Skip to main content

296 මහාඅස්වාරොහක ජාතකය

තවද එක් සමයෙක්හි ධර්ම ස්වාමී වූ බුදුරජානන් වහන්සෙ දෙව්රම වෙහෙර වැඩ වසනසේක්. අනඳ මහ තෙරුන්වහන්සෙ අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,

වර්තමාන කථාව යට කියන ලද ජාතකය හා සදාශමය, පෙර නුවනැත්තෝ තමාට කළ උපකාර වශයෙන් අනුන්ටත් ප්‍රත්‍යුපකාර කළාහුමවේදැයි වදාරා මෙතැන්හි ඉකුත්වත් ගෙණ හැර දක්වා වදාළසේක.

යටගිය දවස පුරණ ලද බෝධි සමාහාර ඇති අප මහ බෝසතානන් වහන්සේ බරණැස් රජව දැහැමෙන් සෙමෙන් රාජ්ජය කරණ සමයෙහි දන්දෙන සේක. සිල් රක්ෂා කරණසේක. ඒ් රජානෝ පසල් දනවවක් කිපුනු බව අසා ඒ පසල් දනව්ව සන්සිඳවම්යි බල සෙනඟ පිරිවරා ගොස් යුද්ධයෙහි පැරදුනු ඒ රජ්ජුරුවෝ අසුටට පැන නැගී යුද්ධයටම සැරහුනු ඇමතියන් සිටි ගම් දොරින් ඇතුළු ගමට වන්නේය, ඔවුන් තිස්දෙන මේ කිමෙක්දැයි භයින් තැති ගෙණ ගොස් තම තමන්ගේ ගෙවලට වන්හ, එයින් එක් පුරුෂයෙක් තමාගේ ගෙට නොගොස් රජහට පසු ගමන් කොට අපගේ රජ්ජුරුවන් වහන්සේ යුද්ධයක් පිණිස ප්‍රත්‍යනත ජනපදයකට වැඩිසේක්වේද, තෙපි කවුරුද, රාජ පුරුෂයෙක්ද, චොර පුරුෂයෙක්දැයි විචාළේය. යහළු මම රාජපුරුෂයෙක්මි කීයේය. එසේවීනම් මා හා සමග ආව මැනවැයි කියා රජහු ගෙට කැඳවා ගෙණ ගොස් තමා හිඳිනා අස්නේ හිඳුවා සොඳුර මෙසේ එව මිත්‍රයානන්ගේ පය සෝදවයි භාය්‍ර්‍යාවන් ලවා පය සෝධවා තමන්ගේ ශක්ති පමණින් ආහාර දී මොහොතක් කල් සැතපුන මැනවැයි කියා සැතපෙන ගෙය අතුළේය. එහි රජ සැතපුනේය, ඉක්බිති ගම්වැස්සෝ අශ්වයෝ සන්නා හමුදා සක්මන් කරවා දිය පොවා පිට තෙල් ගල්වා ඔහු කෑයුතු තණ දුන්නේය. මෙසේ තුන් සතර දවසක් රජ්ජුරුවන් රක්ෂා කොට යහළු, මම නුවරටයෙමි කී කල්හි නැවත රජ්ජුරුවන් වහන්සේටද අසුටද කළ මනා සියළු වතාවත් කෙළේය. ඔහු විසින් කළ සත්කාර විඳ යන ඒ රජ කියනුයේ යහළු මම අශ්වාරෝහකයෙමි අපගේ නුවර මැද වන්නේය.

