Skip to main content
Monthly Archives

November 2014

චාම් ජීවිතය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ද උපදේශයෙන් ද ලෝකයාට චාම් ජීවිතය ඉගැන්වූ උත්තමයෙකි. චාම් ජීවිතය බෞද්ධයාට උරුම වූ දෙයකි. ගේ දොර යාන වාහන ඇඳුම් පැළැඳුම් ආදියෙන් විචිත්‍ර වූ ජීවිතය ඇස් කන් නාසාදි ඉන්ද්‍රියයන් පොළඹවන්නෙකි. මේ ජීවිතයේ පරමාර්ථය ඉන්ද්‍රියයන් පිනවීම යැ යි සලකන්නවුන් හට නම් විචිත්‍ර ජීවිතය තරම් උසස් දෙයක් නො විය යුතු ය. බෞද්ධයාට ඊට වඩා උසස් පරමාර්ථයක් ඇත්තේ ය. එය ලැබිය හැක්කේ ඉන්ද්‍රියයන් පෙළඹවීමෙන් නො ව සංවරයෙන් හා චිත්ත දමනයෙනි.

තිරිසනාට ඉන්ද්‍රියයන් පිනවීමට වඩා ජීවිතයේ පරමාර්ථයක් නැත්තේ ය. දෙවියන් තුළ ද බහුල ව ඇත්තේ ඉන්ද්‍රියයන් පිනවීමේ පරමාර්ථය බව කිව හැකි ය. බුදුරජාණන් වහන්සේට උවමනා කළේ මිනිසා තිරිසන් තත්ත්වයෙනුදු මුදා දේවත්වයට ද වඩා උසස් ව ගෙන යන මඟ කියා දීම ය. ඒ කාරිය සිදු කළ හැක්කේ බාහිර අලංකාරයෙන් නො ව අභ්‍යන්තර දියුණුවෙනි.

ගිහි බෞද්ධයාට විචිත්‍ර ජීවිතය සම්පූර්ණයෙන් තහනම් නැත. එ සේ ම තමා ගේ උසස් පරමාර්ථය සිදු කැරගැනීමට චාම් ජීවිතය මෙන් උපකාර ද නැත. ඒ නිසා බෞද්ධයන් විසින් චාම් ජීවිතයක් ඇති කැර ගැනීම සඳහා “අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා,” යන ගුණත්‍රය ද ඇති කැරගත යුතු ය.

අප්පිච්ඡතා නම්, ඇස් කන් නාසා ආදි ඉන්ද්‍රියයන් පිනවන නොයෙක් විදියේ රස විදීමේ ආශා බහුල නොවන බව යි, හෙවත් තමා ‍ෙග් ප්‍රමාණය ඉක්මවා නොයන ස්වල්ප වූ බලාපොරොත්තු ඇති බව යි. ඉතාලියේ සුප්‍රසිද්ධ චින්තකයකු වූ ද, කලාකාරයකු වූ ද ලෙනා‍ෙඩා ද වින්චි මහත්මා කීවේ, ‘මා දුප්පතකු ලෙස නොසලකන්න. දුප්පතා නම් බොහෝ දේවල් ප්‍රාර්ථනා කරන්න‍ා’ යනු යි. ඒ නිසා අල්පේච්ඡතාවට ලඡ්ඡා නො විය යුතු යි. Read More

මැදුම් පිළිවෙත …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

මධ්‍යම ප්‍රතිපදාව යන්නෙහි ධර්මාර්ථය එකෙකි, වචනාර්ථය අනෙකෙකි. සමහරු ධර්මය පිළිබඳ වචනවලට පවා ධර්මාර්ථය ගැන නො සලකා වචනාර්ථය අනුවැ අර්ථ දෙන්නට ගොස් මහජනයාට වැරදි හැඟීම් දෙන බව දැනගන්නට ලැබෙයි. ධර්මය පිළිබඳ කරුණුවලදී ව්‍යඤ්ජනඡායාව ම ගැනීම ධර්මන්‍යාය නොවන බැවින් එයින් කියැවෙන ධර්මාර්ථයට බුදුරජාණන් වහන්සේ ගේ අදහස සලකා ම අර්ථ දිය යුතු ය.

