Skip to main content

516 චුල්ල හංස ජාතකය

තවද ජාති කාන්තාරාදීන් සත්වයන් තාරණයකොට නිර්වාණ ක්‍ෂෙමභූමියට පමුණුවන හෙයින් ශස්ත්‍රූනම්වු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් ආයුෂ්මත්වු අනදමහතෙරුන් වහන්සේ විසින් සර්වඥූයන් වහන්සේ උදෙසා කරණ ලද ජිවිත පරිත්‍යාගය අරභයා මේ චුල්ලහංස ජාතක ධර්මදේශනාව වදාළසේක.

දෙවිදත්තෙරහු විසින් සර්වඥයන් නසන පිණිස මෙහෙයන ලද්දාවු දුනුවායන්ගෙන් පළමුගිය තැනැත්තවු අවුත් මහානුභාව සම්පන්නවූ ලෝකාග්‍ර ප්‍රාප්ත ශාක්‍යරාජවංශ ප්‍රසුත ඒ බුදුන් විෂයෙහි අපරාධයක් කරන්නා තබා කිපි සිතින් ආසන්නයට වැද්දත් නොහැක්කැයි යනාදන් කිසඳ ඒ අසා දෙවදත්ත ස්ථවිරයෝ තොපට බැරිවී නම් මම්ම ඊට උපායක් කෙරෙමියි සිතා එතැන් පටන් උත්සාහකෙරෙමින් එක් දවසක් බුදුරාජනන් වහන්සේ ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තවූ පච්ඡිමඡායාවෙහි සක්මන් කෙරෙමින් වැඩ සිටි නියාව දැක පර්වත මස්තකයට පැන නැගී සක්මන් කරණ සර්වඥයන් මස්තකයෙහි ගල් කුළක් පෙරලා ජිවිතක්ෂයට පමුණුවාලමියි සිතා මහත් වටකුළුහලක් රුකුලක් දක්වා දණ්ඩකින් පෙරලා එළුවාහුය. එසඳ භූමියෙන් ගල්පර්වත දෙකක් පැන නැගී එගල පිලිගත්තේය. එසඳ ඉන් ගල්ලැහැල්ලෙක් ඉපිරගොස් සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි වැටි පිටිපත්ලෙහි ලේ ඉපදවා මහත්වු වේදනාවට පමුණුවාලුයේය එකල ජිවකයෝ සර්වඥයන් වහන්සේ ශ්‍රි පාද බලවත්වේදනා ඇති නියා අසා සැත්කම්කොට දෝෂහැර ඖෂධයෙන් සමනය කළාහුය.

ඉක්බිති සර්වඥයන් වහන්සේ පළමු පරිද්දෙන් භික්ෂූ සංඝයා පිරිවරා මහත්වු සර්වඥ විලාසයෙන් පැලෙඹන්නාද දැක දේවදත්ත ස්ථවිරයෝ මහානුභාව සම්පන්නවු මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රූපශ්‍රීවිභූති දැක කවුරුන් කිසි උපද්‍රවයක් කොටගත නොහී එති රජ්ජුරුවන්ගේ නාලාගිරි නම් ඇත්තෙම ඉකාම චණ්ඩය පරුෂය කර්කිශය තුනුරුවන්හි ගුණ නොදන්නා ඒ ඇතා ලවා ජිවිතක්ෂයට පමුණුවාලමියි සිතා එපවත් අජාසත් රජ්ජුරුවන්ට කියා ගිවිස්ස වූහ. එකල රජ්ජුරුවෝ ඇත්ගොව්වන් කැඳවා ගෙන්වාගෙන සබඳ සෙට දවස් නාලාගිරියා රාපොව ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වඩනා විථියෙහි ඇරපියවයි නියෝග කළහ.

එසඳ දේවදත්ත ස්ථවිරයෝ මෙතෙක් දවස් රා කී කලයක් බෝදැයි විචාරා අටකලයකැයි යනු අසා සෙට දවස සොළොස් කළයක් රාපොවා ඇත් කොල් සෙණ්ඩුආදීන් ඇන කුප්පා බුදුන් පිළිපන් විථිය අභිමුඛයට මෙහෙයාලව රජ්ජුරුවන්ට කියා තොප කැමති ස්ථානාන්තරයකට පමුණුවාලන්ට නිසෙසමියි ඇත්තලයන්ට සම්මත කළහ.

ඒ කථාව සියළු නුවර ප්‍රකාශවුයේය. එකල තුනුරුවන් කෙරෙහි මමත්වය ඇති උපාසකවරුහු බුදුන් කරා එළඹ ස්වාමින් දේවදත්ත ස්ථවිරයෝ අජාසත් රජ්ජුරුවන් හා එක්ව සෙට නුඹ වහන්සේ සිඟා වඩනා විථියෙහි නාලා ගිරි ඇතු අරවති එහෙයින් පාන්වු දවස් සිඟානොවැඩ විහාරයෙහිම වැඩහුන මැනව අප ඇම බුදු පාමොක් භික්ෂූ සංඝයා වහන්සේට අහර විහාරයටම ගෙනවුත් දෙම්හයි ආරාධනා කළාහ.

එකල සර්වඥයන් වහන්සේ යහපත සිඟානොයම්හයි නොවරදවා බුද්ධඥානයෙන් බලනසේක් මම සෙට නාලාගිරියා දමනයෙහිලිමෙන් ප්‍රාතිහාර්ය කොට තීර්ථකයන්ගේ මන්බිද රජ ගහනුවර නොසිඟාම භික්ෂූ සංඝයා විසින් පිරිවරණ ලදුව වෙළුවනාරාමයටම එමි රජගහ නුවර වාසී උපාසකවරහු බොහෝ බත් බඳුන් ගෙන්වාගෙන වෙළුවනාරාමයටම එති සෙට දවස් විහාර යෙදීම වැළඳිම වන්නේයයි සිතා වදාරා මේ කාරණය හේතුකොටගෙන උපාය කවරුන් කළ ආරාධනාව මුවෙන් නොබිණිමෙන් ඉවසා වදාළසේක. උපාසකවරුන් ආරාධනාව බුදුන් ඉවසූ නියාව දැන සෙට දවස් වැළදීමට විහාරයට දන් ගෙන්වාගෙණ එම්හයි බුදුන් වැඳ අවසරගෙන නික්මුණාහ.

ඉක්බිති සර්වඥයන් වහන්සේ පෙරයම් දසපැයතෙක්ම භික්ෂූ භික්ෂූණි උපාසක උපාසිකායයි යන සිව්වනක් පර්ෂිද්ට අභිප්‍රානුකූලවූ ධර්මදේශනා කොට මැදිවියම් දසපැයදී දිව්‍ය බ්‍රහ්මාදී දෙවියන්ගේ ප්‍රශන විසර්ජනය කිරීමෙන් බණ වදාරා අලුයම් දස පැය පළමුවන කොට්ඨාශය සිංහසෙය්‍යාවෙන් සැතපී වැඩ හිඳ දෙවෙනි කොටස ඵලසමාපත්තියෙන් වැස තුන්වෙනි කොට්ඨාශයෙහි මහා කරුණා සමාපත්තියට සම වැද සමාපත්තියෙන් නැගී මාගෙන් බණ අසා මාර්ග ඵලයට පැමිණෙන්ට නිස්සෝ කවුරුදෝහොයි වෛනෙයජන බන්ධුන් බලාවදාළ සේක් නාලාගිරි දමනය නිසා සුවාසු දහසක් සත්වයෝ නිවන් දක්නාහුයයි දැක ඒ රාත්‍රිය ඉකුත්ව අරුණු නැගි කල්හි සිරුරූ පිළිදැගුම්කොට ආයුෂ්මත් වූ අනද මහ තෙරුන් වහන්සේට නියෝග කොට රජගහ නුවර අටළොස් විහාරයෙහි වසන ඇම භික්ෂූන් රැස්කරවා භික්ෂූ සංඝයා වහන්සේ පිරිවරා සර්වඥ රාජොත්තමයන් වහන්සේ එදවස් රජගහනුවරට වන්සේක. එකල ඇත් ගොව්වොත් අජාසත් රජ්ජුරුවන් හා දෙවිදත් මහතෙරුන් වහන්සේ කී සැටියේ ඇතා රා පොවා කොල් ආදියෙන් ඇණ කුප්පවා බුදුන් වඩනා ඉදිරියට ඇරපූහ.

