Skip to main content

470 සාලිකෙදාර ජාතකය

අංගීරස ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් මව්පිය උපස්ථානයෙහි යෙදුන භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස මගධරට රජගහ නුවර මගධ නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි එනුවර ඊසාන කොන වූ සාලින්දිය නම් ගමේ මගධක්‍ෂෙත්‍ර නම් කුඹුරක් ඇත. කෝෂික ගෝත්‍ර ඇති බ්‍රාහ්මණයෙක් ඒ කෙතෙහි ඇල් වැපුරූහ. ඒ කෙත අසල මහත් ඉඹුල් වනයක ගිරවුන් සමූහයක් පිරිවරාගත් ගිරා රජ්ජුරු කෙනෙත් වාසය කරනනාහ. ඒ රජ්ජුරුවෝ දිනපතා හිමාලයට ගොස් ආහාර සොයා ගෙනවුත් දෙමින් තමා විසින් ම තම මහළු මව්පියන්ව පෝෂ්‍ය කරන්නාහ. මෙසේ කල් යවන අතර ඉහත කී කුඹුරෙහි ඇල් පැසී ඇති බැව් දැනගත් ගිරා රජ්ජුරුවෝ මහත් වූ ගිරා පිරිස සමග එම කුඹුරට ගොස් හැකි තරම් ඇල් කා සෙසු ගිරව් හිස් මුඛයෙන් යන අතර ගරා රජ්ජුරුවෝ බොහෝ ඇල් කරල් කඩා ගෙන තුඩින් ගෙන ගොස් දෙමාපියන්ට දෙන්නාහ. ඒ කෙත රකින්නා ගිරව් මෙසේ තව දින කීපයක් අවු නම් මෙය හිස් වන්නේය. වහාම ගොස් අයිතිකරුට කිවයුතු යැයි සිතා ගොස් එපවත දැන්වීය.
ඒ ඇසූ කෝෂික ගෝත්‍රික බමුණා ගිරා රජ්ජුරුවන්ගේ පුදුම ක්‍රියා ගැන පැහැදී මළ පුඩුවක අටවා එම ගිරවා නොමරා අල්ලා ගෙන එවයි අණ කළේය. ඒ පුරුෂයා ගොස් ගිරා රජ්ජුරුවන ඇවිත බසිනා තැන බලා මළක් අටවා ගිරා රජ්ජුරුවන් අල්වා ගෙන ගොස් බමුණාට පෑහ. බමුණා බලවත ස්නේහයෙන ගිරා රජ්ජුරුවන් දෑතින් වඩා ගෙන ඇකයේ හිඳුවා ගිරා රජ්ජුරුවෙනි, අවශේෂ ගිරව් තමන් පමණක් අනුභව කොට නැගී යන්නාහ.තොප වනාහී අනුභව කොට කරල් මිටියකුත් කඩාගෙන යන්නේය. තා මෙසේ කරන්නේ මා කෙරෙහි වෛරයෙන්ද? නැතිනම් ඉඹුල් වනයෙහි වී කොටුවක් පුරවනු සඳහා දැයි විමසීය. එබස් අසා ගිරා රජ්ජුරුවන් වහන්සේ බමුණා අමතා පින්වත් බමුණ නුඹ හා සමග වෛරයකුත් නැත. පුරවන්නා වූ කොටු ගුලකුත් නැත. ඔබගේ ඇල් කරල් ගෙන යන්නාවූ මම ණයකින් මිදී ණයක් දෙමි. තවත් නිධානයකුත් තැන්පත් කරමියි කීය.

බමුණා – සබඳ ඔබ ගේ ණය දීම ණයෙන් ගැලවීම නිධාන කිරීම මේ විසඳා දුනහොත් මේ උගුලෙන් නිදහස් කර යවමි.

ගිරා – බමුණ තවම පියාපත් නැති ගොදුරු සොයා ඈත මෑත යා නොහැකි මාගේ බාල දරුවෝ ඇත. උන්ව මම පෝෂ්‍ය කරමි. මම මහළු වූ කල උන් මාව රැක බලා ගනු ඇත. එය මතු ලබා ගැනීම සඳහා දෙන ණයක් මෙනි. මාගේ මහළු දෙමාපියන්ව දැන් මම රැකබලා ගනිමින් ආහාර ගෙනගොස් දී පෝෂ්‍ය කරමි. එය ගත් ණය දීමකි. තව ද ඉඹුල් වනයේ ඈත මෑත යා නොහැකි අසරණ ගිරව් ඇත. උන්ට පින් පිණිස ආහාර සොයා දෙමි. එය නිධන් කිරීමකි.

බමුණා – උතුම් වූ පක්‍ෂි රාජය, මිනිසුන් තුළවත් නැති උසස් ගුණධර්ම රකින තෙපි ඉතා ධාර්මිෂ්ටය. ඔබගේ දර්ශනය අපට ඉතා ප්‍රියය. මෙතැන් පටන් ඔබගේ බන්ධු වර්ගයා සමග කිසිම සැකක් නැතිව පැමිණ ඇල් අනුභව කළ මැනව. එසේම අතරතුර පැමිණ අපට ධර්ම දේශනා කළ මැනවයි ධර්ම ගෞරවයෙන් ආරාධනා කොට දහසක් කිරිය ඇති කුඹුරක් පූජා කොට පය බැඳි මළ පුඩුව ලිහා සතපාක තෛලයෙන් පාද සම්භාහනය කොට මී හා විළඳ කවා ශර්කරාි පැන් පොවා මහත් වූ ආදරයෙන් බලා උන්හ. එවිට ගිරා රජ්ජුරුවෝ බමුණානෙනි, තොප ගෙන් බොහෝ උපකාර ලද්දා වූ මම නොනැසෙන උපකාරයක් කරමියි ඔහුව පංච ශීලයෙහි පිහිටුවා දන් දීමෙහි අනුසස් දක්වා ධර්ම දේශනා කොට යහපත් ගුණධර්ම වල පිහිටුවා තමා වසන ඉඹුල් වනයට ගොස් දෙමාපියන් ඇතුළු පිරිවර සොම්නස් සාගරයෙහි ගිල්වා සියළු තොරතුරු පවසා සුව සේ විසූහ.

එසමයෙහි ගිරා සමූහයා නම් දැන් බුදු පිරිසය. මව්පිය දෙදෙනා වූයේ සුද්ධෝදන මහාමායා දෙදෙනාය. කුඹුර රැකි පුරුෂයා නම් ඡන්න ඇමතිය. කුඹුර හිමි කෝෂක බ්‍රාහ්මණයා අනඳ තෙරුන්ය. ගිරා රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.