙණ එකවිටම එළිකොට ඉඳීම සිටිම් ඇත්තේදෝහෝයි විමසති. මෙසේත් අවුරුද්දක් විමසන්නාහු ඔහුගේ මදකුත් අතපය සෙලවීම් නුදුටුවාහුය. ඉක්බිති පැණියෙන් විමසම්හයි සියළු ශරීරය පැණින් ගල්වා බොහෝ මැස්සන් ඇති තෙනක පිනවා මැස්සන් උගුළවති. ඒ මැස්සෝ ඔහු්ෙ ඇඟ වසාගෙන ඉදිකටුනේ විදින්නාක් මෙන් විඳිති. එතෙම නිරොධ සමාපත්තියට සමවන්නාක් මෙන් නොසැනේනේය. එසේත් අවුරුද්දක් විමසන්නා ඔහුගේ සිදුරක් නුදුටුවාහුය. ඉක්බිති ඔහු තුදුස් අවුරුදු වූ කල්හි දැන් මේ තෙම මහත් වූයේය. පවිත්‍ර කැමැත්තේය. අපවිත්‍රයට පිළිකුල් කරන්නේය. එහෙයින් අසුචියන් විමසම්හයි එතැන් පටන ඔහු නොනැවතී අතපය පිරි සිදු නොකරවති. එතෙම මලමූත්‍ර කොට එහිම සැතපෙන්නේය. දුර්ගන්ධයෙන් ඔහුගේ අතුනුබහන් පෙරලෙන කලක් මෙන් වූයේය. එකල්හි ඔහු ඇඟ මැස්සො වසාගෙන කති. එම්බා තේමිය කුමාරයෙනි තොපි මහත්ව ගියව හැමකල්හි කවරෙක් තොප අතපය පිරිසිදු කරන්නේද? තොපට ලැජ්ජා නැත්තේ කිම්ද? කුමක්හෙයින් සැතපෙව්ද, නැගී සිට තොපගේ සිරුරු පිළි දැගුම්කරවයි කියා නින්දා කෙරෙති. එතෙම එබඳු පිළිකුල් එබඳු අමෙධ්‍යයෙහි සැළුනෝද සියක් යොදනෙක් ඈත සිටියවුන්ගේ දුර්ගන්ධයෙහි ගඳින් බඩ පෙරලෙන තරම් වූ අමෙධ්‍ය නරකයෙහි දුරගන්ධය සලකා උපේ්ක්ෂා වූයේය. සෙමෙන් අතරතුරෙහි අවුරුද්දක් පරීක්‍ෂා කරන්නාහුය. ඔහුගේ සිදුරක් නුදුටුවාහු. ඌෂ්ණයෙන් පීඩිතව වේදනා සහනය කොට ගත නොහී චලිත වීමක් දැක්වූයේ වීනම් යෙහෙකැයි සිත ඉක්බිති ඔහු හොත් ඇඳයට ගිණි කබල් තිබුවාහුය. ඇඟ පොළමෙන් බිබිනැංගේය. එසේත් මහබෝසතාණන් අවීචි මහ නරකයෙහි ගිණිදැල් සියක් යොදුනෙහ පැතිර සිටිනේ ඒ නරකයෙහි ඉපද විඳිනා දුකට වඩා මෙදුක්සියක් ගුණයෙන් දහස් ගුණයෙන් ද ඉතා උතුමැයි ඉවසා නිශ්චල වූසේක.

ඉක්බිති ඔහුගේ මව්පියෝ ළය පැලීයන්නාක්මෙන සෝකව මිනිසුන් පහකරවා ඔහු ඒ ගින්නෙන් පහකොට පුත තෙමිය කුමාරයෙනි අපි තොපගේ නොපිළුබැව් ආදිය දනුම්හ. ඒ එසේමය. ඒ පිළු ආදීන්ගේ පය මුව කන් සිදුරු මෙබඳු නොවෙයි. තොපවනාහි ප්‍රාර්ථනා කොට ලත් පුතෙක අප නොනසව සියළු දඹදිවෙහි රජුන්ගේ සමීපයෙන් වන නින්දායෙන් අප මුදවයි යාඥා කළාහුය. ඒ කුමාර තෙම ඔවුන් විසින් මෙසේ යාඥා කරන ලද්දේය. නොහසන්නක්හු මෙන් නිශ්චලව හොත්තේය. ඉක්බිත්තෙන් ඔහුගේ මව්පියෝ අඬමින් එතනින් පහවයෙති. සමහර කලෙක පිය රජ තනිව ගොස් යාඥාකරන්නේය. සමහර කලෙක මෑණියෝ හෝ ගොස් යාඥා කෙරෙති. මෙසේ අවුරුද්දක් මුළුල්ලෙහි විමසන්නාහු ද අතරතුරෙහි ඔහුගේ සිදුරක් නුදුටුවාහුය. ඉක්බිති සොළොස් වයස් පිරුණු කල්හි කොර අය වේවයි ගොළු බිහිරි අය වේවයි ඔහු කළ වයස් ඇළුම් කටයුතු දෙයෙහි නොඇලෙන්නාහු ද අප්‍රිය වස්තුවෙහි ප්‍රියවන්නාහුද නැත. මල් පිපෙන්නාක් මෙන් මෙතෙම ලෝක ස්වාභාවයෙක එහෙයින් මොහුගේ සමීපයට නාටක ස්ත්‍රීන් ගමන් කරවා පරීක්‍ෂා කරම්හයි සිතා ඉක්බිති දෙවඟනන් බඳු වූ උතුම් රූ ඇති ස්ත්‍රීන් කැඳවා තොප අතුරෙන් යම් ස්ත්‍රියක් කුමාරයෝ සතුටු කරවන්නටත් කෙලශබන්ධනයෙන් බඳින්ටවත් හැකිවේද ඕම ඕහට අග මෙහෙසුන් වන්නීයයි කියා කුමාරයා සුවඳ පැනින් නහවා දෙව්කුමරුවකු මෙන් සරහා දෙව්විමනක් බඳු වූ ශ්‍රීයහන් ගබඩාවෙහි මනාකොට තනවන ලද යහන් ඔත්තට වඩා සුවඳ දම් මල් දුම් සුවඳ ආදියෙන් මුළු ගබඩාව එක සුවඳ පිඩක් මෙන් කොට ඉක්බිති ඒ නාටක ස්ත්‍රීහු ඔහු පිරිවරා නැටීම් ගීකීම් මියුරු බස් කීම් ආදීවූ නොයෙක් ආකාරයෙන් සිත් පොළඹවන්ට උත්සාහ කළාහුය. තේමිය කුමාරතෙම තමා නුවණැති බැවින් එසේ නොයෙක් ආකාරයෙන් සිත් ගන්ට උත්සාහ කරන ස්ත්‍රීන් බලා මොහු මාගේ ශරීරයෙහි සුවපහස් නොවින්දහෙත්වයි සුසුම් රඳවා මල මිනියක් සේ දැඩි කෙළේය. එවේලෙහි ස්ත්‍රීන් පහස්වින්ද නොහී මේ කුමාරතෙම සර්වප්‍රකාරයෙන්ම දැඩි වූ ස්වභාව ගුණ ඇත්තෙමි ඒකාන්තයෙන් තද එකෙකැයි මව්පියන්ට දැන්වූය. මෙසේ අතරතුරෙහි විමසන්නාවූ මව්පියෝ ඔහුගේ අතුරක් නුදුටුවාහුය.

මෙසේ සොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සොළොස් මහා පරීක්‍ෂාවකින් හා නොයෙක් කුඩා පරීක්‍ෂා ද කරන්නාහු දැන ගත නුහුනුවාහුය. ඉක්බිති පිය රජ්ජුරුවෝ කළකිරී නිමිත්ත පාඨකයන් ගෙන්වා තොපි කුමාරයා උපන් දවස් මෙතෙම මහත් පිණැත්තේය. මෝහට උපද්‍රවයක් නැත්තේයයි කීවාය. එතෙම දැන් කොර ගොළු බිහිරි වූයේය. එහෙයින් තොපගේ කථා සම නොවන්නේ යයි කීවාහුය. එකල්හි එබමුණෝ කියන්නාහු මහ රජ අප විසින් නොදත් දෙයක් නැත. එතකුදුවක් නුඹ වහන්සේ විසින් පතා ලත් දරුවන් කාලකන්නියයි කී කල්හි නුඹ වහන්සේලාට දොම්නස් උපදනේයයි සිතා නොකිවූහයි කීවාහුය. දැන් කුමක් කරමෝදැයි බමුණන් අතින් විචාළ කල්හි බමුණෝ කියන්නාහු මේ කුමාරතෙම මේ රජගෙයි වසන්නේ වීනම් නුඹ වහන්සේගේ ජීවිතයට හෝ රාජ්‍යයට හෝ අගමෙහෙසුන් බිසවට හෝ උපද්‍රව වන්නේය. එසේහෙයින් අවමඟුල් රථයකට අවමඟුල් අසුන් යොදා එහි ඔහු හිඳුවා බස්නාහිර දොරින් නිකුත් කොට අමු සොහොනෙහි වලලන්ට යහපතැයි වටනේයයි කීවාහුය. රජතෙම උපද්‍රව අසා භයින් යහපතැයි ගිවිස්සේය.

