25. අහිංසක අංගුලිමාල වී බුදුන් පිටුපස හඹා එයි …

සැවැත් නුවර චාලනී නම් වන අරණෙහි සැඟවී සිටින, නුවර ගම් බිය වද්දන බිහිසුණු සාහසිකයෙක්‌ පිළිබඳ පුවත ගංවතුරක්‌ සේ පැතිර යමින් තිබිණ. තමන් ඇස ගැටෙන ගැහැනු, පිරිමි, බාල, වැඩිමහල් යනාදී කිසිදු වෙනසක්‌ නොමැතිව මරා දමන්නාවූ හෙතෙම තමන් විසින් මරා දමනු ලබන අයගේ අත්වල මහපටඟිල්ල කපා ගන්නා බවද කෙනෙක්‌ කීහ. එසේ කපා ගනු ලබන ඇඟිලි මාලයක්‌ සේ උර පළඳිනා හෙයින් හේ අංගුලිමාල නමින් හැඳින්වෙන බවද තව කෙනෙක්‌ කීහ. හේ වල්කලා ඇඳුමක්‌ හැඳි, රත් ගිනි පුලිඟුවන් දැසින් ද, හැඩපලු ගෙතී දුර්වර්ණ වී ගිය උරහිස දක්‌වා දිගට වැඩුණු හිස කෙස්‌ වලින්ද යුතු බාහු බලයෙන් පිරිපුන් නව යොවුන් අයෙක්‌ බවද පැවසිණි. එහෙත් මෙසේ දුටු දුටුවන් කුමක්‌ හෙයින් මරා ඇඟිලි කපන්නේද යන වග දත් කිසිවෙක්‌ද නොවූහ.

මෙසේ ගම් දනව් දනන් ලොමු දැහැ ගන්වමින් සිටි ඒ අඟුල්මල් නම් සැහැසියාගෙන් තමන් මුදවා ගන්නා ලෙස කොසොල් රජ මැඳුර අබියසට රැස්‌වූ දනෝ කියා සිටින්නට වූහ. රජ තෙමේද සිය සෙන්පතියා කැඳවා වහාම ඒ සාහසිකයා ජීව ග්‍රාහයෙන් හෝ එසේ නොමැතිනම් ජීවිතක්‌ෂයට පත්කර හෝ රැගෙන එන ලෙස ආඥවක්‌ද නිකුත් කළේය.
අනතුරුව සෙන්පතියාණෝ රැස්‌ව සිටි ජනයාට මෙසේ කීහ.
දුකට පත්ව සිටින වැසියනි· රජ අණ පරිදි මම දැන්ම ඒ චාලනී වනයට අසුන් සහිත සේනාවක්‌ම පිටත් කර යවන්නෙමි. ඔවුන්ගේ සහායට දුනු හී ගත් තවත් පිරිස්‌ද යන්නාහුය. නුඹලා ආපසු නිවෙස්‌ කරා ගොස්‌ අපට සහාය වුව මැනවි. දින දෙකක්‌ ඇතුළත ඒකාන්තයෙන්ම ඒ සාහසිකයාද ඔහුගේ දුෂ්ට ක්‍රියාද අවසන් වනු ඇත.
රැස්‌ව සිටි ජනයා ඔල්වර සන් නඟමින් නිවෙස්‌ කරා ගියහ.
මේ අතර කොසොල් රජුගේ විශේෂ දූතයෙක්‌ ඡේතවනාරාමයට පැමිණ ආනන්ද හිමියන් බැහැදැක ඒ පුවතද සැළකර කුමන කරුණක්‌ අරභයා හෝ විහාර භූමියෙන් පිටතට නොයන ලෙස ආයාචනයක්‌ද කළේය. එසේම ඡේතවනාරාමයෙහි වැඩ වසන බුදුන් වහන්සේ ප්‍රමුඛ සියලුම භික්‍ෂූන් වහන්සේලාගේ හීල් දානයද දහවල් දානයද සවස ගිලන්පස හා බෙහෙත්ද යන සියල්ල රජමාළිගාවෙන් පූජා කෙරෙන බවද දන්වා සිටියේය.
මේ සියලු තතු බුදුන් වහන්සේට දැන්විය යුතු යෑයි සිතූ අනඳ හිමියෝ උදැසනම බුදුන් වහන්සේ බැහැදැකීමට ගියහ.
