Skip to main content

373 ධර්‍මධවජ ජාතකය

තවද සියලු සත්කාරයට භාජනවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වංචා ප්‍රයෝග දන්නා භික්ෂූකෙනෙකුන් වහන්සේ අරබයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

එක් වංචා ප්‍රයෝග දන්නා භික්ෂූකෙනෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට දැක්වූසේක. සර්වඥයන් වහන්සේ දැන්මතු නොවෙයි පෙරත් මේ මහණ වංචා ප්‍රයෝගයෙන් දවස් ඇරියේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ මුදු මධ්‍යයේ එක් දිවයිනක පක්‍ෂි කුලයක ඉපිද බොහෝ පක්‍ෂින් පිරිවරා වාසය කරණසේක. එසමයෙහි වෙලඳු පන්සියයක් නැව් නැගී ගියාහ. එක් කපුටුවෙක් ඒ දිවයිනට ගොස් ඒ පක්‍ෂින්ගේ බිජුවට කන්ට සිතා අවසරයක් නොලැබ උපායෙක් කෙරෙමි සිතා එක් උපායක් උඩ ඔසවා එක්පසකින් සිට උඩබලා කටදල්වා ගෙණ සිටියේය. පක්ෂි එතනට අවුත් මේ කිමෙක්ද තොපි කරන්නේයයි විචාළාහ. කපුටු කියන්නේ මාගේ ගුණානුභාවයෙන් පොළොව මා ධරාගත නොහෙයි. එසේ හෙයින් එක පයකින් සිටි වායු අනුභව කෙරෙමියි කීය. එවිට පක්ෂීහු මේ පක්ෂියාගේ තපසක් යහපත් නියායයි සමාධිව ගොදුරු කන්ට යන්නාහූ ඒ කපුටුවා තමන්ගේ බිජුවට පාවාදි යන්නාහ. කපුටුවා පක්‍ෂින් පළායන්නා බඩ ගන්නා විවර බිජුවට තලා කා සිටින්නේය. මේ නියායෙන් කල්යාමෙන් බිජුවට අඩුවේගණ යන්නා මේ කපුටුවා යහපත් ගුණ ඇත්තේය. මොහු විසින් වන භයෙක් දොහෝයි සැක වුවාහූ බෝධිසත්වයන් වහන්සේ මේ කා විසිනුත් වන භයෙක් නොවෙයි. මේ කපුටුවා විසින් මේ භය උපදනේ යයි එක් දවසක් පක්ෂීන් ගොදුරු කන්ට යාදී සැඟවි උන්නාහ. කපුටුවාත් පක්ෂි පලායන්නාම බිජුවට කන්ටවන. බෝධිසත්වයෝත් බලා සැඟවි ඉඳ පක්ෂීන් එන්නා මෙපවත් කීහ. පක්ෂී එක්ව කපුටුවාට ටොකු ඇන මැරූහ. එවිට බෝධිසත්වයෝත් එම්බා චඤචා ප්‍රයෝග දන්නවුන්ගේ ගුණ නුගුණ පරීක්ෂා කොට විනා විශ්වාස නොකට යුත්තේය. ධර්මධර යෙමි, පක්ෂීව ඉපිදත් මෙසේවූ දෙයක් කළෝ වේදැයි ධර්මදේශනාකොට ධර්මධවජ ජාතකය නිමවා වදාලසේක.

එසමයෙහි ඒ කුපුටුවා වන් වංචා සහගත ප්‍රයෝග දන්නා භික්ෂූහුය, පක්ෂින්ට රජව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.