Skip to main content
Monthly Archives

March 2015

ලෝවාමහාපාය ( The Lovamahapaya )

By අටමස්ථාන ... (Atamasthana ... ), අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples) No Comments

අද අපගේ විමැසුමට ලක් වන්නේ ලෝවාමහාපාය යි. තඹ ලෝහයෙන් කළ උළු පියස්සෙන් වැසුණු මන්දිරය නිසා මෙයට ලෝවාමහාපාය ලෙස නම තබා තිබේ. ලෝවාමහාපාය නොහොත් ලෝවාමහා ප්‍රාසාදය අනුරාධපුර ශුද්ධ භූමියේ පිහිටියේ ය. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳුමහ රහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය) ලෙස මෙය හඳුන්වයි.

දුටුගැමුණු රජතුමාගේ (ක්‍රි. පූ 161 – 137) රාජ්‍ය සමයේදී මෙය මහල් නවයකින් යුක්තව කරවන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ අනාවැකියක් පරිදි රාජ මන්දිරයේ කරඬුවක බහාලන ලද රන්පතක ලියා තිබූ සටහනක් අනුව ලෝවා මහා පාය ගොඩ නැංවූ බව මහා වංශයේ සඳහන් වේ. දුටුගැමුණු රජතුමා මහමෙව්නා උයනට මහා සංඝරත්නය රැස්කරවා මෙසේ පැවසීය. ‘නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි. දිව්‍ය ලෝකයට වැඩ එහි ආකාර සැලැස්මක් මා වෙත ගෙන්වා දෙන සේක්වා’. ඉනික්බිති රහතන් වහන්සේ අටනමක් තව්තිසා දෙව්ලොවට වැඩ ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගත් බවත් එම සැලැස්මට අනුකූලව ලෝවාමහාපාය කර වූ බවත් මහාවංශය සඳහන් කරයි. Read More

මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Mirisawetiya Stupa )

By අටමස්ථාන ... (Atamasthana ... ) One Comment

ලංකා රාජ්‍ය එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා රාජවංශ කතාවේ ඔටුණු පලන් රජ වරු අතර විශිෂ්ටයෙකි. පූජාවලිය පවසන්නේ මේ මහා නරපතිඳුන් ලෝක ශාසනයට මවක බවයි. මහා වංශයට සහ පූජාවලියට අනුව දුටු ගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161–137) තම වසර 24 ක රාජ්‍ය කාලය තුළ විහාර අනූනවයක් කළ බව කියැවෙයි.

එවන් වූ මහී පාලකයාණන් විසින් කළ ප්‍රථම ස්තූපය මිරිසවැටිය චෛත්‍ය නිසා මෙය සුවිශේෂී ස්මාරකයකි. අටමස්ථානයෙන් එකක් වූ මිරිසවැටි චෛත්‍ය අනුරාධපුර ශුද්ධ භූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරින් පිහිටා තිබේ.

සොලීන්ට යටත්ව තිබූ අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ රාජභිෂේකයෙන් සත් දිනකට පසුව ඇරැඹුණු විහාර කර්මාන්තය නිමා කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. එය සිදු වී ඇත්තේ බුද්ධ වර්ෂ 385 දී පමණ ය.

කුඩා කල තම දෙමාපියන්ට වූ පොරොන්දුවක් පරිදි සංඝයා වහන්සේට නොදී රජතුමා කිසිවක් අනුභව නොකළේ ය. එහෙත් පෙර දිනක අමතක වීමකින් භික්‍ෂූන්ට නොදී මිරිස් වැටියක් (මෙය මිරිස් ව්‍යාංජනයක් විය හැක) අනුභව කළ නිසා තම හෘද සාක්‍ෂිය විසින් ම පමුණුවා ගත් දඬුවමට වන්දි ගෙවීමට රජතුමා මිරිසවැටිය චෛත්‍ය කළ බව ඉතිහාස ග්‍රන්ථයන්ට අනුව සනාථ කර ගත හැක. Read More

ජේතවනාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Jethawanarama Stupa )

By අටමස්ථාන ... (Atamasthana ... ) No Comments

ලෝකයේ පවතින විශාලත්වයෙන් අගතැන්පත් බෞද්ධ ස්තූපය වූ ජේතවන චෛත්‍ය දෙවැනි වන්නේ ලෝකයේ පුදුම හතෙන් එකක්සේ ගැනෙන මිසරයේ පිරමීඩයන්ට පමණි.

මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 – 303 ) කරවූ ස්තූපය අඩි 400 ක් පමණ උස් වූ බව කියැවෙයි. එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් ඇඳින ලද සැලැස්මට අනුව සෑයේ උස අඩි 244 කි. වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ පොතේ සඳහන්ව ඇත්තේ දා ගැබේ උස අඩි 249 ක් බවත් වට අඩි ප්‍රමාණය අඩි 1200 ක් බවත් ය. මෙම සුවිසල් ස්තූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවති යි.

සෑයේ නිධන් කර ඇති දේ පිළිබඳව මහාවංශයේ සඳහන් නොකළ ද පූජාවලියට අනුව මෙහි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටී ධාතුවයි. අනුරාධපුරයේ ඇති මහා ස්තූපයන් තුනෙන්, එකක් වන ජේතවන චෛත්‍ය ඇත්තේ අනුරාධපුරයේ ජෝතිවනය නම් භූමියේ ය. එමනිසා මෙය ජේතවනාරාමය ලෙස ප්‍රචලිත විය. එහෙත් ශිලා ලේඛනයන්හි හා පැරැණි පොත පතෙහි සඳහන් ව ඇත්තේ දෙනාවෙහෙර – දෙනායකය ආදී නම් වලිනි.

මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි වූ මහා විහාර සම්ප්‍රදායට එරෙහි වූ මහසෙන් රජතුමා ලෝවාමහාපාය සහ තවත් පූජනීය වස්තූන් විනාශ කිරීමට තරම් කුරිරු වූයේ මහායාන සම්ප්‍රදායට නතු වූ සංඝමිත්‍ර නම් පාපමිත්‍ර භික්‍ෂූන් වහන්සේගේ බහට මුලා වී එම භික්‍ෂුවගේ උපදෙස් අනුව ය. මෙම සැහැසි ක්‍රියා හමුවේ මුළු රටම කැළඹුණි. රජතුමාගේ කුළුපග මිතුරකු වූ මේඝවර්ණ නම් අමාත්‍යවරයා මලය රටට පලාගොස් සේනා සංවිධානය කර යුද වදින්නට පෙරලා පැමිණියේ රජතුමා කළ මෙම නොපනත්කම් ඉවසීමට නොහැකි වූ නිසාවෙනි.

එහෙත් ගිනිගන්නට ගිය දේශයේ වාසනාවකට යුද්ධය නැවතුණි. මහසෙන් රජු ඔහු අතින් වූ වරද පිළිගෙන නැවත මහා විහාරය ගොඩනැඟීමට එකඟ වූ නිසා දෙදෙනා අතර සමාදානය ඇති විය. ඉන් පසුව මහා විහාරය ගොඩනැඟුණද රජතුමා හා මහා විහාරය අතර ප්‍රබල සම්බන්ධතාවයන් ඇති වූයේ නැත. මහා විහාර භූමිය තුළ තවත් ස්තූපයක් ඉදිකිරීමට මහසෙන් රජතුමාට අවශ්‍ය විය. එය නිශ්ඵල ප්‍රයත්නයක් බව මහාවිහාරික භික්‍ෂූන් පෙන්වා දුන්න ද රජතුමා එයට එකඟ නොවී ය. එසේ හිතුවක්කාර ප්‍රයත්නයක ප්‍රතිඵලය ලෙස ලෝකයේ සුවිසල් වූ ජේතවනාරාම මහා ස්තූපය ඉදිවිය. මේ මහා දාගැබ සාදවා ජේතවනාරාම විහාරයේ අයිතිය පවරා දුන්නේ මහා විහාර සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ තිස්ස නම් භික්‍ෂූන් වහන්සේ වෙත ය. Read More

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The abayagiri Stupa )

By අටමස්ථාන ... (Atamasthana ... ) No Comments

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටියේ අනුරාධපුර ශුද්ධ භූමියේය. ථූපාරාමයට හෝ ඇතුළු නුවරට උතුරින් පිහිටා ඇති හෙයින් මෙය උත්තර මහා චෛත්‍යය වශයෙන් ද හඳුන්වනු ලබයි.

