වර්තමාන ලංකාවේ පවතින පක්‍ෂ දේශපාලන පිළිවෙත අනුව පක්‍ෂ දේශපාලකයනට ජාතික සමඟිය ගැන කතා කරන්නට අයිතියක් තියෙනවා ද යනු මගේ ප්‍රශ්නය යි. එයට මා දෙන පිළිතුර නම් අයිතියක් නැත යනුයි. එය එසේ නම් නිකාය වශයෙන් බෙදී සිටින භික්‍ෂූන් වහන්සේට ආගමික සමඟිය හා ජාතික සමඟිය ගැන කතා කරන්නට අයිතියක් තියෙනවා ද? ඉතා වැදගත් ප්‍රශ්නයෙකි. එබඳු භේදයෙකින් සිටින භික්‍ෂූන් වහන්සේට නම් ඒ අයිතිය නැත. එහෙත් වර්තමාන ලංකාවේ භික්‍ෂූන් වහන්සේ නිකාය වශයෙන් වෙන් වී විනයකර්ම කරතත් සියලු කටයුතු එක ම සඟ පරපුරක් හැටියට එක ම ධර්ම විනය පිළිගෙන, අවශ්‍ය අවස්ථාවල දී එක ම හඬක් නංවන තත්ත්වයෙකැ සිටිති. එය පැහැදිළි වැ විස්තර කැර දීම මගේ යුතුකම යි.
බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ද ඇතැම් භික්‍ෂූන් අතර මතභේද තුබුණා. හොඳ ම සාධකය කොසඹෑ නුවර භික්‍ෂූන් විනය ශික්‍ෂාපදයක් අනුව භේද භින්න වැ ගෙන ගිය අර්බුදය යි. ඒ භික්‍ෂූන් පසුව සමඟි වුණා. දෙව්දත් තෙරුන් ද සුළු පිරිසක් සිය මතයට අවනත කැර ගෙන වෙන් වී ගිය බව ප්‍රකට කරුණෙකි.
ප්‍රථම ධර්ම සංගායනා අවධියෙහි සුළු මතබේදයක් ඇති වුණා. එයට හේතුව පුරාණ මාහිමියන් වහන්සේ ගේ ප්‍රකාශය යි. එනම් සංගායනාව හොඳයි. බුද්ධ ධර්මය පිටක නිකාය ග්‍රන්ථ වශයෙන් පිළියෙළ වීම හොඳයි. එහෙත් මා මට පුරුදු අයුරින් බුද්ධ ධර්මය භාවිත කරනවා යනුයි. එයින් සංඝයා අතර භේදයක් ඇති වුණේ නැත.
දෙවන සංගායනාවට හේතු වූයේ වජ්ජිපුත්‍ර භික්‍ෂූන් ගේ දශවිධ කල්පය ය. ඒ කරුණු දශය ම ප්‍රතික්‍ෂේප කළ රහත් මහා සංඝයා වහන්සේ දෙවන ධර්ම සංගායනාව ද පැවැත්වූහ. එයින් දහ දහසක් පමණ වජිජිපුත්‍ර භික්‍ෂූන් වහන්සේ වෙන ම භික්‍ෂු පිරිසක් වශයෙන් කටයුතු කරන්නට පටන් ගත්හ. Read More