278 මණි සූකර ජාතකය

තවද ඉරුට වඩා තේජො ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සුන්දරී පරිබ්‍රාජිකාව අරභයා මේ ජාතකය දක්වන ලදි.

සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සර්වඥයන් වහන්සේට ලාභ සත්කාර මහතැයි තර්කයන්ට ලාභ සත්කාර මඳ එසේ හෙයින් තීර්ථකයෝ එක්ව ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් උපද්දවා ලාභයෙන් පිරිහෙලම්හයි සිතා අනික් කෙණෙකුන්ට බැරිය. සුන්දරී පරිබ්‍රාජිකාව රූපයෙන් යෞවනයෙන් යහපත්ව ඉඳිනීය. ඈ විෂයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් උපද්දවම්හයි සිතා උන්කලට සුන්දරී පරිබ්‍රාජිකාවෝ නිගණ්ඨනාථ පුත්‍රයන් දිකින්ට ගොසින් වැඳලා සිටියහ. නිගණ්ඨයෝ උන්ට බසකුත් බැණ නොනැගී උන්නාහ. එවිට සුන්දරී පරිබ්‍රාජිකා කියන්නී ඇයි ස්වාමිනි බැණ නොනැගී වැඩ ඉඳිනේ සිතට කුමන වික්‍ෂේපයෙක්දැයි විචාළීය. එවිට නිගණ්ඨයෝ කියන්නෝ ඇයි තොපට නොදැනේද ශ්‍රමණභවත් ගෞතමයන් අපට වන ලාභ සත්කාරත් විය නොදී අප මූන දැලි ගා අපට කරණ නිසරු තොපි නොදනුදැයි කියා ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ට කිළුටක් උපදවා පියාතොත් තොප විනා අනික් කෙණෙකුන්ට බැරියයි ඒ නියාවට තොපි යහපත් රූපශ්‍රී ඇත්තී දන්නා යම් උපායක් කොට උන්ට කිළුටක් උපදවයි කියන්නා ඔයිත් යහපත ස්වාමිනි කියා එදවස් පටන් උපාසකවරුන් ජේතවනාරාමයට ගොස් බණ අසා රූ එනකලට තොමෝත් ගඳ දුම් මල් පහන්ගෙණ බුලත් පුවක් ගෙණ කඩක්ගෙණ ඇතිරී කොට්ටත් ඇර ගෙණ ජේතවනාරාමයට යන්නාක්මෙන් අඟවා යන්නීය. ඈ දැක උපසකවරු ඇයි තෝ මේ වෙලේ කොයියෙහි දැයි විචාරති. ඕද ජේතවනාරාමයේ ගඳකිලියේ මාත් වාසයකරන්නේයයි කියයි. නිදානැඟිත් උපාසකරු එන්නාට පළමු ඉවත නිගණ්ඨයන් වාසය කරණ තෙනක ලැග ගමට බැස කොයි සිට එව්දැයි විචාළ කලට ජේතවනාරාමයේ ගඳකිළියෙහි ලැග එමියි කීයයි. මේ නියායෙන් බොහා්දෙනා දකිනා නියායෙන් ඇවිද කල්යවා බොහෝ දෙනා සැක උපන්පසු නිගණ්ඨයෝත් සෙරුන්ට අත්ලස්දී ඒ සුන්දී පරිබ්‍රාජකාව අල්වා මරා සර්වඥයන් ශ්‍රාවකයන් මැරූවා කොට අඟවා ජේතවනාරාමයේ ගඳ කිළියේ මල් දමන කසලගොඩ පීරාලවා නිගණ්ඨයෝ රජ්ජුරුවන්ට කියන්නාහූ සුන්දරී පරිබ්‍රාජිකාව දැන් දකින්නේ නැත. යම් යම් කෙනෙකුන් මරාපු බවත් නොදැනෙයි, රජ්ජුරුවන්ට කියා අමාත්‍යයන් ගෙණ නුවර මුළුල්ල බලා ජේතවනාරාමයට ගොස් පරීක්ෂාකොට මල්කසල යට තිබුනු මිනිය ඇද එලියේලා ඇඳල ලාගෙන රජ්ජුරුවන්ට ගොසින් පෑහ. රජ්ජුරුවෝත් ශ්‍රමණ නියායෙන් සුසුන භූමියේ තබවයි කියා මුලුනුවර ආරියශ්‍රාවකයන් හැර සෙසු බොහෝදෙන එතනට රැස්ව ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් කළද බලවයි ඒ ඒ තැන සිට බණන්නාහ. එපවත් භික්ෂූන් වහන්සේ සර්වඥයන්වහන්සේට දැන්වූවාහ. සර්වඥයන් වහන්සේ වදාරණසේක් වැරුද්ද කළ කෙණෙකුන්ට ආක්‍රෝශය කියන පමණක් විනා නිවරදි සත්වයන්ට කවරෙක් කිවත් තමාට ප්‍රයෝජන කිම්දැයි කියවයි වදාළසේක. කෝසල රජ්ජුරුවෝ කියන්නාහූ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවකයන් වහන්සේ මිනියක් නොමරණ සේක. මිනිය මැරුවන් විචාරා නියම් කරන්ට උවමැනව වදාළ කල්හි අමාත්‍යයෝ මිනිය මැරුවන් පරික්ෂාකරන්ට නියෝග කළ කල්හි නිගණ්ඨයන්ගෙන් මසුරන් පන්සියයක් අත්ලස් ඇරගෙණ මිනිය මැරූ වන් පරීක්ෂා කරන්ට