“භාග්‍යවතුන් වහන්ස, අද පටන් දෙදිනක්‌ යන තෙක්‌ අපගේ භික්‍ෂු සංඝයා වහන්සේට මේ ආරාම භූමියෙන් පිටතට නොවඩිනා ලෙසට අණක්‌ නිකුත් කරනු මැනවි. අද චාලනී වන අරණෙහි රාජකීය සෙබලෝ මෙහෙයුමක්‌ අරඹති. ඒ එකී වනයට අරක්‌ගත් අංගුලිමාල නම් බිහිසුණු සොරෙක්‌ අල්ලනු පිණිසය. ඒ සොරා දුටු දුටුවන් මරා දමන්නේලු. ඔහු කෙරෙහි බියෙන් නුවර ගම්වල ජනයා සියලු කටයුතු හැර පියා තම නිවෙස්‌වල රැඳී සිටිතියිද කියති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේද මෙහිම ධර්ම කටයුතු කරන ලෙසද මම ආයාචනා කරමි. යම් හෙයකින් ඔබ වහන්සේ ඔහු නෙත ගැටුණුද මේ බුදුමහිම යයි නොදන්නා නපුරාට නොකළ හැකි විපත්ද නැත.
බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට සවන් දුන් සේක්‌ අනතුරුව මෙසේ වදාලහ:
ආනන්දය, ඔබගේ බස සැබෑය. මම ඒ අංගුලිමාලයන් විසින් කරන ලද සියලු විනාශයන්ද ඉඳුරා දනිමි. එහෙත් රජුගේ හමුදාවන්ට පෙර මම ඒ වනාන්තරයට ගොස්‌ ඔහු හමුවීමට අදිටන් කර ඇත්තෙමි. යම් හෙයකින් මගේ ගමන පමා වුවහොත් එයින් ඔහුට වන විපත අප්‍රමාණ වන්නේය. තවද කෙලෙස්‌ නසා සංසාර ගමන අවසන් කිරීමට තරම් හේතු සම්පත් සහිත හේ සුළු ප්‍රමාදයකින් ආනන්තරීය පාප කර්මයක්‌ සිදු කරන්නේය. එසේ වුවහොත් එය නොමැනවි.
එසද ආනන්ද හිමියෝ මෙබදු යෝජනාවක්‌ කළහ.
භාග්‍යවතුන් වහන්ස, ඒ සොරු ඔබ වහන්සේ ගැන හෝ ධර්මය ගැන හෝ නොදන්නෙහිය. කෝපාවිෂ්ටව සිටින ඔවුන් වෙත හුදෙකලාව නොවැඩ අපද ඒ ගමනට එක්‌කර ගත හැකිනම් එය සතුටකි.
බුදුහු ආනන්ද හිමියන්ගේ ස්‌වභාවය ඉඳුරා දනිති. මේ සංසාරයේ දිගු කලක්‌, බුදුන් වහන්සේ පෙරුම් පුරන සමයෙහි එක්‌ව සිටි එක්‌ සුහදයාණන් කෙනෙක්‌ නම් එහිමියා. එනිසා ආනන්ද හිමියන්ගේ පරිත්‍යාගශීලි ගුණයද බුද්ධ ගෞරවයද බුදුහු දනිති. එහෙයින්ම මෙසේ වදාළහ:
ආනන්ද බුදු වරයකුට අභියෝග කළ හැකි කිසිවෙක්‌ මේ සක්‌වල තබා වෙනත් සක්‌වලද නොවෙති. නපුරු බවෙහිද බිහිසුණු බවෙහිද විලාසය මෙවිතර යෑයි කිව නොහැකි මාරයාද ඔහුගේ දසබිම්බරක්‌ සෙනඟද මම හුදෙකලාව ජය ගත්තෙමි. මරුගේ කිසිදු බලයකින් මා සිරුරෙහි රෝම කූපයකට තරම් පීඩාවක්‌වත් නොවීය. ඒ බුදු මහිමයට මිහිකතද සාක්‍ෂි දැරීය. එවන් මට මේ අඟුල්මල් සොරුන් කෙළි බඩුවක්‌ වැන්න. මම එකලාවම වඩිමි. දැනටමත් අඟුල්මල්ගේ මව ඒ වනයට ගොස්‌ සිටින්නීය. ආනන්දය දාරක ස්‌නේහය නම් නොසිදෙන සයුරකි. මේ මව වනයට යන්නී සිය පුතුන් රාජකීය හමුදාවෙන් බේරා ගන්නටය. එහෙත් විකල් සිහියෙන් සිටින හේ මව දුටු සැණින් ඇය මරා ඇගේ ඇඟිල්ලද සිය මාලයට අමුණ ගන්නෙහිය. මම මේ ගමන අවසන් කර පැමිණ ඒ සියලු පුවත් ඔබ ඇතුලු සංඝයා වහන්සේට දන්වමි. මට බාධා නොකරන්න.