එකල්හි ශ්‍රද්ධ්‍ර සම්පන්න බෞද්ධයෝ අද දවස් බුද්ධහස්ති රාජයා හා තිරශවින හස්තිහුගේ යුද්ධයක් වන්නේල අනෝපම වූ බුද්ධානුභාවයෙන් කරන්නාවු නාලාගිරි දමනය බලම්හයි සතුටුව මතුමහල් සඳළුගෙපල ආදියට නැගී බෝ දෙන රැස්ව සිටියාහුය.

තුනුරුවන් කෙරෙහි අග්‍රඩවූ මිත්‍යාදෘෂ්ටි ඇති සත්වයෝ නාලාගිරි ඇත් චණ්ඩය පරුෂය බුද්ධාදී උත්තමයන්ගේ ගුණයක් නොදන්නේය. එහෙයින් ඒ ඇත් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රන්වන්වු රූපය කඩා සුණු විසිණු කොට ජිවිත විනාශයට පමුණුවන්නේය. අදසතුරු පිටුදකුම්හයි සඳළු ආදියෙහි බොහෝදෙන රැස්ව සිටියාහුය. මේ නියායෙන් රැස්වු බොහෝ සමාගමය ඇති කල්හි නාලාගිරි හස්ති අභිමුඛව වඩනාවු සර්වඥයන් වහන්සේ දැක කෝපයෙන් දිලිහි මනුෂ්‍යයන් භයගන්වමින් ගෙවල් විදාදමමින් ගැල් කඩා වඩා දමමින් සොඬ ඔසවා කන්තල හා වාලාදිය කෙලින් ඉඳුවාගෙන ප්‍රලායකාල ප්‍රවෘත්ති ප්‍රචණ්ඩ මාරුතයෙන් මුලින් උපුටාගෙන යන ලද පර්වතයක් පරිද්දෙන් මිරිකාගෙන බුදුන්ගේ ඉදිරියට දිවමින් ආයේය. මෙලෙසින් එන්නාවු ඔහු දැක සැරියුත් මුගලන් ඉදිරියට දිවමින් ආයේය. මෙලෙසින් එන්නාවු ඔහු දැක සැරියුත් මුගලන් දෙදෙනාවහන්සේ ප්‍රධානවූ අසූමහසව්වන් වහන්සේ ්ස්වාමිනි මනුෂ්‍ය ඝාතක චණ්ඩපුරුෂවු නාලාගිරි හස්තියා මේ විථියට පැමිණියේය. එතෙම බුද්ධාදීන්ගේ ගුණයක් නොදන්නේය.
එසේ හෙයින් භාග්‍යවත්වු සර්වඥයන් වහන්ස සුගතවූ සර්වඥයන් වහන්ස ඉවත්ව වැඩ සිටිය මැනව අපි ඇම ඒ ඇත්හු දමනයෙහිලන්ට සමර්ථයම්හයි වෙන වෙනම බල කියා යාච්ඤාකළසේක. එකල බුදුහු මහණෙනි තෙපි භයනොගනුව. කෙළදහසක් ඇතුන්ට බල ඇති මම එකි නාලාගිරියා පමණක් සරුකෙරෙම්දැයි වදාරා ඉදිරිවඩනාසේක. එකල්හි සසර බොහෝ කලක් හිත විශ්වාසව කුශල්කොට වඩනා ලද මෛත්‍රි සිත් ඇති අනද මහතෙරුන් වහන්සේ ස්වාමිනි පියන්හට පැමිණිකාරියක් ප්‍රධාන පුත්‍රතයාට භාර වන්නේය. එහෙයින් මම ඔහු දමනලෙහිලමි වැඩ සිටිය මැනවැයි ආරාධනා කළසේක. එකල්හි බුදුහු සාරිපුත්‍ර ස්ථවිරාදීවු අසූමහසව්වන් වහන්සේට වෙන වෙනම ආමන්ත්‍රණය කොට එඹා මහණෙනි බුදුන් බල නම් අනෙකක එහෙයින් තොප ඇම සිටුවයි වෙන වෙනම කියා හැමදෙනා වහන්සේම නැවතු සේක. එකල්හි අනද මහ තෙරුන් වහන්සේ බුදුන් කෙරෙහි බලවත්වු සෙනහයෙන් ඉවත සිටියනොහි මේ හස්තියා පළමුකොට මාමරාවයි බුදුන් පිණිස ජිවිත පරිත්‍යාගකොට ගොස් ඉදිරියෙහි සිටිසේක. එකල බදුහු ආනන්දයෙනි ඉවත්ව ඉදිරියෙහි නොසිටුවයි වදාළසේක. දෙවෙනිවත් අනද මහතෙරුන් වහන්සේ මේ ඇත් මිනීමරණ චණ්ඩපරුෂය කෝපයෙන් දිලිහි ප්‍රලායනලවෙගයෙන් එන්නේය. පළමුකොට මා මරා පසුව නුඹ වහන්සේ කරා එවයි කියා යාච්ඤාකොට කියා ඉදිරියෙහි සිටිසේක. තුන්වෙනිවත් පහවව ආනන්දයෙනි ඒ ඇතු දමනයෙහිලීම අපට භාරයයි වදාළදීත් සෙනගබන්ධනයෙන් බැඳි ඉවත්ව යා නොහි සිටිනා හෙයින් බුදුන්ගේ සෘඛ්‍යනුභාවයෙන් අනද මහතෙරුන් වහන්සේ වැඩ සිටි භූමිය කුඹල් සකක් මෙන් කරකැවි පසුව ගොස් භික්ෂූන් වහන්සේ මධ්‍යයෙහි සිටුවාලු කල්හි එකල්හි එක් ස්ත්‍රියක් නාලාගිරියා දැක මරණ භයින් භීතව දිවන්නී උකුලෙහි උන් දරුවන් ඇතුටත් සර්වඥයන් වහන්සේටත් අතුරේ දමාගියාය. ඒ ලුහුබැඳගෙනගිය ඇත් දරුවන් දැක කරකැවි ආයේය. එකල ඒ කුමරුවා ඇතු තමාලගට එන්නා දැක මහ හඬින් අඬන්ට පටන්ගත්තේය.

එසඳ සර්වඥයන් වහන්සේ පඤච මහා ගංගා ප්‍රවාහය එක් මුවදොරකින් සමුද්‍රයට වදනාකලක් පරිද්දෙන් සියලු සත්වයා කෙරෙහි පවත්නාවු මෛත්‍රිය ස්වර ඝෝෂය පවත්වා එඹල නාලාගිරිය තා සොළොස් කලයක් රාපොවා මත් කරවන්නාවු අනෙකක්හු පිණිස කළානොවෙයි මා පිණිස කළාහුය. එහෙයින් තෝ නිස්කාරණයේ ඈත මෑත දිවපැන කකුල්වලට ආයාසනොකොට මෙහි එවයි වදාළසේක. එකල නාලාගිරිතෙම සර්වඥයන්ගේ මධුරස්වර අසා දැස දල්වා බුදුරජානන් වහන්සේ චංත්‍රිංශත්වය මහාපුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්‍යජනඛ්‍යාමප්‍රභා කේතුමාලාලංකාරයෙන් සමලංකෘතවූ ශාන්ත දාන්ත රූපශ්‍රිවිභූතිය දැක බුද්ධානුභාවයෙන් දිවෞෂධස්පර්ෂයෙන් සංහිඳුවන ලද විෂ තේජස් ඇති නාගරාජයකු පරිද්දෙන් මද පරිශේෂව භයට පැමිණ කළසේ වැරුද්දැයි කලකිරී සොඬ බිමඑලා කන්තල නොසොල්වමින් අවුත් සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පාද යුගලයෙහි වැතිරගියේය.

