277 සිරි ජාතකය

තවද යුගන්ධර සාගරය සේ අනන්ත වූ ගුණ මුහුදට ගලායන්නාවූ සියුම් නුවණ ඇති සර්වඥහන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ශ්‍රී දන්නාවූ බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදී.

මෙහි වර්ථමාන කථාව දුකනිපාතයෙහි ඛදිරභාර ජාතකයෙහි විස්තර වසයෙන් පෙණෙන්නේය. අනේපිඬූ මහා සිටානන්ගේ සතරවන දොරටුවේ වාසය කරණ මිත්‍යා දෘෂටිගත් දේවතා දුවෙක් ඇවිත් අනේපිඬු මහා සිටානන්ට කියන්නේ තොපි පොහොසත් දා සිව්පණස් කෙළක් ධන වියදම් කොට බොහෝ දන් පින් කළහ. දැන් සම්පත් වියදම්ව ගියහ. එහෙයින් දැන් පින් කරන්ට දුක්පත්ව ගියාහ. එසේ හෙයින් දන් පින් නොකරවයි දේවතා දූ කියන්නී, අනේ පිඬු මහ සිටානෝ, තී මාගේ දොරටුවේ වාසය කරන්ට බැරියයි නෙරපූවාහ. එවිට දේවතා වූ නුවර අරක්ගත් දේවතාවාට සහ සතරවරම් දෙවියන්ට හා ශක්‍රයන්ට කිව, එකියන දේවියෝ අපට බැරියයි කියන්නා තොමෝ අනේපිඬු මහාසිටානන්ට සිවුපණස් කෙළක් සම්පත් දී බුදුන් මැදයේ අනේපිඬුමහාසිටානන් සමා කරවා ගෙණ සෝවාන් ඵලයට පැමිණියාහ. ඉක්බිති අනේපිඬු මහා සිටානන් පොහොසත්ව මහ සම්බත් ඇතිව ඉන්නා අවස්ථාවට ශ්‍රී දන්නා බමුණෙක් අනේ පිඬු මහාසිටානන් ශ්‍රී ඇරගන්ට උවමැනවයි සිතා ගෙට ගියේය. එවිට අනේ පිඬුමහා සිටානෝ ඒ බමුණා දැක දන්දී ඉඳ ඇයි?. බමුණා ආයේයයි විචාරන්නා බමුණා කථා කරමින් සිතන්නේ මේ සිටානන්ගේ ශ්‍රී කොයි දැයි පරීක්ෂාකරන්නේ සිටානන්ගේ ගෙයි ඇලි කුකුලෙකු දැක සිතන්නේ සිටානන්ගේ ශ්‍රී මේ ඇලි කුකුලාගේ කරමලේයයි සිතා සිටානෙනි මා ලඟ අකුරු කරණ අතවැස්සෝ පන්සියයක් ඇත. ඒ අතවැස්සන් ශාස්ත්‍ර පිරුවන්ට වේලා වරද්දා අඬන යම් කුකුලෙක් ඇත. එසේ හෙයින් ශාස්ත්‍ර පිරිහෙයි, වේලා නොවරද්දා අඬ නගන නියායෙන් තෙල ඇලි කුකුලා මට දෙවයි කියා ඉල්වුහ. යහපතැයි කියා ඇලි කුකුලා දුන්නාහ. ඒ වෙලෙහි ශ්‍රී ගොසින් සිටානන්ගේ සිරෝමාණික්‍යයෙහි පිහිටියේය. එවිට බමුණා සිරෝමාණික්‍යය ඉල්විය. සිටානෝ සිරෝමාණික්‍යය දුන්නාහ. එවිට ශ්‍රී ගොසින් අන්තරයෂටියෙහි පිහිටියේය. එයිත් අන්තරයෂටිය ඇරගත, එවිට ශ්‍රී ගොසින් සිටානන්ගේ අග්‍රමහේසිකා සිටුදියනියන්ගේ ශරීරයෙහි පිහිටියාහ. එවිට බමුණෝ කියන්නේ සිටානන් වහන්ස නුඹ වහන්සේහේ ශ්‍රිය ඇර ගන්ට යයි කියා ඇවිත් කුකුලා ඉල්විම්. ඇලි කුකුළා ගන්නා සිරෝමාණික්‍යයෙහි පිහිටියාහ. එසේ හෙයින් සිරෝමාණික්‍යයත් ඇරගතිමි. සිරොමාණික්‍යයෙන් ගොස් අන්තරයෂ්ටියෙහි පිහිටියාය. එවිට අන්තරයෂ්ටියත් ඇර ගතිමි.

