Skip to main content

328 රථලන්‍දා ජාතකය

තවද දිවැස පැණැස මනැස යනාදීන් පංචේන්ත්‍රයන් ඇති හෙයින් වක්‍ෂුර්මත්වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

පුරෝහිත බ්‍රාහ්මණයා කෙත්වත් බලන්ටයයි රථයක නැගී එන්නේය. එක් පුරුෂයෙක් ඉදිරියට රථයක් පැදගෙණ එමින් සිටියේය. ඒ බ්‍රාහ්මණයා ගොස් තමා අත තිබු කැවිටි දණ්ඩ දමාලා ඇන්න. ඒ කැවිටි දණ්ඩ රථයේ ඇනිලා දෙවෙනිව ඇවිත් ඒ බ්‍රාහ්මණයාගේ නලල ඇනී ගැට පැන නැංගේය. මේ පුරුෂයා මා මැරීයයි බ්‍රාහ්මණයා ගොස් රජ්ජුරුවන්ට කියේය. කොසොල් රජ්ජුරුවෝ ඒ විචාරා සනිටුහන් කළහයි මේ කථාව දම්සභා මණ්ඩපයේ රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා උන්තෙනට වැඩ වදාරා මහණෙනි මා එන්නට පුර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා මෙපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් මේ බ්‍රාහ්මණයා රථයෙන් එන්නාවූ බ්‍රහ්මණයාට කැවිටින් ඇන සිඟායෙහි පැමිණියෙ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා කෙත්වත් බලන්ටයයි රථයකට නැගී නික්මින. එක් පුරුෂයෙක් ඉදිරියට රථයක් පැද ගෙණ එමින් සිටියේය. තමා අත තුබූ කැවටි දඩ දමාලා ඇන්න. ඒ කැවට දණ්ඩ රථසකෙහි වැදගෙණ ආපස්සේ පැන බ්‍රාහ්මණයා තමාගේ නලලට ඇනි ගැට නැගීය පුරෝහිත බ්‍රාහ්මණයා මේ පුරුෂයා මා මැරීයයි කියා රජ්ජුරුවන්ට ගොස් පැමිණියේය. රජ්ජුරුවෝ මාගේ පුරෝහිත බ්‍රාහ්මණයා මරා නලල ගැට නැගු තැනැත්තවුන්ගේ සර්වයසස් ගනුවයි කීහ. එවිට අධිකරණ නායකයෝ කියන්නාහු දේවයන් වහන්ස යම් කෙණෙක් තමන් අතින් යමක් තමන්ට පැමිණියත් අනුන් පිට වරදවා කියන්නාහූ ධර්මිෂ්ටව විචාරා වැරදි පක්‍ෂයකින් දඩගත්ත යුතුයයි යම් ගෘහවාසීව ජීවත්වන්නාවූ යම් පුරුෂයෙක් තමාගේ කලමනා ගොවිතැන් ආදීවූ දෙයකට කුසීතවී නම් එයින් යහපත් නොවන්නේය. නොදැමුනාවූ ඉන්ද්‍රියන් ඇති යම් තපස්වී කෙනෙක් ඇත්නම් ඒ තාපසයත් යහපත් නොවන්නේය. අපරීක්ෂා කාරී කීවන්ගේ බස් පස්සේ යන්නාවූ යම් රජෙක් ඇත්නම් එසේවූ අපරීක්ෂාකාරීවූ රජත් යහපත් නොවන්නේය. යම් පණ්ඩිතයෙක් කෝප වී නම් එසේවූ පණ්ඩිතයාගේ නුවනත් යහපත් නොවන්නේය. යම් රජ්ජුරුකෙණෙක් අපරීක්ෂා කාරී විනම් ඒ රජ්ජුරුවන්ගේ යසස් කීර්තියත් අඩුවන්නේය. යම් රජ්ජුරු කෙනෙක් පරීක්‍ෂා කාරීහූ විනම් ඒ රජ්ජුරුවන්ගේ යසස් කීර්තියත් වර්ධනය වන්නේයයි කීහ. එවිට රජ්ජුරුවෝ පුරෝහිත බ්‍රාහ්මණයා ගෙන්වා දබර විචාරා පුරෝහිත බ්‍රාහ්මණයාට වරදවා සනිටුහන් කළාහයි වදාරා මේ රථලද්ධි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි පුරෝහිත බ්‍රාහ්මණයා නම් පුරෝහිත බ්‍රාහ්මණයාමය. අධිකරණ නායකව උපන්නේ නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.