300 ජවන සකුන ජාතකය

තවද එක් සමයෙක්හි ෂට් අසාධාරණ ඥානාදියෙන් උපලක්ෂිත වූ ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසනසේක්. දෙව්දත් තෙරුන් වහන්සේ කෙළෙහි ගුණ නොදන්නාහූමයයි වදාරා ඉකුත්වත් ගෙණ හැර දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහ බෝසතානන් වහන්සේ නානාවිධ කුසුම් භාරවන්ත වෘක්ෂ මණ්ඩිත හිමාලය වන ප්‍රදේශයෙක්හි කෑරල පක්ෂියාව උපන්සේක. ඉක්බිති මාංශ අනුභව කරන්නාවූ එක් සිංහයක්හුගේ ග්‍රීවයෙහි ඇටයක් ලග්නව ඉදිම් ගොස් ගොදුරු අනුභව කිරීම නොහැකවූයේය. කර්කෂවූ වේදනාවෝ පවත්නාහ. නැවත ගොදුරු සොයා දැක එක් අතුපතුරක් අතුරෙහි සැඟවී උන්නේය. යහළු සිංහය, තොපගේ දුකෙක් ඇද්දැයි විචාළේය. එබස් ඇසූ සිංහයා ඒ වූ කාරණය කීයේය. යහළුව, මට තොපගේ මේ ග්‍රීවයෙහි ලග්නවූ ඇටය පහකරන්ට හැකි වෙමි, එසේද වූවත් මා අනුභ කෙරෙති යන සිත ගත් භයින් වනාහි තොපගේ මුඛයට වදින්නට නොහැකි වෙමි කීයේය. යහපත තොප මම අනුභව නොකරමි. එබැවින් මාගේ ජීවිතය රක්ෂා කොට දෙවයි කීයේය. ඒ කෑරල් පක්ෂියාට යහපතැයි ගිවිස සිංහයා ඇලයකින් සතප්පවා සිංහයා කවර ඉෂ්ටානිෂ්ට ක්‍රියාවක් මට කරණ බව කවරෙකුටත් දැනගත නොහෙයි සිතා යම්සේ මුඛය වහන්ට නොහැකිවේද එපරිද්දෙන් ඔහු දෙතල්ලෙහි දඬු කෝටුවක් තබා මුවට වැද ගෙලෙහි ලැගුනු ඇට කෙළවර තුඩින් පහ කෙළේය. ඇටය ගිලිහී වැටී ගියේය. ඒ පක්ෂියා ඇටය හෙලා සිංහයාගේ මුඛයෙන් නික් මෙන්නේ දඬුකඩ තුඩින් පැහැර හෙලන්නේම නික්ම ගියේ ශාඛාග්‍රයෙහි සැඟවුනේය. නැවත එක් දිනයෙක්හි එක් වන මහිසයෙකුගේ ජීවිතය නසා අනුභව කරන්නේය. ඒ කෑරල් පක්ෂියා ඔහු පරීක්ෂා කෙරෙමි සිතා ඔහුගේ හිස උඩ සාඛාවක සැඟවී ඉඳ සිංහයා හා සමග කථාරන්නේ පින්වත්වූ සිංහයානෙනි තොපට නමස්කාර වේවායි මා විසින් කළයුතුවූ තොපගේ යම් කෘත්‍යයක් ඇද්ද ඒ කෘත්‍යය මාගේ ඥාන ශක්තියෙන් කිසිවක් නොනසා කෙළෙමි එසේ කළාවූ මම මෙයින් මාංශ කොටසක් ලබම්ද කින්දැයි විචාළේය. එබස් ඇසූ සිංහයා කියන්නේ ලේ මිශ්‍ර මාංශ අනුභව කරන්නාවූ නිරන්තරයෙන් දරුනුකම් කරන්නාවූ මාගේ දත් අතුරව පැමිණියාවූ තොපගේ බහුල වූ යම් ජීවිකාවෙක් ඇත්නම් ඉන් ජීවත්වයි කීකල්හි ඒ ඇසූ පක්ෂියා කියන්නේ යම් සත්වයෙකු කෙරෙහි කෙළෙහි ගුණ දැන් මෙක් නැද්ද තමා විසින් අන් සත්වයන්ට කරන්නාවූ කිසි ගුණයක් ඇද්ද, කළාවූ ගුණයට නැවත ගුණ කිරීමෙක් නැද්ද, එබඳු සත්වයන් සේවනය කිරීම නිෂ්ප්‍රයෝජන වන්නේයි. තවද යම් සත්වයක්හුගේ අභිමුඛයෙහි කරණ ලද ගුණය කරණකොට ගෙණ මිත්‍ර ධර්මය නොලැබේද, ඕහට රැහැනි නොවී ආක්‍රොශපරිභව නොබැන යුහුසුලු නොවීමෙන් ඔහු කෙරෙන් පහවිය යුත්තේයයි මෙසේද කියා ඒ කෑරල පක්ෂියා ගියේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා මේ ජවනසකුන ජාතකය නිමවා වදාළසේක.

එකල්හි සිංහයා නම් දැන් දේවදත්ත ස්ථවිරය, එකල්හි කෑරල පක්ෂියා වනාහි දැන් බුදුවූ මම්ම වේයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.