එකල්හි සර්වඥයන් වහන්සේ දක්‍ෂිණ ශ්‍රී හස්තය දික්කොට කුම්භස්ථලය පිරිමදිමින් නාලාගිරිය තෝතිරශ්චින හස්තිය ය මම බුද්ධාවාරණයෙමි එහෙයින් මෙතැන් පටන් තද පරුෂනොවව සත්වයන් කෙරෙහි මෙත්සිත් පතුරුව එඹල නාලාගිරිය බුද්ධාවරණවු සර්වඥයන්ට පිඩානොකර සර්වඥයන් විෂයෙහි අපරාධ කිරීම අපායදුක්ඛයට කාරණ වන්නේය. සර්වඥයන් කෙරෙහි අපරාධ කළාහට ඒකාන්තයෙන් සුගතිගමනෙක් නැත්තේය. තෝ මෙතැන් පටන් සුරාමදයෙන් මත්ව ප්‍රමාදවශයෙහි යෙදී ප්‍රාණඝාතාදී අකුසල් නොකර ප්‍රමාදවශයෙන් යුක්තවූ සත්වයෝ සම්පකාම ස්වර්ගීයටත් නොයන්නාහුය තොප වනාහි එලෙස මාගේ අවවාද අනුශාසනායෙහි පිහිටා පරහිංසා පරපීඩාදියක් නොකොට දිව්‍ය මනුෂ්‍ය සංඛ්‍යාත සප්තකාම ස්වර්ගයෙහි ඉපද සැපවිඳ සංසාර සාගරයෙන් ගොඩ නැගෙවයි යනාදීන් ධර්මදේශනා කළසේක.

එකල මධුර ධර්මදේශනාව අසා නාලාගිරිහුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතින් පිනාගොස් ඉදින් ඒ ඇත් තිරිසන් ජාතියෙහි නොසිටි එකෙක් වී නම් සෝවාන් ඵලයට පැමිණෙන්නේය. මෙලෙසෙින් සර්වඥගන්ධහස්තී රාජයානන් වහන්සේ නාලාගිරි නම් තිරශ්චින හස්තිහු රැස්වූ සියලුසත්වයන්ගේ සාධුකාර නාද ශතසහශ්‍රයෙන් සියළු නුවර සතුටු කරවමින් දමනයෙහිලා පන්සිල්දී ධර්මදේශනාවසානයෙහි සුවාසුදහසක් සත්වයන් අමාමහ නිවන් දක්වා වදාළ සේක.

එතනට රැස්වු එනුවර වාසී රජ යුවරජ ඇමති යෝද අන්‍යවු බොහෝ සත්වයෝම කුට කටකාහාර කෙයුරවලයාදී අනෙකප්‍රකාර ආභරණාදියෙන් බුදුන්ට පූජාකළහ. ඒ ආභරණ රාසියෙන් ඒ ඇත් සැඟවී ගියේය. එතැන් පටන් ඒ ධනරාසියෙන් පරික්‍ෂිප්තහෙයින් ඒ ඇත් ධනපාලය නමින් ප්‍රසිද්ධ විය.

ඒ ඇත් සදාචාර සුක්‍ෂිත ශ්‍රද්ධා බුද්ධිසම්පන්න උදියෙකු පරිද්දෙන් සර්වඥ රාජෝත්තමයානන් වහන්සේගේ ශ්‍රී පාද ධුලීන් ගුණාංග්‍රයෙන් හැරගෙන තමා හිස මුදුනෙහි තවරමින් චක්‍රවර්තී රජක් සමීපයට පැමිණ චණ්ඩාලයකු පරිද්…. වාලධියෙන් කැසපටගන්වමින් සොඩි අකුලවාගෙන සර්වඥයන් දිසාවට අවනතව ඇකිලෙමින් පිටින් සෙමෙන් පසුබැස ගොසින් ඇස් අමුයෙහි සිට බුදුන්ට නමස්කාර කොට තමාගේ ඇත්හලට නැගීගියේය.

එතැන් පටන් ශාන්ත දාන්තව කිසිවක්හට කිසි පීඩාවක් නොකරන්නේය. සර්වඥරාජයානන් වහන්සේත් සිඟා වැඩි කාරිය සම්පාදනයකොට පුජා පිණිස දමන ලද ධනරාසිය ඔවුනොවුන්ටම වේවයි ඉටාගෙන අද මා විසින් බොහෝ ප්‍රාතිහාර්ය කරණ ලද එහෙයින් අද දවස් මෙනුවර සිඟිමි සුදුසු නොවන්නේයයි සිතා කුල්මත්ව සතුටින් රැස්වු තීර්ථකයන් මුහුණ දොම්නස් දැලිගාමින් මානමදනයකොට ශාරිපුත්‍ර මහාමෞද්ගල්‍යාන මහා කාශ්‍යපස්ථවිර ප්‍රමුඛ ප්‍රවර නෛකභික්ෂු සංඝයා පරිවෘතව සංග්‍රාමභූමියෙහි විජය ශ්‍රිකාන්තාව විසින් වලඳනා ලදුව සෝභමානවූ රාජොත්තමයක්හු පරිද්දෙන් අනොපමවූ බුද්ධ ශ්‍රී විලාශයෙන් විරාජ මානව සියළු සත්වයන්ගේ තේ සිත් සතුටුකරමින් සවණක් ඝන බුදුරැස් විහිදුවමින් කුලගිරි පරම්පරායෙන් පරික්‍ෂිප්තව ගමන්ගත් මෙරු පර්වත විලාශයෙන් වෙළුවනාරාමයට වැඩ වදාළසේක.

නුවර වැසි උපාසකයෝ ඛi භෝජ්‍යාදී මධුර අන්නපාණ ඇරගෙන විහාරයට ගොස් බුදුපාමොක් මහා සංඝයාවහන්සේට මහදන් පැවැත්වුහ. එදවස් පසුබත්වෙලෙහි ධම්සභා මණ්ඩපයට රැස්වු ශාරිපුත්ත ස්ථවිර ප්‍රමුඛ ප්‍රවර භික්ෂූ සංඝයාවහන්සේ ඇවැත්නි අද දවස් රාබී ත්‍රිමදගලිතව අට්ටාල වෙට්ට නම් පවුරු පදනම් වාසල් එලමින් සියලු සත්වයන් භයින් පලවමින් මුර්තිමත්වු මාත්‍යුහු පරිද්දෙන් බුදුන් කරා එන්නාවු නාලාගිරිහු දැක සර්වඥයන් විසින් ආනන්දයෙනි ඉවත්වයි තුන්යලක් වදාරණ ලදුවත් ඉවතනොවි ඉදිරියෙහි සිට බුදුන් උදෙසා ජිවිත පරිත්‍යාග කෙරෙමින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් ඉතා දුෂ්කර ක්‍රියාවක් කරන ලද යනාදීන් අනද මහතෙරුන් වහන්සේගේ ගුණ කථනය කෙරෙමින් වැඩ හුන්සේක.

