27. වියරුව නැගුණු ඇත් රජින්දා වැටී මුනිඳු පාමුළ බැතින් වැන්දා …

බිම්බිසාර රජුන් බුදුන් වහන්සේගේ අග්‍ර මහා දායකයකු ලෙස සිටියදීම ඔහුගේ පුත් අජාසත් කුමරුන් දෙව්දතුන්ගේ සමාගමයට රිසිවීම පිළිබඳව බොහෝ දෙනෙක්‌ සංවේගයට පත්වය සිටියහ. දෙව්දතුන් විසින් ආරම්භ කරන ලද බෞද්ධ විරෝධී සියලු ක්‍රියාකාරකම්වලට අජාසත් කුමරුන්ගේ සහාය ලැබෙන බව ඇසූ සමහරු කෝපයටද පත් වූහ. කුමරුන්ගේ මව හෙවත් බිම්බිසාර රජ බිසව නම් ඒ අනතුර අනුමාන කළාය. එය බුදුන්ට පමණක්‌ නොව රජ පවුලටද අසුබ නිමිත්තක්‌ වන බව ඇය කල්පනා කරන්ටද වූවාය. ඇගේ චිත්ත වීථිය වසා නැගෙන්ට වූයේ අජාසත් කුමරුන් තම කුස පිළිසඳ ගත් කල ඇතිවූ දොළ දුකක්‌, එහි පීඩනයත්ය. ඒ දොළ පසිඳ ලීමට රජු සිය උර පලා ලේ දුන් අයුරුද ඇයට සිහිවිය. ඇගේ සිත පතුලෙහි වූ නිමිතිකරුවන්ගේ අනාවැකිද නැගී සිටින්නට විය. එහෙත් බිම්බිසාර රජු නම් ඒ කිසිවක්‌ බරපතල කරුණු ලෙස නොසැළකීය. තම ඕරස පුතුන් පිළිබඳ නපුරු සිතක්‌ ඇති කර ගැනීමට රජුට නොහැකි විය. අනෙක්‌ අතට රජු නිතරම කල්පනා කළේ අජාසත් කුමරුන් නුවණින් පරිපාකයට පත්වෙද්දී මේ සියල්ල පසක්‌ කර ගන්නා බවය. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.

අජාසත් කුමාරයා ළමා වියෙහි සිටම දෙව්දතුන් පිළිබඳ මුළාවට පත්ව සිටියෙකි. කුමරුන්ගේ අදහස වූයේ දෙව්දතුන් මහා බලසම්පල්න භික්‌ෂුවක්‌ බවය. සෘද්ධි ප්‍රාතිහාර්යහෙs නිපුණයෙකු බවය. දෙව්දතුන්ගේ අදහස වූයේද කුමරුන් තමා කෙරෙහි ඇද බැඳ තබා ගැනීමය. දෙව්තුන්ට සෘද්ධි බලය තිබුණු මුල් කාලයේදී හේ කුමාරයාගේ ඇකයෙහි ළදරු වෙසකින් පෙනී සිටියේය. ඒ ළදරුවගේ හිණෙහි නාගයෝ දරණ ලා සිටියහ. කුමරුන් විස්‌මයට වඩා සංත්‍රාසයට පත්වූ බව දුටු දෙව්දත් වහාම සිය සුපුරුදු වෙසින් ඔහු අබියස පෙනී සිටියේය. ඒ මායා දර්ශනය දෙව්දතුන්ගේ ප්‍රයෝගයක්‌ බව කුමරු නොදත්තේය.

වරක්‌ දෙව්දතුන් කුමරුන් අමතා කීවේ ඔබ පියා මරා රජවන්න මම බුදුන් මරා බුදුවන්නෙමි. යනුවෙනි. අජාසත් කුමරුන් තුළ රාජ ලෝභය දැල්වූ දෙව්දත් එයින් විවිධ වරප්‍රසාද ලද්දේය. වරක්‌ අජාසත් කුමාරයා රහසිගතව බිම්බිසාර රජුගේ ශ්‍රී යහන් ගබඩාවේ පසුවිය. ඒ පිය රජු ඝාතනය කිරීමටය. එහෙත් දැඩි නින්දේ පසුවූ පිය රජුට අනතුරක්‌ කිරීමට ඔහුගේ සිත දැඩි නොවූයෙන් පසුබා ගියේය. කුමරුන්ගේ මෙකී රාජ තෘෂ්ණාව සිඳෙනු වෙනුවට දවසින් දවස වැඩෙන්නට විය.
