(42) සම්බුද්ධත්වයේ ආශ්චර්යය

මහානායක හාමුදුරුවනේ, මේ වෙසක් සමයේ අපට නොපෙනෙන කිසියම් විශේෂත්වයක් පවතිනවා ද ?

වෙසක් හෙවත් මැයි මාසය කියන්නේ නිරිත දිග මෝසම් සුළඟින් වැසි ලැබී ජල වාෂ්පවලින් පිරුණු සමයක්. පරිසරය මල් ඵලවලින් පිරුණු සුන්දර වසන්ත කාලයක්. මේ නිසා වෙනත් කාලවලට වඩා වෙසක් ( මැයි ) මාසයේ දී පරිසරය වගේම අපේ මනස පුබුදුවාලීමක් පවා සිදුවන බව නූතන විද්‍යාඥයන් විශ්වාස කරනවා. මෙම ස්වාභාවික සාධකය අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ඉවහල් වන්නට ඇතැයි බටහිර සමහර ඤාණ ගවේෂකයන් තුළ අදහසක් පැවතුණා. නමුත් අදවන විට ඔවුන් එහි යථාර්ථය තේරුම් ගෙන ඇති බව පෙනෙනවා.

එනම්, වෙසක් සමයේ එම ස්වභාවික සාධකය එදා සිට අද දක්වා ම පවතින දෙයක්. නමුත් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ හැර ගතවූ වසර 2600කටත් වඩා එම වෙසක් කාල තුළ වෙනත් කිසිවෙකුට උතුම් බුද්ධත්වය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඒකෙන් පැහැදිලි වෙනවා, බුද්ධත්වය සඳහා පාරමී දම් සපුරා සත්‍යාවබෝධය ලැබිය යුතුයි කියලා. දීපංකර බුදුන්ගේ පාද මූලයේ සිට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා එලෙස දානාදී දස පාරමී, දස උපපාරමී, හා දස පරමත්ථ පාරමී දම් සම්පූර්ණ කරලයි, මෙවන් වෙසක් පුන් පොහොය දිනකදී උන්වහන්සේ බුදු බව ලැබුවේ.

 ලොව අග්‍ර දානය

 එතකොට, ‘දානය’ කියන වචනයෙහි ඇති සරලම අරුත කුමක් ද?

‘දා’ යනු දීම යි. නැතිනම්, අතහැරීම යි. ‘න’ යනු නොගැනීම යි. අපි නැවත නොගන්නා අදහසින් දෙන්නේ යමක් ද ඒ ‘දානය’ යි නෛෂ්කම්මය හෙවත් නෙක්කම්මය ( අත්හැරීම ) මගින් ජීවිතයට සැනසීම හා සැහැල්ලුබව ඇති වෙනවා. සිතෙහි ඇතිවන මෙම නිවීමත් එක්ක මනස ප්‍රභාමත් වී සැනසිලිදායක බව ලැබෙනවා. වරක් ජේතවනාරාමයේදී මැදියම් කිස කාලයේදී සක්දෙවිඳු ඇසූ පැනයක් අරභයා බුදුරදුන් මෙබඳු විවරණයක් කර තිබෙනවා. ධම්මපදයේ තණ්හා වග්ගයේ එම ගාථාව ( 354 ) මෙසේ දැක්වෙනවා.

සබ්බදානං ධම්මදානං ජිනාති – සබ්බං රසං ධම්මරසෝ ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති – තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති

යනුවෙන්. මෙහි තේරුම ධර්ම දානය සියලු දානයන් පරදා දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනයි. ධර්මයෙහි ඇල්ම ( ධර්ම රතිය ) සියලු රතීන් දිනයි. තෘෂ්ණාව දුරු කළ රහත් ඵලය සියලු දුක් දිනයි යන්නයි. මේ අනුව පරිත්‍යාගයන් හෙවත් දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර දානය වෙනවා.

 අජරාමර ලෝකය

 

එහෙමනම්, ධර්මයට ඇලුම් කිරීමෙන් සංසාර විමුක්තිය ළඟා කර ගත හැකි ද ?

 

මේ සංසාර ගමනේ ආරම්භ වීමක් තියෙනවා වගේ අවසන් වීමක් ද තිබෙන්නට ඕන. ඇතිවූ සෑම දෙයම නැතිවීමක් වෙනවා වගේ. ඔබ අහපු පරිදි ධර්මයට ඇලුම් කිරීමෙන් එම අමා නිවන් සුවය ඉක්මනින් ළඟා කර ගැනීමට මග පෑදෙනවා. උපාදානය හෙවත් ස්කන්ධ පහ (රූප, වේදනා, විඤ්ඤා, සංඥා, සංකාර ) එකිනෙක දැඩිව අල්ලා ගැනීම නිසා උපත සිදු වෙනවා. මේවා අතහැරීම හෙවත් උපාදානය නිෂ්ක්‍රීය වීම නිසා උපත ද නතර වන බව බුද්ධ දේශනාව තුල දැක්වෙනවා.

 

“මහණෙනි, මේ ලෝකයෙහි රස වින්දනයක් (සැපයක) නැතිනම් සත්වයෝ නොඇලෙති. රස වින්දනයක් ඇති නිසා එහි ඇලෙති. ලෝකයේ දොසක් (දුකක) නැතිනම් සත්වයෝ කලකිරීමට පත් නොවෙති. දොසක් (දුකක්) ඇති නිසා සත්වයෝ එහි කලකිරෙති. එසේම, ලෝකයෙහි සැප දුක්වලින් මිදීමක් නැතිනම් සත්වයෝ එයින් නොමිදෙති.” මෙයින් බුදුහාමුදුරුවෝ ලොවෙහි සැපයක් ඇති බවත් ඒ සමඟම දුකක් ඇති බවත්, මේ දෙකෙන් නිදහස් වීමක් ද ඇති බවත් පෙන්වා දී තිබෙනවා. ධර්මයට ඇලුම් කිරීමෙන් මේ සසරින් නිදහස් වීමේ මගෙහි ඉක්මනින් හා නිවැරදිව යාමට හැකි වෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.