එකල ගඳ කිළියෙහි සැතපුණාවූ සර්වඥයන් වහන්සේ ධම්සභා මණ්ඩපයෙහි රැස්වු භික්ෂූහු ආනන්ද ස්ථවිරයන්ගේ ගුණ කථනය කෙරෙති මා විසින් එතනට යා යුතුයයි සිතා වදාරා රත්ගල් ගුහාවකින් නික්මුණු කේසර සිංහරාජ යකු පරිද්දෙන් ගඳකිළියෙන් නික්ම තුන්තරාගමනින් එක්තරා ගමනකින් ධම්සභා මණ්ඩපයට වැඩ පනවන ලද බුද්ධාසන මස්තකයෙහි යුගදුරු මුදුනෙහි දිලියෙන්නාවු හිරු මඩලක් පරිද්දෙන් සවණක් ඝන බුදුරැස් විහිදුවමින් වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා භාග්‍යවතුන් වහන්ස අනික් කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ. ආනන්ද ස්ථවිරයන් විසින් බුදුන් උදෙසා කරණ ලද ජිවිත පරිත්‍යාග ප්‍රශංසා කරමින් උනුම්හයි දැන්වු සඳ මහණෙනි මේ ආනන්ද ස්ථවිරයෝ දැන් මතු මා නිසා ජිවිත පරිත්‍යාග කළාහු නොවෙති යටගිය දවස තිරිසන් යෝනියෙහි උපන්නාහුත් මා නිසා ජිවිත පරිත්‍යාග කළාහු නොවෙති යටගිය දවස තිරිසන් යෝනියෙහි උපන්නාහුත් මා නිසා ජිවිත පරිත්‍යාග කළෝවේදැයි වදාරා ඒ භික්ෂූන් වහන්සේ විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ හිමගර්භයක් පලා චන්ද්‍රබිම්ඹයක් මෑත්කොට දක්වන්නාක්මෙන් ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස මහිසනම් රට සකුල නම් නුවර සකුල නම් රජ්ජුරුකෙනෙක් දානාර්ථ ප්‍රිය වචන සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුවෙන් ජනරඤජනය කෙරෙමින් රාජ්ජය කරන්නාහුය. එසමයෙහි පුරන ලද බෝධි සම්භාර ඇති අප මහා බෝසතානෝ ධ්‍රූතරාෂ්ටූ හංස රාජාන්ව එකුලයෙහි උපන්නාහුය, එකල එනුවරට නුදුරුවූ එක් වැදි ගමෙක්හි එක්තරා වැදිපුත්‍රයෙක් මල අටවා පක්‍ෂින් නුවරට ගෙනගොස් විකුණමින් ජිවකාව කරන්නේය. එනුවරට නුදුරු තෙනෙක්හි වටින් දොළොස් යොත්නෙක් පමණ ඇති සිතලාමල ජලහරිත පස්පියුමෙන් සෑදුනු හංස චක්‍රවාකසාර සකාරණ්ඩවාදීවු නොයෙක් පක්ෂිය සමූහයාට වාසස්ථානවූ මානස නම් වු විලෙක් ඇත්තේය. ඒ විල්හි ඒ වැදි පුත්‍රතෙම සාමාන්‍යයෙන් පක්‍ෂින්ට මල ඇටවිය. එකල ඒ ධ්‍රුතරාෂ්ටු නම් හංස රජ්ජුරුවෝ සුමුඛ නම් සෙනෙවිරත් රජුන් ප්‍රධානවූ සයානුදහසක් හංස ශ්‍රේණින් විසින් පිරිවරණලදුව චිත්‍රකූට පර්වතයෙහි රන්ගල් ගුහාවෙක වසන්නාහුය, ඉක්බිති එක් දවසක් හංස සමූහයෙන් හංසයෝ කීපදෙනෙක් ගෝචරග්‍රහණය පිණිස ඒ ඒ තැන ඇවිදිනාහුය. බෝහෝවු ගොදුරු ඇති ඒ මානස නම් විලට පැමිණ සිත්වු පරිද්දෙන් ගොදුරු අනුභව කොට පිරුණාවූ චිත්‍රකූට පර්වතයට ගොස් ධ්‍රුතරාෂ්ට හංස රජ්ජුරුවන් දැක දෙවයන් වහන්ස මනුෂ්‍ය පථයෙහි අනෙක ප්‍රකාරවූ ගොදුරු ඇති මානස නම් විලෙක් ඇත්තේය. එහි ගොදුරු අනුභව කරන්ට යම්හයි කීහ.
එබස් අසා බෝධිසත්වයෝ එඹා හංසයෙනි මනුෂ්‍ය පථය නම් ඉතා භය සහිතය. සැකකටයුතුය. ඒ නොකමැත්තේයයි වලකාත් නැවත නැවත කියන ලදුව ඉඳින් තොපහැමට අභිප්‍රාය වී නම් යම්හයි ගිවිස පිරිවර හා සමග ඒ විලට ආකාශයෙන් බස්නාහු පය මලෙහිම ඵලාගෙන බටුවාහුය එකල බෝධිසත්වයන්ගේ පය යපටකින් මෑසුකලක් පරිද්දෙන් ඇසිර ගියේය. ඉක්බිති මල කඩා ගනිමියි සිතා ඇදි ඇදි සේ පළමුකොට කකුලේ සම් කැඩී ගියේය. දෙවෙනිව මස් ඇට කැඩි ඇටයෙහි ඇසිර සිට ලේ වැහෙන්නට පටන්ගෙන බලවත්වු දුක්ඛවේදනා පැවැත්තේය. එකල බෝධිසත්වයෝ ඉඳින් මම බැගෑපත්ව ඇඬිම් නම් මාගේ බන්ධුහු භයපත්ව ගොදුරු නොකා දුකින් පැලියන්නාහු දුර්වලව සමුද්‍රයෙහි වැටි යන්නාහයි බන්ධුන් කෙරෙහි කරුණාවෙන් දුක්ඛයෙන් වෙදනාව ඉවසා හංස සමූහයා කැමති පරිද්දෙන් කා බී කෙළින්ට පටන්ගත් කල්හි බෝධිසත්වයෝ බඬරාවයෙන් මහහඬින් හැඬුහ. ඒ අසා හංස සමූහයෝ මරණ භයින් තැතිගෙන තුන් මුලක්ව බෙදී චිත්‍රකූට පර්වතයට යන්නා ගියාහුය.

මෙසේ ඒ හංසයන් නික්මුණුකල්හි සුමුඛ නම් හංස සේනාධිපති කිමෙක්දොහෝයි මේ භය හංස රජ්ජුරුවන්සේට පැමිණියේවනැයි පරික්‍ෂාකෙරෙම්හයි වේගයෙන් ගොස් පළමුවෙන් යන්නාවු හංස සමූහයා අතුරෙහිද මධ්‍යයෙහි යන්නාවු හංස සමූහයා මුළුල්ලෙහිද ඇමට පස්සේ නික්මුනාවු හංස සමූහයා මුළුලෙහිත් බෝධිසත්වයන් නොදැක ඒකාන්තයෙන් මේ භය හංස රජ්ජුරුවන්ට පැමිණිවනැයි ශොකයෙන් පිඩිතව නැවත ආපස්සේ විලට එන්නාහු පය බැඳි ගොස් ලෝභයෙන් වැකි ගියාහු සිරුරු ඇතිව දුක්ඛයෙන් පිඩිතව මඩිමත්තේ වැදහොත් මහා බෝධිසත්වයන් දුරදිීම දැක මහරජ භයනොගත මැනව මම මාගේ ජිවිතය දිපියා නමුත් නුඹ වහන්සේ මලින්ගලවාලමියි අස්වසා කියමින් සමීපයට බැස මඩමත්තේ වැඩ උන්හ. එකල සෙනවිරත් රජුගේ සිත් පරීක්ෂා කරන්නාවු මහබෝධිසත්වයෝ සුමුඛ නම් සෙනෙවිරදිනි. මාගේ බන්ධුහු මේ අනුදහසක් පමණ හංසයෝ මා පාසබන්ධනයට අසුව මේසා දුකක් විඳිමින් සිටියඳි කින්ද කුමනදැයි යන බසක් විචරකුත් නොකියා අභිප්‍රායානුකූලවූ පරිද්දෙන් නික්මුණාහ. පාස වසඟවු මා කිසි උපායකින් ගලවාගන්නෝ නිසි වුව එසේහෙයින් කිසි සැපයක් නොකොට තොපිත් නොරදා පලායවයි කිහ.

එකල්හි හංස සෙනාධිපති දේවයන් වහන්ස නුඹ වහන්සේ හැර මෙතනින් මම ගියෙමි නමුත් නොගියෙමි නමුත් මියෙන්නෙම් වෙමි සුවපත්වු නුඹ වහන්සේට සේවයකොට දුකට පැමිණ වෙලෙහි ඇරපියා ඒකාන්තයෙන් නොයමි. නුඹ වහන්සේ මරණපාසයෙත් බැඳුනුසේක. මම සෙනෙහපාසයෙන් බැඳි ගියෙමි.

එහෙයින් මියතත් එක්වමය ගැළවියතත් නුඹ වහන්සේ හා එක්ව යෙමියි ඉඳින් ඇරපියා ගොස් මාගේ ජිවත්විමට වඩා නුඹ වහන්සේ හා එක්ව යෙමියි ඉඳින් ඇරපියා ගොස් මාගේ ජිවත්විමට වඩා නුඹ වහන්සේ හා එක්ව රඳා මියයාම උතුම්වන්නේය. හංසරජ්ජුරුවන් වහන්ස මෙබඳුවූ දුකකට පැමිණ නුඹ වහන්සේ ඇරපියා යාම අප වැන්නවුන්ට තරම්නොවෙයි එහෙයින් නුඹ වහන්සේට යමක් පැමිණියේ වී නම් මමත් ඒ විඳිනා කැමැත්තෙමි යනාදීන් තමන්ගේ දෘඪමිත්‍රත්වය බෝධිසත්වයන්ට ප්‍රකාශකොට කිවුය.

එකල බෝධිසත්වයෝ එඹා සුමුඛයෙනි තොප ඵලෙස කියන්ට කාරණා කිම්ද මලින් බැඳි සතුරන් අතට පැමිණියාහට මුළුතැන්ගෙට පැමිණිම විනා අන්සරණෙක් කොයින්ද එබඳු මරණ දුක්ඛයෙන් සතුරන් අතින් ගැලවි සිටියාවු විශිෂ්ටවූ නුවණ ඇති තොපට කුමකැයි රුස්නේද තවද සුමුඛයෙනි අප ගේ ඤාති වර්ගයාටද ඇසුරුකළ අවශේෂ පක්‍ෂින්ටත් කවර වැඩෙක් කවර ප්‍රතිෂ්ඨාවෙක් දක්නෙහිද තවද රන්වන්වු උභයපක්‍ෂයක් ඇති සුමුඛයෙනි මලෙහි බැඳි ජිවිතක්ෂයට පැමිණෙන්ට සිටි මා නිසා තොපගේ ජිවිතය පරිත්‍යාග කිරීම අඳූරුගෙයෙක්හි අන්ධයක්හු කළ දෙයක් මෙන් කවර අර්ථසිද්ධියක් දැක මරණ කැමැත්තෙහිදැයි කීහ.

