(46) දුදන ගති දුරැලා සුගතියට යන හැටි

මහ නායක හාමුදුරුවනේ, එදිනෙදා ජීවිතයේ දී අප අතින් සිදුවන අත්වැරැදි සහ සුළු සුළු වෙනත් වැරැදිවලටත් මරණින් මතුවට හෝ විපාකදීමක් සිදුවෙනවා ද?

මේ පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ දැරූ අදහස ‘සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ – එක් සූත්‍ර දේශනාවකින් පැහැදිලි කර තිබෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ, මෙලෙස කරනු ලැබූ ඉතා සුළු පාපයකට පවා අපාගත වෙනවා නම්, මෙම සංසාරයෙන් එගොඩවීමට කිසිලෙසකින් හෝ අවස්ථාවක් උදා නොවන බවයි. නොදියුණු ආධ්‍යාත්මීය තත්ත්වයන් ඇති අයට මිස වෙනත් අයට එලෙස දුගතියට යෑමට සිදු නොවන බව මතු දැක්වෙන උපමාවෙන් ද පැහැදිලි කර තිබෙනවා.

‘මහණෙනි, වතුර භාජනයකට ලුණු ස්වල්පයක් (පුපුරක්) දැමුවහොත් කුමක් වේදැ’යි බුදුරදුන් විමසූ කල්හි, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එහි වතුර ලුණු රස වේ’ යැයි භික්‍ෂූ සංඝයා විසින් පිළිතුරු දෙනු ලැබිණ.

ඉනික්බිතිව, බුදුහාමුදුරුවෝ යළිත් මෙලෙස විමසා සිටියහ. ‘මහණෙනි, එපමණම ලොකු ලුණු පුපුරක් ගංගා නදියට දැමුවහොත් කුමක් වේ ද?’

‘එවිට නම් ජලයේ සිදුවන වෙනසක් නැතැයි’ භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දුන්හ.

එසේම, දියුණු සිතක් ඇත්තාට ඉතා සුළු වූ පාපයකින් අපාගත වීමක් සිදු නොවන බව බුදුරදුන් මෙමඟින් පැහැදිලි කර දී තිබෙනවා. නමුත් එයින් අපට සුළු හෝ වැරැදි කිරීම පාපයක් නොවේ යැයි කියලා නැහැ.

 බිය දුරැලන හැටි

 එතකොට, චණ්ඩාශෝක රජු, ධර්මාශෝක වී යහපත් පාලනයක් ගෙන ගියේ කොහොම ද?

ධර්මාශෝක රජු වුණත් මරණ දණ්ඩනය නතර කළේ නැහැ. ඔවුන්ට මරණ දඬුවම් දීමට සිදුවීම ගැන තමන් (රජු) කණගාටු වන බව පවසා, ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන්ගේ පරලොවට කළයුතු පින්දහම් කරන ලෙස අශෝක ශිලා ලේඛනවල පවා ලියවා තිබෙනවා. මෙසේ කිරීම නිසා එතුමන් පව්කාරයකු ලෙස සලකා නැහැ. මෙවැනි හේතූන් නිසා ප්‍රාණඝාතයන් වුව ද බැරෑරුම් නොවන අවස්ථා තිබෙනවා.

මොනව හෝ සුළු පාපයක්වත් සිදු නොවන සේ ගිහි ජීවිතයක් ඉදිරියට පවත්වාගෙන යාම කළ නොහැකි වැඩක්. එය ඉතාම අසීරු ම ක්‍රියාවලියක් වෙනවා. නමුත් පුද්ගලයකුට අපරාධ බහුල වූ ජීවිතයක් ගත නොකර සිටීම අපහසු නැහැ. එනම් කුලියට මිනී මැරීම, මංකොල්ල කෑම, විනෝදයට දඩයම් කිරීම හා වෙනත් අයගේ පවුල්වලට මැදිහත්වී ඔවුන්ගේ පවුලේ සාමය, සමාදානය හා විශ්වාසය නැති කිරීම වැනි දේවලින් තොරව ජීවත් වීම එතරම් අමාරු දෙයක් නොවෙයි. කෙසේ හෝ අපරාධ (වැරැදි) බහුලව සිදු කර ඇති කෙනෙකුට වුණත් හැකිතාක් ඉක්මන් අවස්ථාවක සිට සිතෙහි කරුණාව හා මෛත්‍රීය දියුණු කරගත හොත් අනාගතය (මරණින් මතු පැවැත්ම) ගැන බිය බොහෝ දුරට අඩු කරගත හැකි වෙනවා.

