Skip to main content

22. තුන් බියෙන් ඇළලී ගිය රම්‍ය නගරය …

බුදුන් වහන්සේගේ නිරන්තර ප්‍රසාදයට ද පැසසුමට ද පාත්‍ර වූ රාජකීය පරපුරක්‌ සේ ලිච්ඡවී රජ දරුවෝ ප්‍රකට වූහ. ලිච්ඡවීහු ස්‌වභාවයෙන් ම මනා රුවැත්තෝ වූහ. මධුර කතා ඇත්තෝ වූහ. යහපත්, පැහැපත් චර්යා ඇත්තෝ ද වූහ. සංඛ්‍යාවෙන් සත් දහස්‌ සත් සියයක්‌ පමණ වූ ලිච්ඡවීහු ඡවි වර්ණයෙන් ද එක හා සමාන වූ හෙයින් ලිච්ඡවී යන නාමය ද අන්වර්ථ විය. පර සතුරු හෝ අන් උවදුරක්‌ නොමැතිව රාජ්‍ය විචාල ලිච්ඡවීන්ට එරට වැසියෝ ද නොමඳව ගරු කළහ. ඔවුන්ගේ රට වඡ්ජි නම් වූ අතර එහි අගනුවර වේසාලි හෙවත් විසාලා නම් විය. විසාලා යනු ද කලින් කල ව්‍යාප්තව පැතිර ගිය විසල් නගරයකි. එහෙයින් ඒ නම ද එපුරට අන්වර්ථ විය.

විසාලා නුවර තව්තිසා දෙව්ලොවක්‌ සේ ද ලිච්ඡවී රජ දරුවන් සග සුරිඳුන් ලෙස ද බුදුන් වහන්සේ විසින් ම හඳුන්වන ලදී. බුදුන් වහන්සේ දේශනා කරන සේක්‌, “පුහුදුන් සඟුනි, ඉදින් ඔබ සග සුරිඳුන් නුදුටුවෙහි නම් ලිච්ඡවීන් දෙස බලනු මැනවි” යනුයි. විසාලා නුවර එබඳු යස ඉසුරු වලින් ආඪ්‍ය වූයේ පෙර පින් පල මෙන්ම පාලක පාලිත දෙපිරිසෙහිම දෘඪතර උත්සාහයේ ද පලයක්‌ ලෙසිනි. පැසී සුවඳ දෙන කෙත් වතු, මලින් පලින් බර තුරු වදුලු, සිහිල් දිය පිරි ඇළ, දොළ හා පොකුණු ද එනුවර බොහෝ විය. වෙළඳ සල්පිල් මඟ දෙපස විය. ගොවිතැන් බත් සදන ගොවීහු ද වෙනත් කර්මාන්තවල නියෑළුනු අය ද රාත්‍රියෙහි සුලබව ඒ වෙළඳසල්පිල්වල පිරී සිටිති. උත්සව හෝ නැකැත් ක්‍රීඩා දිනවල නම් නොයෙක්‌ මහරු ලියෝ ද ඒ තන්හි රැඳී සිටිති. ඇතුළු නුවර හෝ පිට නුවර දුප්පතුන්ගෙන් තොර විය. සොරු ද මං පහරන්නෝ ද නොවූහ. සල්ලාල රැඟුම් නොවීය. බාල ලියෝ සිත් සේ නගර ගම් දනව්වල සැරි සැරූහ.
පිට නුවර ද එකම හරිත රේඛාවකි. හාත්පස සුපිපි වන මල් ගවසා ගත් තුරු හිස්‌ය. ඒ මත බමර කෙළිය. මත් බමර ගී සිත් තුළ ද රැව් දෙයි. කුරුලු ගී නද සවන් සනහයි. ඒ හා මුසු වන්නේ විසාලා නුවර රැව් දෙන ඇතුන්ගේ කුංච නාදය හා අසුන්ගේ හේෂාරවයයි. සිව් වේදයෙහි කෙළ පැමිණි බ්‍රාහ්මණයන්ගේ ගැඹුරු හඬින් අහසට නැගෙන ස්‌ත්‍රොaත්‍ර පුජා ද වෙනත් සෙත් කව් ද උදැසන හා සවස නොවරදවා ඇසෙයි. එවන් අසිරි රැඳුණු පුරයක්‌ දෙව්පුරයක්‌ නොවන්නේ කෙළෙසද?