මධ්‍යම ප්‍රතිපදා යනු ඉතා දීර්ඝ විසිතුරු ඉතිහාසයක් ඇති වචනයෙකි. අවුරුදු දෙ දහස් පන්සියයකටත් අධික ඉතිහාසයක් ඇති වචනයෙකි. ආරම්භය බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු බුදුරජාණන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනය යි. පරිණාමවාදය අනුවැ සලකා බලන විට වචනයක් වුව ද අවුරුදු දෙ දහස් පන්සියයක් යන විට නෙ‍ායෙක් බෙදුම් හා නොයෙක් තේරුම් ඇති වී පැතිරී යෑම ස්වභාවයෙකි. මධ්‍යම ප්‍රතිපදාව යන වචනය ද මුල් අදහස අමතක වන තරමට විනාශයට පැමිණ තිබෙන බව කිව හැකි ය. එය කොතරම් දුරට ගියා දැ යි කිව හොත් ඇතැම් දේශපාලනඥයන් පවා “අප දේශපාලනය කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ” යි කියමින් මධ්‍යම ප්‍රතිපදාව දේශපාලනයටත් ඈඳගෙන ඇත.

වචනාර්ථය අනුවැ නම් “මධ්‍යම ප්‍රතිපදාව” යන්න කවර කරුණක් හා සමඟ වුව ද යෙදිය හැකි ය. එහෙත් මෙහි වැඩි දෙනා කල්පනා නොකරන බලවත් වරදක් වෙයි. එ නම් යටැ කී මධ්‍යම ප්‍රතිපදා ගැන කථා කරන බොහෝ දෙනා අප මේ කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ යි කීම ය.

බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව උන් වහන්සේ ම දේශනා කොට ඇති හෙයින් ඒ ඒ අයට තමන් තමන් කැමැති පරිදි ඒ ඒ අත හරවා දක්වනු නොහැකි වෙයි. එය එකම ප්‍රතිපදාව යි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි, මෝක්‍ෂ මාර්ගය යි. Read More

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ මතය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කොට ඇති වූවකි. රාෂ්ට්‍ර පාලනය අනෙකෙකි. බුද්ධ ධර්මය රාෂ්ට්‍ර පාලනයටත් රාෂ්ට්‍ර පාලනය බුද්ධ ධර්මයටත් උපකාර ය. එහෙත් ධර්මානුකූල ජීවිතයත් රාෂ්ට්‍ර පාලනයත් එකට කළ නොහැකි ය.

මරණීය දණ්ඩනය ගැන බෞද්ධ මතය ය යි විශේෂ මතයක් ප්‍රකාශ කරන්නට නැත. ජීවිතයට ජීවිතයක් ගැනීම වැනි ඉගැන්වීම් බුද්ධ ධර්මයෙහි නැති හෙයිනි. තමා ගේ ජීවිතය සඳහා වත් අන්‍යයනට හිංසාවක් පීඩාවක් කිරීම බුද්ධ ධර්මයෙහි නූගන්වයි. එසේ නම් කෙනෙකු මැරීම ගැන කවර කතා ද?

දිනක් ආරාමයට පැමිණි කේසී නම් අශ්වයන් හික්මවන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් ඇති විය. “ඔබ අශ්වයන් හික්ම වන්නේ කෙසේ දැ යි” බුදුරජාණන් වහන්සේ ඇසූ හ. “ස්වාමීනි, මම සමහර අසුන් පරුෂභාවයෙන් හිකමවමි, සමහරුන් මෘදුභාවයෙන් හික්මවමි, සමහරුන් මෘදු පරුෂ දෙකින් හික්මවමි” යි කී ය. “ එසේ හික්මවන්නට බැරි අසුන් හට කුමක් කරනුවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවැත ඇසූ හ. “ඔවුන් මරා දමමි” යි කේසි කී ය.

