30. රුදුරු යකු දැමුණේ කුමරු දිවියද රැකුණේ …

ජේතවනාරාමයේ සිට අලව් නුවරට තිස්‌ යොදුන් පමණ දුර විය. එනුවර රජගහනුවර හෝ සැවැත්නුවර මෙන් පසිඳු නුවරක්‌ද නොවීය. අලව් නුවර වැඩිපුරම විසුවෝ යක්‍ෂ නම් ගණයට අයත් වන්නෝය. ඔව්හු ස්‌වභාවයෙන් ම දැඩියෝ ය. රළු වරම් ගති ඇත්තෝය. තදින් කිපෙති. ඈත ගම් දනව්වක සිට හෝ අලව් නුවරට ආගිය අය හිඟ වූහ. සංචාරක වෙළෙන්දන්ගේ ඝෝෂාව නොඇසුණි. විශේෂ කර්මාන්ත යෑයි කිව හැකි දෙයක්‌ද නොවීය. හරිත වර්ණ වන රේඛාවන්ගෙන් ද සිහිල් නිල් දිය දහරාවෙන්ද මනාව සැදුණු හාත්පස නම් නෙතට සුවයකි.

මෙනුවර ආලවක නම් යක්‌ අධිපතියෙක්‌ වසයි. ඔහු දැසි දසුන් පිරිවර කර ගත්තේ ආඪ්‍ය ජීවිතයක්‌ ගෙවයි. හේ මායාබල ඇත්තේ ය. මනාව වැඩුණු සිරුරු ඇත්තේය. අලව් නුවර පමණක්‌ නොව නොයෙක්‌ තන්හි විසූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෞරවය ඔහුට නොඅඩුව ලැබුණි. ආලවකගේ සියලු කුදු මහත් කටයුතු ඉටු වූයේද ඒ ගෝත්‍ර ජනයා අතින්මය. කෙනෙක්‌ ඔහුට නිතිපතා මස්‌ සැපයූහ. තව කෙනෙක්‌ සුරාව සැපයූහ. ආලවක මිනීමස්‌ අනුභව කිරීමටද ගිජු විය. එහෙත් ඔහු කිසි විටෙක සිය ගෝත්‍රිකයන් අල්ලා අනුභව කළේද නැත. ඈත නුවරකින්, ගමකින් මෙම අඩවිය පසු කර යන අයෙක්‌ වෙත් නම් ඔවුන්ට නිසැකයෙන්ම ආලවකගේ ගොදුරක්‌ වීමට සිදුවන්නේමය.
එක්‌ දිනක අලව් නුවරට නුදුරුව දඩ කෙළියෙහි ගිය කිසියම් රජෙක්‌ ආලවකගේ නෙත ගැටුණි. රාජාභරණ නොමැතිව සිටි ඔහුගේ පෙනුම සාමාන්‍ය වැසියකුගේ මෙන් විය. ආලවක වාත වේගයෙන් ඔහු ලුහුබැඳ ගොස්‌ අල්ලා ගත්තේය. බියට පත් වූ රජු තමන් පිළිබඳ සියලු තොරතුරු කීවේය. එහෙත් ආලවක කියා සිටියේ අනවසරයෙන් තම අඩවියට පැමිණ දඩයම් කිරීම වරදක්‌ බවය. ඒ සඳහා දඩයක්‌ ගෙවිය යුතු බවද ඔහු කියා සිටියේය.
රජු ද කිසිදු වගවිභාගයකින් තොරව ඔහු සමඟ එකඟතාවකට එළඹියේය.
“හොඳයි මා නුඹව නිදහස්‌ කරනවා. එක්‌ කොන්දේසියක්‌ උඩ, හෙට පටන් දිනපතාම මාගේ වාසභවනට මට දරුවකු එවිය යුතුයි. යම් දිනක එය කඩ කළහොත් එදින මම නුඹ මරා අනුභව කරමි.”
