502 මහාකපි ජාතකය

ශාසතෘන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්. දෙව්දත් තෙරුන් විසින් බුදුන් මුදුනට ගලක පෙරලීම අරභයා වදාළ සේක.
නිදාන කථාව දිනක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂූන් අතර බුදුගුණව වර්ණනා කොට දෙව්දතුන්ගේ නුගුණ කිය කියා උන්කල්හි එහි වැඩ බුදුරජාණන් වහන්සේ මහණෙනි දෙව්දත් තෙම මෙලෙස කෙළේ දැන් මතු නොවෙයි. පෙරත් හිසට ගල් පෙරළුයේම වේදැයි ඉකුත් වත ගෙනහැර දැක්වීය.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක රාජ්‍යය කරන කල්හි කසී දනව්වෙහි සීසා ජීවත් වන එක්තරා බමුණෙක් දිනක නැතිවූ ගොන් බානක් සොයමින මහ වනයට වැද මංමුලා වූයේ සතියක් නිරාහාරව ඇවිද එක් තිඹිරි රුකකට නැගී නොපැසුණු ඵල අනුභව කරනුයේ ඇඟ බල නැති හෙයින් අතු අගින් ගිලිහී බිහිසුනු මහත් ඇඳිර නරාවලකට වැටුණේය. මෙහිද දින හතක් ඉකුත් වූ කළට ගුණවත් එක් වානර පෝතකයෙක් පල අනුභව කරමින් ඒ සමීපයෙන් යන්නේ ඒ මිනිසාගේ කෙඳිරි හඬ ඇසී මහත් අනුකම්පා කොට ඒ වලට පැන ඒ මිනිසා ගොඩගෙන මහත්සේ විඩාවට පත්හෙයින් ඒ මිනිසාගේ උකුලෙහි හිසතබා වැදහොත්තේය.
එසඳ ඒ කළගුණ නොදත් මිනිසා සිතනුයේ දින ගණනක් නිරාහාරව පසුවූයෙමි. පලාඵල කෑමෙන් ශරිර ශක්තිය වහා ලබා ගත නොහැක. මේ වඳුරා මරා මස් අනුභව කිරීමෙන් කාය ශක්තිය ලබා ගෙන මගටත් ඉතුරු මස් ගෙනයාමට හැකැයි සිතා අසලවූ ගල් පතුරක් ගෙන ඒ වඳුරු උතුමාගේ හිසට පහර දුන්නේය. එවිට වඳුරු තෙම වහා නැගිට අතු අගට පැන ඒ ද්‍රෝහියා කළ අකටයුත්ත දැක මිත්‍රද්‍රෝහී වූ එම්බල දුෂට බ්‍රාහ්මණය තට මා කළ උපකාරයට තා කළදේ ඉතා නොහොබින්නේය’යි නින්දා කොට ඉදින් මා මෙතන හැරපියා ගියේ නම් මොහු නපුරු සතුන්ට ගොදුරුව මිය යන්නේ යයි සිතා එම්බල පුරුෂය තා කෙරෙහි මම සැක ඇත්තෙමි.

එනමුත් මම ගස් උඩින් පැන යමින් මනුෂ්‍ය වාසයට පාර පෙන්නන්නෙමියි කියා ඔහු කැඳවා ගෙන ගොස් වනයෙන් එලියට යවා තම හිසෙහි වූ තුවාල වලින් පීඩා විඳිමින් තමා වසන පර්වත ප්‍රාන්තයට ගොසින් වන්හ. ඒ අපරාධය කළ පුරුෂයා ද සෙවත කුෂටරෝගයක් සෑදී එම ආත්මයේම මනුෂ්‍ය ප්‍රේතයෙක්ව සත් වර්ෂයක් මුළුල්ලෙහි දුකින් පෙලී ඇවිදින්නේ ක්‍රමයෙන් බරණැස් නුවරට වැද මිගාචිරම් උද්‍යානයට වී කෙහෙල්පත් අතුට වේදනාවෙන් වැදහොත්තේය. උයන් සිරි නරඹමින් ඇවිදින බරණැස් රජතෙමේ දිනක් මනුෂ්‍ය ප්‍රේතයා දැක එම්බල පුරුෂය වැදූ මව්පියන් විසිනුත් බැලිය නොහැකි පිළිකුල් වූ කුෂ්ට රෝගයකින් පෙළෙන තා කවරෙක්ද? මෙසේ වීමට තා කළ අකුසල කර්මය කුමක්ද? කිසියම් උත්තමයෙකුට හිංසා පීඩාවක් කෙළේදැයි විචාළේය.
ඉක්බිති බමුණු තෙමේ තමා මේ ජන්මයෙහි කළ අකුසලින් නොමීය. දුක් විඳිනා නියාව කියා කළ අපරාධය ද මුලපටන් පහදා රජතුමනි එදින පටන් පිපාසා ඇතිව දිය ඇති තැනකට ගියෙම්වී නම් ඒ ජලය ගිනිගෙන දිලිසෙන්නාක් මෙන් වැටහෙන්නේය. ලේ මුසු සැරවමෙන් පිළිකුල්ව පිය නොහැක්කේය. දිය බින්දු ඇඟේ වැදී කල්හි එතැන ශරීරය පැලී සැරව ගලන්නේය. මා දකින ස්ත්‍රී පුරුෂයෝ දඬු මුගුරු ගෙන එළවා දමති. මේ සියල්ල මේ ජාතියේ කළ පවින් ම සිදුවිය.

එබැවින් රජතුමාටත් රැස්වූ ජනයාටත් අවවාදයක් කියමි. මිත්‍රද්‍රෝහී වීම අත්පිට විපාක දෙන ඉතා නපුරු පාපයකි. පරලොව ගිය කල්හි ද අපමණ දුක් විඳින්නේ යයි තමා දෘෂටාන්ත කොට කීයේය. මෙසේ කථා කරමින් උන් කලට පොළව විවර වී ගිනිකඳක් පැමිණ ඉන් සැව අවීචි මහා නරකයෙහි උපන්නේය.

එසමයෙහි මේ දේවදත්ත තෙම කළගුණ නොදත් මනුෂ්‍යයා වූ අතර වානර පෝතකයා වූයේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.