අන්තරයෂඨියෙන් ගොස් තොපගේ අග්‍රමෙහෙසිකා සිටුදුවගේ ශරීරයෙහි පිහිටියාය. එවිට බමුණා සිටානන්ට කියන්නේ සිටානෙනි තොපගේ ශ්‍රී ඇරගන්ටයයි කියා ආමි. තොපගේ ශ්‍රී මා තිබා කවුරුන් විසිනුත් ඇරගත නොහැක්ක. එසේ හෙයින් එකියන ශ්‍රීත් සියළු සම්පතුත් නුඹ වහන්සේම වින්ද මැනැවැයි කියා ගියේය. එවිට සිටාණෝ මේ බමුණා කී නියාව සර්වඥයන් වහන්සේට කියන්ට උවමැනවයි සිතා සර්වඥයන් වහන්සේට ගොසින් මේ නියාව සිටාණෝ දැන්වූහ. සර්වඥයන් වහන්සේ වදාරණසේක් තමාගේ පිණින් සම්භවවු සම්පත් කව්රුන් විසිනුත් හැරගත නොහැක්ක. පෙරත් උත්තමයන්ගේ පිණින් සම්භවවු සම්පත් උත්තමයන් නිසා තාවුරුවුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ තාපසව ඉපිද බරණැස් නුවර වාසය කරන්නාහු එනුවර වාසය කරන්නාවූ හසත්‍යාචාර්යයෙක් බෝධිසත්වයන්ට සතරපසයෙන් සංග්‍රහ කරන්නේය. එසමයට එනුවර දරකැටියෙක් වලට ගොස් දරපළාගෙණ එන්නේ නුවරට වදින්නට රෑවගිය හෙයින් එක් දේවාලයක සැතපුනේය. ඒ දේවාලය සමීපයෙහි ගසෙක කුකුළෝ දෙන්නෙක් උඩනැගී වැදහොත්තාහ. අළුයම්වේලේ අගඅත්තේ වැදහොත් කුකුළු අඬනගා වර්චස් කරන්නේය. පාත අත්තේ වැදහොත් කුකුළාගේඉස වර්චස් කළෝයයි කියන්නා අග අත්තේ වැදහොත් කුකුළු කියන්නේ මම නොදැන වර්චස් කෙළෙමියි කියා දෙවැනිව එරකියන කුකුළුගේ ඉස වර්චස් කෙළේය. එවිට පාත වැදහොත් කුකුළා කියන්නේ පළමු නොදැන වර්චස් කෙළෙහිය. දෙවනුව වර්චස් කලේ අයිදැයි කියා උනුන්හා කලහ . ඇයි මාගේ තත්වය නොදැනුද?. යම්කෙණෙක් මා කවුනම් මසුරන් දහසක් ලබති කිය. උඩ අත්තේ වැදහොත් කුකුළු කියන්නේ තාගේ මසුරන් දහසක් ලබති කීය. උඩ අත්තේ වැදහොත් කුකුළු කියන්නේ තාගේ මාංශවිපාක මෙතෙක් වේද යම්කෙණෙක් මාගේ මාංශ කැවු නම් රජ වති ලගු මාංශය කැවුනම් සෙනෙවිරත් වෙති. ඇටමුසු මාංශය තාපස කෙණෙක් කැවු නම් රාජා කුලුපග වෙති. යම් ස්ත්‍රියක් කැවු නම් අග්‍රමෙහෙසිකා වෙති කීය. එබස් දාරකැටියා අසා ඒ කුකුළා ගසට නැගී අල්වාගෙණ තමාගේ ගෙට ගෙණ ගොස් කුකුළා මරා මස්කොට අඹුවට දී තෙල කුකුළා මාලු පිස බතුත් පිසවා මේ කුකුළු නම් අලිසම් දෙයක් නොවෙයි. මේ කුකුළු මස් කෑ කෙනෙක් රාජ්ජයට පැමිණෙති. එසේවූ මාංසය ඉසසෝධා නහා කන්ට උවමැනවැයි අඹුවත් කැන්දාගෙණ බස් හා කුකුළු මසුත් ඇරගෙණ ගඟට ගොස් බස් මාලු වැල්ලේ තබා ගඟට බටහ. ඒ වෙලාවට උඩුගඟින් වතුර ඇවිත් බත් සැළ හා මාළු ඟඟ වතුරේ ගෙණ යන්නේ ගඟ පාත ඇත්හලට නායක වූ අමාත්‍යයා හා ඇත්හල ඇතුන් නාවන තැනට පැමිණියේය.