චන්ද්‍රාදේවී එපවත් අසා රජහු කරා පැමිණ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ විසින් පළමුවෙන් මට වරයක් දෙන ලද ඒ වරය දැන් මට දුනමැනවයි කීවාය. රජහු විසින් තොප කැමති වරය ගනුවයි කී කල්හි මාගේ පුත්‍රයාට රාජ්‍යය දෙවයි කීවාය. දේවීනි තොපගේ පුත්‍රතෙම කාලකන්නියෙක එහෙයින් රාජ්‍ය දින නොහැක්කේයයි කීයේය. එසේ හෙයින් මහ රජ්ජුරුවන් වහන්ස දිවිහිමියෙන් නොදන සේක් වීනම් සත් අවුරුද්දකට දුන මැනවැයි ඉල්ලා එසේත් නොලැබ සාවුරුද්දකටය පස් අවුරුද්දකටය යනාදී ක්‍රමයෙන් පසළොස් දවසක් දක්වා ඉල්වා එසේත් නොලැබ ඉක්බිති සත්දවසකට දෙවයි ඉල්වාගෙණ ඕතොමෝ රාජකුමාරයන් රාජ කුමාරාභරණයෙන් සරහා තේමීය කුමාරයන්ගේ රාජ්‍යයෙහි නුවර බෙරලවා නුවර සරසවා පුත්‍රයා ඇතුපිට තබා ගෙන සේසත මුදුනට කරවා නුවර පැදකුණු කොට ආවාහු ඔහු ශ්‍රීයහන් මත්තෙි සතපපවා පුත තේමිය කුමාරයෙනි තොප නිසා සොළොස් අවුරුද්දක් නිදි නොලැබ හඬන්නා වූ මාගේ ඇස් විලුස්ස ගියේය. සෝකයෙන් ළය පැලෙන්නාක් මෙන් විය. තොප කොර පිළු බිහිරි බැව් ආදිය නොවන බව දනිමි තොප මා අසරණ නොකරවයි සියළු රාත්‍රිය මුළුල්ලෙහි යාඥා කළාය. මෙම ක්‍රමයෙන් දවසින් දවස පස් දවසක් යාඥා කළාය. සවැනි දවස් රජ තෙම සුණන්ද නම් රථාචය්‍ර්‍යයා කැඳවා එම්බල රථාචය්‍ර්‍යයා තෝ සෙට උදෑසන අවමඟුල් රථයක් අවමඟුල් අසුන් යොදා කුමාරයා එහි තබාගෙන බස්නාහිරි වාසැල් දොරෙන් ගෙන ගොස් අමු සොහොනෙක්හි සිවුරැස් වලක් කැණ ඔහු ඒ වලෙහි ලා උදලු පිටින් ඔලුව තලා මරාපියා මුදුනෙහි පස්ඔබා ඉස්සෝදා නාවා එවයි විධාන කෙළේය. සවෙනි රාත්‍රියෙහිද යාඥා කරන්නා වූ මෑණියෝ පුත තේමිය කුමාරයෙනි, කසී රජ තෙම සෙප තොප අමුසොහොනෙක්හි වළලන්නට නියෝග කළේය. සෙට මරණයට පැමිණෙව දරුවෙනියි කීවාය. ඒ අසා එම්බා තේමිය තා විසින් සොළොස් අවුරුද්දක් කළ වීය්‍ර්‍යය මුදුන් පැමිණෙන්නේ යැයි සිතන්නාවූ මහා බෝසතාණන් වහන්සේට ප්‍රීති උපන්නේය. මෑණියන්ට ලය පැලෙන්නාක් මෙන් ශෝක උපන්නේය. එසේ කල්හි ද මාගේ සිත මුදුන් පැමිණියේ යයි මෑණියන්ට කතා නොකළ සේක. ඉක්බිති ඒ රාත්‍රිය පහන් වූ කල්හි උදෑසනම “සුනන්ද” නම් රථාචාය්‍ර්‍ය තෙම රථය යොදාගෙන දොරකඩ තබා ශ්‍රී යහන් ගබඩාවට වැඳ දේවියනි මට නොකිපෙව රජහු ගෙන් නියෝග ලදින් ආමියි ඉවත් වුව මැනවයි පුතණුවන් සිපගෙන හොත් මෑණියන් පිටිඅත්ලෙන් ඉවත් කොට කුමාරයා මල් කළඹක් මෙන් වඩාගෙන මාළිගාවෙන් බස්නට වන මවු බිසව් ලෙහි අත් ගසාගෙන මහා හඬින් මතු මහල් තෙලෙහි උන්හ. වැටී හුනු මෑණියන් දැක මා බැන නොනැගි කල්හි ලය පැලී මියගියොත් අලාභය, බැණ නැගෙන්දෝ හෝයි සිතා ඉදින් මැන නැගෙන් නම් සොසොස් අවුරුද්දක් ගත් දුක් සිස් වන්නේය. බැන නොනැගෙන්නේය. දෙමාපියන්ටත් මටත් පිහිට වෙයි ඉවසූ සේක. ඉක්බිති රථාචාය්‍ර්‍යයා ස්වාමිදරුවන් රථයෙහි ලා ගෙන බස්නාහිරි වාසල් දොරට අභිමුඛව පැද්දේය. රථයක එළිපතෙහි බැඳ ගියේය. මහා බෝසතානන් වහන්සේ රථසකයෙහි අඬ අසා මාගේ සිත මුදුන් පැමිණේයැයි සිතා සතුටු වු සේක.
රථය නුවරින් නික්ම දෙවියන්ගේ මහිමයෙන් දොළොස් ගව්වක් ගිය කල්හි ඒ තැන සුපුෂ්පිත වන ලැහැබැක් අමුසොහොනෙකැයි සිතා වලලන්ට මෙතන යහපතැයි සිතා මාවතෙන් ඉවත් කොට රථය තබා රථයෙන් බැස බෝධිසත්වයන් වහන්සේගේ අභරණ පොදියක් කොට තබා උදැල්ල ගෙන නොදුරු තැනක වල කනන්නට පටන් ගත එවේලෙහි ස්වාමි දරුවෝ උත්සහ කරන්නට කළැයි සිතා සොළොස් අවුරුද්දක් අතපය නොසෙල් වූයෙමි. කිමෙක් දෝ හෝ මට අත පය වසඟ වේ දෝ ? හෝයි බලන පිණිස නැගී සිට වමතින් දකුණතද දකුණතින් වමතද දෑතින් දෙපයද මිරිකා රථයෙන් බස්නා කැමතිව එකෙනෙහිම රථයෙන් බැස ඔබ මොබ සක්මන් කොට මෙසේම යෙමියි නම් එකදා හාරසියයක් ගව් යන්ට ශක්ති ඇතතෙමියි දැන ඉඳන් මේ රථාචාය්‍ර්‍ය තෙම මට විරුද්ධ දී නම් මැඩ පවත්වන්ට මට ශක්ති ඇත්තෝ දෝ ? හෝයි පරීක්‍ෂා කරණු පිණිස රථය පසු කෙළවර අල්වා පැටින් කෙළනා යහනාවක් සේ මන් උසුවා එබඳු ශක්ති ඇතැයි දැන සිටි ඒ බෝසතානන්ට ආභරණ සදමියි සිත් උපන. මෝ හට මිනිස් පළඳනාවෙන් කම් කිම් දැයි දිව පළඳනා හා සමඟ සක් දෙව් රජුගේ නියෝගයෙන් විශ්වකර්මයා එවූයේය. ඒ අවුත් දහසක් සළු පටන් ඉස වෙළුම් බැඳ නොයෙක් නිර්මිත පළඳනාවෙන් සක්දෙව් රජහු මෙන් සරහා ගියේය.

