(40) සිත නිවන භාවනා

මහානායක හාමුදුරුවනේ, සිත නිවන ලෝකයෙහි ආලෝකය විනිවිද දැකීමට භාවනාවෙන් ලැබෙන පිටුබලය කෙබඳුද? 

අපේ සිත එක අරමුණක පිහිටා සිත දියුණු කර ගැනීමට අපට භාවනාව උපකාරී වෙනවා. එමඟින් දමනය කරගත් සිතෙහි පෙර පැවැති කිලිටි දේවල් ඉවත් වී සිත පිරිසුදු වෙනවා. එසේ පිරිසුදු වූ සිතේ අසීමිත බලයක් පවතිනවා. එයින් කොතැනක සිට බැලුවත් විනිවිද දැකිය හැකියි. අපේ ඉන්ද්‍රිය භාවිත නොකර ඇස්, කන් ආදී ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා දැනුම හා අවබෝධය අපට සිතෙන් ලබා ගන්නට පුළුවන්. ඇස්, කන් ආදියේ දෘෂ්ටිය සිතේ උපදිනවා.

ඒ අනුව, ඈතක සිදුවන දෙයක් වුණත් සිතේ (චිත්ත) බලයෙන් අසා සිටිය හැකියි. පියවි ඇසට තියා නවීන දුරදක්නය (දුරේක්‍ෂය) කට නොපෙනෙන ඉතා සියුම් (සූක්‍ෂම) දේ පවා අපේ සිතට දර්ශනය වෙනවා. විශ්වයේ පවතින සියුම්ම දේ එක්ක වුණත් සම්බන්ධකම් පැවැත්වීමට එමඟින් සිතට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව ‘දීඝ නිකායේ – කූටදන්ත සූත්‍රයේ’ ගැඹුරින් විස්තර කර තිබෙනවා.

චිත්ත ප්‍රඥා භාවනා

එවැනි බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ප්‍රධාන වශයෙන් භාවනා වර්ග කීයක් තිබෙනවාද?

‘චිත්ත භාවනා’ සහ ‘පඤ්ඤා භාවනා’ වශයෙන් භාවනා දෙවර්ගයක් තියෙනවා. සමථ – විදර්ශනා භාවනා කියලත් මේවා හඳුන්වනවා. චිත්ත (සමථ) භාවනාව සමාධිය දියුණු කිරීමටත් ප්‍රඥා (විදර්ශනා හෙවත් විපස්සනා) භාවනාව ප්‍රඥාව දියුණුකිරීමටත් සෘජුවම උපකාරී වෙනවා. මේවා අපගේ සමාධියේ හා ප්‍රඥාවේ දියුණුවට බලපානවා. ඒ වගේම චිත්ත (සමථ) භාවනාව සඳහා ක්‍රම හතළිහක් භාවිත වෙනවා. ඊට, මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්‍ඛා යන බ්‍රහ්ම විහරණ හතරත් අයත් වෙනවා. මෙම උතුම් සිතිවිලි සතර වැඩීමත් භාවනාවක්. ‘බ්‍රහ්ම විහාර භාවනා’ යනුවෙන් මෙය බෞද්ධ ඉගැන්වීම්වල විස්තර කෙරෙනවා.

 බ්‍රහ්ම විහාර භාවනා

බ්‍රහ්ම විහාර භාවනාවන් ප්‍රගුණ කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිඵල මොනවාද?

මෙම (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා) සතර අතුරෙන් එකකින් හෝ වැඩි ගණනකින් පිරී ඇති සිතක කිලිටි (පාපී) සිතිවිලි පවතින්නේ නැහැ. එසේම කෙනෙකුගෙන් සිදුවන සුළු පාපයක් විපාක නොදෙන පරිද්දෙන් දිය කරවා දැමීමට පවා මෙමඟින් හැකිවන බව ‘අංගුත්තර නිකායේ – තික නිපාතයේ’ සඳහන්ව තිබෙනවා.

