Skip to main content

402 ධූමකාරි ජාතකය

තවද නිර්මල වූ පස්පැදිස්නා ඇස් ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ ආගන්තුක සංග්‍රහයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

කෝසල රජ්ජුරුවෝ පරණ මහා අමාත්‍යයන් හා යෝධයන් හැර අමුතුව ඇතිකළ අමාත්‍යයන් හා යෝධයන් ඇරගෙණ පරණ ජනයන් කෙරෙහි නිස් සාරව පවත්නාහ, එසමයෙහි රජ්ජුරුවන්ට සොරුන් කැටි යුද්ධයෙක් පැමිණියේය. රජ්ජුරුවෝ පරණ අමාත්‍යයන් හා යෝදයනුත් අළුත් මුදලිවරුන් හා ඇම සේනාවත් ඇරගෙණ සටනට ගියාහ. පරණ අය කෙරේ රජ්ජුරුවන් වහන්සේ සරුකාරියක් නැතිව අලසේක. තමන් වහන්සේගේ අළුත් මුදලි වරුන් හා සේනාව ඇරගෙණ සටන් කරවා ගන්නාසේක් වායි මැලිවූහ. අළුත් මුදලි වරුන් හා සේනාව ඇරගෙණ සටන් කරවා ගන්නා සේක්වායි මැලිවුහ. අළුත් මුදලිවරුන් හා ඇමති සේනාවත් අපට වලගොඩ නොදැනෙයි කියා තමන් නොදන්නාහෙයින් තොරතුරු නොදැන පසුබටහ,සොරුන් සටන් කොට සේනාව බින්දවූහ. රජ්ජුරුවෝ සටනේ පැරද බිඳි නුවරට අවුත් පරණ මහ අමාත්‍යයන් හා යෝධයන් ඇරගෙණ උන්ගෙනුත් කටයුතු කරවා ගතත් නුහුණුයෙමි අළුතුන් ගොනුත් නුහුණුයෙමි මට වූයේ අලාභයෙකැයි කියා මේමට මතුවූ දෙයෙක් දොහෝ පෙරත් රජදරුවන්ට මෙසේ විදෝහෝයි, සර්වඥයන් වහන්සේ ලඟට ගොස් විචාරම්යි ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේ වැඳ එකත්පස්ව ඉඳ මෙපවත් කීහ. සර්වඥයන් වහන්සේත් මහරජ දැන්මතු නොවෙයි පෙරත් එසේම වියයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස කරුරට ඉඳිපත් නුවර ධනඤජය කොරව්‍ය රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරන්නාහ, ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ විධුර නම් පණ්ඩිත කෙණෙක් ඇත්තාහ. ඒ රජ්ජුරුවෝත් පරණ අමාත්‍යයන් හා යෝධයන් හැර අළුත් අමාත්‍යයන් හා සේනාව ඇති කරන්නාහ. පළමු මුදලිවරුන් කෙරේ සාරයක්වත් විචාරයක්වත් නැත්තාහ, එසමයෙහි රජ්ජුරුවන්නේ පසල්ගම කුපිත විය. රජ්ජුරුවෝ උන් හා කැටිව යුද්ධයට ගියහ පරණ අමාත්‍යයෝ රජ්ජුරුවන් වහන්සේ අපකෙරේ විචාරයක් සමැන්මක් නැතිසේක. තමන් වහන්සේගේ අළුත් මුදලිවරුන් හා සේනාව ලවා යුද්ධ කරවා ගන්නාසේක්වයි කියා යුද්ධයට නොවැද සිටියාහ. අමුතුව ඇතිකළ අමාත්‍යයන් හා සේනාවද තමන්ට යුද්ධයෙහි තොරතුරු නොදනෙන හෙයින් සටන් කරණ සේ නොදැන පසු බටහ. සතුරු සෙනගත් රාජ සේනාව සටනට නොවදනා හෙයින් තරයේ යුද්ධයට වන්හ. ඒ සේනාව පසුස්නා සතුරු සේනාව බල වැඩී එන හෙයින් රජ්ජුරුවෝ සිටිය නොහී පසුබැස නුවරට ගොසින් තමන්ගේ විධුරපණ්ඩිතයන් අතින් විචාරන්නාහූ පණ්ඩිතයෙනි මම පරණ මහා අමාත්‍යයන් හා සේනාව හැර අමුතම මුදලිවරුන් හා සේනාව ඇතිකොට පරණුන් ගෙනුත් නුහුනුයෙමි අලුතුන් ගෙනුත් නුහුණු යෙමි මාසේම පෙරත් අතින් කෙණෙකුන්ටත් මෙලෙස විදෑයි විචාළාහ. එවිට පණ්ඩිතයෝ කියන්නාහූ යුධිෂ්ඨිර ගොත්‍රයෙහි උපන්නාහූ ධනඤජය කොරව්‍ය රජ්ජුරුවන් වහන්ස මේ කුමක්ද මෙවිතරටත් වඩා විශිෂ්ට ගොත්‍ර ඇති ධුමකාරී නම් බ්‍රාහ්මණයාණන් කෙණෙක් ඇත්තාහ. උන්ගේ එළුපට්ටියෙක් ඇත.