ඔහු ගිය පසු රථාචාරීහු වල කනන තැන සමීපයට ගොස් රථාචාය්‍ර්‍යයා හා සමඟ කතා කරන සේක්. රථාචාය්‍ර්‍ය යුහුව කුමක් නිසා වලකනිද? වලකැන ගත යුතු අල ජාතියක් පෙණෙන්නේ නැත. අමුතුව වල සඟවා ලිය යුතු දෙයක් පෙනෙන්නේත් නැත.මා විසින් විචාරන ලද සබඳ තෝ කිය වලින් තට ප්‍රයෝජන කිමද? යි විචාල සේක.

එබස් ඇසූ රථාචාය්‍ර්‍යයා වල සාර සාරා උඩ නොබලාම කසී රජහුගේ කොර පිළිවූ ගොළු බිහිරි වූ සිත්පිත් නැත්තා වූ පුතෙක් උපන, ඔහු වලලන පරිද්දෙන් නියෝග අසාගෙන රථයකින් ගෙනහැර මෙතැන තබා වල කණමියි කීය. එබසට එම්බල රථාචාරිය මම ගොළු වූයේමුත් නොවෙමි. බිහිරි වූයේමුත් නොවෙමි. කොර පිළු වූයේත් නොවෙමි. ඉදින් සැක ඇත්තේ වීනම් රන් කෙහෙල් කඳක් වැනි මාගේ කලවා බලව ඒ රාවනයාගේ සොඬ වැනි මාගේ අත් සඟළ බලව කුරවීක තෙපුල් වැනි මියුරු තෙපුල් අස කොර පිළු ගොළු බිහිරි වූ පුතෙකු වලලන්ට රජහු නියෝග කළ බවමුත් මාසේ ලක්‍ෂණ සම්පන්න දිව කුමරුවකු වැනි පුතහු කෙණෙකුන් වලලන්ට මපියාණන් වහන්සේ නොවදාරණසේක්. ඔබ නොකීවා කරන්නාවූ තෝ අධර්මයක් කරන්නෙහියයි සිතමියි කීසේක. එබස් අසා රථාචාය්‍ර්‍ය තෙම කර ඔසවා බලන්නේ රුවින් අග පැමිණියා වූ ඒ කුමාරයන් දැක දේවතාවෙක් දෝහෝයි තෝරා ගත නොහී විචාරන්නේ ස්වාමීනි නුඹ වහන්සේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාන කෙනෙක්ද? ශක්‍ර දේවේන්ද්‍ර කෙනෙක්ද? කාගේ පුතණු කෙනෙක්දැයි විචාළේය. පෙර මේ බරණැස් නුවර රාජ්‍යයට පැමිණ විසි අවුරුද්දක් රාජ්‍ය ශ්‍රී අනුභව කොට එහි කරන ලද පවින් නරකයෙහි ඉපද අසූදහසක් අවුරුදු පැසී මහ දුක් වින්දෙමි. පූර්ව ජාතිය සිහි කරන්නාවූ මම රාජ්‍යයෙහි අභිෂේක කරන්නාහුයි සිතා මව් පිය දෙදෙනා හා සමඟ කථා නොකෙළමි. එම්බල රථාචාය්‍ර්‍යය එක් දවසක මාගේ පිය රජ තෙම මා උකුළෙහි තබා ගෙන රාජ්‍යය අනුශාසනා කරනුයේ. එකෙණෙහි බැඳ එන්නා වූ සොරුන් සතර දෙනෙකු දැක එකකු මරවයි කීය. එකෙකු සිරගෙයි ලවයි කීහ. එකෙකු ඇඟ සැතින් විද කාරමි ලවයි කීය. එකෙකු දිවස් උල තබවයි කීය. ඒ රජහු පවිටුවූ බස් ඇසුවා වූ මම නොගොළුව ගොළු වීමෙන්ද, නොපිළුව පිළු වීමෙන්ද මාගේ මල මුත්‍රයෙහි තැවරී වාසය කෙළෙමි.

එම්බල රථාචාය්‍ර්‍යය මෙලොව සත්ත්වයන්ගේ ජීවත් වීම තෙම මේ දුක්වූයෙන් බොහෝ කලක් පවත්නෙම් යෙහෙක. ඉදින් ස්වල්ප කාලයක් පවත්නෙම් දුක් නොවී නමුත් යෙහෙකැයි මෙමා වූකලී එසේ නොවන්නේය. ඉතා ස්වල්ප කාලයක්ම පවත්නේය. එතෙමේත් සසර දුක් නොහැර පවත්නේය හෙවත් දුකින් මඩනා ලද්දේය. එහෙයින් මේ ස්වල්ප ජීවිකාව නිසා කවර කාරණයකින් ප්‍රාණඝාතාදීවූ අකුසල් කෙළේදැයි යතහොත් අනිත්‍යය දුඃඛය අනාත්මය යන තිලකුණු දැනගන්නා විදර්ශනා නුවණැති හෙයින්ද ශ්‍රොතාපත්ති ආදීවූ මාර්ග නුදුටු හෙයින්ද ඒ සත්වතෙම දුක්වූ ස්වල්ප ජීවිකාව නිසා ප්‍රාණඝාතාදී අකුසල් කරන්නේය. එසේහෙයින් ඒ දුකින් මිදෙම්හයි ඉතා යුහුසුලු නොවන්නා සත් පථයෙහි පවත්නා ජනයන්ට ඉචඡාඵලය සිඬවන්නේය. ඒ එසේමය. සොළොස් අවුරුද්දකින් දැන් මාගේ මනොරථය සිඬවීම යයි වදාළසේක.

එකල්හි ඇති මධුර වු බණ කථාව ඇසූ රථාචාය්‍ර්‍යතෙම මේ රාජ කුමාරතෙම මෙබදු රජ සෙරු කුණපයක් මෙන් දමා සිතාගත් අධිෂ්ඨානය නොබිඳ පැවිදි වෙමියි මේ මහ වළට වන. මාහට මේ දුකඛ ජීවිකාවෙන් කවර ප්‍රයෝජන ද මම ද මුන් වහන්සේ හා සමඟ මහණ වෙමියි සිතා තෙමිය කුමාරයන් වහන්ස නුඹ වහන්සේට මතු වැඩෙක් සිඬවෙයි නුඹ වහන්සේගේ මේ පැවිදිවීම මටත් කැමති වීමය. එබැවින් නුඹ වහන්සේගේ සමීපයෙහි මමත් පැවිදි වනු කැමැත්තෙමි මාත් කැඳවාගත මැනවැයි කීයේය. මෙසේ ඒ රථාචාය්‍ර්‍යයා විසින් යාච්ඤා කළ කල්හි බෝසතානෝ ද ඉදින් මම මුන් දැන්ම පැවිදි කෙළෙමි නම් මාගේ මව්පියෝ ද මෙතනට නොපැමිණෙති. එයින් ඔවුන්ට මහත් පිරිහීම වන්නේය. මේ රථයෙහි යෙදූ අශ්වයෝ ද රථයද ආභරණ ද බඩු ද මෙතනම නැසෙන්නේය. තෙමිය කුමාර නම් එක් යක්‍ෂයෙකැයි රථාචාය්‍ර්‍ය තෙම ඔහු විසින්ම මරා කන ලද එයින් දැන් නුඹ වහන්සේ නුවරට නොආයේ යයි මට නින්දාවකුත් වන්නේ යයි සිතා තමා නින්දානේ මිදීම හා මව්පියන්ට මතු වන්නා වූ වැඩ ද නුවණින් සලකා උපායකින් ඒ රථාචාය්‍ර්‍යය මා මේ වල්හි හැර තොප යන්ට ආ පමණක් මුත් මේ රජ්ජුරුවන්ගේ අසුන් හ රථය ද දමනු නිසා ආයෙහි නොවෙයි එසේ හෙයින් මේ රථය ගෙන ගොස් රජ්ජුරුවන්ට දී නයින් මිදී වර. නය නැත්තාහුගේ පැවිදි වීම බුද්Ȁdධාදී වූ රුසිවරයන් විසින් පසස්නා ලදැයි වදාළ සේක.