ආලවකගේ යක්‍ෂ විලාසය නිසාම බියට පත්ව සිටි රජු ඒ සඳහා එකඟ විය. එතැන් සිට රාජපුරුෂයෝ හිරු නැඟෙන විටම ඒ රටේ කොතැනකින් හෝ දරුවෙක්‌ අල්ලා ගෙනැවුත් ආලවකට ලබා දුන්හ. වැඩි දවසක්‌ ඒ ක්‍රියාව කළ නොහැකි විය. තම රජතුමන්ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා රටේම දරුවකු බිල්ලට යෑවීමට සිදුවීම ගැන වැසියෝ කම්පා වූහ. එහෙත් රජ අණට කෙසේ පටහැනි වන්ටද? ඒ නිසාම සමහරු නිවෙස්‌ ද හැර වෙනත් පළාත්වලට පළා ගියහ. කිසිවක්‌ කර ගත නොහැකි වූ අය පමණක්‌ එහි රැඳී සිටියහ.
කාලය මෙලෙස ගෙවී ගියේය. මුළු රාජ්‍යයේම සිටි සියලුම දරුවන්ද බිළි පිණිස යවා නිම විය. එතැනදී රාජපුරුෂයෙක්‌ මෙසේ කියති.
“දේවයන් වහන්ස, දැන් ඔබ වහන්සේගේ රාජ්‍යයෙහි සිටි සියලුම දරුවෝ අවසන්ව සිටිති. හෙට උදෑසන යක්‌ෂයා වෙත රැගෙන යා යුත්තේ ඔබ වහන්සේගේ ප්‍රිය පුත් කුමරාය. වෙන කළ යුතු දෙයක්‌ අපි නොදනිමු.
රාජපුරුෂයන්ගේ වදන් ඇසූ රජු මහත් සේ කැළමිණි. ඔහුට කෙළින් සිටගත නොහැකි විය. දෑස්‌ ඉදිsරිපිට ආලවක යක්‌ෂයාගේ රුදුරු විලාසය මැවුණි. ඔහුගේ පියකරු තර්ජනය ඇසුණි. තවත් දවසක්‌ හෝ දිවි රැකගත යුතු මගක්‌ කල්පනා කරන්නටද විය. එහෙත් කිසිවක්‌ සිතට නො එයි. ඔහු අසිහියෙන් මෙන් මාළිගාවේ ඔබ මොබ යන්නට විය. මරණ බය වැඩි වැඩියෙන් දැනෙන්නට ද විය. යළි වහාම රාජපුරුෂයන් කැඳවූ හේ මෙලෙස කීවේය.
“ම විසින් මගේ රාජ්‍යයෙහි සිටි සියලුම දරුවන් යක්‌ෂයා වෙතටම යවන ලද්දෙමි. දැන් මගේ පුතුගේ වාරයද පැමිණ තිබේ. යම්හෙයකින් ම පුතු ඔවුන් වෙත බිළි පිණිස නොයවන්නේ නම් ඒකාන්තයෙන්ම මගේ ජීවිතයද අවසන් වන්නේය. එසේ වුවහොත් නපුරකි. වහාම ශ්‍රී යහන් ගබඩාවට ගොස්‌ ම පුත් කුමරුන් රැගෙන ඔවුන්ට ලබා දෙනු”
රාජපුරුෂයෝ ඒ අසා යහපතකැයි පවසා එදා රාත්‍රිය නින්දට ගියහ. එහෙත් රජුට නම් නින්දක්‌ නැත. දේවිය හැඬූ කඳුලෙන්ය. සිය පුතු යක්‍ෂයාට බිළි නොදෙන ලෙස ඕ අප්‍රමාණව ඇවිටිලි කළාය. “මේ මොන විපක්‌ද? ඔබ වැනි සිත් පිත් නොමැති පියවරු තව සිටිත්දැ”යි දොස්‌ නගන්නට ද වූවාය. එහෙත් රජු ළදැඩියකු සේම සිටියේ වෙනත් කළ හැකි දෙයක්‌ නොවූ හෙයිනි.