ආනන්ද හිමියෝ සන්සුන්ව බුදුන්ට නමස්‌කාර කළහ. ඉක්‌බිති බුදුන් වහන්සේ සමඟ ඡේතවනාරාමයට ඇතුල්වන දොරටුව තෙක්‌ද ගමන් කළේය. බුදුන් වඩනා මඟ දෙස නොපෙනී යන තෙක්‌ම බලා සිටි ආනන්ද හිමියෝ ආපසු කුටියට පැමිණියහ.
බුදුන් වහන්සේ සැවැත්නුවරට වැටෙන සුපුරුදු මඟෙහි ස්‌වල්ප දුරක්‌ ගොස්‌ වමට හැරී වෙනත් අතුරු මගකට පිවිසුණු සේක. එමඟ දෙපස මනාව වැඩුණු වතුපිටිය තන්හි තන්හි කුඩා නිවෙස්‌ද විය. එහෙත් කිසිදු මිනිසෙක්‌ හෝ ගැහැනියෙක්‌ එලිමහනක නොවූහ. බුදුන් වහන්සේද සන්සුන්ව ඒ මග ඔස්‌සේ වඩිමින් සිටියහ.
මේ අතර එක්‌තරා කුඩා නිවසක සිටි අයෙක්‌ බුදුන් වහන්සේ වඩින අයුරු දැක වහා දිව අවුත් මෙලෙස කීවේය.
බුදුහාමුදුරුවන් වහන්ස, මේ මඟ චූලනී නම් වන අරණ දෙසට වැටෙන මගකි. දින කීපයක සිට මේ මඟ ඔස්‌සේ යන එන අය නොවෙති. මේ ගමේ සිටි කීප දෙනෙක්‌ම ජීවිකාව සඳහා වනයට යන්නාහු එහි සැඟව සිටින බිහිසුණු සොරුන්ට ගොදුරුව වැනසුනහ. ඒ කිසිවෙකුගේ සිරුරක්‌වත් දුටු කෙනෙක්‌ නොවූහ. එබදු නපුරු වනයකට තතු නොදැන යන ඔබ වහන්සේටද ඒකාන්ත විපතක්‌ වන්නේය. බුදු හාමුදුරුවන් වහන්ස නො යනු මැනවි.
බුදුහු ඔවුන්ට මෙසේ කීහ:
පින්වත, මම ඒ සියලු තතු දැන දැනම ඒ වනයට යන්නෙමි. බිය නොවන්න. හේ කෙබඳු සාහසිකයකු වුවද ඔහුට මට කළ හැකි සුළු හෝ අනතුරක්‌ නැති බව ඉඳුරා කියමි. අද ඒකාන්තයෙන්ම ඔහුගේ දැඩිකම්, සැහැසිකම් අවසන් වන්නේය. එහෙයින් පෙරළා ගොස්‌ බිය නොවී අඹුදරුවන් සමඟ සිටින්න. සෙසු අයටද ඒ බව දන්වන්න.
බුදුන් වහන්සේ මෙතරම් ස්‌ථිරව පල කරන කරුණු බැහැරලීමට ඔහුටද නොහැකි විය. ඔහු තුළද කිසියම් අලුත් අපේක්‍ෂාවක්‌ නැගුණි.
