Skip to main content

(25) සිත නිවන ලෝකය

මහනායක හාමුදුරුවනේ , මෙලොවදී අපට ලැබිය හැකි උතුම්ම ලාභයත්, උසස්ම ධනයත්, හොඳම නෑයාත්, ඉහලම සැපයත් සැබවින්ම කුමක්ද?

අප ගෞතම බුදුහිමියන් වරක් ජේතවනාරාමයේදී කොසොල් රජතුමා අරභයා කළ බුද්ධ දේශනාවක් මගින් ඔය වගේ ප්‍රශ්නවලට ඉතා හොඳ පිළිතුරක් දී තිබෙනවා, “ ධම්ම පදයේ – සුඛ වග්ගයේ “ දැක්වෙන එම (204 වෙනි) ගාථාව මෙසේයි.

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං

මෙහි තේරුම, උතුම්ම ලාභය නිරෝගී කමයි, සතුට උසස්ම ධනයයි. ලොවේ හොඳම නෑයා (ඥාතියා) විශ්වාසයයි. නිවන උතුම්ම සැපයයි යන්නයි. මේ අදහස එදාට වගේම මෙදාටත් ඉතා වලංගු කාරණයක්.

මෙලොව ලොකුම ලාභය

එහෙමනම්, නිරෝගිකම ඉහළම ලාභය’ කියන කාරණය මෙලොව කවර තරාතිරමක කෙනෙකුට වුවද වලංගුයි ද?

ඔව්. ඒකට ලොකු කුඩා වැඩිහිටි, තරුණ කියල භේදයක් නැහැ. ඊඟාවට දුප්පත්, පොහොසත් හෝ ධනවත්, බලවත් කියලා හෝ කිසිම භේදයක් නැහැ. ලොවේ ඉපදෙන මැරෙන ගිහි පැවිදි අප හැමෝටම ඒක සපුරාම වලංගුයි.

නිරෝගිකමේ රහස

නමුත්, භෞතික දියුණුව ලැබූ බටහිර රටවල වැසියන් මීට වඩා සැප, සතුට හා ලාභයන් ලොවේ තියෙනවා යැයි කියලා විශ්වාස කරනවා නේද?

නැහැ. දැන් පෙරදිග අපටත් වඩා වැඩියෙන් බටහිර උගතුන් බුද්ධිමතුන් මේ දේවල් විශ්වාස කරනවා. ඇමරිකාවේ දෙවරක් ජනපති ධූරය (1993- 2001 ) දැරූ බිල් ක්ලින්ටන් මහතා වැන්නන් පවා ඉහත කරුණු ලොවට සපථ කොට තිබෙනවා. 2012 අගෝස්තු 16 “දිනමිණ” පත්‍රයේ සිතිජය 03 පිටුවේ එතුමන් ගැන මෙසේ වාර්තාවක් පළ කර තිබෙනු මා දුටුවා.

“ඇමරිකාවේ 42 වෙනි ජනපති බිල් ක්ලින්ටන් මහතා කොළොම්බියා ප්‍රෙස්බෙටේරියන් රෝහලට ඇතුළත් කළේ හදිසි හෘදයබාධ තත්වයක් හේතුවෙනි. වරින්වර මතුවූ මේ රෝගී බව ඔහුගේ දැඩි සිත් තැවුලටත්, කලකිරීමටත් හේතු විය. ඒ අතර අහම්බෙන් කියැවූ පළමු පොතෙන්ම ඔහුට බුදුදහම පිළිබඳව පැහැදිණ. එහි වූ භාවනා ක්‍රම අනුගමනය කර සිතට ශාන්තියක් ලබා ගැනීමට ඔහු නිරතුරුව යොමු විය. ඒ අනුව එතුමන් එළවළු, පළතුරු ආදි සරල ආහාර රටාවට හුරු වී නිර්මාංශිකයෙකු වී ඇත. බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ උපදෙස් ලබමින් ඔහු භාවනා ක්‍රමද ප්‍රගුණ කරමින් සිටියි .”

ඒ වගේම ක්ලින්ටන් ජනපතිවරයා ‘බුදු දහමෙන් තමන් ලබන සැනසීමට වඩා සතුටක් ලොවේ තවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බවක් දෙස් විදෙස් මාධ්‍යයන්ට කියා තිබුණා. නිරෝගීමත් පෙණුමෙන් හා ක්‍රියාශීලි සිනහමුසු මුහුණින් සිටීමේ ‘සැබෑ වෙනසට හේතුව‘ කුමක්දැයි “රේඩාර්ඔන්ලයින්” නමැති ඇමරිකානු පුවත් සේවය කළ විමසුමකදි ක්ලින්ටන් මහතා කියා සිටියේ ‘තමාගේ වෙනස නැතිනම් තමාගේ නිරෝගීබවේ එකම රහස බුදුදහම ‘ කියායි.

විදේශිකයන්ගේ වටිනාම ධනය

සතුට තරම් වටින ධනයක් නැතැයි පවසා ඉකුත්දා ඉතාලි මහාචර්යවරියක් හා ජර්මානු විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු පිරිසකුත් මෙරටට පැමිණ බුදුදහම වැළඳ ගත්තා නේද?

ඔව්. මාත් ඒ පුවත මාධ්‍යයෙන් දුටුවා. ඔවුන්ගේ සියලු සැප සම්පත්, ධනය අතහැර ලංකාවට පැමිණ හොරණ ඔලබොඩුව ඛේමා ආර්යා භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි වූ බව එයින් කියැවුණා. ඊට පෙර සිටන් ඔවුන් බුද්ධ දේශනා අනුගමනය කරමින් නිරතුරුව කාලය ගත කළ බවත් පවසා තිබුණා. නිරෝගීකමට වඩා ලාභයක්, සතුටට වඩා ධනයක්, විශ්වාසයට වඩා ඥාතියෙක්, නිවනට වඩා සැපතක් නැති බව ඔවුන් අවබෝධ කර ගෙන ඇති නිසායි, මේ විධියට සියලු දේ අතහැරලා බුදු සසුනට ඇතුළත් වුණේ.