අනතුරු වැ කේසී, “ඔබ වහන්සේ ශිෂ්‍යයන් හික්මවන්නේ කෙසේ දැ” යි ඇසී ය. “මමත් සමහරුන් නරකෙහි නරක විපාක පෙන්නා පරුෂ භාවයෙන් ද හික්මවමි. සමහරුන් හො‍‍ෙඳහි හොඳ විපාක පෙන්නා මෘදු භාවයෙන් ද හික්මවමි” යි බුදුරජාණෝ කී හ. “එසේ හික්මවන්නට බැරි අයට කුමක් කරනුවා දැ”යි කේසි ද ඇසී ය. “ඔවුන් මරා දමමි” යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ. එවිට කේසී, “ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ශාසනයෙහි මැරීම තහනම් නො වේ දැ” යි ඇසී ය. “එසේය, එහෙත් මා මරන්නේ ඔබ මරණ ලෙසට නො වේ. මාගේ මැරීම නම් වරද කළ තැනැත්තා ගණන් ගන්නේ නැති වැ කිසිවකට වැද්ද ගන්නේ නැති වැ වෙන් කැර කොන් කැර තැබීම යි” බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ.

Read More

විකාර භාවනා ක්‍රම බුද්ධාගමට තර්ජනයෙකි

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

 

“මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල්හි එ තැනට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැනට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එහි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය.

එ සේ මැ මහණෙනි, අනාගතයෙහි මෙ බඳු භික්‍ෂූහු වෙති. කෙබඳු ද යත්: යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති; කන් යොමු නො කෙරෙති; වටහා ලනු සඳහා සිත ද නො දෙති; ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති.

එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති; කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති; එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ.”

(සංයුක්ත නිකාය – ඕපම්ම සංයුක්තය)

Read More

මියගියවුන් හට පින් දීම …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදුරජාණන් වහන්සේ බුදු වූ පළමු අවුරුද්දෙහි ම තමන් වූ පෙ‍ාරොන්දුවෙන් මිදෙනු සඳහා රජගහ නුවරට වැඩම කළ හ. එහි දී බණ අසා බිම්බිසාර රජු ප්‍රමුඛ බොහෝ දෙනා සෝවාන් වැ තෙරුවන් සරණ ගිය හ. වේළුවන නම් රජ උයන ද බුදු පාමොක් මහ සඟනට පිදී ය‍. බුදුරජාණන් වහන්සේ එහි වැඩ වෙසෙන සඳ බිමිබිසාර රජු ගේ ඥාති ප්‍රේතයනට පින් දෙන්නට ය යි නියම කළ හ. මෙය මියගියවුන් හට පින් දීමේ ආරම්භය යි.

මේ පින් දීම පිළිබඳ වැ මෙ කල බොහෝ දෙනා තුළ නොයෙක් විමති ඇති බව ඉතා ප්‍රකට ය. මේ පින් යන්නේ කවර ම‍ෙඟකින් ද? පින් ලැබෙන්නේ කෙසේ ද ආදී නොයෙක් ප්‍රශ්න නඟන්නෝ ඉතා බහුල ය. එසේ ප්‍රශ්න කිරීම ඉතා මැනැවි. අන්ධ විශ්වාසය බුද්ධධර්මයට නො ගැළැපෙයි. සැකය බුදුරජාණන් වහන්සේ ගෙන් බොහෝ නින්දා ලැබුවකි. සැක නැති කැරගත හැක්කේ ප්‍රශ්න කොට දැනුම පිරිසුදු කැරගැනීමෙනි. බුද්ධාගමයෙහි “දේව රහස්” නැත. කවර කරුණක් පිළිබඳ වැ හෝ ප්‍රශ්න කිරීමට කිසි ම බාධාවක් නැත. ප්‍රශ්න කිරීමේ නිදහස ලෝකයාට දුන් මහෝත්තමයාණෝ බුදුජාණන් වහන්සේ ය. එය කාලාම සූත්‍රාදියෙන් මැනවින් පැහැදිළි වෙයි. දැනීම පිරිසිදු කැරගැනීමට ප්‍රශ්න කරන්නවුන් හට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ ගෙන් අති පණ්ඩිතකමට ප්‍රශ්න කරන්නවුන් හට බොහෝ නින්දා ද ලැබිණ.