බුදුන් වහන්සේද තව අඩ හෝරාවක්‌ පමණ පියවර නගමින් ඒ චාලනී නම් අරණ සමීපයටම ළං වූ සේක. හිරු රැසින් පිබිදුනු තුරුලතා පෙළ ඇස නිවයි. සුළඟ හා මුසුවූ කුරුළු ගී නිහඬ බව බිඳ දමයි. තුරු මුදුන්හි කෙළි දෙලෙන් පනින වඳුරු කැළ මොහොතක්‌ වනගැබට පිවිසෙන බුදුන් වහන්සේ දෙස විමසිලිමත්ව බලා සිටියහ. දහවල් දානය කිසියම් පලතුරකින් පිරිමසා ගත යුතුයෑයි බුදුන් වහන්සේ කල්පනා කළ සේක. හාත්පස බලන උන් වහන්සේට රතුපැහැ පලින් බරවූ අඹ රුක්‌ කීපයක්‌ම දැකගත හැකි විය. අනතුරුව අඹ පල දෙකක්‌ නෙලාගත් බුදුන් වහන්සේ රුක්‌ මුළම වැඩ හිඳිමින් ඒවා වැළදූහ.
ගමන් වෙහෙසක්‌ නොදැනුණි. යළිත් නැගී සිටි උන්වහන්සේ දකුණු පසට වැටුණු තරමක්‌ පුළුල් මාවතක්‌ ඔස්‌සේ ගමන් කළ සේක.
එවේලෙහි අංගුලිමාල සොරුද ඒ මාවත ඔස්‌සේම පෙරට එමින් සිටියේය. හේ එක්‌වරම සන්සුන්ව වඩිනා බුදුන් වහන්සේ දෙස බලා සිටියේය. ඔහුට හැඟුනේ කම්, පල විඳින්නට තමන් අබිමුවට එන, තතු නොදත් ශ්‍රමණයකු ලෙසය. බුදුන් වහන්සේද තමා අබිමුවට එන අංගිලිමාලයන් එක්‌වරම හඳුනාගත් සේක. එහිදී අංගුලිමාල තුළ මෙබඳු සිතිවිලි දාමයක්‌ නැගෙන්නටද විය.
මේ ශ්‍රමණයෝ ඒකාන්තයෙන්ම මා පිළිබඳ තතු නොදනිති. මගේ නම ඇසූ පමණින් සිහි මුර්ජා වී ඇද වැටෙන ජනයා පිළිබඳවද ඔවුන් කිසිවක්‌ නොදන්නා සෙයකි. ඔහුගේ මුහුණ කාන්තිමත්ය. ප්‍රිය වඩන සුළුය. මෙවන් ප්‍රසන්න ශ්‍රමණයකු වැනසීම මට තරම් නොවේ. එහෙයින් හඬ නගා ඔහු බිය ගන්වා එළවා දමමි.
අංගුලිමාල එසේ සිතමින්ම සිය සුපුරුදු භීෂණයේ රාවයෙන් වනගැබ සෙලවීය. බුදුන් වහන්සේ ඒ හඬ නෑසුණාක්‌ මෙන් ඔහු අබිමුවට වඩින අයුරු දුටු අංගුලිමාල විස්‌මිතව මෙසේ කීහ:
එම්බා ශ්‍රමණය, මම නුඹට අභයදීමට සිතා පහසුවෙන්ම නුඹ මැරීමට තිබුණු අවස්‌ථාවද අත්හලෙමි. එහෙත් නුඹ අහංකාර ශ්‍රමණයකු සේ මට හැඟෙයි. මම ඒ අහංකාර මානය බිඳ හෙලමි. බල තට වන දේ. මේ නරයන්ගේ ඇඟිලිවලින්ම සැදුණු මාලයට තගේ ඇඟිල්ලක්‌ද ලබා ගැනීමට මා පොළඹවන ලද්දේ ඔබය.
අංගුලිමාල එසේ වහසිබස්‌ දොඩමින් අසිපතද ඔසවා මාරාවේශයෙන් මෙන් දිව එන්නට විය. එහෙත් ඔහුට කෙසේවත් බුදුන් වහන්සේ සමීපයට ළංවිය නොහැකි විය.
අංගුලිමාල වික්‌ෂිප්ත වූයේ, මේ කිමෙක්‌ද? මම මේසා වේගයකින් හඹා එන්නේ වූවද මේ පියවි ගමනින් යන ශ්‍රමණයන්ට ළංවිය නොහැකි වෙමි. මේ ශ්‍රමණයන්, ඉන්ද්‍රජාල ඇත්තෙක්‌ද? නොඑසේ නම් අත්භූත මායාරූපයක්‌ද?