ඉදින් යම්කිසි කාරියක් කරණ කොට ගෙණ නුවරට එන්නෙහි වී නම් දකුණු දෙස මහ වාසල් දොර සිට මහ අශ්වාරෝහකයා කවර ගෙයක වාසය කෙරේදැයි විචාරව දොරටු පාලයාහට ඔහු කැඳවා ගෙණ අපගේ ගෙට එවයි කියා තමාගේ නුවරටම ගියේය. බල සෙනඟද නොදැක පිටිනුවර කඳවුරු බැඳ සිටියාහු. රජහු දැක පෙර ගමන් කොට පිරිවැරූවාහුය. නුවරට විදනා රජ්ජුරුවෝ දොරකඩ ඇතුලෙහි සිටිනා නගර පාලයා ලඟට මහ ජනයා එතනින් පහ කරවා කොල එක් පිටිසර ගම් වැසි පුරුෂයෙක් මා දක්නා කැමතිව ඇවිත් මහ අශ්වාරෝහකයාගේ ගෙය කොතැන්හි දැයි විචාළේ නම් තොපි ඔහුගේ අත අල්වාගෙණ ආයෙහි වී නම් එකල්හි තෙපි දහසක් ලබන්නෙහියයි කියා ගියේය. ඒ ගම් වැසි පුරුෂයා කලක් නුවරට නො ආයේය. ඔහු නොආ කල්හි රජ්ජුරුවෝ ඔහු වසන ගම කරවූ වර වැඩූහ. කරවුවර වැඩි කල්හිත් නොඑන්නේය. මෙලෙස දෙතුන් වරෙක කර වුවර වැඩිවිය. එසේද නොඑන්නේය. ඉක්බිති ගම් වැසි මනුෂ්‍යයෝ රැස්ව ඕහට කියන්නාහු. අය්‍ර්‍යයන් වහන්ස නුඹ වහන්සේ මහා අශ්වාරෝහකයන් ගෙට ආකල් තැන් පටන් වැඩි කරවූවර දීමෙන් පීඬා විඳ මෝ ඉවසාගත නොඑම්හ. එසේහෙයින් නුඹ වහන්සේ නුවරට ගියමැනවැයි මහා අශ්වාරෝහකයාට අපගේ වැඩි කරවූවර හැර වුවමැනවයි කීවාහුය. යහපත එසේවී නම් යෙමි කියා මාගේ මිත්‍රයා ලඟට සිස් අතින් යාම සුදුසු නොවන්නේය. උන්ගේ දරුවෝ දෙදෙනෙක් ඇත, ඒ දෙදෙනාටද මාගේ මිත්‍රයානන්ටද ඔවුන්ගේ භාය්‍ර්‍යයාවුන්ටද හිඳිනා පොරොනා දෑ හා ආභරණද මාගේ ගමනට පිළියෙළ කරවයි කීයේය. යහපත, පිළියෙල කරම්හයි කියා ඒ ගම්වැසි පුරුෂයෝ ඒ සියළු උපකරණ සැරහුය. එකියන උපකරණ හා තමාගේ ගෙයි පිසූ අසුරුලහළු ගෙණ ගොස් දකුණු දෙස මහවාසල් දොරට පැමිණ යහළුව, මේ නුවර මහා අශ්වාරෝහකයන්ගේ ගෙය කොතැන්හි දැයි දොරටු පාලයා අතින් විචාළේය, ඒ තෙම මා හා සමග එව, තොපට මහා අශ්වාරෝහකයන් දක්වමි කියා ඔහු අත අල්වාගෙණ රාජ භවනයෙහි දොරකඩට ගොස් දොරටු පාලකයා පසල් ගම්වැසි පුරුෂයා කැඳවාගෙණ ආයෙමියි කියා යැවීය.