එකල හංස සේනාධිපති මහාබෝධිසත්වයන්ට පක්‍ෂිරාජයාණන් වහන්ස සත්පුරුෂ ධර්මයෙහි ප්‍රයෝජන කුමක් නිසා නොසලකනසේක්ද පුදන ලද්දාවු ගුණධර්මය සත්වයන්ට ලෞකිකලෝකෝත්තරවු අභිවෘද්ධිය දෙන්නේය. එහෙයින් මා විසින් පුදන ලද ගුණ ධර්මයෙන් මෙලෝ පරලෝ දෙකින් මටවන වැඩ හා නුඹ වහන්සේ කෙරෙහි සෙනහ පක්‍ෂපාතයක්ද දක්නෙම් ජිවිත විනාශයෙහි සැකයක් නැත්තෙමියි කීහ.

ඒ අසා මහාබෝධිසත්වයෝ එඹා සුමුඛයෙනි යම් මිත්‍රයෙක් තමාගේ මිත්‍රයාට දුකක් පැමිණකල්හි එදුකෙහි අත්නොහැර එක්ව විඳුනේ වී නම් එසේ කිරීම ඒකාන්තයෙන් බුද්ධ බෝධිසත්වාදී උත්තමයන්ගේ ස්වභාව ගුණයෙක තොප විසින් උත්තමයන් ගුණධර්මයන් පුරණලද මා කෙරේ යෙනහ ඇති නියාව විශේෂයෙන් දනිමියි මෙමල එබූ වැදීමට කැමැත්තක් කෙරේවයි තොප විසින් කී බස මා නිසා ජිවිතය දුන් නියාවම ඉතිකින් නික්මෙවයි. අනුදත් වෙලෙහෙි පටන් නොරඳානික්මෙව තවද මෙබඳූ දුක්ඛයට පැමිණියෙහින් මාගේ බන්ධුවර්ගයෙහි ඇත්තන්ට යම් අඩුයෙක් පෙනුනේවිනම් ප්‍රඥා ගුණ ඇති තොප ගේ සමවාසයෙන් කිසි අඩුවෙක් උන්ට නොපෙනෙන්නේය. එහෙයින් මෙතනින් වහා නික්මවෙයි කී සඳ නුඹ වහන්සේ ඇර මම නොයමියි යනාදීන් උත්තර ප්‍රත්‍යුත්තර වශයෙන් ඒ උත්තමයන් දෙදෙන කථා කෙරෙමින් සිටියදී මෘත්ත්‍යුමාරයා පරිද්දෙන් වැදි පුත්‍රයා අවුත් ඒ හංසයන්ට පෙනුනේය. බොහෝ කාලයක් ඔවුනොවුන් කෙරෙහි හිත විශ්වාසිව ආ පක්ෂිරාජයෝ දෙදෙන මුගුරක් ඔසවාගෙන වාත වේගයෙන් දිවන්නාවූ සතුරා දැක උන්තෙනින් නොඉගිලීම මුවෙන් නොබැන උන්හ. එකල්හි වැදි පුත්‍රයා මහත් වේගයෙන් පක්‍ෂිරාජයා කරා දුවන්නේ දුරදීම දෙන්නෙකු එක්තැන දැක ඉගිල පලායෙද්දෝහෝයි යන සැකයෙන් සෙමෙන් සිට සමීපස්ථව මලෙහි බැඳි උදකලාව තොපි නැගීයානොහි උන්නාවු ඔහුකෙරෙහි සෙනෙහපාසයෙන් බැඳි ඇරපියයානොදි බල බලා ඉඳිනාවුද පක්‍ෂිරාජයන් දැක සුමුඛයන්ට ආමන්ත්‍රනයකොට මම වනාහි මලෙහි බැඳුනුහෙයින් නොගියේය සාක්‍ෂාත් තොපට සතුරු මා එන නියාව දැක දැක තොප නොගොස් ඉඳිනට කාරණා කිම්ද මේ තොපට සතුරු මා එනනියාව දැක දැක තොප නොගොස් ඉඳිනට කාරණා කිම්ද මේ තොපට කුමක්වේද සෙසු පක්ෂින් එක්ව පලායාදී උදකලාව තොපි උන්නේ කුමක් නිසාදැයි විචාළේය.

එබස් අසා සුමුඛ සෙනාපතිහු එඹල ප්‍රාණඝාතකොට ජිවත්වන්නාවු වැදි පුත්‍රයාණෙනි මුන් වහන්සේ මට රජසෙක ජිවිත සමානවූ මිත්‍රයෙක ඒ කාරණයෙන් මාගේ ජිවිතාන්තය දක්වාත් ඇරනොයෙමි කිවාහුය. එබස් අසා වැදි මුන් තොපට රජ්ජුරුවනැටි කියව රජ්ජුරුවෝ නම් කාරියකාරිය ඥානයෙන් යුක්තයහ. පරික්ෂාකාරියහ මෙලෙස නුවනැත්තාවු තොපගේ මේ රජ්ජුරුවෝ කවරකාරණයක් නිසා අටවන ලද්දාවු මල නුදුටුවාහුද යසසින් නුවණින් වැඩිසිටියවුන් විසින් තමන්ට පැමිනෙන්නාවු ආපදාව පරික්ෂා කට යුතු නොවේද එසේවු තෙනෙත්තන් බැඳෙන්ට හේතු කවරේදැයි විචාළේය.

එකල වැදිපුත්‍රයාගේ බස් අසා සුමුඛනම් හංසසේනාධිපතිද එඹා පුරුෂය සත්වයන්ට විනාශකාලය පැමිණ සිටිකල්හි තමන්ට උපද්‍රව පිණිස සරහා තබන ලද්දාවු දැල් මල ආදින්ගේ සමීපයට පැමිණ කල්හි නෙපෙනෙන්නේය. ඉදින් දුටත් කර්මප්‍රත්‍යය ඒකාන්තයෙන් පැමිණ සිටිකල්හි සොරමල කවුරුවත් බැඳියන්නේය යනාදින් වැදිපුත්‍රයා හා සම්භාෂණය කිරීමෙන් ඔහුගේලය මොලොක් කොටගෙන මහාබෝධිසත්වයන්ගේ ජිවිතදානය ඉල්වන්නාහු සබඳ තොප හා කරණලද සම්භාෂණය අප දෙදෙනාහට අභිවෘද්ධි කාරණා වේද චිත්‍රකූට පර්වතයට ගොස් අපගේ ඤාතිසමූහයා හා සමග සතුටුව වාසය කරණු පිණිස අප දෙදෙනාගේ ජිවතදානය දිපියා එව්දැයි විචාළාහ.