ඒ අසා රථාචාය්‍ර්‍යතෙම ඉදින් මා නුවරට යාදී මුන්වහන්සේ අන් තෙනකට වැඩිසේක් වීනම් එපවත් අසා ආවාවූ පිය රජ්ජුරුවෝ මපුතනුවන් වහන්සේ මට දක්වවයි කියා නොදැක්වුවහොත් මට නිග්‍රහ කරන්නාහු වෙති. එබැවින් තමා ගුණ කියා ප්‍රතිඥා කරන්නා කැමැත්තෙමියි ස්වාමි වූ තෙමිය කුමාරයන් වහන්ස නුඹ වහන්සේට වැඩෙක් වේවයි යම් හෙයකින් මම නුඹ වහන්සේට කීකරු වීම්ද එහෙයින් මා විසින් යාඤා කරන ලද නුඹ වහන්සේද මාගේ වචනය කරන්ට සුදුසු සේක. යම්තාක්කාලකින් මම නුඹවහන්සේගේ පිය රජ්ජුරුවන් වහන්සේ කැඳවා ගෙන එම් ද ඒ තාක් නුඹ වහන්සේ මෙතැන් හිම සිටිය මැනව ඉදින් ඒ පිය රජ්ජුරුවන් වහන්සේ අවුත් තොප දැක සතුටු සේක්වීන් යෙහෙකැයි කීයේය. එබසට බෝසතානෝද එම්බල රථාචාය්‍ර්‍යය තෝ මට යමක් කියන්නෙහිද, එය මම ද කරන්නෙමි. ඒ එසේමය. මමත් පියාණන් දක්නා කැමැත්තෙමි, එබැවින් එම්බා රථාචාය්‍ර්‍යය තෝ නුවරට ගොස් යුහුව එනුවර මාගේ ඥාති සමූහයන්ට මා නිදුක් බවද කියා දෙමව්පියන්ට මාගේ බසින් නමස්කාරද කරවයි කියා රන් කෙසෙල් ගසක් මෙන් බරණැස් නුවර දිශාවට නැමී මව්පියන්ට පසඟ පිහිටුවා වැඳ රථාචාය්‍ර්‍යයාට මෙසේ අසුන් දුන්නේය. එහසුන් ගෙන මහබෝසතානන්ගේ පය වැඳ පැඳ කුණුකොට නුවර වැඳ මාලිඟා දොරකඩට පැමිණියේය. එකල්හි චන්ද්‍රාදේවී තොම මාගේ පුත්‍රයානන්ගේ පවත් කවරේදැයි සිවුමැදුරු කවුළුව හැර රථාචාය්‍ර්‍යයා එන පෙර මග බලන්නේ හිස් රථය ගෙන එන්නා වූ රථාචාය්‍ර්‍යයා දැක මේ රථාචාය්‍ර්‍යයතෙම හිස් රථය ගෙන එන්නේ යයි කඳුලෙන් තෙමුනු මුහුණු ඇතිව විලාප කිය කියා අඩන්නී මේ රථාචාය්‍ර්‍යා තෙම මාගේ පුත්‍රය පසින්යට කොට එන්නේය. ඒ භූමි වර්ධන වූ මාගේ පුත්‍රතෙම පොළව කැණපස් වසන ලද්දේය. නැසුනේ වන ඒ එසේමය. මාගේ පුත්‍රයා නසා ආවාවූ මේ රථාචාය්‍ර්‍යයා දැක සතුරන් සතුටු වෙති සිතමියි යනාදී විලාප කිය කියා රථාචාය්‍ර්‍යයා අතින් විචාරන්නී එම්බා රථාචාය්‍ර්‍යය මාගේ පුත්‍රතෙම කිමෙක්ද සැබවින් ගොළුවෙක්මද, කොරෙක්මද, බිමකැණ පසින් යට කරන ලද වන්නේයයි විලාප කිය කියා හැඬීද, නොහොත් තමා නොමරවයි කියා කොර හැර අත පය ගසා හැඬීද මේ සියල්ල නොවලහා කියවයි කීහ. එකල්හි රථාචාරී තෙම ඉදින් තෙමිය කුමාරයෝ ගොළු බිහිරි නොවන්නාහ. මිහිරි කතා ඇත්තාහ. බණ කියන්නාහුයයි කීම්නම් එසේවුව කවර හෙයකින් තෝ කැඳවා ගෙන නොආවෙහිදැයි රජ මට කිපී නිග්‍රහයක් කෙළෙම්නම් නපුර එබැවින් පළමුකොට අභය ඉල්වමියි සිතා ඉදින් අර්‍යාවෙනි නුඹවහන්සේ මට අභය දෙනසේක් වීනම් තෙමිය කුමාරයන්ගේ සමීපයෙහි මා දුටු දෙය නොවලහා කියන්නෙම් වේදැයි කීයේය.

එබසට චන්ද්‍රාදේවීතොම එම්බල රථාචාය්‍ර්‍යය තට අභය දෙන්නෙමි තෙමිය කුමාරයන්ගේ තා දුටු ඇසූ සියල්ලම නොවලහා කියවයි කීවාය. එකල්හි රථාචාය්‍ර්‍යතෙම කියනුයේ එම්බා චන්ද්‍රා දේවීන්වහන්ස නුඹවහන්සේගේ පුත්වූ තෙමිය කුමාරයන් වහන්සේ ගොළු බිහිරිව පිළුව උපන් කෙනෙකුන් නොවනසේක. උන් වහන්සේ වනාහි නොපැකිලි පවත්නා මධුර වූ තෙපුල් ඇතිසේක. ලීලොපෙතවූ ගමන් ඇතිසේක. එතකුදුවත් රාජ්‍ය සම්පත්තියට භයින් බොහෝ වංචාවෙන් දවස් හළසේක. ඒ එසේමය පෙර මේ බරණැස් නුවර විසි අවුරුද්දක් රාජ්‍යය කොට එපවින් නරකයෙහි අසූදහසක් අවුරුදු පැසී දැන් නුඹ වහන්සේට පුත්‍රව උපන්සේක. ජාතිසමරණ ඥාණයෙන් ඒ අපායෙහි විඳිදුක් තොපගේ ඒ තෙමිය කුමාරයන් වහන්සේ සිහි කොට රජසිරි විඳීමට භය ගෙන මෙසේ රාජාභිෂේක කරතියි සිතා මව්පිය දෙදෙනාගේ සමීපයෙහි කථා නොකොට ගොළු බිහිරි කොර ආකාර පමණක්මුත් සම්පූර්ණ වූ හස්තපාදාදී අවයව ඇති සේක. යහපත් වූ ආරොහ දැක්වූ පරිනාහද ඇතිසේක. නොපැකිල පවත්නා වූ මධුර වූ තෙපුල් ඇතිසේක. සූක්‍ෂම වූ ප්‍රඥා ද ඇතිසේක. දැන් වනාහි දිව්‍යලෝක ගාමී මර්ගයෙහි වැඩසිටිසේක. ඉදින් එම්බා දේවයන්වහන්ස නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර වූ ඒ තේමිය කුමාරයන් වහන්සේ දක්නා කැමතිසේක්වී නම් දැන් ඔහු වසන තැනට තොප කැඳවා ගෙන යෙමියි කීයේය. ඒ තේමිය කුමාරයන් වනාහි රථාචාය්‍ර්‍යයා නුවරට ගමන් කරවා තෙමේ පැවිදිවනු කැමතිවිය. ඔහුගේ චිතතාචාරය දැන සක්දෙව් රජතෙම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා කොල තේමිය කුමාරයෝ පැවිදිවනු කැමැත්තෝය. ඔවුන්ට පන්සලක් ද තවුස් පිරිකර ද නිර්මාණය කොට දෙවයි කියා එවීය. ඒ ද මහත් වේගයෙන් අවුත් ඒ වනයෙහි තුන් යොදුන් තැන් පන්සලක් මවා රාත්‍රි ස්ථාන දිව ස්ථාන ලින් පොකුණු ඵල රුක් ආදීයෙන් සමුර්‍ඬකොට සියළු තවුස් පිරිකර ද මවා දෙව්ලොවටම ගියේය.