“මා ප්‍රිය පුතුනුවනි නුඹ කිසියම් අපහසුතාවකින් පෙලෙන්නෙහිද? නුඹගේ ප්‍රිය විලාසයත් දැන් නුඹ කෙරෙහි නැත්තේය. කුමක්‌ හෝ නොපහන් දොලක්‌ නුඹ තුළ වන්නෙහිද?
දිනක්‌ බිම්බිසාර රජු සෘජුවම කුමරුන්ගෙන් විමසීය. එසඳ කුමාරයා සියලු තතු නොවලහා කීවේය. ඒ ඇසු රජු තුළ මහා දුකක්‌ උපන්නේය.
“පුත මේ කිරුළ නුඹට විනා අන් කෙනෙකුට නොවේ. නුඹ ඒ පිළිබඳ දුක්‌ නොගනු මැනවි. මම වහාම රජ සභාව කැඳවා රජ කිරුළ නුඹට පවරා දෙමි.
බිම්බිසාර රජුගේ වදන් ඇසු අජාසත් කුමරු සංවේගයට පත්විය. මේසා උදාර සිතිවිලි වලින් යුත් තම පියා දැඩි සිතින් මැරීමට අදහස්‌ කිරීම ඔහුගේ පසුතැවිල්ලටද හේතු විය. බිම්බිසාර රජු සිය පුත් කුමරුන් රජාභිෂේක කරවීමට යන බව ඇසූ ඇමැතිවරු එයට ප්‍රසාදය පල නොකළහ. රජුගේ පුරෝහිතයා පවා කියා සිටියේ එය මහා විපතක අඳුරු සේයාවක්‌ බවය. රජ බිසවගේ අදහස වූයේද තම පුත් කුමරුන් රාජ්‍ය විචාරීමට තරම් මුහුකුරා ගිය අයෙකු නොවන බවය. ඒ පිළිබඳව බුදුන් වහන්සේ සමඟ සාකච්ඡා කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
බිම්බිසාර රජු අජාසත් කුමරුන් අභිෂේක කරවීමට යන බව බුදුන් වහන්සේට දැන්වූයේ ආනන්ද හිමියන්ය. ආනන්ද හිමියන්ගේ අදහස වූයේ බුදුන් වහන්සේ මැදිහත්ව එය පමා කළ යුතු බවය. බුදුහු එයට එකඟ නොවූහ. එහෙත් අනාගතයෙහි සිදු විය හැකි විපත් උන්වහන්සේ දිවැසින් දුටහ. කෙසේ හෝ බිම්බිසාර රජතුමාටද බුදුන් වහන්සේ සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තරම් අවසරයක්‌ද නොවීය. රජු කල්පනා කළේ තම ක්‍රියාවට බුදුන් වහන්සේ වෙනස්‌ ප්‍රතිචාරයක්‌ දැක්‌වුවහොත් එය ගැටුමකටද හේතු විය හැකි බවය.
බිම්බිසාර රජුගේ පුරෝගාමිත්වයෙන්ම රාජාභිෂේකය සිදුවිය. එට වැසියෝද අභිනව රජතුමා දැක ගැනීමේ රිසියෙන් රාජාංගනයට රැස්‌ව සිටියහ. අජාසත් රජු මහත් සතුටින් පුමුදිතව ඔටුන්ට ආචාර කළේය. වන්දි භට්‌ටයෝ ප්‍රශස්‌ති ගැයූහ. ආචාර පෙළපාලි හා වෙනත් සංදර්ශනද පැවැත්විණි. එහෙත් රාජාභිෂේකය සඳහා බුදුන් වහන්සේ හෝ ඡේතවනාරාමයෙහි කිසිදු සහභාගිත්වයක්‌ නොවීමද කැපී පෙනුණි. සියලු තන්හි මුල්ව සිටියේ දෙව්දත් හාමුදුරුවන්ය. දෙව්දතුන් තුළ වූයේ අජාසත් රජුටද වඩා සතුටකි. මම අදම මගේ සටන අරඹන්නෙමි. බුදුන්ගේ සියලු බල සිඳලන්නෙමියි සිතූ දෙව්දත්හු ඒ සඳහා කිසියම් උපායක්‌ ගැනද සිතන්ට වූහ. ඔවුන්ගේ නපුරු සිතට නැඟුණේ පළමුවෙන්ම අජාසත් හා ඔවුන්ගේ පිය රජු වූ බිම්බිසාර එකිනෙකා කෙරෙහි විඳවිය යුතු බවය.
