Skip to main content

290 තෘතිය බක ජාතකය

තවද හුදු සද්ධර්මයෙන් මවාලු රුවක් වැනිවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි උපසේන නම් මහතෙර කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව සුත්‍රපිටකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. උපසේන ස්ථවිරයන් වහන්සේ බාලවහන්දෑ එක් කොටගෙණ දුස්සීලව වාසයකරණසේක. සර්වඥයන් වහන්සේ එපවත් දැන කෝපකොට වදාළසේක. උපසේන මහතෙරුන් වහන්සේ භාවනාකොට ධ්‍යාන උපදවා රහත්ව තෙලෙස්ධුතාංඟධරව වාසය කරණ කල්හි එක් දෙදෙනකුන් වහන්සේගේ විවාදය නිසා බුදුහූ පාටලිවනයට වැඩ වාසය කරණ සේක් එසමයෙහි උපසේන නම් මහතෙරුන්වහන්සේ ධුතාංඟධරව වහන්දෑ ඇරගෙණ සර්වඥයන් වහන්සේ කරා පාටලීවනයට වැඩිසේක.

සර්වඥයන් වහන්සේ ධුතාංඟධර වහන්දෑ විනා නොවන වහන්දෑ මා දකින්නට නොඑත්වයි වදාළසේක. එවිට ධුතාංඟධර නොවන වහන්දෑ පාංශූකුලචිවරය පෙරවා ධුතාංඟධරව සර්වඥයන් වහන්සේ දුටුසේක, භික්ෂූන් වහන්සේ බුදුන් ජේතවනාරාමයට වැඩිය පසු ඒ පාංශු කූල චිවරයත් හැරතෙළෙස් ධුගාංඟයත් හළසේක. එවිට බුදුහූ වදාරණ සේක් මුන් හැමගේ සිල්රක්ෂා කිරීම බකනම් සිව්පාවා රැක්කාවූ සීලය මෙනැයි වදාළසේක. ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යකරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්‍රදේවේන්ද්‍රව උපන්නාහ. එසමයෙහි බකනම් සිව්පාවෙක් ගඟක් අසලක පිටුපහණෙක වාසය කරන්නේය. ඒ ගඟ වතුර ඇවිත් ගල්පොත්ත වටකොට මහවතුර ගලාගෙන එනවිට බකකම් සිව්පාවා සිතන්නේ මෙතනින් මා බැනනොනැගී උන්නේය. එවිට ශක්‍රයෝ මුගේසී ලය පරීක්ෂා කරන්ට උවමැනවයි සිතා එළුවෙසක් මවාගෙණ ලඟට ආවාහ. එ විට බකනම් සිව්පාවා එළුවා කම් සිතා පිටට පැනපීය. ශක්‍රයෝ අන්ත්‍රස්ධාන වූ සේක. දෙනුවනුත් ගල්ලෑල්ලට නැගී මට ප්‍රාණඝාතය සිද්ධනුවුහෙයින් මාගේ සීලය ඛණ්ඩ නුවුයේයයි සිතා උන්නේය. එවිට ශක්‍රයෝ දිව්‍යාත්මභාවයෙන් සිට මේ තෝ සිල්රක්ෂාකරණ මනාදැයි කියා දෙව්ලොව ගියහ. ඒ අර්ථය දක්වන සර්වඥයන්වහන්සේ වදාරණසේක් භික්ෂූහූ මා එළඹ සිටිනාතුරු ධුතරාංඟධරයම්හයි කියා අඟවා මා ජේතවනාරාමයට වැදුනාම පාංශුකූල චිවරය හැර ධුතාංඟත් අළහ. මුන් රැකී සීලය නම් බකනම් සිව්පාවා එළුවා පිටට පැන වැරද ගියකල්හි මට ප්‍රාණඝාතය සිද්ධනොවුයේය. මාගේ සීලය ඛණ්ඩනුවුයේයයි සිතා උන් බකනම් සිව්පාවා මෙනැයි බොහෝ භික්ෂූන් වහන්සේට බණ වදාරා සීලය රක්ෂා කරණ කල නම් සිල්රක්නා පරිද්දෙන් සුසික්‍ෂිතව සීලය රක්ෂා කල මැනවැයි අවවාද වදාරා මේ බකජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි ශක්‍රදේවේන්ද්‍රව උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.