හොඳ අයත් අපාගත වේ ද?

 එහෙමනම්, මේ අනුව මනසින් උසස් බොහෝ මනුෂ්‍යයන් මරණින් මතු අපාගත වීමක් සිදුවෙන්නේ නැහැ නේද?

සෝතාපත්ති (සෝවාන්) මාර්ගයට පත් වූ පුද්ගලයා එයින් පසු සතර අපායේ (තිරිසන්, ප්‍රේත, අසුර හා නිරය) නූපදින බව බොහෝ බුද්ධ දේශනාවල විස්තර කර තිබෙනවා. මේ නිසා, එබඳු බුද්ධ දේශනාව අනුව සුළු පවක් නිසා ද මරණින් මතු අපායට යාමේ භීතිය (බය) සාධාරණ නැහැ. එලෙස අපාගත නොවුණත් මේ ආත්මයේ හෝ මතු ආත්මයකදී හෝ සුළු පවක පවා විපාක ඇති විය හැකියි. එබැවින්, මරණය ගැන සිතන විට මතු උපත ගැන මෙයින් බිය නොවීමට කරුණු ඇති බව පමණක් සිතීමට පුළුවන්කම තිබෙනවා.

 රාජකාරිය දේවකාරියක් ද?

 හොඳයි, එතකොට, සමාජ රටාව (ක්‍රමය) ට අනුව අපට පැවරෙන කාර්යයන්ට අනුවත් සෘජුවම පාපයක් සිදු වෙනවා ද?

ඔව්. සමාජ රටාවට අනුව වුණත් ඔබ එහි සිටින තැන හා කරන ක්‍රියා නිසා ද පවක් අත් වෙන්න පිළිවන්. අංගුලිමාල දහස් ගණන් මිනිසුන් ඝාතනය කළේ සිය ගුරුවරයාගේ නොමඟ යැවීම නිසායි. නමුත්, එලෙස පරිසරයේ බලපෑම් ඇතැම්විට පුද්ගලයාගේ නිදහසට කරුණු විය හැකියි. තමන් දරන තත්ත්වය හා අවස්ථාව අනුව එය කිසිලෙසකින් මඟ හැරිය නොහැකි නපුරු ක්‍රියා ද ඇතිවෙනවා.

නිදසුනක් විධියට, රටක පාලනය කවුරුන් හෝ කළ යුතුයි. රාජ්‍ය පාලනය කරන්නන් මිනීමැරීම පාපයකැයි සලකා අපරාධකාරයන්ට මිනීමරුවන්ට හා ත්‍රස්තවාදීන්ට දඬුවම් කිරීමෙන් වැළකී සිටියහොත් එයින් සිදු වන්නේ, රටේ බහුතර යහපත් මනුෂ්‍යයන්ට මරණය පැමිණවීමක්, ඊට රජු නිසි තීරණයක් ගෙන ඔවුන් මෙල්ල නොකළහොත් රටේ යහපත් මනුෂ්‍යයන්ට ඉන් පීඩා විඳ මිය යාමට සිදු වෙනවා. මේ නිසා එවැනි තත්ත්වයන් පාලනය කිරීම අසාධාරණ ක්‍රියාවක් ලෙස සැලකීම යුක්ති යුක්ත නොවෙයි.