බුදුන් වහන්සේ සෘද්ධි බල මහිමයෙන් ඔහු කෙතරම් දිව ගියත් ඉදිරියට හෝ පසුපසට නොයන ආකාරයට එහිම රැඳවූ සේක. ඒ වගක්‌ නොදත් අංගුලිමාල මෙසේ කියන්ටද විය.
“එම්බල ශ්‍රමණය, නවතිව, මම අද තොපගේ බල සිඳලමි. අංගුලිමාලගේ විලාසය කෙබඳුදැයි දැන ගන්නට සලස්‌වමි.
බුදුහු සන්සුන්ව මෙසේ වදාළහ:
මම නතර වී සිටින්නෙමි. තවමත් දුවන්නේ ඔබය. ඔබද නතර විය යුතුය. ඔබ කෙබෙඳු ජව සම්පන්නයකු වුවද මා අසලට වත් ළංවිය නොහැකි බවද දැනගනු යෙහෙකි.
එවදන් ඇසූ අංගුලිමාල තවත් නොඉවසිලිමත් විය. ඔහුට දැනුනේ තම සිරුරද අත්පාද එක්‌වරම ගල්වී ඇති බවකි. හේ මහත් වෙර යොදා උඩට එසවුණු අත පහත හෙලීමට වෑයම් කළද එය අසීරු විය. දහදියෙන් ගතම වැසී යයි. තරමක විඩාවක්‌ද දැනුණි. සිය සිත සන්සුන් කර ගැනීමට ඔහුට වුවමනා විය.
බුදුන් වහන්සේ ඔහු දෙස මොහොතක්‌ බලාසිට යළි මෙසේ වදාළහ:
අංගුලිමාලය, ඔබට අවශ්‍ය නම් නැවතීමට බාධාවක්‌ නැත. එහෙත් ඒ ස්‌ථිරවම නතර වන්නේ නම් පමණි.
එසඳ බුදුහු ඔහුගේ බන්ධනය ලිහිල් කළහ. අංගුලිමාලට කිසියම් සැහැල්ලුවක්‌ දැනුණි. ඔහු තුළ වූ විකල් බවද දුරුවෙමින් තිබිණි. තමන් විසින් කරන ලද්දේ කිසි දිනක නිවැරදි කරගත හැකි වරදක්‌ නොවන බවද එවේලේ ඔහුට සිහිවිය. සුරත වූ අසිපත නොදැනීම ගිලිහිණි. දෙදණ බිම වැදිණි. දෙඅත් එක්‌ව බුදුන් වහන්සේ දෙසට යොමුවිණි. දෙනෙත් වලට කඳුළු පිරිණි. ඔහුqගේ මතකය අලුත් විය. දිසාපාමොක්‌ ඇඳුරුතුමන්ගේ ප්‍රියතම සිසු ලෙස ආදරයට පාත්‍ර වූ තමන් මෙබඳු සාහසිකයකු වූයේ කෙසේ දැයි සිතන්නටද විය. කිසිවක්‌ නිරවුල්ව සිතා ගැනීමට අසමත් වූ හේ බිම පෙරළෙමින් හඬන්නටද විය.
බුදුන් වහන්සේ ඔහුට කාරුණිකව මෙසේ වදාළහ.
අහිංසක…… මම නුඹගේ නියම නාමයෙන් නුඹ අමතමි.
අහිංසක යන නම ඇසෙත්ම හේ යළි ප්‍රකෘති සිහිය ලැබ විස්‌මිතව බුදුන් වහන්සේ දෙස බැලීය.
ස්‌වාමීනි, මේ කිසිවක්‌ මට තෝරා ගත නොහැක්‌කේය. මේ රුදු වනයෙහි මෘගයකු සේ මිනී මරමින් කල්ගෙවූ මගේ නියම නාමය දන්නා කිසිවෙක්‌ද නොවෙති. එහෙත් ඒ නමින්ම අද මා අමතනු ඇසුණි. මට කියනු මැනවි ඔබ ශ්‍රමණ වෙස්‌ගත් දෙවියෙක්‌ද? බ්‍රහ්මයෙක්‌ද? නොඑසේනම් සක්‌ දෙවිඳුන්ද?