ඒ අසා වැදිපුත්‍රතෙම හංස සේනාධිපතින්ගේ මධුරවු ධර්මශ්‍රවනයෙහි බැඳි එඹාහංසයාණෙනි තොපමා බැඳූයේත් නැත්තේය. තොපගේ වධයෙක් නො කැමැත්තෙමි වහා මෙතනින් පලාගොස් නිර්වා්‍යාධිව ජිවත්වයි කීයේය. ඒ අසා සුමුඛතෙම එඹා වැදිපුත්‍රයෙනි මේ හංස රජ්ජුරුවන් වහන්සේ හැර ජිවත් වන්නාවු ජිවිකා ඇසිල්ලකුත් නොකමැත්තෙමි ඉදින් එක් කෙනෙකුන්ගේ මස් පොහොනේ නම් මුන් වහන්සේ හැරපියා මාගේ මස් අනුභවකරව ඉදින් එලෙස කැමැත්තා නම් මුන් වහන්සේ උසමහතින් වයසින් වර්ණයෙන් සමානයම්හ තොපගේ ලාභයට අඩුවකුත් නැත්තේය. එසේ හෙයින් මා හැරගෙන හංසරජ්ජුරුවන් හැරපියව ඉදින් උන් වහන්සේ මලින් මුදවා මාත් පලායෙති යන්නක් නොසිතා පළමුකොට මා බැඳගෙන පසුව මුන් වහන්සේ හැරපියා එලෙස කළානම් තොපගේ ලාභයක් අඩුවෙක් නැත්තේය. මාගේ යාච්ඤාවත් සමෘද්ධිවනනේය. ධ්‍රූතරාෂ්ට්‍ර හංස රජ්ජුරුවන් හා මිත්‍රසංසත්ව වාසයකරණ ලද්දේවෙයි යනාදින් කරණ ලද ධර්මදේශනාව අසා ප්‍රසන්නව ගිතෙල බහාලන ලද සියක් වර පොලනලද කපුපුළුන් පෙදක් පරිද්දෙන් මොලොක්කරණ ලද සිත් ඇති මහබෝධිසත්වයන් හංස සේනාපතීන්ට තුෂ්ටිදානයෙන් හරණාවු වැදි පුත්‍රතෙම එඹා සුමුඛසේනාධිපතිනි තොප විසින් මට කන්නලවු කියා හරණ ලද්දාවු මේ හංස රජ්ජුරුවන් දැක ඤාති මිත්‍ර බන්ධූ පුත්‍රදාරාදින් වු සියළු හංස සමූහයෝ සතුටුවෙත්වයි තවද සුමුඛය මේ හංස රජ්ජුරුවන්ට යම්සේ ඒකාත්මිකවු මිත්‍රවිද මේ ලෝකයෙහි කිසි කෙනෙකුන්ටත් එබඳු මිත්‍ර කෙනෙක් නැත්තාහ. එහෙයින් තොපගේ මිත්‍ර ධර්ම පරිපාලනය හේතුකොට ගෙන සන්තුෂ්ටවූ මම තොපට සබඳවු හංස රජ්ජුරුවන් හරිමි කැඳවාගෙන වහා ගොස් ඤාති සමූහයාගේ කඳුලුමුසු මුහුණ සතුටු කරවමින් පැලඹෙවයි යනාදින් කියා පක්‍ෂිරාජයන්ගේ සිත් සනහවා සෙනෙහසින් මොලොක්වු සිතින් බෝධිසත්වයන් කරා ගොස් බැඳුන් කපා වඩාගෙන සිඹ සනහා විලින් ගොඩනැගී මියර සිට සිනිඳු මොලොක් ඊතන මත්තෙහි ඉඳුවා මල පුඩුව සෙමින් ගලවා වලදමා මහාබෝධිසත්වයන් කෙරෙහි බලවත් මෙත් සිත් පතුරුවා නෙලුම්පතකින් පැන් ගෙනුවුත් පය සෝධා නැවත නැවත පිරිමැන්දේය එසඳ ඔහුගේ මෛත්‍රිබලයෙනුත් බෝධිසත්වයන්ගේ පාරමිතා භාග්‍යයෙනුත් පයවනයෙන් නහරින් නහරමාංසයෙන් මාංස හා සමින් සම හා ගැලපී පළමු පරිද්දෙන් ප්‍රකෘතිමත් වුයේ විය.

ඉක්බිති සුමුඛනම් හංසසේනාධිපති සුණිතමුදිතව උන් බෝධිසත්වයන් දැක සංජාතවු ප්‍රිතිප්‍රමෝi ඇතිව වැදි පුත්‍රයා හට ස්තූති කරන්නාහු එඹා වැදි පුත්‍රයාණෙනි යම්සේ මම තොප විසින් මුදාරහරණ ලද හංස රජ්ජුරුවන් වහන්සේ දැක සතුටුවිම්ද, එපරිද්දෙන් තෙපිත් තොපගේ ඤාති වර්ගයා හා සමාග සතුටුවවයි යනාදින් කන්කළුවු මධුර වචනයෙන් සතුටුව තෙපුල් බැණ හංස රජ්ජුරුවන්ට අභිමුඛව මහරජ්ජුරුවන් වහන්ස මේ පුරුෂයා විසින් අපට බොහෝ උපකාර කරණ ලද මෙවනාහි අපගේ යාච්ඥාව නොඅසා අප හැරගෙන ගොස් ක්‍රීඩාහංසයන් කොට යමෙකුට දිපුවේ විනම් බොහෝ සම්පත් ලැබෙන්නේය නොහොත් මරාපියා මස් විකුටත් බොහෝ සම්පත් ලැබෙන්නේය. තමාගේ ලාභය නොසලකා අපි කීවාම කළේෙය. මොහු මෙරට රජ්ජුරුවන් කාරා කැඳවා ගෙන ගොස් සුවපත් කරම්හයි දෙදෙන කථාකොට වැදි පුත්‍රය හට ආමන්ත්‍රණය කොට සබඳ තා මළ ඇටවුයේ කුමක් නිසාදැයි විචාරා ධන සම්පාදනය කොට මා රැකෙන පිණිසයයි කිසඳ එසේවිනම් අප ඇරගෙන ගොස් දේවයන් වහන්ස මූ ධ්‍රුතරාෂ්ට්‍ර නම් හංස රජ්ජුරුවෝය මු උන් සුමුඛ නම් සේනාපතියයයි රජ්ජුරුවන්ට දන්වාලව අප හැම දැක සතුටුවු රජ්ජුරුවෝ තොපට බොහෝ සම්පත් දෙතියි වැදි පුත්‍රයා හට නියෝග කළහ.

ඒ අසා වැදිපුත්‍ර ස්වාමිනි රජ්ජුරුවන් දැකිම නොකමැත්තේය. රජ්ජුරුවෝ නම් චඤචලවු සිත් ඇත්තෝය. වචනායුධයහ. නුඹ වහන්සේලා ක්‍රීඩා හංසයන් කොට රැඳුනා නමුත් මරාමස් අනුභව කළාහු නමුත් ඊට වඩා අලාභයෙක් නැත්තේය. එහෙයින් මම ධන නොකැමැත්තේය. නුඹ වහන්සේලා සැපසේ වැඩපුවමැනවයි කීය. ඒ අසා සුමුඛයෝ සබඳ භයනොගනුව රූක්‍ෂවු ක්‍රූරවු ක්‍රියා ඇති ලෙයින් තෙත්වු අත් දැති තොප පවා මධුරවූ මාගේ ධර්මකථනයෙන් මොලොක්කොට පා පිට ඵලා වසඟ කෙළෙමි රජ දරුවෝ නම් මහපින් මහානුවනැත්තාහ. සුභාෂිත දුර්භාෂිත වචනයෙන් දන්නාහුය. තෙපි අනිකක් නොසිතා වහා අප ගෙනගොස් රජ්ජුරුවන්ට දක්වාලවයි නියෝග කළහ.

එසඳ වැදිපුත්‍ර එසේවිනම් යහපතක් නපුරක් විනමුත් මට නොකිපුන මැනවැයි හංස රජ්ජුරුවන් හා සුමුඛයන් කදක හිඳුවාගෙන ගොස් රජ්ජුරුවන් දක්වා දේවයන් වහන්ස මූ සයානුදහසක් හංසසේනාව පිරිවරකොට ඇති ධ්‍රුතරාෂ්ට්‍ර නම් හංස රජ්ජුරුවෝය මු උන්ගේ සුමුඛ නම් සෙනෙවිරද්දුය. නුඹ වහන්සේ වැඳ දක්වනු පිණිස බදාගෙන ආමියි රජ්ජුරුවන්ට දැක්විය ඒ අසා රජ්ජුරුවෝ අතිශයින් ආශ්චර්යයකට පැමිණ එම්ඹල වැදි පුත්‍රය මහත්වු ඓෙශ්චර්යයෙහි පිහිටි මේ හංස රජ්ජුරුවන් හා සෙනවිරදුන් තොප අපට කවර උපදෙසෙකින් පැමිණියාහුදැයි විචාළාහ.