මේ සියලු සිදුවීම් බුදුහු පෙර දිනයේ අලුයම ලොව බලද්දී දිව ඇසින් දැක සිටියහ. ආලවක යක්‌ අධිපතියා මෙන්ම නර බිළි සඳහා රැගෙන එන කුමරුන්ද හේතු සම්පත් සහිත බව උන් වහන්සේ වේලාසනින්ම දැක ගත්හ. බුදුන් වහන්සේ පෙර දින සන්ධ්‍යාවෙහිම තිස්‌ යොදුන් දුර එක්‌ සැණින් ගෙවා අලව් නුවරට වැඩ ආලවක භවන අබියස නිශ්ශබ්දව වැඩි සිටියහ. ආලවක යක්‌ අධිපතියන්ගේ මන්දිරය වටා පවුරක්‌ බැඳ තිබිණි. එහි වටා මුරකාවල්ය. ප්‍රධාන දොරටුව ඉදිරිපිට පමණක්‌ රැකවලෙක්‌ විය. හේ නමින් ගද්‍රභය. විය. ගද්‍රභ ආලවකයනගේ හිතවත්ම සේවකයකු විය. ඔහු දැඩි ස්‌වාමි භක්‌තියකින්ද යුතුය.
ආලවක භවන රාත්‍රිය කාලය මුළුල්ලේම අඳුරේම වෙයි. ඇතුළේ පන්දමක්‌ හෝ දැල්වෙන්නේ විශේෂම අවස්‌ථාවකදී පමණි. එහෙත් එම භවනට ඇතුල්වන ප්‍රධාන දොරටුව අසල නම් ගිනිමැලයක්‌ ගැසීමේ සිරිතක්‌ විය. ගිනිමැලය ගැසුවේ සොර බියකින් නොව වෙනත් වන සතු=න්ගෙන් හා උරගාදීගෙන් විය හැකි අනතුරු වළක්‌වාලීමටය.
මේ දිනයේදීත් අඳුර වැටී ස්‌වල්ප වේලාවක්‌ ගෙවිණි. ගද්‍රභ ගිනිමැලය දැල්වීමට එන්නේ ඒ භවන ඉදිරිපිට වැඩ සිටින බුදුන් වහ න්සේ දුටුවේය. එහෙත් ඒ බුදුන්යෑයි ගද්‍රභට වැටහීමක්‌ නැත. ඔහුට එක්‌ වරටම පසක්‌ වූයේ සිය යක්‌ අධිපති භවන අබියස සිටින්නේ සාමාන්‍ය කෙනෙක්‌ විය නොහැකි බවය. ගද්‍රභ බුදුන් වහන්සේ සමීපයටම පැමිණ මෙසේ කීවේය.
මම ඔබ කවරෙක්‌දැයි නොදනිමි. ඔබ වහන්සේගේ සිරුර රන්වන්ය. දෙනෙත් කාන්තිමත්ය. හාත්පස අන්ධකාරය දුරලමින් ප්‍රභාමත් රැස්‌ වළල්ලක්‌ විහිඳ යන්නේය. එහෙත් ඔබ වැනි සියුම්. පැහැපත් සිරුරැති, ප්‍රසන්න ඉඳුරන් ඇති කෙනෙක්‌ මේ අසලටවත් නොආ යුත්තේය. මෙම භවනට අධිපති මහා හිත්පිත් නැති යක්‍ෂයෙකි. ඔවුන්ගේ කුරිරු බව දන්නා මෙනුවර කිසිවෙක්‌ රාත්‍රියට තබා දහවල් කාලයටවත් මේ අසලකට හෝ නොඑති. වහා මෙතැනින් ඉවත් වන්න. තවද මගේ ස්‌වාමියා මිනීමස්‌ බුදින යක්‍ෂයෙකි. ඔවුන් තුළ ළතෙත් බවක්‌ නැත්තේමය.
බුදුහු එය අසා සිටියත් මුවින් එකම වදනක්‌ හෝ පිට නොකළහ. අඩුම තරමින් තමන් වහන්සේ බුදුන් බව හෝ නොකීසේක. අනතුරුව ඔහු අමතා මෙසේ වදාළහ.
ගද්‍රභ, ඔබට බරක්‌ නොවන්නෙහි නම් මට අද රාත්‍රිය මෙහි ගෙවීමට ඉඩ දුන මැනවි.