අහිංසක…. මම දෙවියකු, බඹකු හෝ ශක්‍රයකුද නොවෙන්නෙමි. ඔබ කී ඒ සියල්ලෝම මට ගරු බුහුමන්ද පූජාද කෙරෙති. මම නුඹ කෙරෙහි උපන් කරුණාවෙන්ම මෙහි පැමිණි සම්මා සම්බුදු වන්නෙමි.
අංගුලිමාලට පිළිවෙළින් සියල්ල සිහිපත් විය. අනතුරුව හේ මෙලෙස ඒ තතු බුදුන් වහන්සේට කියා සිටියේය.
කාරුණික බුදුපියාණනි මගේ පියාගේ නම ගර්ගය. මව මන්තානි නම් වූවාය. ඔවුහු සුත පෙමින් මා හදා වඩා සිප් සත හැදැරවීමට දිසාපාමොක්‌ ඇඳුරුතුමන් වෙත එවූහ. එහි උගත් මම දක්‍ෂතම සිසුවා වීමි. මගේ නරක මිතුරෝ මා ඇඳුරුතුමන් කෙරෙහි බිඳ වූහ. ගුරුතුමාණෝ ගුරු පුද පිණිස ඇඟිලිමාලයක්‌ ගෙන එන්නැයි මට කීහ. මම දැඩි ගුරු පෙමින් ඒ පූජාව සඳහා මෙසේ වනගත වීමි. දැන් මට මා කළ අපරාධ සිහිවේ. බුදුපියාණනි මට කිසි දිනක සමාවක්‌ නොලැබෙන බවද දනිමි.
බුදුහු යළි මෙසේ වදාළහ:
මම නුඹට පිහිට වන්නෙමි. නුඹ විසින් කරන ලද ප්‍රාණඝාතය යළි නිවැරදි කළ නොහැකි බව සැබෑය. එහෙත් බුද්ධියෙන්ද සිහියෙන්ද ඒ දෙස බලා සත්‍යයේ එළියද විමුක්‌තියේ සිසිලද ලබාගැනීමට තවමත් ඔබට හැකිය. ජීවිතය යනු විනාශ වූ කල ලබා දිය නොහැක්‌කක්‌ බව නුඹට දැන් පසක්‌ විය යුතුය. එහෙත් පසු තැවීමෙන්ම එයට වන්දි ගෙවිය නොහැක. ඒ සඳහා අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණ දිය යුතුය. වෛරය අත්හැර දයාවෙන්ද මෛත්‍රියෙන්ද යුතු අලුත් ජීවිතයක්‌ ඇරඹීමට මම නුඹට උපකාර වන්නෙමි.
ඉක්‌බිති අංගුලිමාල සිය උරයෙහි රැඳි ඇඟිලිමාලය ගලවා වන ගැබට විසි කළේය. ලේ තැවරුණු අසිපතද එදෙසටම වීසි කර දමා යළිත් පසඟ පිහිටුවා බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. බුදුහු හෙතෙම පන්සිල්හි පිහිටුවා ආපසු ඔහු සමඟ ඡේතවනාරාමය බලා වඩින්නට වූහ.
මේ අතර තමන් වහන්සේ වඩිනා මඟ දෙසට එන කිසියම් කාන්තාවක්‌ දුටු බුදුන් වහන්සේ එහි නතර වූ සේක. අංගුලිමාලද බුදුන් වහන්සේ අනුවම නතර වීය. ඇය බෙහෙවින් විඩාබර විලාසයක්‌ පෑවාය.s ඇගේ දෙපා රත් පැහැවී ඉදිමී තිබිණි. සිරුර පුරා සීරීම් තුවාල විය. හිස කෙස්‌ අවුල් විය. වස්‌ත්‍ර තැනින් තැන ඉරී ගොස්‌ය. බුදුන් වහන්සේ අසලටම පැමිණි ඕ නතර වී හාත්පස බැලුවාය. නිශ්චිතව කිසිවක්‌ සිතා ගත නොහැකි වුවද තමන්ට කිසිදු අනතුරක්‌ නැතැයි යන හැඟීම ඇය තුළ විය. ඇය කතා කරන්නී මහත් ආයාසයෙනි. එහෙත් ඇගේ වදන් පැහැදිලිය.