මීට අමතරව, ධ්‍යාන උපදවා ගැනීමටත් ප්‍රාතිහාර්ය පෑමටත් මේ ඔස්සේ ශක්තිය ලැබූ බව ප්‍රකාශ කරන පුවත් බොහොමයක් බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. බුදුහාමුදුරුවන් ඝාතනය කිරීම සදහා ප්‍රකෝප කොට එවූ නාලාගිරි ඇතා මෙන්ම පාරිලෙය්‍ය මහ වනයේ දී විසඝෝර වන සතුන් හීලෑවීමට පවා මේ ශක්තිය උපකාරී වී තිබෙනවා.

මෙත්තා බලය

 එහෙමනම්, චිත්ත භාවනාවක් වන මෛත්‍රී භාවනාව වැඩීමෙන් වුණත් බොහෝ ආනිසංස ලබා ගත හැකි වෙනවා නේද?

ඔව්. මෛත්‍රී භාවනාවේ ආනිසංස ප්‍රධාන වශයෙන් 11 ක් ගැන විස්තර කෙරෙනවා. මෛත්‍රී භාවනාව වැඩීමෙන් 1. සුවසේ නින්දයාම, 2. නපුරු හීන නොපෙනීම, 3. සුවසේ ඇවිදවීම, 4. දකින අය පි‍්‍රය කිරීම, 5. භූත කරදර ඇති නොවීම, 6. දේව ආරක්‍ෂාව ලැබීම, 7. සිත සමාධිගත වීම, 8. හදිසි අනතුරු විපත් සිදු නොවීම, 9. පි‍්‍රය වචන හැමවිටම කතා කිරීමට ලැබීම, 10. සිහිවිකල්ලෙන් කළුරිය නොකිරීම සහ 11. මරණින් මතු බඹලොව උපත ලැබීම ආදී වාසනාවන්ත දේ සිදු වෙනවා.

බුදුරදුන් තුළ පැවති මෛත්‍රී හෙවත් ‘මෙත්තා බලය’ තමයි ප්‍රකෝප වී එන නාලාගිරි හස්තියාගේ මනසට පිවිසීමෙන් මිත්‍ර වී හීලෑ වීමට හේතු වුණේ. වරක් ‘උත්තරා’ නම් සිටු දුව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වේගවත් වූ ගණිකාවක් ඇයගේ හිසට කැකෑරෙන උණු තෙල් හැන්දක් වත්කළා. සිටුදුව තුළ වූ මෙත්තා බලය නිසා ඇයට ඉන් පීඩාවක් සිදු වුණේ නැහැ. අද වුණත් මාපිය දූදරු පිරිස අතර පවතින ‘මෙත්තා බලය’ නිසා විපත් කරදර මඟහැරුණු අවස්ථා පිළිබඳ විවිධ පුවත් දිනපතා වාර්තා වෙනවා.

මෙත්තානිසංසය

හොඳයි, ‘මෙත්තානිසංස’ කියලා වෙනමම සූත්‍රයක් පවා බුද්ධ දේශනා අතර තිබෙනවා නේද?

ඔව්. අංගුත්තර නිකායේ (5 – 2 හා 6 – 634) ඔබ කියූ පරිදි එම සූත්‍ර දේශනා තුළත් එහි ආනිසංස ගැන විස්තර කෙරෙනවා. මෙත්ත, මෙත්තා, මෙත්තගු හා මෙත්තජි ආදී වශයෙන් ද විවිධ සූත්‍ර, කථා ථෙර ගාථා ආදිය පවා බුදුදහමේ දැක්වෙනවා.

මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්‍ඛා යන සතර වැඩිදියුණු කිරීමේ භාවනාව වඩන ආකාරය පිළිබඳව ‘විසුද්ධි මග්ග‘ පාලි ග්‍රන්ථයේ විස්තර කර තිබෙනවා. ‘මෙත්තා’ යනු තමාගේ ඉතා හොඳම මිත්‍රයා ගැන තමාගේ සිතෙහි පවතින හැඟීමට සමාන දෙයක්. ඔහු හෝ ඇය සිහිපත් කරන විට ඔබගේ සිතෙහි උපදින සිතිවිලි හා ආනුභාවයටත් ‘මෙත්තාව‘ කියනවා.

සිත නිවන ලෝකය

එහෙමනම්, ඉතා සරලව මෛත්‍රිය හා බ්‍රහ්ම විහාර භාවනාව ප්‍රගුණ කළ හැකි විධියක් විස්තර කර දෙන්න පුළුවන්ද?