එය දැක ඇත්හලයෙක් අමාත්‍යයාට ගෙණ ගොස් දින. අමාත්‍යයොත් ඒ කුකුලු මාලු හා බත් දැක තෙල අලවි නොකොට තබන්ට කියවයි කියා ගෙට යවුහ. ඒ දරකැටියා වැලි මිටක් හා මාලුවට පැන් කටක් බී ගොඩ නැන්ගේය. ඒ අමාත්‍යයාගේ කුලුපග තාපසකෙණෙක් ඇත්තාහ. ඒ තාපසයන්ට දිවස් ඇත්තේය. ඒ කුකුලු මස් දිවසින් දැක මා එතනට ගොස් මාගේ මේ අමාත්‍යයා කුකුලු මස් කෑවා රාජ්ජයට පමුණුවා මා ඔවුන්ට කුලුපග තාපස උවමැනැවයි අමාත්‍යයා එන්නට පළමු තාපසයා ගොස් ඇත්හලට නායක අමාත්‍යයාගේ ගෙයි ගොසින් උන්නාහ. ඒ වෙලාවට අමාත්‍යයා ගොට අවුත් තාපසයන්ට බත් පිළිගන්වා කුකුලු මාලු පිලිගන්වන්ට වන. එවිට තාපසයෝ කියන්නාහූ මා විධාන කළ කල මාලු පිළිගන්වන්නේයයි කියා උත්තම මාංසය ඇත්හල නායකයන්ට කන්ට සලස්වා මධ්‍යම මාංසය උන්ගේ ඇඹෙනියන්ට අනුභව කරණ නියායෙන් සලස්වා තුමු ඇට මාංසය අනුභවකොට උපාසකය අදට තුන්වෙනිදා තොපට රාජ්ජය පැමිණෙයි සුවපත්වයි කියා ගියහ. ඉක්බිති කෝසල රජ්ජුරුවෝ බරණැස් නුවර ගන්නා පිණිසයයි සටනට අවුත් නුවර වටකොට ගත්හ. එවිට බරණැස් රජ්ජුරුවෝ තුමූ සේනාවට විධානකොට සේවාකම් කරන්ට උවමැනවයි කියා ඇත්හල නායකයන්ට සේසත් නන්වා ඇතුපිට ඉඳූවා තුමු සේනාව මධ්‍යයෙහි සිටියාහ. ඒ වෙලාවට පරසතුරන් ගෙන් එකෙකු විදි ඊදණ්ඩකින් රජ්ජුරුවෝ විත්කා ජීවිත විනාසයට පැමිණියාහ. එවිට සේනාව රජ්ජුරුවන් නැසුනු නියාව දැන පසු බසින්ට වන්හ. එවිට ඇත්හල නායකයා මම වසතු දෙමි තොප සටන් කරවයි කීහ. එවිට සේනාව සටන් කොට පරසතුරන් සිඳුවා තමන්ගේ මළාවූ රජ්ජුරුවන් ආදාහනය කරවා රාජ්ජයට කවුරුන් තබමෝදැයි කථාකොට රජ්ජුරුවන් වහන්සේ ජීවත්ව ඉඳම ඇත්හල නායකයන්ට රාජ්ජය පමුණුවන ලදහ. උන්වහන්සේ මළ පසුත් සේනාව හා සටන් කොට සතුරන් පරාජයට පමුණුවා අපට වැඩ කරණලද. එසේහෙයින් මෝහටම රාජ්ජය පමුණුවම්හයි රාජ්ජයට තබා උන්ගේ බිරිඳ අග්‍රමෙහෙසිකා කොට සලස්වා තාපසයෝ රාජකුලුපගව තාපසකමට සැරසුනාහයි වදාරා බුදුව වැඩ ඉඳ වදාරණසේක් ගෘහපති පුත්‍රය මේ ලෝකයෙහි සත්වයන්ට කුසලය හා සදෘශවූ ආකාරයෙක් නම් නැත. පිනැතිවුන්ට අනාකරයේ රත්නයන් උපදිති. එසේහෙයින් මේ කුසලය