නමින්ම තමන් අමතන ශ්‍රමණයන් පිළිබඳව ඔහුට ඇතිවූයේ දැඩි කුතුහලයකි. මෙබඳු ශ්‍රමණයන් වහන්සේ නමක්‌ තමන් කිසිම දිනක දැක නැති බවද ඔහුට සහතිකය. එහෙත් දිගු කලක්‌ මුළුල්ලේ දන්නා හඳුනන අයෙක්‌ සේ තම නම කියන්නට තරම් ශ්‍රමණයන්ට හැකිවීම ගැන ඔහු තුළ සතුටක්‌ද නැගුණි.
මට කිසිදිනක ඔබ වැනි ශ්‍රමණ කෙනෙක්‌ හමුවූ බවක්‌ නම් මතක නැත. එහෙත් ඔබගේ ඇමතුමද වදන්ද මට බෙහෙවින් ම සමීපය. ඒ නිසාම මම මෙසේ කියන්නෙමි. මේ භවන ඔබට රැය ගත කිරීමට තරම් තැනක්‌ නම් නොවේ. මෙය විස භවනකි. වහාම ඒ අදහස අත්හැර හැකි ඉක්‌මනින්ම පිටව යනු යෙහෙකි. ඔව්හු යහපත අයහපත නොසළකන්නෝය. යුක්‌තිය නොතකන්නෝය. දැඩිය. රළුය. ප්‍රචණ්‌ඩය. ඔබගේ මෘදු ගුණය , සෞම්‍ය බව ඔහු වැනි ළදැඩියකු කෙසේ හඳුනා ගන්නෙහිද? ඔබ යම් විපතක වැටීම මා සිතටද දැඩි දුකක්‌මය. තවම අඳුර වැටෙමින් තිබේ. මම මේ වන ලැහැබින් එතෙරව යැමට මග පෙන්වීමටද එන්නෙමි. මා කියන බස්‌ ඇදහුව මැනවි.
බුදුහු භද්‍රයන්ගේ පහන් සිත දුටහ. එහෙත් ඔවුන්ට කිසිවක්‌ම නොවදාළේ ඉතින් ඔබට බරක්‌ නොවන්නේ නම් මමඅද රෑ මෙහි රැඳෙමි. මට සිදුවිය හැකි විපතක්‌ නැත. මම සියලු තතු දැන දැනම ඔබගේ යක්‍ෂාධිපතිගේ අභිවෘද්ධිය සඳහාම පැමිණියෙක්‌මියි වදාළේය.
ගද්‍රභයන්ට එවර කිසිවක්‌ කීමට තරම් සිතක්‌ නොවීය. මන්ද යත් බුදුවරයෙක්‌ එලෙස කරන අයෑදුමක්‌ කිසිවකුට පිටු දැකිය නොහැකි හෙයිනි.
ගද්‍රභ බුදුන් වහන්සේට ඉඩ දී පසෙකට විය. එහෙත් ඔහුගේ සිත ගිනි ගති. කුමක්‌ කරම් දැයි සිතාගත නොහැකි තරමට ම සිත ව්‍යාකූල විය. “අහෝ මා මෙතරම් කරුණු කියද්දීත් මේ ශ්‍රමණයෝ ඒ කිසිවක්‌ බැරෑරුම් සේ නොදකිති. මෙහි කිසියම් අබිරහසක්‌ විය හැකිය. ඒ කුමක්‌ වුවද මවිසින් මගේ ස්‌වාමියන් මෙහි පැමිණීමට පෙර මේ සියලු තතු ඔහුට දන්වන්නේ නම් මා රැකෙයි. නොඑසේ නම් මටද විපතකි.
