නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රහ්මණ
-සෙලසූත්‍රය
බ්‍රාහ්මණය, දුඃඛ සත්‍යය නම් වූ ජාතිජරාදි ධර්‍මසමූහය එකක් පාසා ගෙනැ මේ හේතුවෙන් අනිත්‍ය යැ, දුක් යැ, අනාත්ම යැ යි විදර්‍ශනාඥානයෙන් පිරිසිඳැ – වෙන් වෙන් කොට – දන්නා ලද්දේ ය. සමුදයසත්‍යය නම් වූ තෘෂ්ණාව හෙවත් දුකට හේතුව චතුර්විධ ආර්යමාර්‍ගයෙන් මුල් සිඳැ නසන ලද්දේ ය. නිරොධසත්‍යය නම් වූ නිර්‍වාණය සතර මඟ නුවණින් පසක් කරන ලද්දේ ය. මාර්‍ගසත්‍යය නම් වූ ආර්යඅෂ්ටාඞ්‍ගිකමාර්‍ගය සිත්සතන්හි ඉපැදැවීම් වශයෙන් වඩනා ලද්දේ ය. එ හෙයින් මම බුදු නම් වෙමි.
බුද්ධ ශබ්දයෙහි නිර්‍වචනාර්ථ දක්වන්නෝ ද, “බුජ්ඣිතා සච්චානී’ති බුද්ධො” යනුවෙන් සතර ආර්යසත්‍යයන් අවබොධ කැරැ ගත් තැනැත්තේ බුද්ධ නම් වේ යි ප්‍රකාශ කළහ. යටැ සඳහන් බුදුරජාණන් වහන්සේ ගේ අදහසත් නිර්‍වචනාර්ථයත් අනුව, “චතුරාර්යසත්‍යය අවබොධ කැරැ ගත් උත්තමයාණන් වහන්සේ බුද්ධ නම් වෙති” යි කිව යුතු ය.
මේ චතුරාර්යසත්‍යය යන්නෙහි ‘චතු’ = සතර යන්නත් ‘සත්‍ය’ = සැබෑව යන්නත් කාටත් ඉතා පැහැදිලි ය. එහෙත් ‘ආර්ය’ = උතුම් යන්න මඳක් සැක උපදවන සුලු ය. සත්‍ය නම් උතුම් විය යුතු ම නො වේ දැයි තර්‍ක කිරීමට ඉඩ ඇති හෙයිනි. සත්‍ය නම් උතුම් බව සැබෑ ය. එහෙත් මෙහි වෙසෙසා දැක්වීමට කරුණු කීපයක් ඇත්තේ ය. Read More