දැන් ඉස්සෙල්ලාම ඔබේ හොඳම මිත්‍රයා සිහිකළ විට ඇතිවන තදනන්තර වූ සෙනෙහෙබර සිතිවිල්ල තවත් පුළුල් කර එයට තවත් කෙනෙකු ඇතුළත් කර ගන්න. දෙමාපියන් තම පළමු දරුවාට තිබූ සෙනෙහෙබර සිතිවිල්ල (ආදරය) දෙවන දරුවාට දක්වන්නාක් මෙන් එය සමව සිතීමට පුරුදු වන්න. මෙසේ ක්‍රමයෙන් මිතුරන් (පුද්ගලයන්) ගණන සමව වැඩිකර ගත්විට ඔවුන් නොදැනුවත්වම ඔබට හිතවත් වෙනවා. ඔබත් ඔවුනුත් අතර ගැටුම් ඇතිවීම වැළකෙනවා. එම පරිසරය තුළ ඔබට නිවහල් බවක් හා පි‍්‍රයජනක බවක් ද ඇති වෙනවා.

මේ මිත්‍ර සීමාවට මුළු මහත් ලෝවැසි සැමදෙනාම ඇතුළත් කර ගැනීමට ඔබ සමත් වූ දාට ඔබ සම්පූර්ණ යැයි දැනෙනවා. මෙලෙස මෙත්තාව දියුණුකළ අන්දමටම ඔබට කරුණාව, මුදිතාව හා උපේක්‍ඛාව ක්‍රමිකව වැඩිදියුණු කර ගත හැකියි.

පීඩාවකට පත්ව සිටින ඔබේ පවුලේ කෙනෙකු ගැන ඔබේ සිතේ ඇතිවන අනුකම්පා සහගත සිතිවිල්ල (හැඟීම) ‘කරුණාවයි. මේ කරුණා සීමාවන් පුළුල් කර හැකිතරම් දෙනා ඊට ඇතුළත් කර ගන්න. ඊගාවට ඔබගේ ආදරවන්ත පුතෙකු හෝ දියණියක සැපෙන් හා සතුටින් සිටිනවිට එය දැකීමෙන් ඔබේ සිතෙහි ඇතිවන ප්‍රහර්ෂණාත්මක සිතිවිල්ල (හැඟීම) මුදිතාවයි. ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ හැඟීමක් මෙයින් අදහස් කෙරෙනවා. මෙසේ අන් අයගේ සැප, සතුට හා දියුණුව අසා දැක හදවතින් සතුටු වී, සුබ ප්‍රාර්ථනා කිරීම ‘මුදිතා භාවනාව‘යි. එබඳු උතුම් උසස් මානසික තත්ත්වයක් ඇති කර ගැනීමට ඔබ නිරතුරුව උත්සාහ කරන්න.

එයින් මතු, අප නුපුරුදු පිටරටකට ගොස් ජනාකීර්ණ නගරයක විවිධ ජනයන් දුටු විට අපට ඔවුන් කෙරෙහි හට ගන්නේ එකවගේ සමාන සිතිවිල්ලක්. එම දෘෂ්ටිය තුළ කවුරුත් එක වගේ. ඒ කිසිවෙකු කෙරෙහි අමනාපයක් හෝ ඇල්මක් හෝ අප තුළ ඇති වී නැහැ. මෙම මධ්‍යස්ථ හැඟීමට ‘උපේක්‍ඛාව‘ කියනවා. මෙසේ අප වටා සිටින සියලු දෙනා කෙරෙහිම මැදහත්ව සමාන පරිදි සැළකීමට හුරුවීම ‘උපේක්‍ඛා භාවනාව‘යි. එවිට පුද්ගල සංකල්ප නැති වී යනවා.

පුද්ගලිකත්වය හා මමත්වය ගොඩනැඟී ඇත්තේ මුලාව නිස යි. මුලාව නැති කර ගැනීමට භාවනාවෙන් ප්‍රඥාව දියුණු කළ යුතු වෙනවා. ප්‍රඥාව දියුණු වන විට අපේ දැවෙන තැවෙන සිතට සැනසීම ලැබෙනවා. එමගින් සිත නිවන ලෝකයක් දැකීමට අවකාශය නිසැකවම සැලසෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.