Skip to main content

329 ජබුක ජාතකය

තවද දසබලදාරීවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමීපයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

දේවදත්ත ස්ථවිරයෝ සර්වඥ ශාසනයෙහි පන්සියයක් භික්‍ෂුන් වහන්සේ හා සමඟ ගයාශර්ෂ නම් විහාරයෙහි වස කල්හි සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වසන්නාවූ ස්ථානයට ගිය කල්හි දේවදත්ත ස්ථවිරයෝ කියන්නාහු සැරියුත් මුගලන් දෙනම අප සමීපයට ආතැන් පටන් සර්වඥයෝ නම් මම්ම යයි සිතමින් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි. මාගේ වසටරිදෙයි තොපි බණ කියන්නෝ යහපතැයි සැරියුත් ස්වාමින්ට කී කල්හි විජිනිපත්‍රය අතට දී වැඳ හොත්තාහ. උන්වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ අර්හත් මාර්ගයෙහි පිහිටුවා එකියන භික්ෂූන් වහන්සේ හා සමග දෙදෙනා වහන්සේ සර්වඥයන් වහන්සේ සමීපයට වැඩිකල්හි අවස්ථා නොදැන නිදන්නාවූ දේවදත්ත ස්ථවිරයන් ලඟට කොකාලික ස්ථවිරයයෝ ගොසින් විළුඹෙන් ඇන කුමන නිදිද නිදන්නේ පන්සියයක් භික්ෂුන් වහන්සේ ඇරගෙණ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ පලාගිය සේකැයි යනු අසා සෝකයෙන් ලේ තුන්කටක් නගා බොහෝ ආයාසයට පැමිණ නියාව සර්වඥයන් වහන්සේ අසා වදාරා එම්බා මහණෙනි මාගේ විලාසය ගෙන නටුයේ දැන් මතු නොවෙයි පෙරත් මාගේ විලාසය ගෙණ නටුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි සර්වඥයන් වහන්සේ සිංහව ඉපිද මීමකු මරා මස් කා පැන් බී වසන්නාවූ පර්වත සමීපයට නික්මුණු කල්හි කැනහිලෙක් මගදී දැක සිංහයා ගැලවෙන උපායක් නොදැක බිමපැස වැදහොත්තේය, සිඟාලයා දැක සිංහයා කියන්නේ තොප කුමක් නිසා තෝ මෙතන උනිදැයි විචාළ කල්හි නුඹ වහන්සේට සේවාකම් කරණ පිණිසයි ඔත්තේමියි කී කල්හි එසේ වීනම් මා හා කැටිව එවයි කී ක්ලහි කැඳවාගෙණ ගොස් සිංහයා තමා වසන්නාවූ ගල් ගුහාවේ එක්තරා තැනෙක කැනහිලා වසන නියායෙන් සලසා මාංසමරා ලමින් වසන්නාහ. ඒ මස් අනුභව කොට ස්ථුලව කැනහිලා මානයක් ඇතිව කියන්නේ නුඹ වහන්සේ මරාලන මස් කා මෙතෙක් දවස් වාසය කෙළෙමි. ඇම දවස්ම නුඹ වහන්සේ මරාලන මස් කා මෙතෙක් දවස් වාසය කෙළෙමි. ඇම දවස්ම නුඹ වහන්සේට ආයස කරන්නේද කින්ද. මම්ම ගොසින් මහත්වූ හස්තියෙකු මස්තකයට පැන ඉස්මොල අනුභව කොට වෙසෙමි කී කල්හි සිංහයා කියන්නේ එම්බල ජඹුකය ස්ථුලවූ කය ඇති දික්වූ දල ඇති ඇතුන් ගේ මස් අනුභව කරන්නාවූ ජාතීන්ට විනා තොපට පිළිවන් නොවෙයි කී කල්හි එපවත් නොගිවිස වහාගොස් පර්වතයට පැනනැගී කාලාවක කුලේ හස්තියෙකු දැක කුම්භස්තලයට පනිමි. පැන්න තැනැත්තේ ඇතාගේ පය කෙරේට පැනපියා එවෙලෙහි කැනහිලාගේ ඉස්මොල පයින් මිරිකා ඇතා පලාගිය කල්හි සිංහයා කැනහිලා පරීක්ෂා කරණ පිණිසයයි ගොසින් කැනහිලාට පැමිණ විලාසය දැක වික්‍ෂේපව කියන්වාහු යම් සත්වයෙක් තමාගේ බල නොදැන වාසය කරන්නේ වී නම් හස්තියාගේ මස්තකයට පනිමියි කකුල සමීපයට පැන මළාවූ කැනහිලා මෙනැයි කියන්නාහු වංශවත් ශක්ති සම්පන්න ආඥා තේජස් ඇත්තාවූ සත්වයක්හු කරන්නේ වී නම් හස්ති විනාශය කෙරෙමියි මළාවූ කැනහිලා මෙනැයි කියාද, තවද මාගේ වංශය හා ශක්ති ආඥා තේජස් විචාර නියාවට මෙවිවර කටයුතු කළ මැනව, නොහොත් අවිචාර කටයුතු කිරීමෙන් යම් එකෙක් සිතන්නේ වී නම් ඒ සත්ව තෙමේ හස්තියා පයින් මළවාූ කැනහිලා මෙනැයි කියා මේ ජඹුක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ඒ කැනහිලා නම් දේවදත්ත ස්ථවිරයහ. සිංහව උපන්නෙම් බුදුවූ ම්ම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.