ඒ එළුවන්ට හිත අවදියෙහි වට ගිණිදුම් කරන්නාහ. සවස ගාලේලන්නාහථ කිරි තෙල කන්නාහ, තනකොල ගෙනවිත් ලන්නාහ, එසමයෙහි වර්ෂා කාලය පැමිණියේය. වනයෙහි සිට මුවෝ පන්සියයෙක් බ්‍රාහ්මණයානන් වසන්නාවූ පන්සල ලඟට ආවාහ. බ්‍රාහ්මණයාත් යහපත්වූ මුවරැල දැක එළුවන් කෙරේ ආලය හැර මුවන් එක්කොටගෙණ තණකොළකවා උන්පෝෂ්‍ය කර එළුවන් කෙරේ ආලය අලහ, එළුවොත් එතැන්පටන් ගාලේ ලන්නන් නැතිහෙයින් ඒ ඒ තැන ඉසිරගොස් සිංහ ව්‍යාඝ්‍රයන්ට වගුන් දිවියන් අතින් විනාශයට පැමිණියාහ, මුවෝත් වර්ෂා කාලය නිමායන්නා තමන් වසන්නාවූ වනයට පලාගියාහ. බ්‍රාහ්මණයාත් අළුත් මුවන් දැක එළුවන් කෙරේ ආලය හැර ලබන කිරි ද කිරියෙනුත් නොවි එළුවන්ගෙනුත් නුවුයේයයි මුවන් ගෙනුත් නුවුයේයයි කියා රජ්ජුරුවන් වහන්ස අලුතුන් දුටුවයි පරණ අමාත්‍යයන් හා සේනාව වදුරු කිරීමත් කටයුතු නොවෙයි අමුතුව ඇතිකරන්නාවූ ප්‍රධානයෙන් හා සේනාවත් ඇතිකළ මනාමය, පරණ අමාත්‍යයන් හා සේනාවත් උන් උන්ගේ ස්ථානාන්තරයෙන් නොපිරිහෙලා තරම් පදම්දී රැක්කමැනව එසේ කල්හි පරණනුත් අළුතුනුත් සියල්ලෝම එක්සිත්ව නුඹවහන්සේගේ පැමිණ යම්ම කාරියක් පිරිමසන්නා හයි කීහ. රජ්ජුරුවෝත් විධුරපණ්ඩිතයන් කීවාවූ අවවාදයෙහි පිහිටා පරණ මහ අමාත්‍යයන් හා යෝධයනුත් නොහැර අමුතුව ඇතිකළ මුදලිවරුන් හා සේනාවත් වෙනසක් නොකොට රැක පණ්ඩිතයන් කෙරේ සමාධිව බොහෝ දැසිදස් ආදීවූ වස්තු දී තමන් කළාවූ කම්පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ ධුමකාරිජාතකයනි මවා වදාළ සේක.

එසමයෙහි බ්‍රාහ්මණයා නම් කෝසල රජ්ජුරුවෝය, ධනඤජය කොරව්‍ය රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය, විධුර පණ්ඩිතව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.