මා ප්‍රිය අජාසත් රජතුමනි, අද මගේ ජීවිතයෙහි අතිශයින්ම ප්‍රීතිමත් දිනයකි. එහෙත් මම ඔබට එක්‌ උපදෙසක්‌ දෙන්නෙමි. එනම් ඔබගේ රාජ්‍ය පදවියට බොහෝ සතුරෝද අප්‍රමාණ බාධකද වෙති. ඒවා දැන හැඳින පිළියම් යොදන්නේ නම් නුඹ ජයගන්නෙහිය. නොඑසේනම් නුඹද විනාශ වන්නෙහිය.”
දෙව්දතුන්ගේ එබස්‌ ඇසූ අජාසත් කුමාරයා මෙසේ විමසීය.
වහන්ස අද මා ලද මේ රාජ්‍ය ලාභයද ඔබ වහන්සේ නිසාය. ඔබ වහන්සේ මා කෙරෙහි දක්‌වන ස්‌නේහයද හිතෛෂීභාවයද බොහෝය. මම දිවි හිමියෙන්ම ඔබ වහන්සේට ණය ගැති වන්නෙමි. ඉතින් ඔබ වහන්සේ දකිනා යම් දොසක්‌ වේ නම් මට එය නො පවසන්ට හේතුවක්‌ ඇද්ද? කුමක්‌ නිසා මා එයින් මුදවා නොගත්නෙහිද?
එසඳ දෙව්දතුන් කීවේ තමා කෙරෙහි නපුරක්‌ නොසිතන්නේ නම් පමණක්‌ ඒ ගැන උපදෙසක්‌ දීමට කැමති බවය.
අනතුරුව දෙව්දත්හු සිය හද පුරා වැඩෙන විසදුම මෙලෙස පිට කරන්නට වූහ.
මා ප්‍රිය රජතුමනි, මට ඔබට වඩා දුර පෙනෙයි. මා ඒ සියලු තතු ඔබගේ යහපත සඳහාම මෙලෙස දක්‌වමි. රජතුමනි, බිම්බිසාර ඔබගේ පියා බව සැබෑය. එහෙත් මෙලෙස ඔබට රාජ්‍යත්වය පැවරීමට ඔහු රිසි නොවීය. එනිසා ඔබ අභිෂේක කරවන ව්‍යාජයෙන් ඒ කටයුතු සිදු වුවද ඔබට ඇති අනතුර පහව නොයයි. රජුගේ ඇමැති මණ්‌ඩලයේ සිටි සියල්ලෝම ඔබට එරෙහි වූහ. ඔව්හු රාජාභිෂේකයද වර්ජනය කළහ. වෙන දෙයක්‌ තබා ඔබ පියාණන්ගේ ගරු බුහුමනට පාත්‍ර වූ බුදුන් හෝ වෙනත් වහන්සේ නමක්‌ හෝ එම උළෙලට සහභාගි නොවූහ. මේ සියලු තතු පෙළ ගස්‌වා බලන කල මට මහා කුමන්ත්‍රණයක ලකුණු දිස්‌වෙයි.
අජාසත් රජුගේ සිතද ඔවුන්ගේ අනාවරණය සමඟ දිව යන්නට විය. බලය යනු පියකුගෙන් දරුවකුට වුවද ප්‍රදානයක්‌ ලෙස ලැබිය හැකිද යන කුතුහලයද ඔහුගේ සිතට ඇතුල් විය. දෙව්දතුන් පෙන්වූ පරිදිම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් සමඟ සිටීම අනතුරකැයි හෙතෙම සිතුවේය.
මම දැන්ම තීරණයක්‌ ගනිමි. මගේ පියාණන් හා ඔහුගේ දෙටු ඇමැතිවරුන් නිවාස අත්අඩංගුවේ තබමි. මගේ පියා හමුවීමට මවට හැර වෙන කිසිවකුට ඉඩ නොදෙමි. අජාසත් රජු බොළඳ අයෙකැයි කෙනෙක්‌ සිතන්නාහු නම් එය මහත් මුළාවකි.