ලිච්ඡවීහු ඒ සා බලවත්ව නැගී සිටියාහු මේ සියල්ලට බාහිරව තිබුණු ආධ්‍යාත්මික ශක්‌තියද කරන කොට ගෙන ය. එනම් ඔවුහු නිබද සමගියෙන් රැස්‌ව සමගියෙන්ම විසිර ගියහ. වැඩිහිටියන්ට ගරු සත්කාර කිරීම ද ස්‌ත්‍රීන්ට දැක්‌වූ ගෞරවය ද ලිච්ඡවීන්ගේ අගනා පිළිවෙත් විය. එකල බොහෝ පාලනයන්හි දැඩි බැඳීම් මැද සිරව සිටි කාන්තාවන්ට මෙම පාලනයේ ඉහළම නිදහසක්‌ හිමිවිය. ලියන් පෙළන පුරුෂයෝ ද උන්දෙස අසංවරව බලන්නෝද එපුර නොවූහ. ආගම්වාද, දර්ශන බොහෝ වුවද, එක්‌ එක්‌ සමයන් උදෙසා විශේෂත්වයක්‌ නොදැක්‌විණි. බුදු සසුන කෙරෙහි පැහැදුණු තුණුරුවන් සරණ ගිය උවැසි උවැසියෝ ද වූහ. ලිච්ඡවීහු ද බුදුන්ට මහත් සේ ගරු කළහ.
මෙසේ භාග්‍යවත් නුවරක්‌ සේ ප්‍රතිෂ්ඨාපිතව පැවැති විසාලා නුවර සුන්දරත්වය ද ජන ජීවිතය ද මහත් ප්‍රචණ්‌ඩ කුණාටුවකින් කම්පා කරවමින් තුන්බියක්‌ පැතිර ගියේ නොපැතූ ලෙසය. ඒ රෝග බිය ද දුබික්‌ (දුර්භික්‍ෂ) බිය ද යක්‌ බිය ද යන තුන් බියයි. ගම් දනව් බිම හෙළමින් ඇදෙන චණ්‌ඩ කුණාටුවක්‌ සේ ද මුහුදු රළ ගොඩ දුවමින් ඇදෙන සුනාමියක්‌ සේ ද පැතිරෙන තුන් බියට කිසිදු පිලිsයමක්‌ නොවූ තන්හි රටවැසියෝ ද ලිච්ඡවීහු ද මහත් සේ කම්පා වූහ. අසරණ වූහ. අහෝ ලෝ දහමක විලාසය යෑයි පවසන්නාක්‌ මෙන් නගර නො නගර විය. ගම් නොගම් විය. මිනිසුන්ගේ විලාසය ද දුක්‌බර විය. කිසිදු මුහුණක ප්‍රිය තෙපුලක්‌ නොවීය. සිනහ මැරී ගියේ ය. කඳුළ වැඩී ගියේය. ළසෝ ගිනි ඇවිල ගත් මවුවරු දරුවන්ට අහර සොයා දුක්‌ ගත්හ.
ගම් නගර වෙනසක්‌ නොමැතිව සියලු තැන්පත් ධන ධාන්‍ය හිස්‌ විය. ඇළ දොළ ගංගා සිඳී ගියේය. ගවයන්ට තලු ගෑමට තණ නැති විය. දිය තලු තෙමා ගන්ට තරම් දිය බිඳක්‌ නැති විය. නුවර ද ළිං පොකුණු හිස්‌ විය. පානයට තරම් දිය බිඳක්‌ නැති විය. හරිත වන රේඛා දර ඉපල් සේ විය. සිවුපාවෝ ද උරග ආදී සතුන් ද අසරණ වූහ. සත්තු වනාන්තර හැර දමා හිස්‌ හැරුණු අත යන්නාහු ගම්වලට ද වැදුණහ. එහෙත් විඩාපත් සර්පයකුට හිස ඔසවන්නට තරම්වත් ප්‍රාණයක්‌ නොවූ සෙයකි.