නමුත්, අපරාධ බහුල ජීවිතයක් ගත කළ කෙනෙකුට වුණත්, මෙලෙස මරණින් මතු ලබන ජීවිතය ගැන බිය නොවී සිටීමට පුළුවන්කමක් තියෙනවා ද?

ඔව්. දැන් තමන් කළ වරද වැටහුණ අවස්ථාවේ සිට කිසියම් කාලයක් සිතෙහි යහපත් සිතිවිලි වැඩිදියුණු කිරීමෙන් එබඳු අය පවා දුගතියෙන් ගැළවුණ අවස්ථා තිබෙනවා. අලුගෝසුකම රැකියාව ලෙස කළ කෙනෙකු පවා අපාගත නොවී දෙව්ලොව යාමට භාග්‍යය උදා වූ පුවතක් බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. එනම්, අඩසියවසක් (වසර පනහක්) රජුගේ වධකයෙකු ලෙස ක්‍රියා කළ ඔහු එයින් අස් වී (මිදී) සතුටුව නිවසට පැමිණ ආහාර ගැනීමට සූදානම් වන මොහොතේ නිවසට පිඬු සිඟා වැඩිය රහතන් වහන්සේ නමකට සිය ආහාර පූජා කොට සතුටින් සිටිනවිට කුලප්පු වූ ගවයෙකු ඇණ ඔහු මිය ගියා. තමන් ප්‍රාණඝාත සිදු කිරීමේ පාපය නිසා ඔහු සම්පූර්ණ දීර්ඝායුෂ නොවිඳ අකාලයේ මිය ගියත් මරණාසන්න අවස්ථාවේ දී ඔහුගේ චුති සිතට සිහිපත් වුණේ, ඊට සුළු මොහොතකට පෙර සිදු කළ උතුම් දානයයි.

 අපාගත වීමට හේතුව

 එහෙමනම්, ධර්මාශෝක රජු මරණින් මතු භවයක දී පිඹුරෙකුව ඉපදුණේ ඇයි?

චණ්ඩාශෝක රජු ධර්මාශෝක වුණාට ටික කලකට හෝ තිරිසන් අපායට වැටුණේ මරණාසන්න අවස්ථාවේ ඇති වූ චුති සිතේ හටගත් පුංචි සිතිවිල්ලක් නිසායි. ඒ රජුට පවන් සලමින් සිටි සේවිකාවකගේ අත් වැරැදීමකින් අත වැදීමේ පුංචි සිද්ධියට කෝප වීමයි.

එහෙම නැතිව, කාලිංග යුද්ධයේ දී සියක් දහසක් මිනිසුන් මරා දමා එකසිය පනස්දහසක් දෙනා සිරකර දැමීම හෝ ඒ මහා ලේ වැගිරීම් සිහිපත් වී හෝ නොවෙයි. එසේම, ධර්මාශෝක රජුට තමන් බුදු සසුනේ උනන්තිය උදෙසා කළ මහා උදාර සේවාව සිහිපත් වූවා නම් එකවරම දෙව්ලොව වුවද යාමට භාග්‍යය තිබුණා.

තමන් පෙර කෝපයෙන් සසර ගත කර ඇත්නම් එය මරණාසන්න අවස්ථාවේ දී ද මතු වීමට ඉඩ තිබෙනවා. එබැවින් තමන් නිවැරැදි ජීවන රටාවකට යොමුවීමෙන් පසුව වුවද කෝපය හා වෛරී සිතිවිලි යළි මතු නොවන පරිදි මුලිනුපුටා දැමීමට උත්සාහ කළ යුතු වෙනවා. සිතෙහි කරුණාව හා මෛත්‍රීය නිරතුරුව වැඩීමෙන් එබඳු යටි සිතෙහි හෝ සැඟවී තිබිය හැකි පාපී සිතිවිලි පවා දුරු වී යනවා. එම හුරුව මරණාසන්න අවස්ථාවේදීත් මතුවීමෙන් මතු පැවැත්ම වඩාත් සුවදායි එකක් කර ගැනීමට මඟ පෑදෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.