අජාසත් රජුගේ සිත නොසන්සුන් විය. බල උන්මාදයෙන් පීඩාවට පත් හෙතෙම මාළිගාවේ ඔබ මොබ ඇවිදින්නට විය. අනතුරුව රාජ පුරුෂයන් කැඳවු හෙතෙම වහාම බිම්බිසාර රජුන් අත්අඩංගුවට ගෙන නිවාසයෙහි රඳවා තබන ලෙස නියෝගයක්‌ද පැනවීය.
බිම්බිසාර රජු ඉතා සන්සුන්ව පුතුගේ නියෝගයට අවනත විය. දේවිය හැඬූ කඳුලින් පුතුට ඇවිටිලි කළාය. එහෙත් ඔහුගේ සිතට ඒ වදන්ද ඒ දුක්‌ විලාපද ඇතුල් වූයේ නැත. අජාසත් රජුගේ සිතට කිසිදු අස්‌වැසිල්ලක්‌ද නොවීය. මුළු රාත්‍රියම ඔහු ගත කළේ නොසන්සුන් සිතිනි. පිය රජුන් මේ තරම් පහසුවෙන් තමන්ට සිහසුන පැවරීමට ගැන ඔහු තුළ වූ සැකය වැඩිවූවා මිස අඩු වූයේද නැත.
දෙව්දතුන් තුළ නම් වූයේ අප්‍රමාණ සතුටකි. මේ තරම් පහසුවෙන් බිම්බිසාර රජු සිරකරුවකු කිරීමට තමන්ට හැකිවීම පිළිබඳව ඔහු තුළ ආඩම්බරයක්‌ද විය. බිම්බිසාර රජු දුරස්‌වීම නිසා බුදුන්ගේ යස ඉසුරු පිරිහී යන ආකාරය ගැනද දෙව්දත්හු කල්පනා කළහ. ඒ අතර ඔවුන්ගේ සිතට නිමක්‌ නොමැති නපුරු සිතිවිලි ගලා එන්නටද විය. අජාසත් සිහසුනට රැගෙන ආ විලාසයෙන් තමන්ට බුදුන්ගේ තත්ත්වය ලබා ගැනීඹ පහසු නොවන බවද ඔහුට හැඟිණි. එහෙත් බුදුන් නසා හෝ සංඝයාගේ නායකත්වය ලබා ගත යුතුය යන දැඩි සිතිවිල්ල ඔහුට වද දෙන්නට විය.
දිනක්‌ උදැසනම අජාසත් රජුන් බැහැදැකීමට පැමිණි දෙව්දත් තමන්ට මනා පුහුණුව ලද දුනුවායින් දොලොස්‌ දෙනෙක්‌ වුවමනා බව දන්වා සිටියේය. අජාසත් රජුද දෙවරක්‌ නොසිතාම ඒ ඉල්ලීම ඉටු කළේය. දෙව්දත් තෙමේ බුදුන් වඩින මඟ සේ අනුමාන කළ සියලු තන්හි දුනුවායෙක්‌ බැගින් රඳවා තබා උන්වහන්සේ දුටු විගසම විද මරා දමන ලෙස නියෝග කළේය.
දෙව්දතුන්ගේ රහස්‌ සැලසුම මුළින්ම ආරංචි වූයේ බිම්බිසාර රජ බිසවටය. ඇය ඒ පුවත සිය සැමියාටද දැන්වූවාය. රජුගේ උපදෙසින් ඇයම ඡේතවනාරාමයට ගොස්‌ ඒ සියලු තතු ආනන්ද හිමියන්ට දැන්වූවාය. ඒ ඇසූ ආනන්ද හිමියෝ කම්පාවටද බියටද පත්වූහ. දෙව්දතුන්ගේ මෙම වෛරය කුමක්‌දැයි උන්වහන්සේට සිතා ගැනීමට පවා නොහැකි විය. ආනන්ද හිමියෝ ඒ සියල්ල බුදුන් වහන්සේටද දැන්වූහ. බුදුහු තුෂ්ණීම්භූතව සිටියහ. එහෙත් ආනන්ද හිමියෝ නිතර නිතර ඇවිටිලි කරමින් උන්වහන්සේට හුදෙකලාව නොවඩිනා ලෙසද ඉල්ලා සිටියහ.