ඉක්බිති වැදිපුත්‍ර ජනප්‍රධාන වූ රජ්ජුරුවන් වහන්ස යම් තෙනෙක්හි මුළු මුළුව බැස ගොදුරු අනුභව කෙරෙද්ද ඒ ඒ ස්ථානවල්හි නියම දැන මල අටවා පක්ෂින් මරා විකොට ජිවත්වන්නාවු මම මානසය නම් විලට බොහෝ හංසයන් ගොදුරු පිණිස බසිනා නියාව දැක මල ඇටවිම් ඒ මලෙහි මේ හංස රජ්ජුරුවෝ බැඳුනාහ. එකල අවශේෂවු හංසයෝ තමන්ගේ වාසස්ථානයටම ගියාහුය. මේ සුමුඛ නම් සේනාධිපති තුමු මලෙහි නොබැඳි මේ හංස රජ්ජුරුවන් කෙරෙහි සෙනෙහේපායෙන් බැඳි යානොහි උන්නාහු මා දැක නොඉගිලි තමන්ගේ ස්වාමිපුත්‍රයානන් නිසා ජිවිත පරිත්‍යාග කොට තිරිසන්ව ඉපිදත් සමහර මනුෂ්‍යයන් විසිනුත් කොටගත නොහැක්කාවු දුෂ්කර ක්‍රියාව ප්‍රකාශ කෙරෙමින් මා හා සමඟ කථාකොට මලෙහි බැඳි උන් හංස රජ්ජුරුවන්ගේ ජිවිතදානය ඉල්වුහ.

එකල මොහුගේ සුභාෂිත වචනයන් අසා සතුටුව හංස රජ්ජුරුවන් මලින් මුදා හංස රජ්ජුරුවන්ට කැමති පරිද්දෙන් නැගී යනලෙස අවසර දිනිමි එසඳ මා කෙරෙහි සතුටුව මේ සුමුඛනම් සෙනෙවිරත්තෙම තොපගත් ආයසය ව්‍යර්ථ නොවන ලෙස අප ඇරගෙන රජ්ජුරුවන් වහන්සේ කරා ගොස් දක්වාලව බොහෝ ලාභ ලබන්නෙහියයි යනාදින් මුන්ගේ කිමෙන් ගෙනාමි මේ උත්තම ගුණ ඇති පක්‍ෂි උවමනා කෙනෙක ඇතිවක් පටන් සත්ව ඝාතනය කොට ජිවත්වන්නාවු මාගේ ළයපවා තමන් මධුර කථාවෙන් මොලොක් කොට ගත් කෙනෙක. මෙබඳු ආශ්චර්යමත්කර පඬුරක් මා ඇතුළුවත් සියළු වැද්දන්ගෙන් පෙර ගෙනා කෙනෙක් වේවයි ඉදිරියෙන් ගෙනෙන කෙනෙක් වේවයි නැත්තාහ. එහෙයින් මේ අත්භූතවූ හංසයන් දැක වදාළමැනවැයි වැදි පුත්‍රද රජ්ජුරුවන්ට දැන්විය. එකල රජ්ජුරුවෝ මහබෝධිසත්වයන්ට මාහැඟි වු සිංහාසනයක්ද සුමුඛයන්ට රත්බඳවෙළුවක් පනවා මොවුන් එහි ඉඳුවා රන් තැටියෙන් මී හා විලඳ හා සකිරා මුසු පැන් අනුභව කරවා සන්තර්පනය කරවා නමස්කාර කොට ධර්මදේශනාවට මහාබෝධිසත්වයන්ට ආරාධනා කොට මිටි අස්නක උන්නාහුය.

එකල හංස රජ්ජුරුවෝ මධුරවු මනුෂ්‍යභාෂාවෙන් මහරජ පින්වත්වු තොපට කිසි දුකෙක් නැද්ද ව්‍යාධි බාහුල්ලයෙක් නැද්ද තොපගේ මේ රාජ්ජය අන්නපාණ වස්ත්‍රාභරණ ධනධාන්‍යාදීන් සමෘද්ධද තොපගේ රාජ්ජය සැපසේ රක්නෙහිද තොපගේ අමාත්‍ය සේවකාදින් අතුරෙන් කිසි අමනාපයක් කරණ කෙනෙක් නැද්ද යුද්ධ ආදීවු කිසිකාරියක් පැමිණ කල්හි තමන් ගේ ජිවිතයට නොසිතාත් තොපට වැඩෙහි ඇසිරෙද්ද තවද මහරජ අගමෙහෙසුන් බිසවු තොප හා සමාන ජාතිගොත්‍ර ඇතියෝද කීකරුව කන්කළුවූ බස් කියද්ද දුන් පුතුන් දරුවන් ආදීහු ශ්‍රද්ධා ඇත්තාහුද තොපගේ අභිප්‍රාය නොමිරිකා වෙසෙද්ද යනාදින් සාමිචි කථාකිරීමෙන් සුවදුක් විචාළාහ.

එකල රජ්ජුරුවෝ එසේය හංසරාජයන් වහන්ස මාගේ කයට කිසි දුකෙක් නැත්තේය. ධනධාන්‍යාදීන් සමෘද්ධවූ රට දැහැමෙන් සෙමෙන් අනුශාසනා කෙරෙමින් අමාත්‍යාදීහුත් කිසි අමනාපයක් නැතිව මා පැමිණි කාරිය ඇර නොපියා සිද්ධකෙරෙති අගමෙහෙසුන් බිසවුන් රූප යෞවනාදීන් මා හා නොවෙනස්ව අභිප්‍රාය සැටියේම වාසය කෙරෙති යනාදී තමන්ගේ ඵාසු කීහ.

එසඳ බෝධිසත්වයෝ මහරජ්ජුරුවෙනි මෙවැනි වූ ආපදාවක් පැමිණ තෙනදීත් මෙතෙම විරුද්ධ නොපැවැත්තේය. මේ වැදි පුත්‍රයා දැක මධුර වූ කථා ප්‍රවෘත්ති ඇති ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත වූ මේ සුමුඛයෝ මොහු හා කථා කළහ. ඔහුගේ මධුර වූ කථා ශ්‍රවණය කොට ප්‍රසන්නවූ මේ වැදි පුත්‍රතෙම මා මලින් මුදා සැපසේ නැගීගිය මැනවැයි නියෝග කළේය. මෙතනට ඊමත් මෝහට අභිවෘද්ධි පිණිස අපගේ මේ සුමුඛයන්ම සිතන ලද්දේයයි යනාදින් මධුර වචනයෙන් කථාකළාහුය. ඒ අසා රජ්ජුරුවන් වහන්ස පක්‍ෂින්ට ශේෂ්ඨ වු නුඹ වහන්සේ ඊම මනාගමණෙක් වේවයි නුඹ වහන්සේගේ දැක්මෙන්ම සතුටුවිම්යි මේ වැදිත් බොහෝ සම්පත් ලැබෙන්නේහයි කියා අමාත්‍යයෙකු ගේ මුහුණ බැලුහ. ඔහු විසින් කුමක් කෙරෙම්ද දේවයන් වහන්සැයි විචාළ සඳ මේ වැද්දාවු දැලිරැවුළු අන්දන් තබා ඉස්සෝධා නහවා සුවඳ විලවුන් ගන්වා වස්ත්‍රාභරණාදින් සරහාවා වහා ගෙනවයි කීහ.

ඒ නියෝග ලද අමාත්‍යයා විසින් සරහා ගෙනාසඳ ඕහට අවුරුද්දකට ලක්‍ෂයක් නියම්වන ගම්වරයක් හා උභය පාර්ශීවයෙහි මහා විථියකින් සැරහුණාවු ගෙයක් හා රථයානාවක් හා බොහෝ රත්රන්දී පිණවා ඉක්බිති රජ්ජුරුවෝ හංස රාජයානන් වහන්ස අභිප්‍රාය සැටියේම වැද්දවුට සම්පත්තීන් පුරාලමියි කිහ.ඉක්බිති මහාබෝධිසත්වයෝ රජ්ජුරුවන්ට සතුටුව බණ කියා දශරාජ ධර්මයෙන් අනුශාසනා කළහ.

එකල බණ අසා සතුටුව රජ්ජුරුවෝ මහබෝධිසත්වයන්ට බණට පූජා කෙරෙමින් සේසත් නංවා රාජ්ජ්‍යය පාවාදෙන්නාහු මේ රාජ්ජයෙහි මා අයිතිවූ යම් වස්තුවෙක් ඇද්ද ඒ සියල්ල නුඹ වහන්සේට ධර්ම පූජාකොට දිනිමියි මේ සියළු රාජ්‍ය සම්පත් කැමති කැමති කෙනෙකුන්ට දන් දෙතත් දුන මැනව රාජ්‍යයකරතත් අනුශාසනා කළ මැනව මම ආයුධගෙන නුඹ වහන්සේට සේවාකම් කොට සිටිමියි කීහ.