ඉතිහාසය පිරික්සීමේදී, ප්‍රථම නිකාය භේදයට තුඩු දුන්, සිද්ධි දාමය සමඟ අභයගිරි විහාරයේ නාමය ඈඳී තිබෙයි. එහෙත් එම විලෝමය, අභයගිරි විහාර සංකීර්ණයේ හෝ අද අප කතා කරන අභයගිරි මහා ස්තූපයේ ගරු ගාම්භීරත්වයට කිසිසේත් අවතක්සේරුවක් නොවනු ඇත.

ලාංකේය රාජ්‍ය වංශයේ තවත් එක් සුවිශේෂී නාමයක් රැන්දූ ‘වළගම්බා’ නොහොත් වට්ට ගාමිණී අභය රජතුමා (ක්‍රි.පූ. 89 – 77 ) මෙම ස්තූපය කරවා තිබේ. වට්ටගාමිණී අභය කුමරු සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයා ය. වළගම්බා රජතුමා ප්‍රථම වරට අභිෂේක ලබන්නේ ක්‍රි.පූ. 103 වසරේදීය. එහෙත් සය මසක ඇවෑමෙන් සොලී ආක්‍රමණයන් සත් දෙනකුගේ බලය හමුවේ සිහසුන බිම තබා පැරද පලා යන්නට ඔහුට සිදුවෙයි. පැරද පලායන රජතුමා දැක එක් නිගන්ඨාරාමයක විසූ ගිරි නම් ජෛනාගමිකයා මහකළු සිංහලයා පලායන බව කෑගසමින් පවසා රජතුමා අවමානයට ලක් කරයි.

ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සැඟවෙමින් රුහුණේ සිට සේනාවන් රැස්කර සංවිධානය වන වළගම්බා නැවත පෙරළා පැමිණ එවකට අනුරපුරයේ පාලකයාව සිටි අවසන් ද්‍රවිඩ ආක්‍රමණිකයා පරදා අප මාතෘභූමිය නැවත එක් සේසත් කරයි. Read More

ථූපාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ ( The thuparama Stupa)

By අටමස්ථාන ... (Atamasthana ... ) No Comments

මහින්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතුන් නිධන් කළ චෛත්‍යයක අවශ්‍යතාව දේවානම් පියතිස්ස රජුට පෙන්වා දුන්හ. ඒ අනුව රජුගේ ඉල්ලීම පරිදි ඉන්දියාවට වැඩම කළ සුමන සාමණේරයෝ අශෝක අධිරජයා හමුව බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ද තවත් ධාතුන් වහන්සේලා ද ලබා ගෙන ලක්දිවට සැපත් වූහ. රජතුමා අකු ධාතුන් වහන්සේ මංගල හස්තියා පිට මහ පෙරහරින් වැඩමවාගෙන යද්දී හස්තියා එක තැනක නතර වී නොසෙල් වී සිටියේය. මහින්ද ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් මත අභය වැවෙන් පස් ගෙන්වා එතැන ඇතාගේ උසට සෑයක් බැඳි රජතෙමේ ඇතු පිටින් ධාතුන් වහන්සේ වැඩමවා එහි නිධන් කොට ලක්දිව ප්‍රථම ස්තූපය සෑදවීය. වර්තමාන ථූපාරාමය එයයි. ස්ථූප හා ආරාම සංකීර්ණය එක්ව පිහිටා තිබීම නිසා ථූපාරාම නාමය ව්‍යාවහාර වූ බවට ද මතයකි. දැනුදු නටබුන් සහිතව අක්කර 3 ½ ක පමණ ප්‍රදේශයක් වසා පැතිර ඇති ථූපාරාම භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයකි. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ඉදි වූ ප්‍රථම ථූපය ථූපාරාමය වීම එහි ඇති විශේෂත්වයයි. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119-109) ස්ථූපයට ශෛලමය කඤ්චුකයක් පුද කළ අතර වසභ රජු (ක්‍රි. ව. 66-110) වටදාගෙය සාදා දුන්නේය. ධාතුසේන රජු මෙන්ම දෙවන අග්‍රබෝධි රජු ද ථූපයෙහි අලුත්වැඩියා කටයුතු සඳහා උර දී කටයුතු කළ රජවරුන් දෙදෙනෙකි. පළමුවන දාඨෝපතිස්ස රජු හේවායින්ට මුදල් ගෙවීමට නොහැකිව සිටියේය.