බොහෝ ආගම් භක්තියට – විශ්වාසයට මුල් තැන දෙතත් බුද්ධාගමයෙහි මුල් තැන ලැබෙන්නේ ප්‍රඥාවට ය. “පඤ්ඤාය පරිසුඡ්ඣති” යන බුද්ධ වචනයෙන් එය පැහැදිළි වෙයි. බුද්ධාගමයෙහි පින්කම් උසස් වන්නේ නුවණින් විමසා බලා කරුණු දැනැගෙන කළ පමණට ම ය. බොහෝ ආගම් පිටතින් බලන විට ලස්සන ය, රසවත් ය; කරුණු වශයෙන් විමසා බලන විට නම් නීරස ය. බුද්ධාගමය පිටතින් බලන විට කර්කෂ ය, දුෂ්කර ය; කරුණු වශයෙන් නුවණින් විමසා බලන විට ඉතා රසවත් ය, ප්‍රඥාගොචර ය. Read More

අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

“අබ්‍රහ්මචරියා ‍වෙරමණී සික්ඛාපදං සමාදියාමි” – අබ්‍රහ්මචර්යයෙන් වැළැකෙන ශික්‍ෂාපදය සමාදන් වෙමි. මෙය අෂ්ටාංග ශීලයෙහි තෙ වැනි ශික්‍ෂාපදය යි. මෙහි ‘අබ්‍රහ්මචරිය’ නම් ශ්‍රෙ‍්ෂ්ඨ නොවන හැසිරීම යි; මෛථුන සේවනය යි. ‘වේරමණී’ යනු විරාමණය යි; වැළැක්වීම යි. ‘සික්ඛාපදං’ නම් ශික්‍ෂා කොටස යි‍. ‘සමාදියාමි’ යනු රකින්නට හිතා බාරගැනීම යි. මෙය පැවිද්දන් ගේ නිත්‍ය ශීලය යි. ගිහියන් ගේ උපොසථ ශීලය යි. එ නම්, පෙහෙවී වාස‍ය කරන දිනයන්හි පමණක් රක්නා ශීලය යි. උපොසථ ශීලයෙහි දී බ්‍රහ්මචර්ය යන්නෙන් මෛථුන සෙවන විරතිය කියැවෙතත් ධර්මයෙහි චතුර්විධ බ්‍රහ්මචර්යයෙක් ප්‍රකාශ වේ.

ඒ චතුර්විධ බ්‍රහ්මචර්යය නම්, කෞමාර බ්‍රහ්මචර්ය ය, ස්වදාරසන්තුෂ්ඨි බ්‍රහ්මචර්ය ය, ස්වපුරුෂසන්තුෂ්ඨි බ්‍රහ්මචර්ය ‍ය, තපොගුණ යුක්ත බ්‍රහ්මචර්ය ය යන සතර යි.

  1. කෞමාර බ්‍රහ්මචර්යය නම් කුමර – කුමරියන් ගේ ශ්‍රෙ‍්ෂ්ඨ පැවැත්ම යි; හැසිරීම යි. ආවාහ විවාහ වන්නට පෙරැ වූ ස්ත්‍රී පුරුෂයෝ කුමරි – කුමර නමින් හැඳින්වෙති. තම තමන් ගේ කුමාරභාවය කුමාරිභාවය කිලිටි කැරැගන්නේ නැති වැ එය රැකෙන සේ මනා කොට පැවැතීම කෞමාර බ්‍රහ්මචර්යය නම් වේ. කෞමාර බ්‍රහ්මචර්යයෙහි ඇති වටිනා කම අපේ තරුණ තරුණියනට නිතර නිතර මැ කියා දිය යුතු වේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මපදයක් මුල් කැරැගෙන මැ කළ යුතු වැ ඇත.