සුවඳැල් කෙත් යායවල් පිදුරු බවට පත්විය. ගඩා ගෙඩියක්‌ තරම්වත් සොයා ගත නොහැකි වූ ගොවි ජනයා ද අසරණ වූහ. ගිලන් වන ප්‍රමාණයට වෙදැදුරෝ පමණ වුහ. දවසින් දවස උග්‍ර වූ අභිවාතක නම් දරුණු රෝගයට සැවත් නුවරම ගොදුරු වීමට ගත වුයේ දෙසතියක්‌ වැනි කාලයකි. එහි දරුණු පල ගෙයක්‌ ගෙයක්‌ පාසා දිස්‌විය. නිවෙස්‌වල රඳනා හූනන් වැනි සත්තු මැරී වැටුණහ. බළල්ලු ද සුනඛයෝ ද ගවයෝ ද මැරී වැටෙන්නට වූහ. හැම ගෙයකම මරණයකි. නැතහොත් දෙකකි. මළ මිනී දැමීමට සොහොන් බිම් නොවූ සෙයකි. පළමුව පාර දෙපස ද, අනතුරුව ගෙවල් තුළමද මිනී කඳු ගැසෙන්නට විය. ඒ මළ මිනී අනුභව කිරීමට පැමිණි යක්‍ෂයෝ ද, කෝළහල කළහ. මළ සිරුරුවලින් නැගෙන දුර්ගන්ධය නාස්‌ පුඬු හකුලවන සුළු විය. සත්ත්ව සිරුරු ද මිනිස්‌ සිරුරු ද ඕජස්‌ ගලමින් එනුවර මළ නුවරක්‌ බවට පත්වෙද්දී ලිච්ඡවී පාලකයෝ ද අන්ත අසරණව සුසුම්ලන්නට වූහ. දවසින් දවස උඩු දුවනා ඒ විපත් නිසා මුළු නුවරම වැනසෙන බව ඔවුන්ට පසක්‌ විය.
මෙලෙස නගර ගම් දනව් වසා නැගී එන තුන් බියට අපි කුමක්‌ කරමු දැයි ලිච්ඡවීහු ද වික්‍ෂිප්තව කතා කළහ. පුරෝහිතයෝ ද දුර්මුඛව ම පසු වූහ. කිසිවකුට කිසිම විසඳුමක්‌ නොවූ සෙයකි. සියලු දෙනාගේම සිත් හිස්‌ වූ සෙයකි. මුව ගොලු වූ සෙයකි. මෙවන් විපතක්‌ නම් හත්මුතු පරම්පරාවකින් එපිටවත් නොවූවකැයි කියමින් සමහරු සුසුම්ලන්නට වූහ. යාග, හෝම, හෝ කවර සෙත් ශාන්තියක්‌ කරන්නට තරම් සමතෙක්‌ නුවර හෝ නොවීය.
එසද එක්‌ අයෙක්‌ කියන්නාහු මෙනුවර මහා බලවත් රහත්හු හයදෙනෙක්‌ සිටිති. පරිවාර පිරිස්‌ සමඟ ඔවුහු නිහඬව දිවි ගෙවති. අපට ඔවුන්ගෙන් පිළිසරණක්‌ ලද හැකිය. ඒ ඇසු තව කෙනෙක්‌ මෙසේ කීහ.
ඔබ කියනා සය දෙනා පිළිබඳවම සියලු තතු මම දනිමි. මක්‌ඛලිගෝසාල, අජිතකේසකම්බල, කකුධකත්‍යායන, සංජය බෙල්ලට්‌ටිපුත්‍ර. නිඝණ්‌ඨනාථ යනාදී ඔව්හු මෙනුවරට ආගන්තුක ද නොවෙති. එහෙත් මෙබඳු විපතක්‌ දුරු කළ හැකි බලයක්‌ ඔවුන් සතුව ඇතැයි මම කිසිසේත් නොසිතමි. අද ඔවුන්ගේ සියලු බලමුළු ගන්වන මේ දඹදිව තලයට නොව මුළු ලොවටම සූර්ය රාජයෙක්‌ බඳු බුදුවරයෙක්‌ පහළව සිටිති. “ලෝ තතු මෙලෙසය. සංසාරය මෙබඳුය. ජීවිතය මෙවැනිය.” යනාදී ගැඹුරු දහම් සරලව දෙසන ඒ බුදුහු ජන ගන මන ගිනි නිවති. ජන දුකට පිහිට වෙති. ඉදින් මා නො අදහන්නේ නම් අපගේ මිත්‍ර රජවරුන් වන බිම්බිසාර හෝ කොසොල් රජු විමසා ඒ තතු දැන ගත හැකිය. අප මේ විපත ඒ බුදුන්ට කියන්නේ නම් ඒකාන්තයෙන් ම පිහිටක්‌ ලද හැක්‌කේය. තවද එබුදුන්ගේ ලීලාව දැන් ඉතා ප්‍රකටය. පෙර දිනකදී එබුදුහු කිsඹුල්වත් නුවරදී අසිරිමත් ප්‍රාතිහාර්ය දැක්‌වූහ. එදුටු සුදොවුන් මහ රජුන් ප්‍රමුඛ නෑසියෝ මහ පොළෙවේ පෙරළී උන්වහන්සේට නමස්‌කාර පූජා කළහ. එනිසා මෙතන්හි බුදු සරණ හැර අන් සරණක්‌ අපට නැත්තේ ය.