ආනන්දය මම සියලු සතුන් කෙරෙහිම මෙත් වඩන්නෙක්‌මි. වෛරය ජය ගත හැකි එකම වගද මෛත්‍රිය පමණි යම් කෙනෙක්‌ මෛත්‍රිය වඩන්නේද හේ කිසි දිනක විපතකට ගොදුරු නොවන්නේය. විපත් සිදුවන්නේ වෛරයෙන් ඇවිලී ගිය සිතැති අයට පමණි. යහපත වපුරන්නා යහපත ලබා ගන්නා සේම අයහපත වපුරන්නාට අයහපතම ලැබෙන්නේය. ඔබ කිසිවකින් නොසැලී සිටින්න.
බුදුන් වහන්සේගේ උපදේශය ආනන්ද හිමියන්ට අස්‌වැසිල්ලක්‌ වුවද දෙව්දතුන්ගේ විලාසයද ආනන්ද හිමියෝ දැන සිටියහ.
දිනක්‌ බුදුන් වහන්සේ ඡේතවනාරාමයට නුදුරු පටු මාවතක වඩිමින් සිටි යහ. දෙව්දතුන්ගේ අණ පිරිදි රැක සිටි එක්‌ දුනුවායකුගේ නෙතට උන්වහන්සේ හසුවිය. ශක්‌ති සම්පන්න දේශ විලාසයකින් යුතු හෙතෙම වහා දුනු දිය නගා විස සහිත හීය බුදුන් දෙසට එල්ල කිරීමට වෑයම් කළේය. එහෙත් ඔහුට දැනුණේ සිය ඇඟිලි දුබල වන බවකි. දෙනෙත අඳුරකින් වැසෙන අයුරකි. ඔහුගේ ගත දහදියෙන් තෙත් විය. බුදුන් වහන්සේ සන්සුන්ව පියෙන් පිය නගමින් ඔහුට ළංවන අයුරුද ඔහු දුටුවේය. හේ දුනුහී බිම දමා දණගසා බුදුන්ට නමස්‌කාර කළේය. ඉක්‌බිති තමන් යොමුව සිටි අපරාධය ගැන පාපෝච්චාරණයක්‌ද කළේය. බුදුහු ඔහුට දම් දෙසූහ. ඔහු උපාසයකු බවට පත් විය. ඒ අයුරින් සෙසු දුනුවායෝද බුදුන් මැරීමට අසමත් වූවෝ උපාසකයන් බවට පත් වූහ. පසුව පෙරළා ගොස්‌ දෙව්දතුන්ට කීවේ තමන්ට ඒ දුෂ්ට අපරාධය ඉටු කිරීමට නොහැකි බවය.
දෙව්දත්හු ඔවුන්ට බැණ වැදුණාහ. බුදුන්ගේ සෘධි බලය නිසාම ඔවුන්ට ඒ කටයුත්ත කළ නොහැකි වන්නට ඇතැයිද දෙව්දතුන්ට සිතුණි. හේ පසුව වෙනත් උපායක්‌ ගැන සිතීය. මෙවර ඔහුගේ සැලසුම වූයේ මඳ කිපී සිටින අතෙකු තවත් කුපිත කරවා බුදුන් වහන්සේ එන මාවතට එවීමය. අජාසත් රජුගේ ඇත්ගාලෙහි නාලාගිරි නම් චණ්‌ඩ ඇතෙක්‌ විය. ඇත්ගොව්වෝ පවා ඒ ඇතුන් කෙරෙහි මහත් සේ බිය වන්නාහ. ඇතුගේ චණ්‌ඩ ස්‌වභාවය නිසාම උගේ පා සතරම යඳමින් බැඳ තිබෙයි. ස්‌වල්ප දුරක්‌ හෝ රැගෙන ගියත් මහත් රැකවල් මැදම එසේ කෙරෙයි.