Read More

උපොසථ …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

“උද්දෙසෙ පාතිමොක්ඛස්ස පණ්ණත්තියමුපොසථෙ
උපමාසෙ ච අට්ඨංග උපොසථ දිනෙසියා”

පාළි ‘උපොසථ’ ශබ්දය අර්ථ පසෙක්හි යෙදෙයි. ‘පොහොය’ සඳ උපොසථ යන්නෙන් බිඳුණෙකැ යි කියති.

  1. ‘ආයාමාවුසො කප්පින උපොසථං ගමිස්සාම’ යන ආදි තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන්හි මහණ මෙහෙණන් ගේ පාමොක් උදෙසීමෙහි ද,

  2. ‘උපොසථො නාම නාගරාජා’ යන ආදි තන්හි ඇත් කුලයකට තැබූ නාමයෙක්හි ද,

  3. ‘සුද්‍ධස්ස වෙ සදා ඵග්ගු සුද්‍ධස්සුපොසථො සදා’ යන ආදි තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් ම නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදි යුෂ ආදිය පමණක් ගෙනැ හෝ කල් යවන ව්‍රතයෙහි ද,

  4. ‘එවං අට්ඨංග සමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උප වුත්ථො’ යන ආදි තන්හි පොහොය දා රැක්ක යුතු අෂ්ඨාංග ශීලයෙහි ද,

  5. ‘තදහුපොසථෙ පණ්ණරසෙ’ යන ආදි තන්හි සාමාන්‍ය දවසට වඩා විශේෂ ශීලාදී ගුණයන් ගෙන් පේවී වාසය කරන දිනෙහි දැ යි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි.

මේ පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙරැ සම්මත වූවෙකි. ඉතා පෙරැ ආදි කාලයෙහි විසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා ම මෙලොවැ කටයුතුවලැ පමණක් නො යෙදී සතියකට වරක් පර ලොවැ ශුභ සිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණාහ. මෙකලැ මෙන් දින දර්ශන හා ලිත සුලභ නැති එකලැ අහසෙහි සඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරුන් ද පොහොය ආගමික දින හැටියට යොදාගෙන තිබිණ.

Read More

හෙට රට කොයිබට ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය සඳහා දෙන ලද උපදෙස් අදටත් ඉතා හොඳ ය. අමාත්‍ය මණ්ඩලයක් පත් කැරැගෙනැ දශරාජධර්මයෙන් රජය කරන්නට රජවරුනට උපදෙස් දුන් අතරැ ලිච්ඡවීනට සමූහාණ්ඩු වශයෙන් රාජ්‍ය පාලනය සඳහා අනුශාසනය කළ හ. ලිච්ඡවීන් මහා විනාශ මුඛයකට මූණ පා සිටින අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට ශාන්තිය සලසා දුන්නා පමණක් නො වැ රාජ්‍ය පාලනය ඉහළට මැ දියුණු කැරැගැනීමට අනුශාසනා ද කළ හ. එයින් ලිච්ඡවී රාජ්‍යය කොතරම් ඉහළට නැගී ගියා දැ යි කිව හොත් එවකට පමණක් නො වැ මෙ වකට ද කිසි මැ රාජයයකට දෙ වැනි නොවන තරම් හොඳ පාලන ක්‍රමයක් ඇති විය. බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡවීනට දෙන ලද උපදේශයන් අතුරෙන් සප්ත අපරිහානිය ධර්ම මුල් වෙයි.

1.නිතර එක් රැස්වීම. 2.සමඟ වැ රැස්වීම, සමඟ වැ සභාවෙන් නැඟී සිටීම, සමඟ වැ කටයුතු කිරීම. 3.පෙර රජුන් නොපැණැවූ දැයක් නොපැණැවීම, පැණැවු දැ නොසිඳීම, පණවා ඇති පනත් නො පිරිහෙළා රැකීම. 4.වැඩි මහල්ලනට යටත් පැවැත්ම, සුවච බව, ගරු බුහුමන් කිරීම. 5.කුලවමියන් කුල කුමරියන් බලාත්කාරයෙන් තමන් වෙතට නොපැමිණැවීම, 6.පූජනීය ස්ථානවලට කැරැගෙන ආ දැහැමි පූජා අත් නොහැරීම. 7.සිය රටට නොපැමිණි රහතුන් හට එන්නට හා පැමිණි රහතුන් හට සුව සේ ඉන්නට ද සැලැසීම. මේ ප්‍රතිපත්ති එ දාට මෙන් මැ අදට ද හොඳ බව නුවණැති කවුරුනුත් පිළිගන්නවා ඇත.