ඔහු ඒ සඳහා කළේ ථූපාරාමයෙහි ධාතු ගර්භය බිඳීමය. එසේ වුව (ක්‍රි. ව. 650-659) අතර රජ කළ දෙවන කාශ්‍යප රජු ස්ථූපය නැවත ප්‍රකෘතිමත් කළේය. මේ අයුරින් මානවම්ම, දෙවන මිහිඳු, දෙවන දප්පුල, දෙවන සේන, දෙවන උදය, සිව්වන මහින්ද ආදී රජවරුන් ද ථූපය පිළිසකර කරමින් ද, අලුත් අංග එක් කරමින් ද මහත් සේවාවන් කළ බව අමතක නොකළ යුතුය. දෙවන දප්පුල රජුගේ කාලයේ දී මෙහි පැමිණි පාණ්ඩ්‍යයන් විසින් ථූපාරාමය මංකොල්ල කන ලද අතර දහවන සියවස අවසානයේ දී මෙහි ආ සොළීහු සමස්ථ විහාරයම කොල්ල කෑහ. එසේ වුවද භාග්‍යයකට මෙන් දොලොස්වන සියවසේ රජකම් කළ මහා පරාක්‍රමබාහු නරපතියා එය නැවතත් යථා තත්වයට ගෙන ආවේය. මෙම දා‍ගැබේ මුල් ස්වරූපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ අතර ඉන් පසුව කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය ඝණ්ටාර හැඩයට වෙනස් වූ බව සඳහන්ය. Read More

රාගයේ විපාක කියදෙන සෝරෙය්‍ය මහරහතන්වහන්සේ …….

By සිරි සදහම් ( Dhamma) One Comment

“ චේ.නාහං භික්ඛවේ කම්මංවදාමි” කියන බුදුවදන අහපු නැති කෙනෙක් හොයන්න නෑ නේද යාලුවනේ. චේතනාව කර්මයට මූලිකවේ කියන එක තමයි මේකෙ සරළ තේරුම. හැබැයි මේ බුදුවදනින් ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කීදෙනාද කියන එකත් හරිම ගැටලුවක්.
අපේ ජීවිතේට අදාල සෑමදෙයක්ම සිදුවෙන්නෙ සිතමුල්කරගෙන නේද? අපි කරන හැමදේටම මුල්වෙන්නෙ සිත. එය කිසිදු දෙවියෙකුගේවත්, වෙනයම් කෙනෙකුගේ බලපෑමක්වත් නෙවෙයි. දේවත්වයට පත්වනේනෙත් තිරිසන් බවට පත්වෙන්නෙත් මිනිසාම බව කියමනක් තියෙනව ඔයාල අහල ඇතිනෙ.

යාලුවනේ ධම්මපදයේ චිත්තවග්ගයේ මෙන්න මෙහෙම ගාථාවක් තියෙනව.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුංකරොති මේධාවි
උසුකාරොව තේජනං

සිත කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්, රැකගන්න අමාරු දෙයක්. වරදින් වලක්වන්නටත් අමාරු දෙයක්, නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටල එබදු සිත පවා ඍජු කරගන්නවා. ඇදකුද ඇරලා හී දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.

Read More

අපිත් අෂ්ඨාංග සීලය සමාදන් වෙමු.

By සිරි සදහම් ( Dhamma) 2 Comments

ඉතින් යහලුවනේ මේ කථාකරන්න යන්නෙ ඉතාම වැදගත් මාතෘකාවක්.  පොහොය දවසෙ ඔයාල හැමදෙනෙක්ම  මේ පොයට සිල්ගන්න යන්න උත්සාහ කරන්න. ‍අඩුතරමින් මේ පෝය දවසෙන්වත් පටන්ගන්න උත්සාහ කරන්න. බුද්ධකාලයේ පවා නි‍වසේ සිට සිල් සමාදන් වූ උවස උවැසියන් හිටිය යාලුවනේ සිල් රෙදි පොරව ගෙන පන්සලට ගිහින් සිල් ගන්න එක තමයි වැදගත්ම දේ. හිතට එකගව එහෙම යන්නම බැරිකෙනෙක් ඉන්නවනම් ගෙදර හරි වැඩකරන තැන සිල්පද අට සමාදන්වෙලා ආරක්ෂා කරන්න. ඒක හරිම වටින දෙයක්. උච්චාසයන මහා සයන කියන ශික්ෂාපදය විස්තර කරල තියෙනව. ඇරත් ඔයාල හිතට එකගවනම් සිල් සමාදන් වෙන්නෙ පුටුවක ඉදගත්ත කියල ගැටලුවක් නෑ. මොකද වැඩකරන තැන බිම ඉදගන්න බෑනෙ. ගෙදරදි වගේනම් පුලුවන්.