ගද්‍රභ බුදුහු කුමක්‌ කරත්දැයි යක්‌ භවන තුළට ගොස්‌ බැලුවේය. බුදුන් වහන්සේ කිසිදු චකිතයකින් තොරව ආලවකගේ සුවපහසු අසුනෙහිම හිඳ ගෙන සිටින අයුරු දුටු හේ තවත් කැළඹීමට පත්විය. අද නම් මහා විපතක්‌ සිදු නොවුවහොත් පුදුමයකි. ඔහු කල්පනා කළේය. අවිනිශ්චිත හැඟීමෙන් යළි පිටතට පැමිණි ගද්‍රභ එක පිම්මේ ආලවකයන් වෙත දුවන්ට විය. ඒ වනවිට ඔවුන් සිsටියේ නුදුරු තැනක යක්‌ සමාගමක්‌ ඇමතීමට ගොසින්ය. තම සේවකයා කලබලයෙන් එන අයුරු ඔහු දුරදීම දුටුවේය. රැස්‌ව සිටි පිරිස ද කුහුලින් මෙන් බලන්ට වූහ. ආලවක සිතන්නේ ඒකාන්තයෙන්ම කිසියම් සතුරු ආක්‍රමණයක්‌ සිදුවී ඇති බවය. ඔහු ගද්‍රභ ඒමටත් පෙර ශාලාවෙන් පිට විය.
“මොකද බොල.. තොප…… සිහි විකල්ව මෙන් මෙසේ ඒමට හේතුව.
ගද්‍රභ තවත් බිය විය. ඔහුගේ මුවට වචන ආවේද හෙමින් ය. තව මොහොතකින් තම ස්‌වාමියා ප්‍රචණ්‌ඩ වන අයුරුද ඔහුට සිහි විය. ඔහු හිතට දිරි ගෙන සිද්ධිය විස්‌තර කරන්නට විය.
“උතුමාණනි, ගැත්තාට අනුකම්පා කළ මැනවි. මේ මගේ දොසකින් වූ දෙයක්‌ ද නොවේ. මම මගේ ශක්‌ති පමණින් එය වළක්‌වා ලීමට උත්සාහ කළෙමි. එහෙත් මට එයට ඉඩ නොලැබුණි. ආලවකගේ ඉවසුම නැති විය. තම සේවකයා කුමක්‌ කියන්නේ දැයි දැන ගැනීමේ කුහුල අභිබවා ඔහුගේ සිත ගිනියම් වනබව ඔහුටම දැනුණි. හේ යළිත් ගද්‍රභාට කඩාපැන්නේය.
කියව……. කියව…… මට සිදු වූ දේ කුමක්‌දැයි විගස කියව.
ආලවකගේ ගිගුරුම් හඬ අවට ගිගුම් දෙන්නටද විය.
“ඔබතුමාගේ වාස භවනට කෙනෙක්‌ ඇතුල් වූවා. හෙතෙම දැන් ඔබතුමාගේ අසුන මත වාඩි වී සිටිනවා. මා දුටුවේ එපමණයි. මට සියල්ල අමතක උනා. මා එක පිම්මේ මෙතැනට දුවගෙන ආවා.
ආලවකගේ මුවින් පිට වූයේ වචන නොව ගිනි සැරය. හෙණ පුපුරන්නාක්‌ මෙන් ඝෝෂාවක්‌ විනා කිසිවක්‌ පැහැදිලිව වටහා ගන්ට කිසිවකුට හෝ නොහැකි විය. ඔහුගේ දෙනෙත් ගිනි පුළිඟු සේ දිලුණි. ඔහු එක්‌ අතකින් සිය දිගු හිස කෙස්‌ අදින්ටද විය. දැන් නම් ඔහුගේ පෙනුම රුදුරු යක්‌ පෙනුමකි. ඒදසුන දෙනෙතින් එක එල්ලේ බැලීමට තරම් බිහිසුණු එකකි. යක්‍ෂ සමාගමේ සිටි අයෙක්‌ ඔහු අසලට පැමිණ ඔහු අස්‌වසාලීමට වෑයම් කළේය. ඔහුගේ උත්සාහය පිළිගත්තේ ආලවකගේ පා පහරකින් ය. ඔහු යන්තම් ගැලවිණි. සියලු දෙනාම විස්‌මයට පත්ව බලා සිටියහ.
ආලවකයෝ විදුලියක්‌ සේ මගට බැස වාත වේගයෙන් ඉගිලී යන අයුරු සියල්ලෝම බලා සිටියහ. ගද්‍රභයා ද භයින් ත්‍රස්‌තව ඔහු පසු පසින්ම දුවන්ට විය.