මගධ රාජ්‍යයෙහි අජාසත් රජතුමා ද එ කලැ සිටි ප්‍රබල රජවරුන් ගෙන් කෙනෙකි. බල තෘෂ්ණාව හා ඊර්ෂ්‍යාව රාජ්‍ය පාලකයන් තුළැ ස්වභාවයෙන් පිහිටි ලක්‍ෂණ දෙකකි. අජාසත් රජුට ලිච්ඡවීන් ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවත් ඒ රට අල්ලාගැනීමේ තෘෂ්ණාවත් නොඅඩු වැ තුබුණේ ය. එහෙයින් හෙමින් මහා සටනකට වුවමනා පරිදි යුද හමුදාව ද පිළියෙළ කැරිණි.

Read More

විකල්ප විසිඳුමක් නො ව සම්‍යක් සංකල්ප විසඳුම මෙන්න …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

රජය ඉදිරිපත් කැර ඇති විසඳුම නුසුදුසු නම් විකල්ප විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැත්තේ මන්දැයි නිතර අසන ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඉතා වැදගති. නිකායත්‍රයයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් ඒ ඒ කාරක සංඝ සභාත් සමහර දේශපාලන පක්‍ෂත් ජනමත විචාරණයක් කරන්නැයි කැර ඇති ඉල්ලීම ම ප්‍රමාණවත් විසඳුමෙකි. එය ප්‍රමාණවත් නොවේ යයි රජය සිතනවා නම් ඒ ගැන වාද විවාද නො කොට විකල්ප විසඳුමක් ඉදිරිපත් කිරීම විශේෂයෙන් මහා සංඝයා වහන්සේගේ යුතුකමයි. මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ඒ යුතුකම සපුරන්නට යි මේ ලිපිය. මේ කරුණු ඉදිරිපත් කරන්නේ ශාසනයටත් රටටත් රජයටත් ඉතා හිතවත් ව ය. අපි, සංඝයා බොරු හිතවන්තයෝ නො වෙමු. හැබෑ හිතවන්තයෝ වෙමු. මෙසේ ඉදිරිපත් කරන්නේ විකල්ප විසඳුමක් නො ව සම්‍යක් සංකල්ප විසඳුමකි.

අර්බුදයට හේතු

පළමුව ජනවාර්ගික අර්බුදයට හේතු පෙන්වා දීම මැනැවැයි සිතමි. ශ්‍රී ලංකාව රාවණා රජතුමාගේ කාලයේ පටන් හෙළ දිව යි. හෙළ රට යි. විජය රජතුමා ගේ කාලයේ පටන් සිංහලද්වීපය යි. සිංහල රට යි. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ පැමිණීමෙන් පසු සිංහල රට බෞද්ධ වුණා. එතැන් පටන් සිංහල බෞද්ධ රට යි. ක්‍රිස්තු පූර්ව 237 සිට දකුණු ඉන්දියාවෙන් පැමිණි සේන ගුත්තිකයන් හා එළාරයන් ද පිහිටි රට ආක්‍රමණය කළා. එළාර රජතුමා අවුරුදු හතළිස් හතරක් අනුරාධපුරය අගනුවර කැරගෙන රජකම් කළා. එළාර රජතුමා දැහැමි කෙනෙකු හැටියට ඉතිහාසය කියතත් ඔහුගේ අනුගාමිකයන් පිහිටි රට වෙහෙර විහාර විනාශ කරන්නට පටන් ගත්තා.

