Skip to main content

323 කක්කාර ජාතකය

තවද සියළු සත්වයා ජාතිකාන්තාරයෙන් එතර කරණ හෙයින් ශාස්තෘ නම් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභාවේ රැස්වූ සංඝයා වහන්සේ දේවදත්ත ස්ථවිරයන් සංඝභේදය කියා සංඝයා බිඳුව අකුසලයෙන් රත්පිත් නගා බොහෝ දුකට පැමිණියෝ වේදැයි කිය කියා උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෛනි මා එන්නට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් මෙතම මූසාවාදා කියා බොහෝ දුකට පැමිණියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි දොළොස් යොදුන් බරණැස් නුවර දිව්‍යපුත්‍රයෝ සතරදෙනෙක් කක්කරී නම් මල්සොළු සතර බැඳගෙන අවුත් ආකාශයෙහි සිටියාහ. එ මලෙහි සුගන්ධ දොළොස් යොදුන් බරණැස් නුවර ඒකසුගන්ධව ගියේය. එවිට මනුෂ්‍යයෝ මේ කුමන සුගන්ධයක්දැයි කියන්නට වන්නාහ. එවිට දිව්‍ය පුත්‍රයෝ සතරදෙන ආකාශයෙහි දිව්‍යාත්මභවයෙන් සිට මේ කක්කාරිය මලෙ හිමල්ලැබ ඉන් එක් පුරුෂයෙක් කියන්නේ තොපට දිව්‍යලෝකහෙි මල් ලැබෙයි මට තෙල් මල් සොළුව දිපීයවයි කීහ. ඉක්බිති එක් දිව්‍යපුත්‍රයෙක් කියන්නේ යමෙක් තෙමේ අනුන් සන්තක තෘෂ්ණාසලාක මාත්‍රාවකුදු ඇර ගනිද යමෙක් තෙම වවසින් මුසා බොරු ජීවිත පරිත්‍යාග කෙරෙත්මුත් නොකියාද හෙවත් යමෙක්තෙමේ කායචර වචිචාරයෙන් වදනා දස අකුසල කර්ම පථයෙන් දුරුකොට දසකුසල කර්ම පථයෙහි යෙදී වාසය කෙරේද යමෙක් තෙම ඓශ්චර්යයක් ලදින් අකුශල කර්මපථයෙහි අප්‍රමාද වේද එබඳූ උත්තම පුරුෂ තෙමෙ දෙවියන් පලඳිනා කක්කාරික දිව්‍ය පුෂ්ප සතර ප්‍රසාධනය කරන්නට සුදුසු යයි කීහ. එවිට බ්‍රාහ්මණයා මෙකී ගුණයෙන් මට එකගුණයකුත් නැත, බොරු කියා මේ දිව්‍ය පුත්‍රයා අතින් මල්සොළුව ඇරගත මැනවැයි තමාගේ නැතිගුණ ඇතැයි කියා ඒ දිව්‍ය පුත්‍රයා අතින් මල් සොළුව ඉල්වාගෙණ අනික් දිව්‍ය පුත්‍රයා අතින් මල්සොළුව ඉල්විය. ඒ දිව්‍යපුත්‍ර කියන්නේ යමෙක් තෙමේ කෘෂිවනික් ආදීවූ ධාර්මික ජිවිකාවෙන් වේවයි රාජකාරිය කිරීමෙන් වේවයි විරති රජත ස්වර්ණ යනාදී වස්තු ධාර්මික වූ ජිවිකාවෙන් සොයන්නේද යමෙක් තෙමේ වචනාදී ප්‍රයෝගයෙන් මෙරමා සන්තක වස්තුව නොගනීද යමෙක් තෙමේ වස්ත්‍රාභරණාදීවූ උපභෝග පරිභෝග වස්තු ලදින් දස අකුශල කර්මපථ දුරුකොට කුසලකර්මපථය යෙදී අප්‍රමාදව වාසය කෙරේද එබඳූ උත්තම පුරුෂ තෙමේ කක්කාර දෙවියන් ප්‍රසාධනය කරන්නාවූ කක්කාර නම් දිව්‍ය පුෂ්පය පලදින්ට යොග්‍යයයි කීය.