ආලවකට ඔහුගේම දැස්‌ අදහා ගත නොහැකි විය. කිසිදු චකිතයකින් තොරව වාස භවනට ඇතුල් වී තමන්ගේ අසුනෙහිම අසුන් ගෙන සිටින අය කවරෙක්‌දැයි බැලීමට තරම්වත් ඔහුට ඉවසුම් නැති විය. බුදුහු ඔහු එන මග දුටු නමුත් ඒ බව නොදන්නා සේ එහි වැඩ උන්හ. බුදුන් ඉදිරිපිට ආලවක භවනෙහි සිටි පරිවාර ස්‌ත්‍රීහුද වෙනත් ලියෝද වාඩි වී සිටියහ. එය ඔවුන් තවත් කුපිsත කරවන දසුනක්‌ ම විය.
ආලවකයෝ ගුගුරමින් ම ඇතුල් වන අයුරු එහි සිටි ලියෝ බියෙන් මෙන් දුටුවෝය. එහෙත් ඔවුන් තුළ සුළු හෝ කුකුසක්‌ නම් නොවීය. ඒ වනවිට ඔව්හු බුදුන් සරණ ගොස්‌ සිටියහ.
ආලවක තෙමේ කිසිදු ගරු සරුවක්‌ නොදක්‌වාම “මහණ පිටවනු” යි ගුගුළේය. බුදුන් වහන්සේ ඉතා සන්සුන්ව ඔහුට කීකරු වූ සේක. බුදුන් පිටතට වඩින අයුරු දුටු ආලවකයා, යළිත් උන්වහන්සේට “මහණ ඇතුළට යව”යි කීවේය. බුදුහු එයටද කීකරු වූහ.
මෙසේ ආලවකයා තුන්වරක්‌ම බුදුන් වහන්සේට ඇතුල්වීමට හා පිටව යැමට කළ විධානයට කීකරු වීම නිසා ඔවුන් සිතුවේ රාත්‍රිය ගෙවී යන තුරුම එලෙස සක්‌මන් කරවා බුදුන් වෙහෙස කරවීමට ය. ආලවක යළිත් වරක්‌ “මහණ පිට වෙනු” යි කීවේය. එවෙලේ බුදුහු මෙසේ වදාළහ.
ආලවකය, මම පිට නොවෙමි. ඔබට හැකි දෙයක්‌ කරන්න…. ඒ වදන් ඇසූ ආලවක වඩාත් කුපින විය. ඔහුගේ විලාසය යළිත් ප්‍රචණ්‌ඩ විය.
“එම්බා මහණ. ඔබමගේ භවනට අනවසරයෙන් කඩා වැදුණෙහිය. ඒ මා කවරෙක්‌ දැයි නොදැනය. මම ආලවක නම් යක්‍ෂාධිපති වන්නෙමි. මගේ නම අසන බලසම්පන්න රජවරුද, සැළෙති. මම කවරෙක්‌දැයි දැන් ඔබටම බලාගත හැකිය. මම ඔබ දෙපයින් ගෙන පරසක්‌වල ගසමි. හිස සුන් කර අහසේ පා කරමි. බලව තට වන දේ”
ආලවක තෙමේ බුදුන් වහන්සේ දෙසට පනින්ට වෑයම් කළේය. එහෙත් ඔහුට සිරුර අවනත නොවීය. හේ යළිත් මුළු වෙරදමා පනින්ට වෑයම් කළේය. එහෙත් පලක්‌ නොවීය. ඔහුට කිසිවක්‌ සිතා ගත නොහැකි විය. සිතට බියක්‌ ද ඇතුල් විය. එහෙත් ඒ බවක්‌ නොහඟවා මෙසේ කීය.
“මහණ ඔබ ඉන්ද්‍රජාලිකයෙක්‌ බව මට පෙනේ. හැකිනම් නියම වේෂයෙන් මා සමග සටනට එව. මා සමග කරන සටනින් ඔබ පරාජයට පත් වුවහොත් ඔබ මට දාසයකු විය යුතුය. මා පරාජය වුවහොත් මමද එසේ කරමි.
