
ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේද විදුහල්පති ලෙස අවුරුදු පහකට වැඩි කාලයක් මම සේවය කළෙමි. වෙසක් මහට පසු වර්ෂාව සමඟ ඇතිවන දැඩි මීදුම, තද වර්ෂාව හා සීතල ඉවසිය නොහැකි තරම්ය. ජනවාරි අග සිට මාර්තු මුල දක්වා වැටෙන අව්ව දැරිය නොහැකි තරම් ඇඟපත පුලුස්සයි. ඒ මේ අඩවියේ ලොකු ගහකොළ නැති බැවිනි.
මේ කාලයට පාසලේ ළමයින්ගේ ඇඟ අව්වට පිලිස්සී කළු වී තුවාල මතුවෙයි. ජීවන වියදම දැඩිය. නගරය කලින් කල වෙනස් වෙයි. පහතරටින් ආ වෙළෙඳුන් හැර වතු කම්කරුවන් හැර රජයේ සේවයට එන අය මාරුවී යති. ඒ නිසා එහි ස්ථිර පදිංචිකරුවෝ අඩුය. මේ කාලය තුළ ශ්‍රී පාදයේ සැඟවුණු තොරතුරු අලළා “පූජනීය ශ්‍රී පාදය” නමින් මම ග්‍රන්ථයක් ලියා පළ කළෙමි. මේ ග්‍රන්ථය ලිවීමේදී ප්‍රදේශයේ සිය ගණනක් සමඟ මම සාකච්ඡා කළෙමි. අවාරයේ ශ්‍රී පාද පද්මය මුර කරන මුරකරුවන් දෙදෙනා, සමන් දේවාල කපු මහත්වරුන්, තේවා භාර හිමිවරුන්, වතුකරයේ දිගුකාලීනව රැකියා කරන වතු නිලධාරීන් හා කම්කරුවන්, නල්ලතන්නියේ හෝටල හිමියන් මෙන්ම මස්කෙළිය හිටපු ගම්මුලාදෑනි රොබට් මහතාද ශ්‍රී පාදයේ ඉහළ සීමාව දක්වාම නිතර රාජකාරිවලට අවුරුදු තිහක් පමණ ඇවිද හොඳ අත්දැකීම් තිබූ අයෙකි. මෙහිදී මගේ අවධානය යොමුවූ මාතෘකාවක් වූයේ ශ්‍රී පාද අඩවියේ සැඟවුණු ගුප්ත අලි සුසාන භූමියක් වූයේද යන්නය.