මහබෝසතානෝද ඒ පන්සල දැක මේ සක්දෙව් රජහු විසින් කරන ලද නිර්මාණයකැයි දැන පන්සලට වැඳ හන්සලු තබා සන වැහැරි පෙරවා අඳුන දිවි සම් එකාංශයෙහි කොට දළ මඬුලු බැඳ පිරිකර කද කර තබා සැරයටිය අතින් ගෙන තවුස් වෙස් දරා ඔබිනොබ සක්මන්කොට ඉතා සැපය ඉතා සැපයයි උදන් අනමින් පන්සලට වැද දඬුමැස්සෙහි වැඩහුන්සේක. පඤචාභිදා අෂටසමාපතති උපදවා සවස් වේලෙහි පන්සලින් නික්ම සක්මන් කෙළවර සිටි කර ගසින් කොල කඩා ගෙනවුත් සක්දෙව් රජහු මවා දුන් බඳුනෙහි ලුනු නැති දියෙන් උයා අමාවක් මෙන් අනුභව කොට සතර මහා බ්‍රහමවිහාරයන් සිත්හි වඩා එතැන්හි වාසය කළසේක.කසී රජහුද සුනන්දයාගේ බස් අසා මහාසෙන ගුතත නම් අමාත්‍යයා කැඳවා ගමන් සැරහීමට විධාන කරනුයේ එම්බා සෙනගුතතය මේ දොළොස් යොදුන් බරණැස් නුවර ඇති මංගල රථය සඞග්‍රාමික රථාදීවූ රථයානාවෝ අජානීය සෛන්‍ධවයන් යොදා ධවජපතා නංවා ගමනට සරහනු ලැබෙත්වයි නොයෙක් හස්තිහුද රුවන් සන්නාහාලා රන් පෝරුද හදනු ලැබෙත්වයි නොයෙක් සිය දහස් ගණන් සක්සින්නන්ද හලම් මිහිඟු බෙර පනාබෙර පටා බෙර මදදල ආදී වූ තූය්‍ර්‍ය ජාතීහුද මෙහි වයනු ලැබෙත්වයි මම වනාහී මාගේ පුත්වූ තෙමිය කුමාරයන් සමීපයට ගොස් උන්ට අවවාද කොට එතනදීම රුවන් රැසක සිටුවා අභිෂෙක දී කැඳවා එනු කැමැත්තෙමියි සියළු නියම් ගම් වැස්සෝද අනතඃපුර ස්ත්‍රීහුද සියළු රජකුමරුවෝ ද වෛශ්‍යයෝ ද සියලු බමුණෝද යන සියල්ලෝත් මා හා කැටිව යන ලෙස යානාවක් සදා රැස් වෙත්වයි. තවද සියළු ඇත්රුවෝ ද අස්රුවෝද රථාචාරීහුද පාබල සෙනගය යන සියල්ලෝම තම තමන්ගේ යානාවක් සදා රැස්ව හෙත්වයි තවද මෙහි රැස්වූ නියම්ගම් වැස්සෝද දනව් වැස්සෝ ද තම තමන් යානාවන් සදා වහා මෙතැන්හි රැස්වෙත්වයි මම වනාහි මාගේ පුත්‍රයාට අවවාද කරණු පිණිස දැන්ම යන්නෙමියි කීයේය.

මෙසේ ඒ රජුගෙන් නියෝග ලද්දාවූ රථාචාරීහු ශීඝ්‍රව ජව හා මහත් බල ඇති සෛන්‍ධව ජාතියෙහි උපන් අශ්වයන් යොදා ධජ බැඳ සේසත් නගා රජු නැගීමට සුදුසු රථයක් මාලිගා දොරකඩ තබා රජහට දැන්වූවාහුය. රජද රථාවාරීහට එම්බල පුරුෂය ස්ථුල වූ ගාත්‍රා ඇති අශ්වයෝ ශක්තියෙන් පරිහෙති එබඳුවූ අශ්වයන් නොගනුවයි කීයේය.

රථාචාරීහුද වර්ණයෙන් ජවයෙන් බලයෙන් යුක්ත වූ මනා අශ්වයෝම අප විසින් යොදන ලද්දාහුයයි කීවාහුය. රජ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍රය යන චාතුර්‍වර්‍ණයන් ද එයින් පිටත් අටලොස් ගෙනෙහි. ජනයා ද රැස්කරවීය. මේ සෙනඟ කැටි කරන්නා වූ රජහට තුන් දවසක් ඉක්මින. ඉක්බිති සතරවෙනි දවසෙහි ඒ අශ්වයන් යොදන ලද රථ යානාවට නැගී අනතඃපුර ස්ත්‍රීන්ද තමා හ සමඟ එන ලෙස නියෝග කොට වල්විදුනාවය, නලල්පටය මඟුල් කඩුවය. සේසතය. රන්මිරි වැඩිසඟලය යන පංචාංගික කකුධ භාණ්ඩයන් බෝසතාණන්ට අභිෂේක කරන ලෙස ගෙන්වා ගෙන ඒ සුනන්ද නම් රථාචාය්‍ර්‍යය ඉදිරිකොට මහ සෙනඟ පිරිවරා බෝසතානන් වසන තැනට පැමිණියෝය. එසේ මහත් තේජසින් දිලිහි දිලිහි අමාත්‍ය මණ්ඩලය පිරිවරා තමන් වසන තැනට පැමිණි පිය රජ්ජුරුවන්ට බෝසතානන් වහන්ස් වදාරණ සේක්. කිමෙක්ද මහ රජ තට නිදුක්ද රෝග පීඩාකේ නැද්ද? අපගේ මම්වූ සියළු රාජ ස්ත්‍රීහුත් නිරෝගිදැයි විචාළේය. එකල්හි රජ ද එම්බා පුත්‍රයානෙනි, මට කිසි දුකකුත් නැත්තේය. ශරීර පීඩා කරවූ කිසි ව්‍යාධියකුත් නැත්තේය. තොපගේ මව්වූ සියළු රාජ කන්‍යාවෝද දැන් නිරෝගී යයි කීයේය. නැවත බෝසතානන්වහන්සේ වදාරණසේක්. එම්බා මහ රජ්ජුරුවෙනි කිමෙක්ද තෝ මද්‍යපානය නොකරන්නෙහිද සුරාපානය තට ප්‍රිය නොවේද කිමෙක්ද නිරන්තරයෙන් සත්‍ය වචනය රක්‍ෂා කරන්නෙහි ද පුරණ ලද දස රාජ ධර්මයන් ඇත්තේද චිතතය දන්දීමෙහි ඇලෙන්නාහුදැයි විචාළසේක.

එබසට මහරජතෙම එම්බා පුත්‍රයානෙනි මම මද්‍යපානයද නොකරන්නෙමි. මෙලොව පරලොව දෙකේහි අනත්‍ර්‍ථ කරන්නා වූ රා මට ප්‍රිය නොවන්නේය. ඒ මතු නොවෙයි සත්‍ය වචනයෙහි ද තොප විසින් විචාරණ ලද දශ රාජ ධර්මයෙහි ද මාගේ සිත ඇලෙන්නේයයි කීයේය. නැවතත් බෝසතානන් වහන්සේ එම්බා මහරජ්ජුරුවෙනි කිමෙක්ද තොපගේ රථ යනාදියෙහි යෙදිය යුතු වූ අශ්ව වෘෂභාදීහු නිරෝගිවෙත්ද තව ද හස්ති අශ්වාදී වාහණ සුවසේ පවත්නේද, ශරීරය පෙලෙන්නා වූ කෘශසවාසාදීවූ ව්‍යාධීහු තොපට නැත්තාහුදැයි විචාළසේක.

ඔබසට රජතෙම කියනුයේ එම්බා තෙමිය කුමාරයෙනි එසේය රථ ගැල් ආදියෙහි යෙදිය යුතු වූ අශ්වයන් හා වාෂභයෝ හා වෘෂභයෝ කසී පිඩාවක් නැත්තාහුය. හස්ති අශ්වාදීවූ වාහණ ද නිදුකින් පවත්නේය. මටද ශරීර පීඩා කරවූ කිසි ව්‍යාධිකෙණෙක් නැත්තාහුයයි කීයේය. කිමෙක්ද මහරජ සියළු පසල් දනව්ව සුභික්‍ෂද, බොහෝ ජනයා ඇත්තේද, රට මැද සියළු ගම් නියම්ගම්හි බොහෝ ජනයාගේ විසීම ඇත්තේද සියළු කොටු ගෙවල් හා රන් රුවන් ගබඩා ධනධාන්‍යන්යෙන් සම්පූර්ණව සුරක්‍ෂිතව තිබේදැයි විචාළසේක. එසේය තෙමිය කුමාරයෙනි සියළු ප්‍රත්‍යනත ජනපදයෝත් සුභික්‍ෂයෝය. ජනයාගෙන් ද සම්පූර්ණය. රටමැද සියළු ගම් නියම්ගම් ද නිරන්තරව වසන්නාවූ බොහෝ ජනයා ඇත්තේය. සියළු කොටු ගෙවල් හා ගබඩා ධනධාන්‍යයෙන් පිරුනේයයි කීයේය.

