(38) කර්මයයි – විපාකයයි

 මහ නායක හාමුදුරුවනේ, අප කරන කියන කර්‍ම විපාක අපට යළි ප්‍රති විපාක දෙන්නේ කුමන විධියට ද ? 

සියලු සත්වයෝ ම විවිධාකාරයෙන් කර්ම රැස් කරනවා. ‘ කම්ම ( කර්‍ම ) නියාමය’ ගැන මජ්ඣිම නිකායේ, ‘ මහා කම්ම විභංග සූත්‍රයේ’ ඉතා මැනවින් විස්තර වෙනවා. කර්මය යනු තමා විසින්ම ඇති කරගනු ලබන්නක් මිස වෙනත් කවුරුන් විසින් හෝ ඇති කරනු ලබන්නක් නොවෙයි. තමාගේ විමුක්තිය තමා තුළමයි තියෙන්නේ ඒ හින්දායි සෑම සත්වයකුගේ ම පැවැත්ම තීරණය කිරීමට කර්මය ඉවහල් වන්නෙ. කර්මයෙන් සිදුවන කාර්යයන් හතරක් මෙලෙස දැක්විය හැකියි.

1. උපතක් ලැබීමේ දී සහාය වීම ( ජනක කර්මය )
2. ඵල දෙන කර්මයට සහාය වී එහි ඵලය වැඩි කිරීම (උපත්ථම්භක කර්‍මය )
3. වෙනත් කර්මයක විපාකයකට බාධා පැමිණවීම (උප පීලක කර්‍මය )
4. විපාක දෙමින් ඇති කර්මයක විපාක නැති කිරීම (උප ඝාතක කර්මය )

ජනනය කිරීමට හෙවත් උපතක් ලබා දීමට ‘ජනක කර්‍මය’ ආධාර වෙනවා. නමුත් මෙය ඉපදීමට පමණක්ම සහාය වන කර්මයක් ලෙස සැලකෙනවා. ‘ජනක කර්‍මය’ ට අනුව ලද උපතට හේතු වූ කර්මයට සහාය වෙමින් එය කාලයක් පැවතීමට ඉවහල් වන්නේ ‘ උපත්ථම්භක කර්මය යි’ කර්මයකට ආධාර දීම හැර ස්වශක්තියෙන් ක්‍රියා කිරීමට (ජනනය වීමට) මෙයට හැකියාවක් නැහැ. වෙනත් කර්‍මයකින් ලබන විපාකයකට පීඩා කිරීම ‘ උප පීඩක කර්ම’ යේ ස්වභාවය යි. ඊගාවට කුසල කර්‍මයට අකුසල විපාකයක් හෝ අකුසල කර්‍මයට කුසල විපාකයක් හෝ ඇතිවීමට ඉඩ නොදී එය විනාශ කර දමන්නේ ‘ උපඝාතක කර්මය’ යි.

 

ඒ වගේම කර්ම විපාක විඳීමේ දී ‘ ගරුක’ ‘ ආසන්න’, ‘ ආචිණ්ණ’ සහ ‘ කටත්තා’ යන කර්ම සතරට ද කර්‍ම විපාකයන්හිදී ප්‍රමුඛතාව හිමි වෙනවා.

 

කර්ම චතුෂ්කය

 

හොඳයි, ගරුක, ආසන්න, ආචිණ්න හා කටත්තා යන මේ කියන කර්ම සතර සරලව විග්‍රහ කරන්නේ කොහොමද ?

 

මේවා පොදුවේ ‘ කර්ම චතුෂ්කය’ යනුවෙනුත් හැඳීන්වෙනවා. දැන් 1 ගරුක කර්මය කුසල ගරුක සහ අකුසල ගරුක ලෙසත් වෙන් කර දක්වන්න පුළුවන්.

 

කුසල ගරුක කර්මය අනුවයි, තේමිය කුමාරයාගේ, සුමේධ තාපසයාගේ මතු ප්‍රතිසන්ධිය ( ඊළඟ උප්පත්තිය ) යහපත්ව සිදු වුණේ. නමුත්, දේවදත්ත තෙරුන්ගේ, අජාසත්ත රජුගේ ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය දුගතිගාමීව සිදු වුණේ අකුසල ගරුක කර්ම හේතුවෙනුයි. එනම් තමන් කළ කී බලවත් කර්ම මරණාසන්න අවස්ථාවේදී මතු වෙන්නට පටන් ගන්නවා.

