Skip to main content

338 අයකූට ජාතකය

තවද ලෝකගුරු වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝකාර්ථචර්යාව අරභයා මේ ජාතකය දක්වන ලදී.

මෙහි වර්ථමාන කථාව මහාකණ්හ ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය, මෙහි වනාහී දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ සර්වඥයන් වහන්සේ ලෝකාර්ථ චරියාව කළ නියාව යහපතැයි කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බරණැස් නුවර බොහෝ මනුෂ්‍යයෝ යක්‍ෂයන්ට ප්‍රේතයන්ට එළුවන් කුකුලන් ප්‍රාණීන් බොහෝ මරා බලියම් දෙන්නාහ. රජ්ජුරුවෝ නුවර වාසීන් බොහෝව යක්‍ෂයයන්ට ප්‍රේතයන්ට ප්‍රාණීන් මරා බිලියම් දෙන නියාව අසා මාගේ අඥා ඇත්නම් නුවර ප්‍රාණවධ කළ නොහැක්කැයි බෙරලැවුහ. එතැන්පටන් ප්‍රේතයන්ට බිලියම් නැතිව ගියහෙයින් යක්‍ෂයෝ ඉඳ කථාකරන්නාහූ අපට බිලියම් නැතිකළෝ අසවල් රජ්ජුරුවෝය. උන්ගේ ඉස යකුලකින් පළා මරා පියන්ට උවමැනවයි එක් ප්‍රේතයකු යවුහ. ඒ ප්‍රේතයා රජ්ජුරුවන් ආස්ථානයේ උන් ගමනේ ඉසට ගන්ටයයි යකුලක් අතින්ගෙණ ආකාශයෙහි අමෝරාගෙණ සිටියේය. එපවත් ශක්‍රයෝ ධර්මිෂ්ටවූ රජ්ජුරුවන්ට යකුලෙන් ගසන්ට සිටි නියාව දැන තුමූද ඔහු ඉස් මුදුනේ යකුලක් ගෙණ සිටියාහ. රජ්ජුරුවන්ට ප්‍රේතයා සිටි නියාව පෙණෙයි. ශක්‍රයන් සිටි නියාව නොපෙනෙයි, එවිට රජ්ජුරුවෝ ප්‍රේතයා තමන්ට ආරක්ෂාගෙණ සිටි දොහෝයි සිතා මා මේ විචාරන්ට උවමැනවයි රජ්ජුරුවෝ ප්‍රේතයාට කියන්නාහූ තා යකුල අතින්ගෙණ ආකාශයෙහි සිටින්නේ මට ආරක්ෂාවටද නැත්නම් මට සතුරුව දැයි විචාළේය. ප්‍රේතයා කියන්නේ රජ්ජුරුවෙනි යක්ෂයෝ ප්‍රේතයෝ එක්ව කථාකොට තොපගේ ඉසට මේ යකුලින් ගසන නියායෙන් එවුහ. එසේ හෙයින් තොපට මා සතුරුව ආයේය යි කීහ. රජ්ජුරුවෝ කියන්නාහූ කාරණයක් නිසාද මට යකුලින් ගසන්ට කියේය යයි විචාළේය. ප්‍රේතයා කියන්නේ රජ්ජුරුවෙනි. තොප විසින් තමන් ඇමටදෙන බිලියම් නැවැත්තු නිසාය යි කීහ. එවිට රජ්ජුරුවෝ තා සේ ප්‍රේතයන් කෙතෙක් දෙනා යකුළුගෙණ සිටියත් මා කියපු බස දෙවෙනිව නො කියමි තාගේ ප්‍රේතයන් කී සැටියට යකුලින් ගැසූවිටම අප ඇමට නායකවූ ශක්‍රයෝත් මා ඉසට ගසිමි යකුලක් අතින්ගෙණ ආකාශයෙහි සිටිති. එසේ හෙයින් ගැසීය නොහෙමි කීහ. එවිට රජ්ජුරුවෝ තා සේ වූ කොතොක් ප්‍රේතයන් යකුළුගෙණ අවුදින් සිටියත් මා බිය වන්නේ නැත. මා කියපු බස දෙවෙනිව නොකියමි. පළමු මම තනිව සිටියෙමි. දැන් ශක්‍රයෝ මට ආරක්ෂාව සිටිපසු මම කුමට බිය වෙම්දැ යි කීහ. ශක්‍රයෝ එකියන ප්‍රේතයා රජ්ජුරුවන් සමීපයෙන් පහකොට රජ්ජුරුවන් ලඟට අවුත් රජ්ජුරුවෙනි තොපට මෙතැන්පටන් මම ආරක්‍ෂා වට සිටිමි. කිසි භයක් නොවි පළමුවෙන් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරවයි අවවාද කියා ශක්‍රයන් දෙව්ලොවට ගියහයි වදාරා මේ අයකුට ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ශක්‍රයෝ නම් අනුරුද්ධ මහා ස්ථවිරිය. එසමයෙහි බරණැස් රජව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.