රජ එපවත් අසා උන්තෙනින් නැගීසිට මාගේ මිත්‍රයානන් ඔහු හා සමග ආකෙණෙකුන් එත්වයි කියා යැවීය. රජ පෙර ගමන් කොට ඔහු දැකම ඔවුනොවුන් වැලඳ මට උපස්ථාන කළ යෙහෙලි ස්ත්‍රීද ඕ දරුවෝ නිරෝගී දැයි විචාරා අත අල්වාගෙන මතු මහල්තලයට ගෙණ ගොසින් ඒ ගම්වැසි පුරුෂයා දළපුඩුසේසත්යට රාජාසන මස්තකයෙහි ඉඳුවා අග්‍ර මෙහෙසිකා බිසවුන් කැඳවා සොඳුර අපගේ මිත්‍රයානන් පය සෝදවයි කීහ. එ බිසවද ඔහුගේ පය සේදුවාය. රජ ස්වර්ණහිංකාරයෙන් දිය වත් කෙළේය. බිසවු පය සෝදවා සුවඳ තෙල් ගැල්වුවාහුය. රජද යහළු අප කෑයුතු කිසි දෙයක් ඇද්දැයි විචාළේය. ඒ ගම් වැසි පුරුෂ තෙම කෑ යුතු දෑ ඇතැයි කියා පසුබියෙන් ඇසුරුලහළු නිකුත් කෙළේය. රජ රන්තලියෙන් ගෙන ඔහුට සංග්‍රහ කරන්නේ මාගේ මිත්‍රයා විසින් ගෙණ ආ දෑ අනුභව කරවයි කියා බිසවුන්ට ද අමාත්‍යයන්ටද දෙවා තෙමේත් අනුභව කෙළේය. නැවත අන් පඬුරු දැක්වූයේය. නැවත රජ ඔහු සිත් ගන්නා පිණිස හන්පෙරවී කසී සළුව හැර ඔහු ගෙනා වස්ත්‍රයක්ම හැන්දේය, බිසවුද අමුතුව ගෙණා වස්ත්‍රාභරණයන් හැඳ පැලඳ ඉක්බිති ඔහු රාජ භෝජනය අනුභව කරවා මොහු කැඳවා ගෙණ ගොස් මට මෙහෙකරණ පරිද්දෙන්ම කරකම් කරවා සුවඳ දියෙන් නාවා ලක්ෂයක් අගනා කසී සළුවක් හඳවා රාජාභරණයෙන් සරහා ගෙණවයි කියා එක්තරා අමාත්‍යයෙකුට නියෝග කෙළේය. ඒ අමාත්‍යයාද එපරිද්දෙන්ම සරහා ගෙණ ආයේය.