 

මට්ටකුණ්ඩලී මරණාසන්න අවස්ථාවේදී බුදු රුව දැක සිත පැහැදී දෙව්ලොව ඉපදීමටත්, බොහෝ පින් කළ මල්ලිකා දේවිය මරණාසන්න මොහොතේදී වරක් කී බොරුවක් සිහි වී අපාගත වූයේ ද ‘ ආසන්න කර්මය’ ( 2 ) නිසයි. බුදු දහමේ උන්නතියට මහඟු මෙහෙවරක් කළ ධර්මාශෝක රජු මරණ මංචකයේ පවන් සලමින් සිටි සේවිකාවකගේ අත්වැරදීමකින් අත වැදීමකට කෝපවීම හේතුවෙන් එතුමා ද මරණින් මතු තිරිසන් ලෝකයේ පිඹුරෙකුව උපත ලැබීමට ද බලපෑවේ මෙම ‘ ආසන්න කර්මය’ යි. ඊඟාවට සෙසු දුර්වල කර්ම අභිබවා මතුවන කර්මවලට ‘ ආචිණ්ණ කර්මය’ ( 3 ) කියනවා. ගරුක කර්ම සහ ආසන්න කර්ම මතු නොවූ විට ආචිණ්ණ කර්ම අනුව ජීවන රටා සහ භව පුරුදු හට ගන්නවා.

 

මේ කියපු කර්ම තුනට අයිති නැති අවකාශය සැලසි පරිදි (ඉඩක් ලද විට) ඉඳහිට රැස් කළ වෙනත් කුසලාකුසල කර්මයට ‘කටත්තා කර්මය’ (4) කියනවා. ඒක හරියට වුවමනාවකට හදිස්සියකට ) ගැනීමට ඉතුරු කර (සඟවා) තිබූ වස්තුවක් (නිධානයක් ) වගෙයි.

 

පව් ඵල දෙන කාලය

 

කර්මය විපාක දෙන කාල වශයෙනුත් කිසියම් වර්ගීකරණයකට බඳුන් වෙනවා නේද ?

 

ඔව්, අපි කරන කර්මයන් එකවර අපට විපාක දෙන්නේ නැහැ. ඒ සඳහාත් යම්කිසි කාලයක් ගත වෙනවා. එබඳු කර්ම ප්‍රභේද මෙලෙස පෙළගස්වන්න පිළිවන්.

 

  1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
  2. අහෝසි කර්ම
  3. උපපජ්ජ වේදනීය කර්ම සහ
  4. අපරාපරිය වේදනීය කර්ම වශයෙන්.

 

මේ අතරින් මෙලොව දී ( මේ භවයේදී ) ම විපාක දෙන කර්මයට ‘ දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ කියනවා. එලෙස විපාක දීමට අසමත් වන කර්මයට ‘ අහෝසි කර්මය’ කියනවා. ඊළඟ (මතු) භවයේදී විපාක දිය හැකි කර්මය ‘ උපපජ්ජ වේදනීය’ ලෙස දැක්වෙනවා.

 

මේ භවයේදීත්, මතු (ඊළඟ) භවයේදීත් විපාක නොදි ඊටත් පසු ආත්මභාවයක දී විපාක දිය හැකි කර්මයට ‘ අපරාපරිය වේදනීය කර්මය’ ලෙස හැඳින් වෙනවා. රහත් වුණත් පිරිනිවන්පාන තෙක්ම මෙම කර්මය බලපානවා. මුගලන් මහ රහතන් වහන්සේට වගේම තවත් මහ රහත් උතුමන්ට පවා මෙබඳු කර්ම බලපෑ බව අප මීට පෙර විස්තර කරන්නට යෙදුණා.

 

බැරෑරුම්ම කර්මය

 

එතකොට, ‘ආනන්තරිය පාප කර්ම’ කියන්නේ මොනවාට ද ?

 

අකුසල් පාප කර්ම අතර බැරෑරුම් (ගරුක) කර්ම වන්නේ ඔබ අහපු ආනන්තරීය පාප කර්ම පහයි. එනම්, මව පියා මැරීම, රහතුන් නැසීම, බුදුන්ගේ ලේ සෙලවීම සහ සංඝ භේදය ඇති කිරීමයි. ධ්‍යානලාභී කෙනෙකු වුවද මෙයින් කුමන හෝ අකුසල කර්මයකට දායක වුවහොත් අනන්ත අපමණ ආත්ම ගණනාවක් සසර මැරි මැරී ඉපදෙමින් සතර අපාගතව දුක් විඳිමින් එම කර්මය විඳීමට සිදුවෙනවා. දෙව්දත් තෙරණුන්ට අත්වුණේ එබඳු ඉරණමකුයි. තව කල්ප 500 කට පසුව එම සියලු කර්ම විපාක ගෙවා නිමවා උන්වහන්සේ ද මතු පසේ බුදු කෙනෙකු වෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.