එකල්හි බෝසතානන් වහන්සේ රජහට හිඳින ලෙස අවසර දෙනු කැමතිසේක. එම්බා මහරජ්ජුරුවෙනි මෙලොව පරලොව දෙකින් වැඩ සිඬ වන හෙයින් මෙතැන්හි තොපගේ ඊම යහපත් ඊමක් වන්නේය. කිසිසේත් නපුරු ගමනෙක් නොවන්නේය. එබැවින් සම්බුදු අස්නෙක ඉන්නෙිද එබඳු අස්නක් පණවත්වයි වදාළසේක. රජතෙම මහබෝසතානන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අස්නෙහි නුහුනේය. එකල්හි මහබෝසතානන් වහන්සේ එම්බා මහ රජ මේ කොල ඇතිරි මත්තේ හිඳුව එසේ උන්නා වූ තොපගේ පාදයන් මේ පරිභොග ජලයෙන් ධොවනය කෙරෙත්වයි වදාළසේක. එසේ කීවත් ඒ මහරජ උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒ කොල ඇතිරි මත්තෙගිත් නොහිද බිම උන්නේය. මහබෝසතාණන්වහන්සේ ද ඇතුළු පන්සලට වැද උයා තිබූ කරකොළ ගෙනවුත් එම්බා මහරජ්ජුරුවෙනි මා විසින් උයා තබනලද ලුනු නැති කරකොළය ඒ අනුභව කරව ඒ එසේමය මෙතැන්හි ආවාවූ තෝ මා විසින් ආගන්තුක සත්කාර කටයුතු වන්නේයයි වදාළසේක.

එබසට රජතෙම කියනුයේ එම්බා තෙමිය කුමාරයෙනි මම මේ පලා අනුභව නොකරන්නෙමි. මේ අපගේ භොජනයක් නොවන්නේය. මිහිරි මස් රසයෙන් තෙත්වූ සුවඳැති සාලේ බත් අපගේ භෝජනයයි කීයේය. මෙසේ ඒ කර කොළ ප්‍රතික්‍ෂෙපකොට නැවතත් බෝසතානන් කෙරෙහි ගෞරවයෙන් මඳක් අතින් ගෙන එම්බා කුමාරයෙනි තොපි මෙබඳු ආහාරය අනුභව කරන්නේදැයි බෝසතානන් හා සමඟ ප්‍රිය කථා කිය කියා උන්නේය. එකෙණෙහි චන්ද්‍රාදේවී තොම අනතඃපුර ස්ත්‍රීන් පිරිවරා ගෙනවුත් බෝසතානන් පය අල්වා වැඳ කඳුළු පිරුණු ඇස් ඇතිව එකත්පසෙක උන්නාය. ඉක්බිති රජතෙම සොඳුර තොගේ පුත්‍රයාණන් අනුභව කරන ආහාරය බලවයි මදක් කරකොළ ගෙන චන්ද්‍රා දේවීන් අතේ තිබුයේය.

එසේම සෙසු ස්ත්‍රීන් අතට දුන්නේය. ඒ සියල්ලෝම සාමීනි නුඹ වහන්සේ මෙබඳු හීන ආහාරයෙක් අනුභව කරණසේක්දැයි නින්දා කොට නැවත ඉතා දුෂ්කරයක් කරනසේකැයි කියා වැඳ වැඳ උන්නේය. එසඳ රජතෙම නැවතත් එම්බා තේමීය කුමාරයෙනි මේ වනමැද උදකළාව මෙබඳු ආහාරය අනුභව කොට වසන තොප දුටුවාවූ ම එක් ආශචය්‍ර්‍යයක් වැටහෙන්නේය. මෙබඳු ආහාරය අනුභව කොට වසන්නා වූ තොපගේ ශරීර වර්ණය කවර හෙයකින් ප්‍රසන්න වන්නේ දැයි විචාළේය.

එසේ විචාළ වූ රජහට ඒ ප්‍රකාශකොට වදාරන්නා වූ බෝසතානන් වහන්සේ

එම්බා මහරජ්ජුරුවෙනි මම සීලසමාදානයෙන් යුක්ත මෙතන ඇතිරියෙහි තනි තනිවම සයනය කරන්නෙමි. තොපට මෙන් කඩුගෙන රැක වල සිටිනා රාජපුරුෂයෝ ද නැත්තාහ. ඒ සැපසෙය්‍යාව හේතුකොට ගෙන මාගේ ශරීර වර්ණය පහදන්නේය. මහරජ තවද අනිකුදු කාරණයක් ඇත. මහ රජ මම ඉකුත් සැපතට ශෝක නොකරන්නෙමි. මතු සැපතක්ද ප්‍රාර්ථනා නොකරන්නෙමි. දැන් ලද යම් දෙයකින් යපෙමි. එහෙයින් අපගේ ශරීර වර්ණය පහදනේය. මහරජ මෙලොව බාල ජනයෝ නැසුනු වස්තුවට සොක කෙරෙති. නොලත් වස්තුව ප්‍රාර්ථනා කෙරෙති. එහෙයින් තෘසනා ශෝක දෙකින් තැවී දුර්වර්ණ වන්නා වූ දේහ ඇති සත්ව තෙම මුලින් කපා අව්වට දමන ලද නළ දඬක් මෙන් වන්නේයයි වදාළසේක. ඉක්බිති රජතෙම මෙතනදීම මොහු අභිසේක කොට නුවරට කැඳවාගෙන යෙමියි සිතා බෝසතාණන්ට යාඤා කරනුයේ එම්බා තෙමිය කුමාරයෙනි බොහෝ ඇත් සෙනඟද අස්සෙනඟද රථ සෙනඟද සනනාහසනනදධවූ පාබල සෙනගද හෙවත් සෞරවීය්‍ර්‍ය බලපරාක්‍රම ඇත්තාවූ යෝධයන් දිව්‍ය ප්‍රාසාදයේ මනෝහර මාලිගාද යන ම් සියල්ලන් දෙමි ඒ මතු නොවෙයි ස්වර්ණාභරණයෙන් සැරහුනාවූ බොහේ ස්ත්‍රීන්ද දෙමි. නෘත්‍ය ගීතයෙහි දක්‍ෂවූ බොහෝ නාටක ස්ත්‍රින්ද දෙමි. ඔහු තමන්ගේ රූපශ්‍රීයෙන් හා නෘත්‍ය ගීතයෙන් හා තොපගේ සිත් පොළඹන්නාහුවෙති. අසම්භින්න වූ ක්‍ෂත්‍රීය වංශ ඇති රජදරුවන්ගේද තොපට රාජකුමාරිකාවන් ගෙනෙමි. එවුන් තොපට දාකොට දරුවන් වැදූ කල්හි පසුව තොප පැවිදිවන්ට සුදුසු වන්නේය. එම්බා තෙමිය කුමාරයෙනි තොපි පළමු යෞවන වයසෙහි යහපත් රූප ශ්‍රී ඇතියව එබැවින් දැන් රාජ්‍යශ්‍රී අනුභව කරව උදකලාව මේ වල්හි විසීමෙන් කුමක් සිඬකරව්දැයි කීයේය. එකල්හි ඕහට බණ වදාරන්නාවූ බෝසතාණනන් වහන්සේ එම්බා මහ රජ්ජුරුවෙනි තරුණවූ පුරුෂයෝද මෛථුනයෙන් වැලකීමයයි කියනලද බ්‍රහමචරියාව රක්‍ෂා කරන්නේය. එසේ බ්‍රහ්මචරියාව රක්‍ෂා කරන්නාහුගේම යෞවනය පවත්නේය. බාලවයස සිටියාහුගේ පැවිදිවීමක් ඇද්ද ඒ බුඬාදී වූ සෘෂිවරයන් විසින් පසස්නා ලද්දේය. එබැවින් මම බ්‍රහ්මචරියාව රක්‍ෂාකරන්නෙමි. තොපගේ රාජ්‍යයෙන් මට ප්‍රයෝජන නැත. ඒ එසේමය. ඉතා බාලයන් වූ බොලඳ බසින් මෑණියනි පියාණෙනියි ප්‍රිය තෙපුල් කියන්නා වූ මෑණියන් විසින් බෙහෙත් අනුභව කොට දෙවියන්ට යැද දුකින් ලද්දාවූ ප්‍රිය පුත්‍රයන් ජරාවට නොපැමිණ බාල වයසම නෑසුනවුන් දැන් දක්නෙමි. මනාවූ රූපශ්‍රී ඇති ලදරු වූ කුමාරිකා වරුන්ද ජීවිත විනාශයෙහි කඩා දැමූ උන කිළිල්සේ තරුණ වයසෙහිම නැසුනවුන් දක්නෙමි. එබැවින් මෙලොව බාලවූද වාඬවූද සියළු ස්ත්‍රීන් හා පුරුෂයෝ ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නා වෙති. එසේ නියමයක් නැත්තා වූ මේ ජීවිතයෙහි නුවණැති කවර නම් පුරුෂයෙක් විශ්වාස කරන්නේද තවද රජ්ජුරුවෙනි වළදිය සිදී මඩවයාමෙන් සියළු මත්ස්‍යයන්ගේ විනාශයක් මෙන් සත්ත්වයා මව්කුස පිළිසිඳ ගත් තැන් පටන් රාත්‍රී දිවාභාගයෝ ඉක්මෙන්නාහු වෙති. ඔවුන්ගේ ඉක්මීමෙන් ආයුෂයද දවසින් දවස ඉතා ස්වල්ප වන්නේය. එසේ ගෙවී යාමක් ඇති කල්හි සත්ත්වයාගේ කුමාර බවෙක් නම් කෙසේවන්නේ දැයි කියා නැවතත් කාරණා දක්වන්නාවූ මහබෝසතානන් වහන්සේ එම්බා මහරජ්ජුරුවෙනි මෙලොව වැසිතෙම නිරන්තරයෙන් ව්‍යාධියෙන් ඉතා පහරණු ලබන්නේය. තවද මහරජණෙනි මෙලොව වැසිතෙම මරහු විසින් පහරණ ලබන්නේය. ජරාව පිරිවරකොට ඇත්තේය. මේ ක්‍ෂය වන්නාවූ රාත්‍රී දිවාභාගයෝ ද තුමූ පමණක් ක්‍ෂය නොව සත්ත්වයාගේ ආයුෂය හා සමඟ ක්‍ෂය වෙති. එසේ වන කල තෝ කවර හෙයකින් මට අභිෂේක කරණු කැමැත්තෙහිද?