එකල මහාබෝධිසත්වයෝ මෙතැන් පටන් මා සන්තක රාජ්‍යය නොබඳු බඳු ගැනීමෙන් ජන පීඩා නොකොට දැහැමෙන් රාජ්‍යය කළ මැනවැයි රජ්ජුරුවන්ට පාවා දුන්හ. ඉක්බිති රජ්ජුරුවෝ මා විසින් හංස රජ්ජුරුවන්ගේ බණ කථා අසන ලද වැද්දහු විසින් සුමුඛනම් හංස සේනාධිපතිහු මිහිරි බණ කථා දන්නාහයි විශේෂකොට ප්‍රශංසාකරණ ලද හෙයින් උන්ගෙනුත් බණ කථා අසනු කැමැත්තෙමියි කීහ.

එසඳ සුමුඛ නම් හංස සේනාධිපති මහරජ නුඹ වහන්සේ සියළු මනුෂ්‍යයන්ට නායකසේක. මුන් වහන්සේ සියළු හංසයන්ට නායකසේක. මුන් වහන්සේ සියළු හංසයන්ට නායකසේක. එසේවු උත්තමයන් කථාකරන්නාවු ස්ථානයට පැමිණියාවු මම පෙරලා බන්ධනයට අසුඋනාහ. රජක්හු පරිද්දෙන් සෙල්විගත නොහෙමි. තවද මට ස්වාමිව සිටියවුන් හා කථාකරණ තැන්හි දාසව සිටියවුන් විසින් අතුරෙහි කථා කිරීම ස්වාමි පක්‍ෂපාත අපවැන්නවුන්ට ආචාරනොවන්නේය. එසේහෙයින් තුෂ්ණිම්භූතව උනිමියි කීහ.

එබස් අසා සතුටුවු රජ්ජුරුවෝ නුඹ වහන්සේ විශිෂ්ටවු නුවනැතිසේකැයි යනාදින් ප්‍රසිද්ධවූ මේ කිර්ති ඝෝෂාව ඒ ස්ථානයෙහිම ප්‍රසිද්ධ විය. එසේ හෙයින් මේ මිත්‍රදෝහිවු අව්‍යස්ථින සිත් ඇති කෙණෙකුන්ගේ ගුණය මෙසේ නොවන්නේය. එසේහෙයින් මෙසේවු ස්වාභාවික උත්තම ගුණ ඇති කෙනෙකුන් මම නුදුටිමියි එසේහෙයින් නුඹ වහන්සේගේ මිහිරි කථාවෙහිද සතුටුවූ මට පැමිණ සනොතාෂය බොහෝ කලක් පවත්නා නියායෙන් දෙදෙනාම ඇම වෙලෙහිම දක්නා කැමැත්තෙමි කීහ.

එබස් අසා රජ්ජුරුවන් කෙරෙහි පැහැද ප්‍රශංසා කරන්නාවු හංසරජ්ජුරුවන් වහන්සේ මහරජ මිත්‍රයන් විසින් තමන්ගේ මිත්‍රයන්ට යම් උපකාරයක් කළ යුතු වීනම්. ඒ සියළු උපකාරය තොප විසින් කරණ ලද්දේය. අපිත් සැක නැතිවම සියළු උපකාරය ලදුවෝ වුම්හ. එසේ හෙයින් අප ඔවුනොවුන් කෙරෙහි ඇති භක්ති ප්‍රේමය එකතැන උනත් වෙන්ව ගියත් අඩුවක් නොවන්නේය. තවද අප දෙදෙනාගේ වියෝගයෙන් අපගේ බන්ධුවූ හංස සමූහයාට බොහෝ දුක් පැමිණියේය. මහරජ ශෝකයෙන් පීඩිත වූ බන්ධුන්ගේ ශෝකදුරු කෙරෙමි අප නික්මවා පියන්නා කැමැත්තම්හයි පින් වත්වු මහරජ්ජුරුවන් දැකීමෙන් බලවත්වු සනොතාෂයට පැමිණයෙමියි යම් බන්ධු භංග්‍රහයෙක් ඇත්නම් ඒ ඥාති සමාගමයත් මට බලවත්වු වැඩිය. එසේහෙයින් මහරජ අප නික්මවා පියවයි කීහ.

එලෙස බෝධිසත්වයන් කී කල්හි රජ්ජුරුවෝත් යහපත නික්මුණ මැනවැයි අසවර දුන්හ. එකල්හි මහා බොධිසත්වයෝ රජ්ජුරුවන්ට ප්‍රාණඝාතාදීවු පඤච දුස්සීල කර්ම දුගතියට පමුණුවන්නේය. යනාදින් එහි ආදිනව හා ප්‍රාණඝාතාදීන් වැලැකීමාදිවු පඤසීලයාගේ ඉෂ්ටඵලය ප්‍රකාශකොට කියා මහරජ සිල්රක්ෂා කරව දැහැමෙන් රාජ්‍යයකොට සතර සංග්‍රහ වස්තුවෙන් ජනරඤජය කරවයි අවවාද කොට ඉක්බිති දෙවැනි දවස් අරුණ නැගෙන වෙලෙහෙි මි හා විලඳ සකිරා පැන් අනුභව කොට රජ්ජුරුවන් හා බිසවුන් විසින් රන් තල් වැඩ දෙකක් හිඳුවාගෙන සුවඳින් මලින් පුජා කොට නික්මෙන්නේ යහපතැයි අවසර දුන් කල්හි රජ්ජුරුවන් පැදකුණු කොට සීමැදුරු කවුළුවෙන් පිටත්ව මහත්ගමන් වේග ඇතිහෙයින් චිත්‍රකූට පර්වතයට ගොසින් බන්ධුන් දුටහ. එකල්හි නිදුක් නිරෝගිව සැපසේ අවුත් පැමිණ හංස රජ්ජුරුවන් හා සුමුඛයන් දැක ප්‍රිතියෙන් පිණාගියාහු ලබන ලද පිහිට ඇති හංස සමුහයෝ සනෙතාෂරාවයෙන් මත්ව කොකාධවනි පවත්වා ඉක්බිති හංසයෝ ස්වාමිනි සතුරන් අතින් කෙසේ ගැලවි ගිය සේක්දැයි විචාළේය.

ඒ අසා මහබෝධිසත්වයෝ සුමුඛයන් නිසා ගැලවි ගියෙමි යනාදින් බැඳුනු වෙලෙහි පටන් රජ්ජුරුවන්ගෙන් අවසර ගෙනඑන වෙලාව පටන් මේ දෙඅතුරෙහි පැවති යම් කාරියෙක් ඇත්නම් සියල්ලම වෙන වෙනම කීහ. ඒ අසා සතුටුවූ හංස සමූහයා සුමුඛනම් සෙනාපතිහුද අපගේ රජ්ජුරුවන් වහන්සේද වැදි පුත්‍රයාදැයි යන මේ හැමදෙනාම සුවපත්ව නිදුක් නිරෝගීව බොහෝ කාලයක් පවතීත්වයි ස්තුති කළාහයි යනාදින් බුදුරජානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි මේ ලෝකයෙහි යම් කෙණෙක් මිත්‍ර ධර්මය අඛණ්ඩකොට රකිත්ද ඔවුන්ට සියළු අභිමතාර්ථය මේ හංස රජ්ජුරුවන්ගේ අභිමතාර්ථය සිද්ධවුවාක්මෙන් සමෘද්ධ වන්නේයයි යනාදින් අනදමහාතෙරුන් වහන්සේගේ ජිවිත පරිත්‍යාගය නිසා කථා ඉපදවු භික්ෂූන් වහන්සේ ඇතුළුවු සිව්වනක් පර්ෂිද්ට මේ චුල්ලහංස ජාතක ධර්මදේශනාව වදාරා මහණෙනි ආනන්දයෝ පෙරත් මා නිසා ජිවිත පරිත්‍යාග කළෝවේදැයි වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ චුල්ලහංස ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වැදි පුත්‍රයා නම් ඡන්න ස්ථවිරයෝය. එකල රජ්ජුරුවෝ නම් ශාරිපුත්ත ස්ථවිරයෝය. තිරිසන්ව සිට ජිවත ජිවිත පරිත්‍යාග කළ සුමුඛ නම් හංසයානෝ නව මේ ආනන්දස්ථවිරයෝය. එසමයෙහි අනුදහසක් හංසයෝ නම් දැන් මේ බුදුපිරිසය. මරන්ට බදාගත් වැද්දාවු ඇතුළුවූ සියළු සත්වයාහට මෙළෝ පරළෝ දෙකින් වැඩකළ හංස රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.