දෙව්දත්හුද තමාට හිතවත් ඇත් ගොව්වකුගෙන් නාලගිරි ඇතුන් පිළිබඳ සියලු තතු දැන සිටියහ. එසේම ඔවුන්ට අල්ලස්‌දී ඇතු ලවා සැහැසිකමක්‌ කරවීමටද කුමන්ත්‍රණය කර සිටියහ. කෙසේ හෝ ඇත්ගොවකුගේ සහායෙන් නාලාගිරි ඇතුන් ඇත්ගාලෙන් පිටතට ගෙන ඡේතවනාරාමයට නුදුරු මාවතක විසල් රුකක බැඳ තැබු දෙව්දත් වෙනත් අයෙකුටද අල්ලසක්‌ දී බුදුන් වහන්සේ ඒ මාවතට ආ විගස දැනුම් දෙන ලෙසද උපදෙසක්‌ දුනි. මෙම උපාය පිළිබඳව නම් දෙව්දතුන් තුළ වූයේ දැඩි විශ්වාසයකි. මිනිස්‌ සිතට දැනෙන බුදුගුණ නාලාගිරි බඳු ප්‍රචණ්‌ඩ ඇතෙක්‌ කෙසේ දැන ගත හැකිද? දෙව්දතුන් කල් යල් බලමින් සිටියේ සිය දුෂ්ට ෙච්තනාව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කරුණු පෙළ ගැසෙන තෙක්‌ය.
එදා තරමක්‌ උණුසුම් දිනයක්‌ විය. උදාහිරුගේ රැස්‌වලද වූයේ දැඩි බවකි. අවට ගහ කොළ පවා හේබා තිබිණි. මිහිකත දිය පිපාසයෙන් පීඩීතව සිටි සෙයකි. ඒ ගිනියම් සුළඟ නාලගිරි අතුටද මහත් පීඩාකාරී විය. දෙකම්මුල් ඔස්‌සේ මඳ වෑස්‌සෙමින් තිබුණි. ඇතුගේ දැස්‌ වද මල් දෙකක්‌ සේ රත් පැහැ ගෙන තිබුණි. එදෙස බැලීමටද බිය උපදවයි.
බුදුන් වහන්සේ එදින කිසිදු අමුත්තක්‌ නොමැතිව ඡේතවනාරාමයේ දොරටුවෙන් පිටත්ව ඒ ඇතු බැඳ සිටි මාවත දෙසට වඩින්නට වූ සේක. බුදුන් වඩිනු දුටු ආනන්ද හිමියෝද වහා අවුත් උන්වහන්සේට එක්‌ වූහ. ඒ තව මොහොතකින් සිදුවිය හැකි අනතුරක්‌ පිළිබඳ හෝඩුවාවක්‌වත් දැන ගෙනෙද නොවේ. දැන් බුදුන් වහන්සේ පෙර මගට වඩින අයුරු දුටු ඇත්ගොව්වාද වහා ක්‍රියාත්මක විය. හේ පළමුව නාලාගිරි ඇතුන්ට රා ගුදමක්‌ පමණ පෙවීය. අනතුරුව හෙණ්‌ඩුවෙන් ඇන ඇතා තවත් ප්‍රචණ්‌ඩ විලාසයට පත් කර බැඳ සිටි සියලු යදම් ලිහා දැමුවේය. නාලාගිරි ඇතුට දැනුනේ පයට වැටුනු විලංගු ඉවත් වී ඇති බවය. හේ සොඬ වේගයෙන් දෙපසට පද්දන්නට විය. ඇතාට දැනුනේ වෙහෙසටත් වඩා මත් බවකි. ඉදිරි පයින් පොළටව පහර දෙමින් දූවිලි නංවන්නට වූ ඇතා එක්‌වරම වියරු හඬක්‌ද පිට කළේය. මොහොතක්‌ වට පිට බැලු නාලාගිරි ගේ දර්ශන පථයට වැටුණේ ඈතින් වඩිනා බුදුන් වහන්සේය. උන්වහන්සේ පසුපස ආනන්ද හිමියෝද වූහ. සුපිපි කහ මල් ගොමුවක විලාසයෙන් තම ඇස්‌ මානයේ තිබෙන දසුන පිළිබඳ හැඟීමක්‌ද ඇතුට නොවීය. සොඬය එස වූ ඇතාට මිනිස්‌ ඉව වැටුණි. හේ එක පිම්මේ ඉදිරියට දුවන්නට විය. මඟ දෙපස සිටි අයද මහත් බියට පත්ව විලාප නගන්ටද වූහ. සමහරු නිවෙස්‌ හැර ඈතට ගොස්‌ සැඟවී ගත්හ. ඇතාගේ විලාසය මොහොතින් මොහොත ප්‍රචණ්‌ඩ විය. බුදුහු තවමත් සන්සුන්ව වඩිති. ආනන්ද හිමියෝද පසු පස වෙති. කුපිත වූ ඇතා දූවිලි නංවමින්ද වියරු ගර්ජනා නගමින්ද දිව එන අයුරු දුටු කෙනෙක්‌ අනේ අනේ යෑයි කියමින් ළයෙහි අත් ගසා ගන්ටද වූහ. මේ රළු මෘග රාජයාගෙන් බුදුන් වහන්සේට විපතක්‌ විය හැකියෑයි සිතූ සමහරුන්ට හැඬුම් ඇති විය.