යම්සේ මහරජ නූල් සැද බැඳී කල්හි යම් යම් භාගයෙක්හි වියනු ලැබේද එයින් ඉතිරිය යම්සේ ස්වල්ප වන්නේද සත්ත්වයන්ගේ ජීවත්වීමත් එසේම දවසින් දවස ස්වල්ප වන්නේය. තවද යම්සේ පිරුණු ගම්වතුරෙන් සමුද්‍රය කරා යනුයේ කෙසඟක් විවරත් ආපසු නොයේද එපරිද්දෙන් සත්ත්වයන්ගේ ආයුෂයත් දවස් අවුරුදු වශයෙන් ගෙවී යනුයේ නැවත නොඑන්නේය. තවද යම්සේ මහරජ සැඩමහවතුරෙන් දෙගන් ඉවුරෙහි සිටි වෘක්ෂයන් මුල් සෝධා එළාගෙනයෙය් ද එපරිද්දෙන් සත්ත්වයෝ ද ජරා මරණ දෙකින් විනාශයට පමුණුවනු ලැබෙතියි වදාළ ඉක්බිති රජ්ජුරුවෝ බෝසතානන් වහන්සේගේ බණ කථා අසා ගිහිගෙයි විසීමෙහි උකටලී වීමෙන් මහණවනු කැමතිව නුවරට නොගොස් මෙතනදීම පැවිදිවෙමියි ඉදින් මගේ පුතනුවෝ නුවරට යෙත් නම් මාගේ සේසත දෙමියි කියා ඔහු විමසනු පිණිස නැවත රාජජයෙන් ආරාධනා කරනුයේ දරුවෙනි මම තොපට ඇත් ඇණිද රථ ඇණිද සනනාහ සනනදධවූ අශ්වයන් ද සිත්කළුවූ ස්වර්ණාභරණයෙන් සැරහුණාවූ ස්ත්‍රීන් ද දෙමි. ඔවුන් කෙරෙහි තොපි මනාවපවතුව තවද නෘත්‍ය ගීතයෙහි දක්‍ෂවූ ස්ත්‍රීහු පඤච විධ කාම කොට්ඨාසයෙන් තා සිත් අලවති. මේ ජන සූන්‍ය වූ වල්හි විසීමෙන් තෝ කවර වැඩෙක් සිඬකෙරෙයිද තවද පුත්‍රය තට සතුරු වූ රජදරුවන් ගෙන් සැරහුණා වූ රාජ කන්‍යාවන් ගෙනවුත් පාවාදෙමි. ඔවුන්ගෙන් දරුවන් ලැබ පැවිදිවේ. තවද පුත්‍රය මම තොපට සියළු ධාන්‍යයන් පිරූ කොටු ගෙවල්ද මුතු මැණික් ආදීන් පිරූ ගබඩා ද සෙනාවාහනද දෙමි. තවද පුත්‍රය ප්‍රිය තෙපුල් කියන්නාවූ මනා ස්ත්‍රීන් හා දාස ජනයා පිරිවරා රාජ්‍යශ්‍රී අනුභව කරව, මෙවනයෙහි විසීමෙන් කවර වැඩෙක් සිඬවේදැයි කීයේය.

නැවතත් රජහට තමා නොකමැති බව ප්‍රකාශ කරන්නාවූ බෝසතානන් වහන්සේ එම්බා මහරජ්ජුරුවෙනි වස්තුව නම් තමා මිය පරලොව යාමෙන් හෝ වස්තු නැසීමෙන් හෝ නියමයෙන් ක්‍ෂය වන්නේය. එබඳු වස්තුවෙන් ප්‍රයෝජන කවරේද තමා විසින් ප්‍රාණයමෙන් රක්‍ෂා කරන ලද ස්ත්‍රිය ද තමාට පළමුව මිය පරලොව යන්නී හෝ වෙයි. ඈට පළමුව තෙමේ හෝ පළමුව යනු ලබන්නේය. එබඳු ස්ත්‍රීන් හා විවාහ කිරීමෙන් ප්‍රයෝජන කවරේද?

යම් යෞවනයක් ඒකාන්තයෙන් ජරාව විසින් මඩනා ලැබේද එබඳු යෞවනයෙන් ප්‍රයෝජන කවරේද? එහි කවර සතුටුවීමෙක්ද? කවර ක්‍රීඩාවෙක්ද කවර ඇල්මෙක්ද? කවර වස්තු සෙවීමක්ද? මට දරුවන්ගෙන් හා භාය්‍ර්‍යාවන්ගෙන් කවර ප්‍රයෝජනයෙක්ද? එම්බා රජ්ජුරුවෙනි ඒ පුත්‍රදාරාදී බන්ධනයෙන් මිදුනෙමි, මාරතෙම මේ සත්වයන්ගේ විනාශයට ප්‍රමාද නොවන්නේය. මම ද යථොකත කාරණයෙන් මරහු පමා නොවෙතියි දනිමි. එසේ මරහු විසින් මඩනාලද්දා වූ මට රාජ්‍ය සම්පත්තියෙහි කවර ඇල්මෙක්ද? වස්තුවෙහි කවර අභිලාෂයෙක්ද? තවද රජ්ජුරුවෙනි හිරු රැසින් තැවී විලික්‍ෂුණාවූ රාත්‍රියෙහි අපොරස වැළඳී ලිහිල් වූ බන්ධන ඇති ඵලයන්ගේ වැටීමමෙන් උපන්නාවූ සත්වයන්ට මරණය ඒකාන්තයෙන් පැමිණෙන හෙයින් නිරන්තරයෙන් භයංකාර වන්නේය. උදෑසන දුටු බොහෝ ජනයාගෙන් සවස සමහරෙක් නොදක්නා ලැබෙති. සවස දුටු ජනයාගෙන් සමහර කෙනෙක් උදෑසන නොදක්නා ලැබෙති. එබැවින් මහරජ්ජුරුවෙනි අදම මහත් වීය්‍ර්‍ය කටයුත්තේය. සෙට දවස් වන්නාවූ මරණය කවරක්හට දැනේද ඒ එසේමය. පස්විසිහය දෙතිස්කම් කටුල් අටානූවක් රොගාදී වශයෙන් ඇති මරහු විසින් අසවල් දවස අසවල් මස අසවල් අවුරුද්දෙහි යයි කළ ප්‍රතිඥාවෙක් නැත. තවද මහ රජ්ජුරුවෙනි මෙලොව සොරකම්කොට ජීවත්වන්නාවූ ජනයෝ තමන්ගේ ජීවිතයත් නොසලකා වස්තුවම ප්‍රාර්ථනා කරන්නාහුවෙති. මම වනාහි ඒ ධන බන්ධනයෙන් මිදුනෙමි. එම්බා මහරජ්ජුරුවෙනි තොපිත් මාහා සමඟම අවුත් ඒ බන්ධනයෙන් මිදෙව මට වනාහි තොපගේ රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත්තේයි වදාලසේක.

