(47) අත් හැරීමේ අත් දැකීම

අප ඇලුම් කරමින් සිටින අයගෙන් වෙන් වී තනි වීම නිසා මරණය ගැන බියක් හෝ දුකක් ඇති වෙන්නේ කොහොමද?

තමන් ඇලුම් කරන අයගෙන් වෙන්වීම මේ ජීවිතයේ පමණක් නොවෙයි, කොයි ජීවිතයක වුණත් දුකක්. ඒ ගැන ඔබ මොහොතකට මෙනෙහි කර බලන්න. එලෙස සිතීම ද ඔබට සංවේගදායක විය හැකියි. තමන් මරණයට පත්වෙතැයි දැනෙනවිට තම සහකරුගෙන්, සහකාරියගෙන් සහ දරුවන්ගෙන් මෙන්ම ළඟින් ඇසුරු කළ නෑදෑ, හිතවතුන්ගෙන් වෙන් වී යළි කිසිවිටක හමු නොවී තනිවීමට තමාට සිදු වෙතැයි සිතීම නිසා මේ භීතිය, කම්පාව ඇති වෙනවා.

කෙනෙකුට මෙසේ සිතෙන්නේ, කරුණු වැරැදි ලෙස වටහාගෙන සිටීම නිසායි. ඔබ තමන්ගේ මවයයි කෙනෙකු හඳුනා ගත්තේ, ඔබ ඇයගේ කුසෙහි පිළිසිඳගත් නිසායි. තවත් කෙනෙකුට ඔබ පියා යයි කියන්නට පුරුදු වුණේ, ඔහු එබඳු ආකල්පයක් දැරූ නිසායි. ඔවුන් හදා වඩා දුන්නේ ඔබ දැනට දරන මේ ජීවිතය පමණයි. මෙයට පෙර වතාවේ ඔබ දරා සිටි ජීවිතය සදා දුන්නේ ඔවුන් නොවිය හැකියි. මෙයින් පසුව ලබන ජීවිතය සදා දෙන්නේත් ඔවුන් නොවිය හැකියි. මේ නිසා මව්පියන් සමඟ ඇත්තේ, මේ එකම ජීවිතයක ගණුදෙනුවක්.

යුතුකම් සහ ධර්මතා

නමුත්, අපට එහෙම හිතලා ඔවුන් අමතක කර හෝ සිතින් ඈත් කර හෝ පහසුවෙන් බැහැර කරන්නට බැහැ නේද?

ඔව්. ඔබට වත්මන් ජීවිතය හදා දුන් හා අවශ්‍ය උදව් උපකාර සැපයූ අයට ඔබ දිවි හිමියෙන් සැලකිය යුතුමයි. එලෙස ඔබ, ඔබේ එම යුතුකම් හා වගකීම් නොසලකා හැරියොත් විශ්ව ධර්මතාව අනුව ලැබෙන ප්‍රතික්‍රියාව නම්, ඔබටත් ඔබ හදන වඩන දරුවන්ගෙන් ඔබටත් නිසි සැලකිලි නිසැකවම නොලැබී යාමයි.

විශ්ව ධර්මතාවයට අනුව, ඔබ නොකළ යුතු දේ කිරීම වගේම කළ යුතු දේ නොකිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ ධර්මතාව ඔබ නිවැරැදිව හඳුනා ගැනීමෙන් ඔබට දෙලොවම යහපත සැලසෙනවා.

කෙසේ නමුත්, ඔබගේ මරණයත් සමග මේ ජීවිතයේ පැවැති එම බැඳීම් බොහොමයක් අවසන් වී යනවා. එයින් පසු ඔවුන් ඔබගේ නොවන්නා සේම ඔබත් ඔවුන්ගේ නොවෙනවා. ඔබ උපන් තැන උපන් නිසා තවත් පිරිසක් සහෝදරයන් හා සහෝදරියන් ලෙස හඳුනා ගෙන සිටිනවා. ඔබ ආගිය තැන හමුවුණ අය හිතවතුන් ලෙස එක් වෙනවා. ඔවුන් සමඟ ඇතිවන සහෝදර, ඥාති, හිතාදර සම්බන්ධයද, මේ ජීවිතයට සීමා වූ එකක්. මරණින් පසු වෙනත් අලුත් සහෝදර, ඥාති මිත්‍රාදීන් ලැබීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

මැරෙන ඉපදෙන ශරීර සබඳතා

එහෙමනම්, සත්වයන්ගේ ශරීර සමඟ පවතින සබඳතාව තාවකාලික බැඳීමක් පමණක් ම ද?