දැන් එක්‌ පසෙක චණ්‌ඩ ඇතාද අනෙක්‌ පස ශාන්ත බුදු හිමියෝද වෙති. ආනන්ද හිමියෝ එක්‌වරම බුදුන් පසුකර පෙරට පැන මේ ඇතා මා මරා දමාවා, මගේ බුදුන්ට අනතුරක්‌ නොකරාවායි සිතූහ. එහෙත් බුදුන්ගේ බුද්ධ මහිමයෙන් ආනන්ද හිමියන් පසු කරවා උන්වහන්සේම පෙරමුණේ වැඩ සිටියහ. වාත වේගයෙන් ඇදෙන නාලාගිරි ඇතාද එවේලෙහි මොහොතක්‌ නතර වී වට පිට බලන්නට විය. එසඳ ඇතාගේ නෙත ගැටුණේ වෙනත් අතරු මඟක්‌ ඔස්‌සේ කුඩා දරුවකුද සමඟ පැමිණි ලියක්‌, ඒ දරුවාද මහ මග දමා බියෙන් දිව යන අයුරුය. ඇතා සැණකින් එදෙසට හැරුණි. දරුවකුගේ හැŽමද ඉතා පැහැදිලිව ඇසුණි. මේ බියකරු දසුනෙන් භ්‍රාන්තව සිටි අයද කුහුලින් එදෙස බැලූහ.
නාලාගිරි තමන් වහන්සේ වෙත පැමිණි ගමන අත්හැර වෙනත් පසෙකට හැරුණු වග බුදුහු දුටහ. උන්වහන්සේ නාලාගිරි ඇතාට ප්‍රිය වදනින් ආමන්ත්‍රණය කළහ.
එම්බා නාලාගිරි ඇත් රජ තොප මා මරා දැමීම සඳහා මත්ව, විකල්ව මා අබියසට පැමිණෙමින් සිටියෙහිය. එහෙත් දැන් වෙනත් අයෙක්‌ දෙසට යන්නෙහිය. එය තොප වැනි සද්දන්ත කුලයෙහි අතෙකුට තරම් නොවේ. තොප පසු පස සැඟවී සිටින පවිටන් අද බුදුමහිමය පෙන්වාලන්ට මට වුවමනාය. වරෝ මදෙසට, වරෝ මවෙතට. මම බිය නොවෙමි. මේ අහිංසක ලිය ලුහුබැඳීම තොපට තරම් නොවේ.
බුදුන්ගේ වදන් නාලාගිරි ඇතගේ දැඩි බවද වියරුවද සිඳ ලන හස්‌ති කාන්තා මන්ත්‍රණයක්‌ බඳුවිය. ඇතාගේ මත් සිඳිණි. නෙත් හැරුණි. හේ සොඬ පියුමක්‌ සේ හකුළා දරණ ගසා බුදුන්ට සමස්‌කාර කළේය. අද බුදුන් වහන්සේ චණ්‌ඩ මත් ඇතෙක්‌ දමනය කළහැයි කටින් කට නුවර ද ගමද පැතිර යන්නටද විය. දරුවා මහ මග දමා ගිය මවද සැනසුම් සුසුමක්‌ හෙලුවාය. ආනන්ද හිමියන්ගේ දැසද සතුටු කඳුලක්‌ නැඟුණි.