එවිට බ්‍රාහ්මණ මෙකි ගුණයෙන් එක් ගුණයක් මා කෙරේ නැත. බොරු කියා මූ අතින් මල්සොළුව ගනිමියි තමාගේ නැතිගුණ ඇති නියාවට අඟවා ඒ දිව්‍ය පුත්‍රයා අතින් මල්සොළුව ඇරගෙණ අනික් දිව්‍යපුත්‍රයා අතිනුත් ඉල්වීය. ඒ දිව්‍ය පුත්‍රයාත් කියන්නේ යමක්හුගේ සිත වහා නොබිඳේද ක්‍ෂණයෙක්හි අස්වාමිව මායා විරියෙහි වැදගත් කසා පරිද්දෙන් ස්වභාව ඇත්තේද යමක්හුගේ ශ්‍රද්ධා ලෞකික ලෝකෝත්තර තොමෝ කිසිවක්හු විසින් නොබිඳවිය හැකිද හුදකලාව මියුරු රසයක් ලබන්ට සුදුසු ශ්‍රමණ බ්‍රහ්මණයන්ට නොදී අනුභව නොකෙරේද ඒ පුරුෂ තෙමේ මෙකී ගුණයෙන් එකකුත් මට නැත. බොරු ගුණ කියා මල් සොළුව ගනිමියි සිතා තමාගේ නැති ගුණ කියා ඒ දිව්‍යපුත්‍රයා අතින් මල්සොළුව ඇර ගෙණ සතරවෙනි දිව්‍යපුත්‍ර අතිනුත් මල්සොළුව ඉල්විය. ඒ දිව්‍යපුත්‍රයා කියන්නේ යමෙක් තෙමේ සම්මුඛයෙහි වේවායි අසම්මුඛයෙහි වේවායි ශිලශ්‍රුතාදී ගුණයෙන් යුක්ත පුරුෂතෙමේ මේ කක්කාරී නම් දිව්‍ය ප්‍රසාධනය කරන්ට සුදුසුයයි කීය. එවිට බ්‍රාහ්මණ තෙමේ මෙකී ගුණයෙන් එකගුණයකුත් මා කෙරේ නැත. මාගේ නැති ගුණකියා මූ අතිනුත් මල්සොළුව ඇරගනිමයි බොරුකියා ඒ දිව්‍යපුත්‍රයා අතිනුත් මල්සොළුව ඇරගෙණ ඉස බැඳගතිමි. ඒ වෙලෙහි පටන් මට ඉස රුජාව පැහැර බොහෝ දුක්ඛයයි කීය. එසේකල තා හිසින් මල් සොළුව ඇරපියවයි කීහ. අරින්ට වන්විටත් ඉසින් නොහැරෙයි බ්‍රාහ්මණයා බොහෝසේ පෙලෙන්නේය. රජ්ජුරුවෝ කළමනා කින්දැයි අමාත්‍යයන් විචාළාහ. අමාත්‍යයෝ කියන්නාහු ස්වාමිනි. දෙවෙනිවත් නුවර සරහා උත්සව කෙළිම්හ. දිව්‍යපුත්‍රයෝ සතරදෙන එවිට එන්නාහු උන් ආකල ඉස රුජාව ගුණකරම්හයි කිහ. රජ්ජුරුවෝත් යහපත ඒ ක්‍රියාවට පූජාකරවයි කියා නුවර සරහා පූජාව පටන්ගත් කල්හි දිව්‍යපුත්‍රයෝ සතරදෙනා ආහ. එවිට බ්‍රාහ්මණ දිව්‍යපුත්‍රයන් සතරදෙනා වැඳගෙන හෙව ස්වාමිනි. මම මගේ නැති කියා මල්වට ඇරගතිමි ප්‍රාණ දානය දුනමැනවැයි කීය. එවිට දිව්‍යපුත්‍රයෝ සතරදෙනා, බොරු කිවාසේ විපාක දුටුයේද මෙවක්පටන් බෙරු නොකියවයි අවවාද කියා මල්වට සතර ඔහු හිසින් ඇරගෙණ දිව්‍යලෝකයට ගියහයි වදාරා මේ තක්කාර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බ්‍රාහ්මණයා නම් දේවදත්ත ස්ථවිරය. දිව්‍යපුත්‍රයා සතරදෙනාගෙන් එක්කෙනක් කාශ්‍යප ස්ථවිරය, එක්කෙනෙක් මුගලන් මහා ස්ථවිරය, එක්කෙනෙක් කාශ්‍යප ස්ථවිරය. වැඩිමහළු දිව්‍යපුත්‍රයා නම් බුදුවූ මම් ම වේදැයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.