මට උපකාර කළ මැනවි මම දින දෙකක්‌ මුළුල්ලේ මගේ පුතු සොයමින් මේ වන අරණේ සරන්නෙමි. ඒ මගේ එකම පුතුය. ඔහු උපන් සඳ අප ඔහුට නම් තැබුවේ අහිංසක නමිනි. වැඩුණු හේ දිසාපාමොක්‌ වෙත යවා ශිල්ප ඉගැන්වීමි. නොමද ගුරු බැතියෙන් යුතු ඔහු ගුරුන් කෙරෙහි බිඳවනු ලැබිණි. හේ ගුරු පූජාවක්‌ සඳහා ඇඟිලි සොයමින් වන ගතවිය. දැන් අවිගත් සෙබලෝ ඔහු සොයා මේ අරණ පීරති. ඔහුට විපතක්‌ වනු මට දරා ගත නොහැක්‌කේය. මම ඔහු සොයා මෙසේ පැමිණියෙමි. මෙතෙක්‌ ඔහු නෙත නොගැටුණි ඔබ ඉතා උතුම් කෙනෙක්‌ සේ මට හැඟෙයි. නොමග ගිය මපුතු මට සොයා ගන්නට පිහිට වනු මැනවි.
ඉක්‌බිති බුදුහු ඇයගෙන් මෙසේ විමසූහ. “මෑණියනි” මට නිසැකවම ඔබට පිහිට විය හැකිය. ඔබගේ පුතු යම් හෙයකින් දුටුවොත් ඔබට හඳුනාගත හැකිද?
මම එසේ සිතමි. ඇතැම් විට දිගු කලකින් නුදුටු හෙයින් ඔහුගේ විලාසය වෙනස්‌ වී තිබිය හැකිය. මපුතුගේ අහිංසක විලාසය වෙනුවට යක්‍ෂාවේෂයක්‌ ඔහු කෙරෙන් පලවිය හැකිය. එහෙත් මවක්‌ සිය පුතු හඳුනා ගන්නී ඉවෙනි. ලේ කිරට කර දුන් මවකට ඒ ලේ දුවන සිරුර අමුතු නොවෙයි.
බුදුන් වහන්සේ එසඳ තමන් වහන්සේ පසුපස සිටින අංගුලිමාල දෙසට සුරත දිගු කළ සේක. ඒ වන විට අඟුල්මල්ටද සියල්ල හොඳින් ඇසී තිබිණි. හේ වහා නැගිට මව දෙසට විදුලියක්‌ මෙන් පැන්නේය. ඇගේ දෙපා මුළ වැටි වැටී හඬමින් මවගේ පතුල් කඳුළින් සෝදා හරින්ටද වූයේය.
මේ අනපේක්‍ෂිත දසුනින් වික්‍ෂිප්ත වූ මවද කිසිවක්‌ සිතා ගත නොහැකිව සිටියාය. අහිංසක පුතු රකුස්‌ වෙස්‌ගෙන සිටි නමුදු තවමත් අහිංසකයෙක්‌ බව මවට හැගුණි. මොන තරම් අස්‌වැසිල්ලක්‌ද? දෙදෙනාම ඇති තරම් හැඬූහ.
අනතුරුව බුදුහු මෙසේ වදාළහ:
මෑණියනි දැන් සියලු විපත් මඟහැරී ගොසින්ය. ඔබ මෙන්ම ඔබගේ පුතුද භාග්‍යවන්තයහ. නොමඟ ගිය හේ දැන් සුමඟට වැටී සිටින්නෙහිය. මම ඔහුට පරම ශාන්තිය ලබා දෙන්නෙමි. ඔබටද අප සමඟ ඡේතවනාරාමය දක්‌වා ගොස්‌ ආපසු නිවසට යා හැකිය. නුඹගේ පුතු මේ ජටිල සමාජයේ සියලු තතු දක්‌නා නුවණින් පොහොසත්ය. මම ඔවුන් කෙරෙහි කරුණාවෙන්ම මේ වන අරණට පැමිණි ලොව්තුරා බුදුන් වන්නෙමි.
බුද්ධ යන වදන ඇසෙත්ම ඇගේ ළසෝ ගිනි නිවී යන අයුරු ඇයට දැනුණි. ඕ දොහොත් නගා බුදුන්ට යළි නමස්‌කාර කළාය. පසුව ඇයද සිය පුතු සමඟ බුදුන් වහන්සේ පසු පසට ඇදුණාය.
ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.