ඉක්බිති රජ්ජුරුවෝ නුවර බෙර හසුරවා ඇමතිගණයා රැස් කරවා ධවලාත පත්‍රයාගේ මැද්දෙහි හිඳ හිගුල්මස සූත්‍රයක් හෙලා අධිරාජ්ජය දුන්නේය. ඔහු දෙදෙන එතැන්පටන් අන්නපානාදිය අනුභව කිරීම් වශයෙන් යන එන ක්‍රියාවන් එක්පවත්වන්නාහ. කවරක්හු විසින් හෙද කොටගත නොහැක්කාවු විශ්වාසය ස්ථිර විය. ඉක්බිති ඔහුගේ අඹු දරුවන්ද නුවරට ගෙන්වා ඇතුළු නුවරෙහි ගෙවල් තනවා දුන්නේය. ඔහු දෙදෙන සමගි සතුටුව රාජ්ජය කෙරෙති. ඉක්බිති අමාත්‍යයෝ කිපී රාජ කුමාරයන්ට කියන්නාහු කුමාරයන් වහන්ස අපගේ රජ්ජුරුවන් වහන්සේ එක් පිටිසර වැසියෙකු ගොවියෙකුට රාජ්ජයෙන් අඩක් දී ඔහු හා සමග අනනපනාදිය එක්වා පවත්වන සේක. රජ කුමරුවන් ලවා නමස්කාර කරවනසේක. මේ ගොවියානන් විසින් රජ්ජුරුවන් වහන්සේට ගිය දවස කළ කෙළෙහි ගුණයක් අපි නොදනුම්හ, රජ්ජුරුවන් වහන්සේ කුමකින් කුමක් කරන බවත් නොදැන ඉදිරියේ සිට කිවූය. එබස් රාජ කුමාරයෝ යහපතැයි කියා පළිගෙණ ඒ සියළු කථා ප්‍රවෘර්ති රජ්ජුරුවන්ට දක්වා මහ රජ්ජුරුවන් වහන්ස මතු යෙබදු දෙයක් නොකළ මැනවැයි කීයේය. එබස් ඇසූ රජ පුතනුවෙනි මම යුද්ධයෙහි පැරදුනේ නම් කොතැන්හි වාසය කෙරෙම්ද ඒ විසූ තැන් තෙපි දනුදැයි විචාළේය. දේවයන්වහන්ස අපි නොදනුම්හ. කී බස් අසා කියනුයේ මම මොහුගේ ගෙයි වාසය කරන්නෙම් නිරෝගිව අවුත් දැන් මේ බරණැසෙහි රාජ්ජය කෙළෙමි. මෙසේ මට උපකාර වුවන්හට ප්‍රත්‍යපකාර වශයෙන් කවර සැපතෙක් නොදෙම්ද මෙසේද කියා වනාහි මහ බෝසතානන් වහන්සේ යම් කිසි සත්ව කෙනෙක් පෙර තමාට අනුපකාරී සත්වයන් කෙරෙහි දියයුතු වස්තු නොදෙද්ද එබඳුවූ සත්ව තෙම ආපදාත්‍ර්‍ථ දුකට පැමිණියේ. නමුදු මිත්‍රයන් විසින් කළයුතු සහායකට නොපැමිනෙන්නේ මෙයින් නොදිය යුතු සත්වයනන් ගුණ ප්‍රකාශ කොට කියනසේක්. යම් සත්වයෙක් පළමු තමාට උපකාර නොකළ සත්වයන් කෙරෙහි දියයුතු වස්තුව නොදේද කෘතෝපකාරී සත්වයන් කෙරෙහි දියයුතු වස්තුවදේද එතෙම ආපාදාත්‍ර්‍ථයෙහි දුකට පැමිණියෙමි මිත්‍රයන් විසින් කළ යුතුවූ සහායකට පැමිණෙන්නේය. නොපිරිසිදු කාය වාක් සමාචාර ඇති ශඨ ප්‍රයෝග දන්නා මනුෂ්‍යයන් කෙරෙහි දියයුතු දානසීලාදී සුචරිත ධර්මයෙහි එක්ව යෙදීමද පංචකාම සමාප්තතිය සමඟ අනුභෝග කිරීම මොහු විසින් මට විශේෂයෙන් උපකාර කෙළේය. යන මේ සියල්ල නසින්නේයයි පිරිසිදු කායවාක් සමාචාර ඇති සෘජුවූ සිත් ඇති සත්වයන් කෙරෙහි කරණ දෙය ස්වල්ප වූ උපකාරයන් නමුදු මහත් ඵල මහානිසංස වන්නේයයි දක්වන ආචාය්‍ර්‍යවරයෝ.

යථාබීජං අගගිසමිං ඩයහති නවිරූහති

එවං කතං අසපපුරිසෙ ඩයහති නවිරුයහති.

කතඤඤමහිව පොසමගි සීලවනෙත අරියවුතතිකෙ

සුඛෙතෙත විය බීජාන කතං තමහි නනසසති.

යම් සත්වයෙක් මේ ලෝකයෙහි පළමු කල්‍යාණ සුචරිත ධර්මයක් කෙළේද එබඳු සත්වයන්ගේ ලැබීම අතිශයින් දුෂ්කරය. පසුව අන්කිසි උපකාරයක් කෙළේය. හෝ වෙයි පළමු කළ ගුණයෙන්ම අතිශයින් සියළු සත්කාර සම්මානාදී පූජාවට සුදුසු වන්නෙයයි කියා රාජකුමාරයාට කීහ. මෙබස් කාරණයෙන් ඇසූ රාජ පුත්‍රයා වනාහි අමාත්‍ය ජනයාහට කිසි බසක් නොකීයේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා මේ මහා අශ්වාරෝහක ජාතකය නිමවා වදාළසේක.

එකල්හි පසල් දනව්වැසි පුරුෂයා නම් ආනන්ද ස්ථවිරයෝය, එසමයෙහි බරණැස් රජ නම් දැන් තිලෝගුරු බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.