එකලැ රුහුණේ රජකමට පත් දුටුගැමුණු රජතුමා මහ හමුදාවක් සමග ගොස් සටන් කොට පිහිටි රට අත්පත් කැර ගත්තා. ඒ සටනේ දී සිංහල දෙමළ විශාල සංඛ්‍යාවක් මරණයට පත් වුණා. නොමැරුණු පරාජිත දමිළයන්ගෙන් කොටසක් ඉන්දියාවට පැන ගත්තා. කොටසක් උතුරේ නතර වුණා. සිංහල බෞද්ධයන්ගේ හොඳ කම නිසා ඔහුනට කරදරයක් නැති වැ හොඳින් වාසය කරන්නට ඉඩ දුන්නා. එයින් ශ්‍රී ලංකාවේ දෙමළ නමින් ජන කොටසක් ඇති වුණා. Read More

තව දුරටත් කරුණාව දක්වනු මැනවි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

ජූලි 18 වැනිදා සේවයට නොපැමිණීමෙන් රැකියා අහිමි වූ පිරිසකට රජයේ කොන්දේසි අනුව රැකියා දීමට ශ්‍රීමත් ජනාධිපතිතුමා ගත් තීරණය ශ්‍රේෂ්ඨ අදහසක් බව සෙත්පතා දන්වා සිටිමි.

රැකියා අහිමි වූ පිරිස කොටස් තුනකට බෙදා එක් කොටසකට වැරදි කළවුන් හැටියට දඬුවම් දෙන බවත් තව කොටසක් විශ්‍රාම යවන බවත්, අනෙක් කොටසට කොන්දේසි සහිතව රැකියා දෙන බවත් පුවත් පත්හි සඳහන් වී තිබුණා. කොන්දේසි ද ඉදිරිපත් කොට තුබුණා දිටිමි.

නීතියට ඇඟිලි ගැසීම නුසුදුසු හෙයින් දඬුවම් දෙන කොටසට සාධාරණයක් කරන්න යන්නට වඩා කිසිවක් නො කියමි. කොටසක් විශ්‍රාම යවන්නට සිතීම සාධාරණ ක්‍රියාවෙකි. එහෙත් සිතිය යුත්තක් ඇත. මෙකල ජීවන වියදම අධික නිසා ජීවත්වීමේ ප්‍රශ්නය උග්‍රයි. වරද කාගේ වුවත් වැඩ වර්ජකයන් ගෙන් සියයට අනූවක් පමණ ජීවත් වීමේ අපහසුව නිසා ම සම්බන්ධ වන්නට ඇතැයි සිතන්නට ඉඩ ඇත. රැකියා මුදලින් ජීවත් වන්නට බැරි කාලයෙකැ විශ්‍රාම මුදලෙන් ජීවත් වන්නේ කෙසේ දැයි කරුණා මෛත්‍රියෙන් සිතා බලා නීත්‍යනුකූල වැ විශ්‍රාම යන්නට ආසන්න ව සිටින අය පමණක් විශ්‍රාම යවන ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.

අනෙක් කොටසට රජයේ කොන්දේසි ඇති ව රැකියා දීමට ගත් තීරණය ද ශ්‍රේෂ්ඨ බව කිව යුතු ය. කොන්දේසි වශයෙන් රජය කරුණු පහක් ඉදිරිපත් කොට ඇති බව දවස පත්‍රයෙහි පළවී තිබුණා. කවදත් වැඩ වර්ජන මෙහෙයවන්නේ වෘත්තීය සමිති ය. එයට බැඳී සිටින අය කැමැත්තෙනුත් වැඩි දෙනා අකැමැත්තෙනුත් වැඩ වර්ජනවලට සම්බන්ධ වෙති. සාකච්ඡා කොට සමථයක් ඇතිකර ගැනීමට කැඳවූ බවත් සැබෑ ය. හදිසි නීතිය පනවා වැඩට යන ලෙස කී බවත් සැබෑ ය. එහෙත් ඔවුනට කල් දුන්නේ එක දවස ය. ඔවුනට කරකියා ගන්නට දෙයක් නැති වන්නට ඇත. එය සමාවට කරුණක් බව හැකි ය.

Read More

error: Content is protected by www.ifbcnet.org.