යාලුවනේ සමාදන්වෙන්න ඕනි ශික්ෂාපද තේරුමත් එක්ක මම දාල තියෙනව. මේවගෙ තේරුම හිතින් හිතාගෙන පාලියෙන් කියවන්න. බලන්න පළවෙනි ශික්ෂාපදය බොහෝ අය කියවන්නෙ මම සතුන් නොමැරීමේ ශික්ෂාපදය සමාදන් වෙමි කියල. මේ බලන්න මේක කියවල ඒක විතරමද කියවෙන්නෙ කිය. අන්න ඒනිසයි බුද්ධ භාෂිතයෙන්ම මේදේවල් භාවිත කරන්න කියන්නෙ. මෙන්න සිල්පද අට.

1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒ රහතන් වහන්සේලා ජීවිත හේතුවෙන් වත් සතෙක් මැරුවේ නැහැ. මැරෙව්වේ නෑ. මරාගත් සතුන්ගේ මස්මාංශ ආදිය ආහාරයට ගනිමින් මරණය වර්ණනා කලේ හෝ අනුමත කලේ නෑ. සියලු සතුන්ට මෛත්‍රිය වැඩුවා. ඒ උතුම් රහතන්වහන්සේලාට අනුව අද දවසේ පෙහෙවත් පුරන මම සතුන් මරන්නේ නෑ. අනුන් ලවා මරවන්නෙත් නෑ. නසාගත් සතුන්ගේ මාංශ ආදිය ආහාරයට ගන්නෙත් නෑ. සියලු සතුන්වෙත මෙත්සිත පතුරවමි. Read More

බුදුදහමින් කියැවෙන දරු උපත පිලිබද විශ්මිත අදහස් …

By සිරි සදහම් ( Dhamma) No Comments

යහලුවනේ අදත් මම විශේඹ කාරණයක් පිලිබදවයි මේ කථාකරන්න යන්නෙ. ඒතමයි දරු උපත ගැන දුටු බුදු ඇස. මේ පිලිබද අපි මෙයට ඉස්සර ඉතාම වැදගත් ලිපියක් කියෙව්ව. මේ ලිපියත් ඒකටම සම්බන්ධවන විදිහට ධාරණය කරගන්න. ඒ ලිපියෙ ලින්ක් එක ‍මේ ලිපිය අවසානයේ දාල තියෙනව.

හොදයි යාලුවනේ අපි ලිපිය පටන්ගම් මේ විදිහට. දරුවකු මවුකුසයෙහි පිළිසිඳ ගැනීම හා මවුකුසයෙන් බිහිවීම පිළිබඳව දුරාතීතයේ විසූ මිනිසුන්ට තිබුණේ සීමිත දැනුමක්. ඒ පිළිබඳ සිද්ධි දාමය ඔවුන් තේරුම් ගත්තේ නිර්මාණවාදය සමග ගැලපීමෙන්. ලොව සියල්ල මවනු ලබන සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා විසින් දරු උපත සිදුකරන බව ඔවුහු සිතූහ. දෙවියන් විසින් හෝ මහා බ්‍රහ්මයා විසින් දෙන ලද යන අදහසින් දේවදත්ත බ්‍රහ්මදත්ත වැනි නම් දරුවන්ට යොදන්නට පවා ඔහුqවු පෙළඹුණා. ශිව ලිංග පූජා පැවැත්වීම ද දරු උපතට දේවත්වය ආරෝපණය කරගැනීම නිසා ඇතිවුණ සිරිතක්. දරුවන් පතා අදිසි දෙවිවරුන් යෑදීමේ පුරුද්ද අදත් ජන සමාජයෙහි දක්‌නට ලැබෙනව.