ඔව්. ඔබ ඔබේ දරුවන් ලෙස හඳුනාගන්නේ, ඔබ සැදූ ජීවයට (කලලයට) ගන්ධබ්බයන් ලෙස අරක්ගත් සත්වයනුයි. ඔවුන්ගේ වර්තමාන ජීවිත පිළිබඳ වගකීම විශ්ව ධර්මතාවට අනුව ඔබට පැවරී තිබෙනවා. එය ඔබ ඉටු කළ යුතුයි. නමුත්, ඔබ ඔවුන්ගේ නොවනවා වගේම ඔවුන් ද ඔබේ නොවෙනවා. ඔවුන්ගේ සම්බන්ධය ඇත්තේ, ඔබ දරා සිටින ශරීරය සමඟයි.

ඔබ ඔබේ සිරුර යම් දිනක හැරගියාම එම සිරුර දරුවන් සතු වෙනවා. එම මෘත ශරීරය සමගම සියලුම දේපල ද ඔවුන් සතු වෙනවා.මෙම ජීවිතය දරද්දී ඔබ සමඟ විවිධ නෑදෑ, හිතවත්කම් දරා සිටින අය ද විවිධ ගනුදෙනු කරුවන් ද, ඔබගේ මරණින් පසුව එම සම්බන්ධකම් පවත්වන්නේ, ඔබ දරා සිටි ශරීරය සමඟයි. ආදාහන පෙරහරේ ඔබය කියා ඔසවාගෙන යන්නේ ඔබ අතහැර දැමූ ශරීරයයි.

අත්හැරීමේ පාඩම අත්දකිමු

එතකොට, අප ශරීරය සමඟ අතහැර යන සියලු සම්බන්ධතා වෙනුවට අලුත් ශරීරයක් සමඟ සම්බන්ධතාවයනුත් අලුතින් ගොඩනැඟෙනවාද?

ඔබ දැනට දරා සිටින ශරීරය ඔබ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්හැරීමෙන් පසුව ඔබ වෙනත් කවර තත්ත්වයක හෝ ශරීරයක් අත්කර ගන්නවා. ඊට තමන් රැස්කරගත් කර්ම ශක්තීන් උපකාරී වෙනවා. ඒ අනුව ඔබ ‘තමා’ වශයෙන් සලකා සිටි උපාදානස්කන්ධ සංයුතිය වෙනත් ශරීරයක් ඇසුරු කිරීම සිදු වෙනවා. ඇතැම් විට, එය වර්තමානයේ දරා සිටින්නාක් මෙන් ගොඩ නැඟෙන එකක් ද විය හැකියි.

ඔබ මතු උපදින සත්ව වර්ගයේ (ජාතියේ) උපන් වෙනත් සත්වයන් හා අලුත් සම්බන්ධතාවක් ඔබගේ අලුත් ශරීරය සමග ගොඩනැගෙනවා. ඒ නිසා කිසිවිටකත් ඔබ මරණින් මතු තනිවීමේ බියක් ඇති කර ගත යුතු නැහැ. නිසැකවම ඔබ ලබන මතු ජීවිතයේ දීත් මේ ජීවිතයේ දී වගේම ඇතැම්විට මීටත් වැඩි හෝ අඩු ලෙස ඔවුන් සමඟ අලුත් ඥාති, හිතවත්කම් ආදී විවිධ සම්බන්ධකම් එහිදීත් ගොඩනැගෙනවා. ඒක හරියට ඔබ උපන් ප්‍රදේශයේ යම් කාලයක් ජීවත් වී පසුව වෙනත් දුර පළාතක හෝ විදෙස් රටක හෝ ඔබ අලුතින් පදිංචියට ගියාම ඔබට වෙනත් අලුත් සම්බන්ධකම් ගොඩ නැගෙනවා වගේ වැඩක්. ඒ නිසා ඔබ සසරේ හෝ මරණින් මතු හෝ තනිවීමේ අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.