බුදුන් වහන්සේ ඔහු තුළ වූ වෙනස දුටු සේක. දැඩි බව දැඩි බවෙන් දිනූ බුදුහු එසඳ තමන් වහන්සේ පිළිබඳ ආලවකට මෙසේ පහදා දෙන්ට වූ සේක.
ආලවකය. යක්‌කු මට යක්‌කු නොවෙති. දැඩියෝ මට දැඩියෝ නොවෙති. මම මේ සංසාර නමැති සංග්‍රාභූමියේ එකලාව අප්‍රමාණව ගමන් කළෙමි. මට සතුරෝද වූහ. මිතුරෝ ද වූහ. මට දිරි දුන් අයද වූහ. මට බාධා කළ අයද වූහ. දැන් මා බල මඩනු කිසිවකුට නොහැක්‌කේය. දෙව්, බඹ, සුර, අසුර සියල්ලෝ මා බල ද ගුණද දන්නෝය. මෙලොව සිටින රුදුරු මරුවා මා සමග සටනට පැමිණියේ දස බිම්බරක්‌ සෙනඟ ද සමඟය. ඒ සටන නිරායුධ මම ජය ලදිමි. ලෙහෙ බිඳක්‌ නොසෙල්විණි. දෙව් බඹහු සාධුකාර දුන්හ. මහපොළව කම්පා විය. ඒ අසමසම බුදු ගුණයටය. එසේ හෙයින් ආලවකය නුඹට මගේ රෝම කූපයකට තරම් හානියක්‌ කළ නොහැක්‌කේය. මම ප්‍රාණඝාතනය ඇතුළු සියලු අකුසල දුරු කළෙමි. මම කිසිදු ලෞකික සුවයක නොගිලුනෙමි. සියලු බැඳීම් බිඳ දැමීම්. සියලු සත්ත්වයන්ට මම දයාර්ද්‍ර වෙමි. උන්ගේ භව දුකට පිහිට වෙමි. මාගේ ඒ ධර්ම චාරිකාවේදී මා වෙතින් සහන ලද්දෝ අපමණය. රජ, සිටු, බමුණු ආදීහු ද මා කෙරේ පැහැද සසර කෙටි කර ගත්හ. එවන් ගුණ, නැණ බලැති මම ලොව්තුරා බුද්ධ නම් වන්නෙමි.
ආලවක තෙමේ ඒ වනවිට පියවි සිහි ලබමින් සිටියේය. තමන් පත්ව සිටි අහංකාරයෙන් මිදෙමින් සිටියේ. තවත් ඔහුට බුදුන් වහන්සේ දෙස බලා සිටිය නොහැකි විය. ඔහු බුදු පාමුල වැටුණි. බුදුන් කෙරෙහි පැහැදිණි. එවේලෙහි ඔහුට පරම්පරාවෙන් තමන්ට දෙමව්පියන් විසින් පහදා දෙන ලද ප්‍රශ්න හතරක්‌ සිහි විය. ඒ ප්‍රශ්නවලට දුන් පිළිතුරු ඔහුගේ සිතින් මැකී ගොස්‌ තිබිණි.
බුදුන් වහන්ස, ඔබ වහන්සේගේ බුද්ධමහිමය පිළිබඳ අබැටක තරම් කුකුසක්‌ මට නැත. මේ වාස භවන තුළ මෙලෙස සිටිය හැකි කිසිදු ප්‍රාණියෙක්‌ පවා නැත. එහෙත් ඔබවහන්සේ කිසිදු බාධාවකින් තොරව මෙම භවනට පිවිස වැඩ සිටි අයුරු මම දිටිමි. දැන් මම ඔබ වහන්සේගෙන් අපගේ පරම්පරාවෙන් මට ලබාදුන් ප්‍රශ්න හතරකට පිළිතුරු ලබා ගැනීමටද වුවමනාය.
වහන්ස පුද්ගලයකුට ලද හැකි උසස්‌ම ධනය කුමක්‌ද?
ආලවකය, ශ්‍රද්ධාව සදිසි ධනයක්‌ මේ තුන් ලොවම නොවන්නේය.