මේ සියලු තතු සැඟවී සිටි ඇත්ගොව්වෝද බලා සිටියහ. බුදුන් අබියස වැඳ වැටුණු ඇතුගේ විලාසයද බෙහෙවින් වෙනස්‌ වී ඇති අයුරුද ඇත් ගොව්වෝ දුටුහ. වෙනදා බියෙන් හා සැකයෙන් නාලාගිරි දෙස බලන ඔව්හු සුහද මිතුරකුට සමීප වන අයුරින් ඇතාට ළං වූහ. ඔව්හු ඇතුන් රැගෙන මාළිගාවට ගියහ. ඒ වනවිට දෙව්දතුන්ටද නාලාගිරි දමනය පිළිබඳ සැළවී තිබිණි. දෙව්දතුන් තුළ නම් වූයේ දැඩි කෝපයකි. ඔවුන්ට ඉවසුම් නැති විය.
දැන් බුදුන් නැසීමට වෙනත් මගක්‌ නැත. ඒ සඳහා අන් කිසිවකුට ශක්‌තියක්‌ද නැත. මිනිස්‌සුද, තිරිසන් සත්තුද බුදු මහිමයට දමනය වන්නාහුය. එහෙයින් මේ සඳහා කිසිවෙක්‌ නොයොදා මා අතින්ම එය කළ යුතු වන්නේය.
දේවදත්තයෝ එසේ සිතා දැඩි වෛරයෙන්ම ආපසු ඔහුගේ ආශ්‍රමයට ගියහ. මෙලෙස පසුවන අතර දිනක්‌ බුදුන්වහන්සේ ගිඡ්ජකූට නම් කඳුවැටිය පාමුලින් වඩින අයුරු දෙව්දතුන්ගේ ඇසට හසු විය. දෙව්දතුන් එක පිම්මේ කඳුමුදුනට දිව ගියේය. දෙව්දත්හු කඳු මුදුනෙහි වූ මහා ගල් කුලක්‌ උන්වහන්සේගේ හිස ඉලක්‌ක කරමින් පෙරලූහ. මහපොළව මත වූ වෙනත් ගලකින් දෙව්දත් පෙරලූ ගල නතර වනු දුටු බුදුහු හිස ඔසවා බැලූහ. එවිට දෙව්දත් කන්ද උඩ සිටි අයුරුද උන්වහන්සේ දුටහ. එවේලෙහි එම ගල් කුළුවලින් බිඳුණු පතුරක්‌ බුදුන්ගේ ශ්‍රී පතුලෙහි වැදී ලේ පිරිණි.
දෙව්දතුනි බලන්න ඔබගේ අනුවණ කමක තරම. දැන් ඔබ බුදුන්ගේ සිරුරෙහි ලේ සොලවා පංචානන්තරිය අකුසල කර්මයක්‌ කරගත්තෙහිය. දැන්වත් වෛර සිත අත්හැර දමන්න.
දෙව්දතුන්ට ඒ කිසිවක්‌ ඇසුණේ නැත. හේ අසිහියෙන් මෙන් දිව ගියේය. බුදුන් වහන්සේ විනාශ කිරීම සඳහා දෙව්දතුන් විසින් දරණ ලද හැම උත්සාහයක්‌ම නිෂ්ඵල විය. බුදුන් වහන්සේගේ ශ්‍රී පතුලෙහි කැටි කැසුණු රුධිරය ඉවත් කර එයට ප්‍රතිකාර කරන ලද්දේ ජීවක වෛද්‍යවරයා විසිනි.
මේ වන විට අජාසත් රජතුමා කෙරෙහිද ජනතාවගේ අප්‍රසාදය මතු වෙමින් තිබුණි. දෙව්දතුන්ගේ බහට මුළාවී සිය පිය රජුට පැමිණවූ වධ හිංසා පිළිබඳවද අජාසත් රජුට එවේලේ සිහිපත් විය. බලය යනු පුද්ගල සිත විකෘති කරන ශාපයක්‌ බවද හේ මුල්වරට කල්පනා කළේය. බුදුන්වහන්සේ බැහැදක සියල්ල පවසා සිත සැහැල්ලු කරගත යුතු යෑයිද අජාසත් රජුට සිතුණි.
ගාමිණි සුමනසේකර
28. අහෝ දෙව්දත් නොදිටි මොක්‌පුර ... !
26. බුදු පියාණනි, මාද ඒ සුරම්‍ය පෙම් මගට යොමු කළ මැනවි ... !

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.