මෙසේ නිවන් අවසන් කොට බෝසතාණන් වහන්සේ ධර්මදේශනා කළ කල්හි අති මධුර වූ ධර්ම කථාව අසා රජ්ජුරුවන් හා චන්ද්‍රාදේවිය ප්‍රධාන කොට ඇති මේ සොළොස් දහසක් අනතඃපුර ස්ත්‍රීන් හා අමාත්‍යයෝ පැවිදි වනු කැමති වූවාහුය. රජ්ජුරුවෝද මාගේ පුත්‍රයානන් හා සමඟ පැවිදිවනු කැමැති කෙනෙක පැවිදි වෙත්වායි නුවර බෙර හසුරුවා සියලු රන්රුවන් ගබඩා දොර හරවා අසවල් තැන මහත් නිධාන ඇත. ඒ කැමති කෙනෙක් ඇර ගනිත්වයායි රන්පත ලියවා මතුමහල් තෙලෙහි ටැඹෙහි බැන්දවූහ. නුවර වැස්සෝද සල්පිල් සැදුවන මතබා දොර ඇරිවනින්ම ගෙවල් හැර රජ්ජුරුවන් සමීපයට ගියාහුය. එකල මහරජාණෝ මහජනයා හා සමඟ බෝසතාණන් සමීපයෙහි පැවිදිවූවාහුය. ශක්‍රයා විසින් මවාදෙන ලද ආශ්‍රමපදය තුන්යොදුන් පමණවූයේය. මහබෝසතාණෝද පන්සල බෙදාදෙනසේක්. ස්ත්‍රීහු නම් බාන සුලුවෙතියි ඔවුනට මැද පන්සලද පුරුෂයන්ට වටකොට පන්සල් ද දුන්සේක. සියලු තාපසවරු පෙහෙවස් සමාදන් වූ කල්හි බිම සිටම විශ්වකර්මයා විසින් මවා දෙන ලද ගස්වල එලගෙන අනුභව කොට මහණදම් පුරති. ඔවුන් කෙරෙන් යම් කෙණෙක් කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ සිතත්ද? ඔවුන්ගේ සිත් දැන මහබෝසතාණන් වහන්සේ අහස වැඩහිඳ ධර්ම දේශනා කරනසේක. ඔහු ඒ ධර්මදේශනාව අසා වහා පඤචාභිඥා අෂටසමාපතති උපදවති. එකල අසවල් රටෙක රජකරණ රජෙක් කසීරට රජ මහණවීයයි අසා බරණැස් රාජ්‍යය ගනිමියි නුවරට වැඳ සරහන ලද නුවර දැක රජගෙයි මතුමහල් තලයට නැගී උතුම් සත්රුවන් බලා මේ වස්තුව නිසා වන එක් භයකින් ගියේයයි සිතා රා සොඬුන් කැඳවා රජ්ජුරුවෝ කවර වාසල් දොරකින් නික්ම ගියේදැයි විචාරා නැගෙනහිරිදොරිනැයි අසා තෙමේත් එම දොරින් නික්ම ගඟ සමීපයෙන් ගියේය. මහ බෝසතාණන් වහන්සේ ඔහු එති අසා වන කෙළවරට ඇවිත් අහස වැඩ හිඳ බණ දෙසා පිරිවර හා සමඟ ඔහු පැවිදි කරවූසේක.

මෙසේ අනිකෙක අනිකෙකැයි රජදරුවෝ තුන්දෙනෙක් රාජ්‍ය හැර අවුත් මහණ වූවාහුය. එසමයෙහි ඔවුන් ඇරගිය නුවර වල ඇත්තුද අස්සුද වල්ව ගියාහුය. රථයෙන් එහිම දිරා ගියාහ. ගබඩා වල කහවනු පන්සල් මළුයෙහි වැලිකොට විසුරුවාහුය. සියලු තාපසවරු අෂටසමාපතති උපදවා ජීවිතයාගේ කෙළවර බඹලොව උපන්නාහුය. ඇත් අස් ආදී වූ තිරිසන්නුද ඒ තාපසවරුන් කෙරෙහි සිත් උපදවා දෙව්ලොව උපන්නාහුයයි මෙසේමේ ජාතක ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි මේ ජාතියෙහි මෙන් පෙරත් මහබිනික්මන් කෙළෙමි වේදැයි වදාරා චතුසසන්‍යය ප්‍රකාශකොට තෙමිය ජාතක ධර්මදේශනාව නිමවා වදාළ සේක. එකල්හි සේසතෙහි කළාවූ දිව්‍ය ස්ත්‍රී නම් දැන් මේ ශාසනයෙහි උත්පලවර්‍ණ ස්ථවිරය, එකල්හි රථාචාය්‍ර්‍යයා නම් දැන් ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිරයෝය, එකල්හි තෙමිය කුමාරයන්ගේ මවුපිය දෙදෙනා නම් දැන් මේ බුඬොත්පාදකාලයෙහි මහාමායා දේවීන් හා සුද්ධෝදන මහරජ්ජුරුවෝය. එකල්හි පර්‍ෂද් නම් දැන් බුඬ පර්‍ෂද්ය, එකල්හි මුගපකඛ පණ්ඩිතයෝ නම් දැන් ලොවුතුරා බුදුවූ සම්‍යක් සම්බුද්ධ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේමය.

(මේ ලක්දිව මංගල නම් වෙහෙර විසූ කුඩාතිස්ස නම් තෙරුන් වහන්සේද මහවස නම් තෙරුන්වහන්සේද කැටකඳුරු වෙහෙර විසූ ඵුසසදෙවි නම් තෙරුන් වහන්සේද මණ්ඩල විහාරයෙහි විසූ මහාරක්ඛිත තෙරුන් වහන්සේද භගිරි වෙහෙර විසූ මහාතිසස තෙරුන්වහන්සේද වමත් පව් වෙහෙර විසූ මහාසීව නම් තෙරුන් වහන්සේ ද, කළුවෙල වෙහෙර විසූ මහා මලියදෙව තෙරුන්වහන්සේ ද යන මේ ස්ථවිවරු බුද්දාල සමාගමයෙහි ද මුගපකඛ සමාගමයෙහි ද අයොඝර සමාගමයෙහි ද භසතීපාල සමාගමයෙහි ද හැමටම පසුව තවුස් පැවිදි වූවාහුය. ඒ එසේමය. එයින් මඬ වෙහෙර වැසි මහානාග තෙරුන් වහන්සේද මහා මලියදේව තෙරුන්වහන්සේද යන මේ දෙදෙනා වහන්සේ පිරිනිවන් පාන දවස් වදාරණසේක් ඇවැත්ති මූගපක ජාතියෙහි බෝසතාණන් වහන්සේ හා සමඟ පැවිදි වූ තාපස පර්‍ෂද් අද පැමිණියාහුයයි කීවාහුය. ඇවැත්නි අපි එකල්හි සුරා ධූර්‍තයම්හ සියල්ලවුන් තාපසවූ හෙයින් අප හා එක්ව රා බොන්නවුන් නොලැබ අපිත් පසු ගොස් තාපසවූම්හ. දැනුත් ඇමට පසුව අධිගම ලදුම්හ. එබැවින් නුවණැති මහොතතමයන් විසින් මදකුත් පින්කිරීමෙහි පමා නොවිය යුතුමයයි වදාළසේක.)

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.