දරු උපත අදිසි බලවේගයක මැදිහත් වීමෙන් සිදුවන දෙයක්‌ ලෙස ආදි යුගයේ මිනිසුන් තුළ පැවැති විශ්වාසය තරමක්‌ වෙනස්‌ වුණේ බුදුරදුන් ලොව බිහිවුණු යුගයේ භාරතයේ විසූ දාර්ශනිකයන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන්. ඒ අනුව මවු කුසක දරු ගැබක්‌ හටගන්නේ ස්‌ත්‍රි- පුරුෂ දෙදෙනාගේ එක්‌වීමෙන් පමණක්‌ නොව කර්මය, පුනරුත්පත්තිය, ආත්මය වැනි ශක්‌තීන්ගේ ද බලපෑමෙන්. ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් විග්‍රහයන් ආගමික සම්ප්‍රදායන් මගින් ඉදිරිපත් කරල තියෙනව. සත්ත්වයා නිර්මාණය වන්නේ ජීව හා ද්‍රව්‍ය මූලයන් එක්‌වීමෙනි. සත් – අසත් වශයෙන් වෛදික ග්‍රන්ථවල ද, ප්‍රකෘති – පුරුෂ වශයෙන් සාංඛ්‍ය දර්ශනයේ ද, නාම – රූප යනුවෙන් උපනිෂද් ග්‍රන්ථවලද දැක්‌වෙන්නේ එම කාරණයයි. බුදුදහම ද සත්ත්වයාගේ නිර්මාණය විග්‍රහ කරන්නේ නාම – රූප පදනම් කරගෙනයි. ස්‌කන්ධ, ආයතන ආදිය පිළිබඳ ගැඹුරු විස්‌තරය ද එයට ඇතුළත්. අපිට මෙයින් පැහැදිලිවෙන තව කරුණක් තියෙනව. ඉන්දියාවෙ තිබුන ඒ ආගම්වලටත් වඩා පහත් දැනුමක් මතයි වර්ථමානයේ අනික් ආගම් ගොඩනැගිල තියෙන්නෙ. මොකද ඒ ආගම් තාම නිර්මාණවාදය විශ්වාස කරන නිසයි.

Read More

ජීවිතයට අසිරිමත් වෙනසක් … … …

By සිරි සදහම් ( Dhamma) No Comments

යහලුවනේ මම දාපු නොයෙක් ලිපි වලින් ඔයාලට තේරෙනව ඇති බුදු දහමින් මොනතරම් ප්‍රායෝගික ප්‍රයෝජන ගන්න පුලුවන්ද කියල. මේ ලිපිය අලුතින් කියවන අය මගෙ ගිණුමට ගිහින් අනිත් ලිපි ටිකත් බලන්න. යහලුවනේ මම මේ ලිපි දාන්නෙ කවුරුත් කියපු දේවල් නෙවෙයි. කවුරුහරි කීවම මම ඒව ප්‍රායෝගිකව අත්හදා බලල හරිනම් තමයි ඔයාලට දෙන්නෙ. මොකද මම ඒව නොකර ‍බොරුවට කලා කියල වැදිබණ කියල වැඩක් නෑ. යම් දෙයක් එහෙම කියනවනම් මම පැහැදිලිව කියල ඇති මේව මම කලේ නෑ. ඔයාල කැමතිනම් කරල බලන්න කියල.