ලිච්ඡවීන් අතර ද බුදුන් සරණ ගිය කීපදෙනෙක්‌ම වූහ. එසේම බුදු මහිමය පිළිබඳව ද ඔව්හු ඉඳුරා දත්හ. බුදුන්ගේ පැහැසර බවද, කරුණා මුදිතා ගුණ ද ඔව්හු දත්හ. එහෙයින් එක්‌වරම සියල්ලෝම එම අදහස අනුමත කළහ. එහෙත් උන්වහන්සේ විශාලා මහ නුවරට කැඳවන්නේ කෙසේද යන පැනය එහිදී මතු විය. එහිදී එක්‌ ලිච්ඡවී කුමාරයෙකුට මහාලී නම් ලිච්ඡවී රජුන් සිහිපත් විය.
මහාලී ලිච්ඡවී රජතුමා බිම්බිසාර රජුන්ගේ සමීප මිතුරකු පමණක්‌ නොව කීප වරක්‌ම බුදුන්ගෙන් බණ අසා සිටි උපාසකයෙක්‌ ද විය. එනිසා දූත මෙහෙවර ඔහුට බාර විය. අනතුරුව මහාලී රජු තවත් ලිච්ඡවී යුව රජ කෙනෙක්‌ ද සමඟරජගහ නුවර බිම්බිසාර රජ මාලිගාවට ගියහ. බිම්බිසාර රජු ද සිය පැරැණි මිතුරා ස්‌නේහයෙන් පිළිගෙන සත්කාර කර කවා පොවා වඩා හිඳවා හදිසි පැමිණීම ගැන විමසීය. විසාලා නුවරට සිදුව ඇති විපත ඇසූ බිම්බිසාර රජු ද මහත් සේ කම්පා විය. අනතුරුව ඒ කාර්ය සඳහා ඔවුන් දෙදෙනා යැමේ යෝග්‍යතාව ගැන ද බිම්බිසාර රජු පැහැදිලි කළේය.
“මගේ නුවර වැඩ සිටින බුදුන් වහන්සේට වෙනත් නුවරකට වඩින්ට කියල මා යෝජනා කිරීම සුදුසු නෑ. ඒක ඔබ අතින්ම වෙනව නං හොඳයි. ඔබ ආරාධනාව කළාට පස්‌සේ මටත් පුළුවන් මැදිහත් වෙන්ට. මට හොඳටම විශ්වාසයි මේ දුකට පිහිට වෙන්න පුළුවන් උන්වහන්සේට පමණයි කියන එකත්.
බිම්බිසාර රජුන්ගේ කාරුණික සත්කාරයට හා උපදේශයට ද ප්‍රශංසා කළ මහාලි සිය යුවරජු ද සමඟවේළුවනාරාමයට ගොස්‌ බුදුන් වහන්සේට ආරාධනා කළේය. එදිනම සවස බිම්බිසාර රජුන් හමු වී අනෙක්‌ සියලු කටයුතු ද සැලසුම් කළ ඔවුහු පෙරළා සැවත් නුවරට ද පැමිණියහ.මේ දෙනුවර අතර දුර පස්‌යොදුනකි. ගමන් වෙහෙස දැඩි වුවද විසාලා නුවරට සිදුව තිබෙන විපත සිහිකරද්දී ඒ සියලු විඩා පහව යයි.
කෙසේ හෝ දෙරටහි රජවරු තම තමන්ට අයත් සීමාව තෙක්‌ මාර්ගය සකසා සුදුවැලි අතුරුවා ධජ පතාක ද නංවා මහත් උත්සවයකට සැරසෙන්නාක්‌ මෙන් උද්යෝගයෙන් ම පසු වූහ. බිම්බිසාර රජු ද ගම් මඟසරසවා පුන් කලස්‌ දෙපසද රඳවා මහත් උත්කර්ෂවත් විලාසයක්‌ නිම වීය. ලිච්ඡවීහු ද ගංගා නම් ගංතෙර දක්‌වා මඟ සාදවා එහි විසල් මණ්‌ඩපයක්‌ ද ඉදිකර වූහ.