කෙනකුට විඳිය හැකි අග්‍ර සැපයක්‌ තිබේද? ඉහළම රසයක්‌ තිබේද?
එසේය අග්‍ර සැපතක්‌ ඇත. ඉහළම රසයක්‌ ද ඇත. ලොව අග්‍ර සැප සාදා දෙන්නේ සද්ධර්මයෙනි. ඉහළම රසය නම් සත්‍යයයි.
තව එක්‌ පැනයක්‌ ඇත. ආලවක කීය.
“හොඳයි ඒකත් අහන්න. බුදුහු වදාළහ.
“බුදුන් වහන්ස, උසස්‌ ම ජීවිතය ලෙස හැඳින්විය හැක්‌කේ කුමක්‌ද?
“ආලවකය මේ මිහිපිට තිබෙන උසස්‌ම ජීවිතය නම් ප්‍රඥවෙන් ගෙවන ජීවිතයයි.
බුදුන් වහන්සේ විසින් තම ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මෙන්ම ඒවා විග්‍රහ කළ ආකාරයද ආලවකගේ සිත් පහන් කිරීමට හේතු විය.
මේ වනවිට රැය පහන්වෙමින් තිබිණි. අලුත් දවසක උදාව සිහි කරමින් සියොතුන්ගේ ගී නද ඇසන්නටද විය. තවත් මොහොතක්‌ ගත වෙද්දීම ආලවක භවනට පිරිසක්‌ ඇතුල් වන බව ඔහු දුටුවේය. ඒ තමන්ගේ දෛනික මිනිස්‌ බිල්ල රැගෙන එන රාජපුරුෂයන් බව එකෙණෙහිම ඔහුට සිහිපත් විය. ඔහුගේ සිතට සියුම් ලැඡ්ජාවක්‌ ද දැනුණි. ඔහු යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කර නැඟී සිටියේය.
රාජපුරුෂයෝ අන්ද මන්දව බලා සිටියහ. ඔවුන්ට කිසිවක්‌ වටහා ගත නොහැකි විය. හිරු රැසින් ආලවක භවනද දීප්තිමත් වෙමින් තිබුණි. විමසිල්ලෙන් ඇතුළ බැලූ රාජපුරුෂයන්ට දැක ගත හැකි වූයේ බුදුන් වහන්සේ හා බිම වාඩි වී සිටි කාන්තාවන් පිරිසකි.
තවත් මොහොතක්‌ ගත විය. රාජපුරුෂයෙක්‌ ඉදිරියට පැමිණ ආලවකයාට සුපුරුදු ලෙස නරබිල්ල පිදුවේය. හේ මහත් ආදරයෙන් මෙන් රජකුමරා දැතින්ම ගත්තේය. බුදුහු මෙත් සිතින්ම එදෙස බලා සිටියහ. ලියක්‌ නැඟිට, කුමාරයා අතට ගත්තේ ඉනික්‌බිතිවය. එවේලෙහි එහි සිටි අය අතින් අතට කුමරු මාරු වී ගියේය.
මේ වෙලෙහි සිහිවිකල්ව මෙන් තවත් ලියක්‌ එතැනට දිව ආවාය. ඒ එකුමරුන්ගේ මව වූ රජ බිසවය. ඇය විකල් සිහියෙන් මෙන් පුතු ගැන විමසා විලාප නැඟුවාය. එසඳ බුදුහු ඇය අස්‌වසා කුමරුන් නිරුපද්‍රිතව සිටින වග දැන්වූහ. ඇගේ සතුට ද නිම්හිම් නොවීය. බුදුන් වහන්සේ සියලු දෙනාටම දහම් දෙසූහ. සියලු දුක්‌ දොම්නස්‌ දුරු විය. ආලවක යක්‌ තෙමේ සෝවාන් බවට පත්ව සිටියේය. කුමරුන්ට හත්ථාලවක යන නමද ආදේශ විය. ඒ අතින් අතට ගිය හෙයිනි. බුදුහු පෙරළා ජේතවනාරාමයට වැඩියහ.

ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.