හොදයි, අදත් මම ඔයාලට මේ කියන්න යන්නෙ ඉතාම වැදගත් ගාථාවක්. ඒ ගාථාව ඉහලින් දාල තියෙනව තේරුමත් එක්ක. මේ ගාථාව කියන්න ඕනි පාලියෙන්. සිංහල තේරුම පාලි ගාථාව කියවනකොට මතකයට ගන්න. මේවගෙ තියෙන්නෙ සත්‍ය ක්‍රියාවක් පමණයි කියල හෝ වෙන මොනම හේතුවක් නිසාවත් මේක සිංහලෙන් කියලනම් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. මොකද බුද්ධ භාෂිතයට අනුව නිවැරදි ඝන පිහිටුවලයි මේ ගාථා හදල තියෙන්නෙ.
මේ ගාථාව දුටුගැමුණු මහ රජතුමා නිතර භාවිතා කරපු ගාථාවක්. එතුමාට ජීවිතයේ විපුල ඵල ලබන්න මේ ගාථාව හේතු උනා. නොයෙක් තැන්වල සදහන්වෙනව “ විභාග, රැකී රක්ෂා, සුභ කටයුතු වලින් ජය ලැබීමට මේ ගාථාව තෙවරක් සජ්ඣායනා කරන්න ” කියල. ඔන්න ඒකනම් මම කරල නෑ. කොහොමත් විභාග පාස්වෙන්න මේව කිය කිය ඉදල හරියන්නෙ නෑ. පාඩම් කරන්න ඕනි.
ඒත් මේ ගාථාව උදේ හවස භාවිතා කරන්න. මම ප්‍රායෝගිකව අත්වින්ද දෙයක් තමයි හිතේ සතුට ඇතිවෙනව මේ ගාථාව භාවිත කරද්දි. පුදුම සැනසීමක් උදාවෙනව. කරන කියන වැඩ කටයුතුවල තියෙන අවුල් මග හැරිල යනව. සිතේ තියෙන කලහකාරී නැතිනම් කලබල ගතිය මගඇරිල යනව. ආගමට දහමට සිත කවත් ලංවෙනව. හතුරන්ගේ හතුරු ගතිය අඩුවෙලා මිතුරු ස්වභාවයක් පෙන්වනව. යාලුවනේ මම ගාථාව භාවිතා කරන්න පටන් අරන් තව දවස් තුන හතරයි. ඒ ටිකටයි මේ ඵල ලැබුනෙ. ඉතින් නිතර මා සමග ඉන්න වගේම මට ඇණුම් බැනුම්වලින් සංග්‍රහ කරන හැමොගෙම යහපත උදෙසායි මේ බව සදහන් කලේ. Read More

සර්වඥතා ඥාණය … … ..

By සිරි සදහම් ( Dhamma) No Comments

සක්වලක් යනු සූර්යයෙකුගෙන් ආලෝකය ලබන පෙදෙසයි. අපට පෙනෙන සූර්යාගෙන් ආලෝකමත්වන පෙදෙස මගුල් සක්වල වේ. සියලු බුදුවරු පහල වන්නේ මගුල් සක්වලේය. බුදුවරයෙකුට ක්ෂේත්‍ර තුනකි. ඒ බුද්ධ ක්ෂේත්‍රය, ආඥා ක්ෂේත්‍රය හා විෂය ක්ෂේත්‍රය වේ. දස දහසක් සක්වල බුද්ධ ක්ෂේත්‍රයට අයත් වේ. බුදුකෙනෙකු ( බෝසත්වරයෙකු ) මව් කුස පිළිසිද ගැනීම, බිහිවීම, බුදුවීම, ප්‍රථම ධම්සක් පැවතුම් දේශනය, පිරිනිවන් පාන අවස්ථාවලදී ඇතිවන පෙළහර දස දහසක් ස්වල පුරා ඉිතිර පැතිර පවතී,. ආඥා ක්ෂේත්‍රය යනු කෝටිලක්ෂයක් සක්වලයි. රතන සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල අණසක කෝටි ලක්ෂයක් පුරා පැතිර යයි. විශෂය ක්ෂේත්‍රය සීමා කළ නොහැකිය. ගංගාව දෙපසේ ඇති වැලි කැට ගණන මැනිය හැකිනම්, මුහුදේ ඇති ජලබින්දු ගණනය කල හැකිනම් ඒ ගැන අදහසක් ලබා ගත හැකිය. පින්වත් යාලුවනේ ඒතරම් දුර බුදු නුවණින් බැලුවත් මේ විශ්වයේ කෙළවරක් නැතිලු.
අප අදහන ඒ භාග්‍යවත් වූද අරහත් වූද, සම්‍යසම්බුද්ධ වූද සර්වඥ රා‍ාජා්ත්තමයාණන් වහන්සේගේ බලමහිමය හිතාගන්න පුලුවන් නේද? ඒ සර්වඥයන් වහන්සේ පිළිබද සිත පහදවා ගනිමු. අනන්ත බුදුගුණ ජීවිතයට එකතු කරගනිමු.

( හෙණ්ඩියාගල සීලරතන හිමියන්ගේ පුණර්භවය හා නිර්වාණය කෘතියේ පිටු අංක 360 හා 361 යන පිටු වලින් උපුටා ගන්නා ලදි )

error: Content is protected by www.ifbcnet.org.