මේ අතර බුදුන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු පන්සියයක්‌ භික්‍ෂූන් හා රහතන් වහන්සේ සමඟ විසාලා නුවර බලා වඩින්නට වූහ. එමග දෙපසද සෝභාව තවත් වැඩි කිරීමට දෙවියෝ ද වග බලා ගත්හ. බුදුන් ප්‍රමුඛ සංඝයාට පීඩා නොවන පරිද්දෙන් හිරු මුවා කරමින් බැඳුණු වලා වියනක්‌ ද දෙවියෝම මැවූහ. කිසිදු ගමන් විඩාවක්‌ නොවීය. බුදුන් වහන්සේ වඩිනා දිනයෙහි ලිච්ඡවී රජදරුවෝ මහත් ගෞරවයෙන් ගංගා නදියට බැස කරවටක්‌ ම ගිලී සිටියහ.
බුදුන් වහන්සේ ගඟ අසබඩ ඉදිකළ මණ්‌ඩපයට වැඩ පසුව විශාලා නුවර භූමි සීමාවට ශ්‍රීපාදය තබද්දීම මහ වැසි වැටෙන්නට විය. ලිච්ඡවී රජවරු සාදුකාර දුන්හ. දෙවියෝ එසද ගංගා නදිය ද නෙළුම් මලින් විචිත්‍ර කළහ. විස්‌මයට පත් ලිච්ඡවීහු නෙළුම් නෙළා ඒවා බුදුන් පයට පාවඩ සේ ඇතුරූහ. බුදුන් වහන්සේ විසාලා නුවරට වඩිද්දී එනුවර සියලු අපවිත්‍ර දේ වැසි දියෙන් ගලා ගෙන ගොස්‌ තිබිණි. වියළී ගිය රුක්‌ ගොමුවල එක දෙක පත්‍ර ද පිබිදී තිබිණි. මුළු නුවරම සුදුවැලි වලින් සැදුණු බෝ මළුවක්‌ සේ පිරිසිදුව තිබිණි. බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා විසින් මග දිගට රුවන් සුතුර සඡ්ජායනා කරමින් ම වැඩියහ.
විසාලා නුවර සිසාරා නැගුණු පිරිත් නාදය දෙව්ලොව හා බඹලොව දක්‌වාම විහිදිණි. දෙවි බඹහු ප්‍රමුදිතව සාදුකාර දුන්හ. නුවර ගම් වසා ගත් මූසල විපත් දුරු විය. ඒ වන විට ජීවත්ව සිටි හැම කෙනෙකුගේ ම මුව සිනා මල් පිපුණි. ගිලන් වූ අයෙක්‌ යම් සේ දිව ඔසුවකින් නිරෝගී වන්නෙහි ද එලෙසම ඉතිරිව සිටි සියලු දෙනාම නැගී සිටියහ. සතා සිව්පාවෝ ද නින්දකින් අවදි වූවාක්‌ සේ නැගිට දිව යන්ට වූහ. මුළු නුවරම යළි පිබිඳිණ. ලිච්ඡවී රජවරු ද සාදුකාර දුන්හ. බුදුන් වහන්සේගේ ගුණ ගයමින් නුවර ඇවිද යන්ටද වූහ. බුදු මහිමයෙන් යළි සැවත් නුවර රම්‍ය නගරයක්‌ බවට පත්වන අයුරු ඔවුහු දුටහ. බුදුන් වහන්සේ පිරිත් නිමවා ආනන්ද හිමියන් තමන් වහන්සේ සමීපයට කැඳවීය. ඉනික්‌බිති බුදුන් අත රැඳී දිය පිරි පාත්‍රය ආනන්ද හිමියන්ට දී මෙසේ කී සේක.
“ආනන්දය මේ සැවත් නුවර ප්‍රකෘතිමත් විය. දැන් එය අතීත ශ්‍රී විභූතියට පත් වනු ඇත. එහෙත් මේ පාත්‍රයෙහි තිබෙන පිරිත් පැන් මේ නුවර සීමාවේ හතර කොණ දක්‌වාම ඉසින්න.”
අනතුරුව ආනන්ද හිමියෝ පිරිත් සඡ්ජායනා කරමින් ම පිරිත් පැන් ඉස හමාර කළහ.
ගාමිණි සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.