නියෝග කළ කල්හි නිගණ්ඨයන්ගෙන් මසුරන් පන්සියයක් අත්ලස් ඇරගෙණ මිනිය මැරූ සොරුන්ගෙන් සමහර කෙනෙකුන් එකියන රන් දිලා රා මස් ආදිය ගන්නාහ. රන් නොලත් සොරු කියන්නාහූ එක් මිනියක් මරා ලත් රනින් අපටත් සරියේ නොදි තුමූම ප්‍රයෝජන ගන්නාහයි සියල්ලවුන්ට ඇසෙන නියායෙන් කීබස් අමාත්‍යයෝද අසා මෙකියන සොරුන් ගෙණගොස් රජ්ජුරුවන් වහන්සේට පෑ කල්හි මෙකියන මිනිය කවුරුත් කියමනකින් මැරූදැයි විචාළ කල්හි නිගණ්ඨයන්ගෙන් අත්ලස් ඇරගෙණ මිනිය මැරූම්හයි කී කල්හි එකියන නිගණ්ඨයන් ගෙන්වා විචාරා සැබැවයි නිගණ්ඨයන් කි කල්හි එබස් අසා රජ්ජුරුවන් වහන්සේ එකියන මිනිය ගෙන්වාගෙණ මිනිය නිගණ්ඨයන්ගෙන් ඉස තබා එනුවර විථියක් පාසා කියා ඇවිදින්නාහු මේ මිනිය සර්වඥ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේ නොමැරූසේක. ඔබ වහස්සේගේ සර්වඥයන් වහන්සේ නිෂ්ප්‍රභාකරණ පිණිස අපිය මැරුමෝයයි කියවයි කියා විථියක් පාසා ඇවිදුවයි කියා යවු නියාව සියලු සත්වයෝ අසා සර්වඥ ශාසනයට බොහෝ ශ්‍රාවකයන් වහන්සේ නිශ්ප්‍රභා කරන්ට සිතා නිගණ්ඨයෝ තුමූම නිෂ්ප්‍රභාවුවෝ වේදැයි ශ්‍රාවකයන් වහන්සේ කියා කියා වැඩඋන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තවය උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි යම්සේ සිංහයාගේ ඡායාව නොපෙණන පරිද්දෙන් උන් ගුහාව කිළුටුකරන්නට වැද කිළුටු කොටගත නුහුනුවාක්මෙන් සර්වඥයන් කිළුටුකොටගත නුහුනුවෝ වේදැයි වදාරා ඒ භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා බමුණු කුලයක ඉපිද පංච කාමයෙහි ආදිනව දැක ගිහි භාවය හැර හිමාලය වනයට වැද සත්පර්වත වලල්ලක් ඇතුළුපිට තාපසව වාසය කරන්නාහ. බෝධිසත්වයන් වසන්නාවූ ස්ථානයට නුදුරු තැනක වෛඩූර්ය මාණික්‍යයමය ගුහායෙහි උපන්නාවූ ඌරෝ තිස්දෙනෙක් වාසය කරන්නාහ. ඊට ඔබ්බේ ගුහායෙක සිංහයෙක් වාසය කෙරෙයි. එර් සිංහයාගේ ඡායාව වෛඩුර්ය ගුහායෙන් පෙනෙන්නේය. ඌරෝ සිංහයාගේ ඡායාව දකිමින් දවස්පතා භයට පැමිණෙන්නාහ. එවිට ඌරෝ සිතන්නාහූ මේ ජායාව මකන්ට උවමැනවයි සිතා මඩෙහිගැලී ඇවිත් ඒ ගුහායේ ඇඟ උලන්නාහ. මේ නියායෙන් මඩ හා ඌරන්ගේ ලොම් වැද ගැණිමෙන් මැණිකේ ඡායාව ආදි නියාවටත් දියුණුව බබලන්ට වන. ඌරෝ මේ නියායෙන් උත්සහ කොට ඒ පර්වත කිළුටුකොටගත නොහි එන්නාහූ තාපසයන් කරා ගොස් මීට උපායක් විචාරම්හයි සිතා තාපසයන් වහන්සේ අපි මේ වෛඩූර්ය ගුහායේ සත් අවුරුද්දක් විතර වාසය කළම්හ. අපි වසන්නාවූ ගුහාවට නුදුරු තැනක සිංහයෙකු වාසය කරන්නේය. සිංහයාගේ ඡායාව පර්වතයේ වැටි අපට දවස් පතා භය බැවින් උපදවයි. එසේ බැවින් පර්වතය කිළුටු කරන්නටයයි කියා මඩගා උලාත් පර්වතය කිළුටුකොට ගත නුහුනුවම්හ. ඊට අපට උපායක් කියන්නේ යහපතැයි සිතා තාපසයන් වහන්සේ අතින් උපයාක් විචාළාහ. තාපසයෝ කියන්නාහූ ඌරු ලොම් හා මඩ වැද ගැණීමෙන් පර්වත ඔහය පවත්වන පමණක් විනා කිළුටු කොටගත නොහැක. මේ උපායෙක් නොවෙයි තොපි ඇම මේ ගුහාව ඇරපියා භය ඇත්නම් ඔබ්බකට පලායවයි කීහ. යහපතැයි ඌරෝ ඔබ්බට ගියහ. බෝධිසත්වයෝත් නොපිරිහුනු ධ්‍යාන්‍යයෙන් පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා බඹලොව ගියහයි වදාරා මේ මණිසූකර ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි තාපසව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.