නම් දේවමනුස්සානං, දිව්‍යමනුෂ්‍යයන්ට, සබ්බකාමදදෝ ඉෂ්තාත්‍ථිය ඉෂ්ටකරන්නාවූ නිධි නිධානයක් හා සමාන වන්නේය. යං යං එව, යමක් යමක්ම, අභිපත්‍ථෙනති, සිතින් පාර්ථනා කළාහූ වීනම්, සබ්බං ඒ සියල්ල එතෙන මේ කුසලය කරණ කොට ගෙණ ලබ්භති, ලැබෙන්නේය. සුඝණ්ඨානතා මනාවූ වර්ණ සංස්ථාන ඇති බවද, සුරූපිතා මනාවූ රූපසම්පත්ති අති බවද, අධිපච්චපරිචාරො සියල්ලන් මැඩපවත්නා ආකාරයෙන් පවත්නාවූ අධිපතිභාවය හා පිරිවර ලබ්භති ලැබෙන්නේය. මානුසිකව සම්පත්ති මනුෂ්‍ය ලෝකයේ ඉපද අනුභව කටයුතු වූ සම්පත්තියක් ඇද්ද. දෙවලොවකොව යාරති දිව්‍යලෝකයෙහි ඉපිද සම්පත් අනුභවකරන්නට හේතු යම් ඇල්මෙක් ඇද්ද, යාචනිබ්බාන සමාපත්ති කෙළවර අර්හත් ඵලවසානයෙහි වින්දයුතුවූ යම් නිර්වාණ සම්පත්තියක් ඇද්ද, සබ්බං ඒ සියල්ල එතෙන මේ කුසලබලය හේතු කොටගෙණ ලබ්භති ලැබෙන්නේය.

මිත්ත සම්පද මාගමම, කල්‍යණ මිත්‍රයන්ගේ සම්පත්තීයට පැමිණ හෙවත් සත්පුරුෂ සමාගමයට පැමිණ, වේ ඒකාන්තයෙන් යොනිසෝ පයුජ්ජතො, නුවණින් යෙදී වාසය කරන්නාවූ පුද්ගලයාහට, පුබ්බ, පුර්ව නිවාසානුස්මෘති, දිව්‍යවක්‍ෂුරහිඤාණ, ආශ්‍රවක්‍ෂයකරඥාණය සංඛ්‍යාතවූ ත්‍රිවිiවන් හා විමුක්ති අර්හත්ඵල විමුක්තිහුගේ බසින් හා වොචසිතා, ප්‍රාප්තබය යන සබ්බං සියල්ල, එතෙන මේ කුසලය හේතුකොට ගෙණ ලබ්භති, ලැබෙන්නේය. පටිසම්භිදාය අර්ථපටිසම්බිදාය ධර්මපටිසම්භිදාය, නිරුත්ති පටිසම්බිදාය පටිහාණ පටිසම්බිදාන කියන ලද චතුපටිසම්භිදාද විමොක්ඛාව, සුඤ්ඤන විමෝක්‍ෂ අනි මිත්තවිමොක්‍ෂය අප්‍රනිහිත විමොක්‍ෂයයි කියන ලද ත්‍රිවිධ විමොක්‍ෂයන්ද., යාචසාවක පාරමි. යම් සාවක පාරමිතා ඥානයෙක් ඇද්ද, පචෙචකබෝධි ඥානයෙක් ඇද්ද. බුද්ධභුමි සම්‍යක් සමොබාධිඥාණයෙක් ඇද්ද සබ්බං ඒ සියල්ල මේ කුසලය කරණකොට ගෙණ ලබ්භති ලැබෙන්නේය.

යදිදං පුඤඤසම්පදා යම් මේ කුසල සමුර්ධියෙක් ඇද්ද ඒසා මේ කුසල සප්පත්තිය එවං මෙසේ යථොක්තවූ කාරණයෙන් මහිඩිමා මහත්සෘධි ඇත්තේය. තසමා එසේහෙයින් ධිරා අෂ්ටලෝක ධර්මයෙහි අකම්පස් ස්වරූප ඇත්තාවූ පඩිතා නුවනැත්තාවූ සුක්තපුඤ්ඤතං සීලාදිවශයෙන් බොහෝ කොට කරණලද කුසල් ඇතිබව පසංසනති ප්‍රසංසාකෙරෙති වදාරා මේ සිරි ජාතකය නිමවා වදාළසේක.
ඇත්හලට නායක අමාත්‍යයා රාජ්ජයට පැමිණියේය. රජ්ජුරුවන්ට කුලුපග තාපසව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.