Skip to main content

240 සාල ජාතකය

තවද ශාක්‍යකුල කල්පද්‍රුමවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා මහතෙරකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් මහතෙරකෙණෙකුන් වහන්සේ ඔහු සමීපයට ගොස් තොපගේ ජාසිවුරු තොප සන්තකය, මාගේ තුන්සිවුරු පාත්‍රය ආදීවූ පිරිකරත් තොප සන්තක වන්නේයයි පොළඹාගෙණ නැවතත් මහණ කරවූසේක. ඒ මහණකරවූ තැන් පටන් පළමුසේම තදවන්නට පටන් ගත්සේක. එ තෙම නැවතත් සිවුරු ඇර මහතෙරුන් වහන්සේ යාඥාකළත් නැවත සිවුරු නොපෙරවියේය. එක් දවසක් භික්ෂූන් වහන්සේ ධම්සභාමණ්ඩපයෙහි රැස්වහිඳ ඇවැත්නි සාමණේරතෙම මොළොක්වූ සිත් ඇත්තේමය. මහතෙරුන් වහන්සේගේ කෝපී කමින් පහ වූයේයයි කියා කියා වැඩ උන්සේක. සර්වඥයන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩ වදාරා මහණෙනි මා එන්නාට පෙර පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා මේ ප්‍රවෘත්තීය දැන් වූ කල්හි මහණෙනි මේ ලදරුවෝ දැන් මතු මොලොක් සිත් ඇත්තෝ නෙවෙයි පළමුත් එක් වරෙක මොහුගේ රොස දැක නැවත නොආයේයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක .

ඒ් කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කෙළෙඹි කුළයක ඉපිද වැඩි වියට පැමිණ වී වෙළඳාම් කිරීමෙන් ජීවිකාව කරන්නේය. එකල එක්තරා අහිකුන්ඨිකයෙක් වඳුරකු ඇතිකොට හික්මවා ඔහු අතට බෙහෙත් දී ඔහුලවා නයින් කෙළවමින් රැකී ඇවිදිනේ බරණැස්නුවර උත්සවකෙළි කෙළනා පිණිස ඒ වඳුරා වී වෙළඳානන් අතට භාරකොටදී උත්සවකෙළ ඉක්බිත්තෙහි වී වෙළදානන් සමීපයට ගොස් මාගේ වානරයා කොයිදැයි විචාළේය. එවිට එකියන වානරත් තමාගේ ස්වාමිපුත්‍රයා ආහෙයින් සන්තෝෂයෙන් ලඟට ආහ. එවිට අහිකුන්ඨිකයා තමාගේ අත තුබූ උණපත්තක්බලා වානරයාට පහරක් ගසා බැඳගෙණගොස් එක් අඹගසක්මුල වැදහොත්තේය. එකියන වානරත් බැදුන් කඩාගෙණ අඹගසට නැගී අඹ කා අහිකුණ්ඨකයා ඇඟට අඹගැට ගැසීය. එවිට අහිකුණ්ඨකයාත් පිබිද වානරයාත් නොදැක ගස උඩබලා වානරයා දැක නලවා බාගන්ට උවමැනවයි සිතා මට ඇත්තානම් තොප එකපුතාමවුව, එසේ හෙයින් මාගේ ඇති යම් සම්පතෙක් ඇත්නම් තොපගේ මවුව, පුත මෙසේ එවයි. කීහ. එවිට වානර කියන්නේ මා තොපකෙරේ මෛත්‍රීයෙන් ආවෙමි තොප විසින් කිපී උණපත්තෙන් ගැසූහෙයින් තොපකෙරේ මම කිපිනිමි. එසේ හෙයින් මා එන්නේනැතැයි කියා වානර ඔබ්බකට පලාගියේය. ඒ පුරාෂයාත් වික්‍ෂෙපව ගොටගියේය යයි වදාරා සාලජතකය නිමවා වදාළසේක.

එසමයෙහි වානරනම් මෙකියන කෙළෙඹිපුත්‍රයාය, එසමයෙහි අහිකුන්ඨිකයා නම් මෙකියන මහතෙරය. එසමයෙහි වී විකුනන වෙළඳව උපන්නෙමි බුදු වූ මම්ම යැයි වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.