පසුගිය කාලේ මේ විධියට ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘතුමා (ස්ට්ව් ජොබ්ස්) හා සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් ඇතුළු බටහිර රටවල ප්‍රභූවරුන් හුඟ දෙනෙක් බුදුන් සරණ ගියා.

ලොව බලවත්ම ගැටලුව

හොඳයි නවීන වෛද්‍ය විද්‍යාවට හසුනොවූ ලෝක යථාර්ථය අනාවරණය වූයේ බුදුදහමෙන් බව මහාචාර්ය චීංකුං නාහිමියන් මෙරටදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ඔබ වහන්සේ එකඟද?

ඒක අවිවාදයෙන් තොරව මුළු මහත් ලෝකයම පිළිගන්න දෙයක්. ඕස්ට්‍රේලියාවේ පියෝලැංග් බෞද්ධ සංගමයේ නිර්මාතෘ මහාචාර්ය චිංකුං නාහිමියන් අනුරාධපුරයේදී පැවැති අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ විශේෂ දේශනයේදී කළ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වෙන්නේ කොහොමද? ඊට පෙර ප්‍රංශ ජාතික අනුක ජාන විද්‍යාඥයෙකුව සිටි මැතිව් රිචඩ් හිමියනුත් එවැනි ප්‍රකාශ කර තිබෙනවා. උපත හා විපත යන ලොව බලවත්ම ගැටලුව ‘ සිත’ හා බැදී ඇති බවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ විමුක්තිය ළඟා කරගත හැකි බවත් බුදුදහමේ විස්තර කෙරෙනවා.

ලොව සතුටින්ම සිටින මිනිසා

මැතිව් රිචඩ් බෞද්ධ භික්‍ෂුව නේද? ලොව සතුටින්ම සිටින මිනිසා ලෙස සැලකෙන්නේ?

ඔව්. ප්‍රංශයේ වින්ස්කොන්සින් විශ්වවිද්‍යාලයේ වෙයිස්මන් මධ්‍යස්ථානයේදී සිදු කළ සියලු පර්යේෂණ අභිබවා ලොව සතුටින්ම සිටින මිනිසා බෞද්ධ භික්‍ෂුවක් ලෙස හඳුනා ගැනීමට එරට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ප්‍රංශ පුවත්සේවය වාර්තා කර තිබුණා.

මෙහිදී මැතිව් රිචඩ්ස් හිමියන්ගේ හිසට සංවේදී තුඩු මගින් සිවුම් විදුලිධාරා, 256 ක් යවා වරින්වර භාවනායෝගීව සිටින විට ස්නායු තුළින් නිකුත් වන දත්ත පරිගණක ගතකර තිබෙනවා. උන්වහන්සේගේ හිසෙන් (ශීර්ෂයෙන්) ගැමා කිරණ නිකුත්වීම, මොළයෙහි සතුට සඳහා අසාමාන්‍ය ඉඩක් පැවතීම ආදී සාධක ඒ අතර කැපී පෙනෙනවා.

අසතුටින් මිය ගිය මිනිසා

එතකොට ධනය හා ප්‍රසිද්ධිය ලැබූ පමණින් සතුට සැපත කියන කාරණා ලැබෙන්නේ නැද්ද?

ඕකට මං හොඳම උදාහරණයක් කියන්නම්. පසුගිය ඔක්තෝබර් 18 වැනිදා සිංගප්පූරුවේ ධනවත්ම විශේෂඥ ශල්‍ය වෛද්‍ය 40 හැවිරිදි රිචඩ් ටිඩ් මහතා පෙනහළු පිළිකාවක් වැළදී මිය ගියා. එසේ මිය යාමට පෙර ඔහු කළ අවසන් කථාව බොහෝ අන්තර්ජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත් කර තිබුණා.

අප අවට සිටි අයත්, ජනමාධ්‍යයත් නිතර කීවේ සතුට ලබා ගත හැක්කේ, සාර්ථකත්වය මගින් බවත්, සාර්ථකත්වය යනු පොහොසත් වීමත්, ජනප්‍රසාදය ලැබීම බවත්ය. මේ පෙළඹවීම මත මා කුඩා කළ සිටම බොහෝ තරගකාරි වුණා. ජනපි‍්‍රය පාසල්, පදක්කම්, කුසලාන, වර්ණ , ප්‍රතිඵල, නම්බුනාම හා උසස් තනතුරු කරා මා හඹා ගියා.

ලද දෙයින් සතුටු නොවී සම්ප්‍රදායික වෛද්‍ය වෘත්තිය වෙනුවට ජනපි‍්‍රය රූපලාවන්‍ය විශේෂඥ ශල්‍යාගාර හරහා වසරකට මට ඩොලර් මිලියනයකට වඩා උපයා ගැනීමට හැකි වුනා. දිව රෑ වෙහෙස නොබලා තව තවත් ඒ ආදායම වැඩි කරගන්න සැලසුම් සකස් කළා. නමුත් ඒ එකකින්වත් සැබෑ සතුටක් හිතට ලැබුණේ නැහැ. මෙරට මහා ධන කුවේරයකු නොවී නිරෝගීව සරලව සතුටින් ඉන්නට පින් නොමැති කමින් මට අද හෝ හෙට නිසැකවම අසතුටින් මෙලෙස මිය යාමට සිදුවී තිබෙනවා .”

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.