
(1958 ජනවාරි පළමු වන දා වන විට ආධාර ලබන සියලු ම පාසල් රජයට ගත යුතු යැ යි. බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවෙන් යෝජනාවෙක් කැරිණ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ගේ හදිසි මරණයෙන් පසු ඒ යෝජනා පමණක් නො ව, එ කී වාර්තාව ද යටපත් ව ගියේ ය. අප මහානායක මාහිමිපාණන් වහන්සේ මේ ප්‍රශ්නය නැවැත මතු කොට ජනතාව ගේ ඇස් අරවනු වස් ලිපි රැසක් පුවත්පත්හි පළ කරවා මහ හඬක් නැංවූයේ මේ අවස්ථාවෙහි ය. එදිරිවාදුවන්ගේ නොයෙක් තර්ජන ගර්ජන මැද කැරුණු මේ සටනින් 1960 දෙසැම්බර පළමු වැනි දා ජය ලැබිණි – උපකෘත පාඨශාලා ස්වල්පයක් හැර ඉතිරි සියල්ල ම ජයට පවරා ගැනිණි. මෙහි ලා පළ වනුයේ එ ම ප්‍රශ්නය පිළිබද ව ගුවන් විදුලියෙන් කැරුණු කතාවෙකි)
ආධාර ලබන පාසල් ක්‍රමය අහෝසි කර රජයේ එක මණ්ඩලයෙකින් සියලු පාසල් පාලනය කළ යුතු ය යන ශ්‍රෙෂ්ඨ අදහස මීට අවුරුදු 55 කට පෙර මුලින්ම ඉදිරිපත් කළේ සිංහලත් නොවන බෞද්‍ධත් නොවන අය වුව ද මෑත කාලයෙහි මේ ගැන මහත් උද්ඝෝෂණයක් කෙළේ බෞද්‍ධයන් බව කවුරුනුත් දන්නා කාරණයෙකි. බෞද්‍ධයන් වැඩි සංඛ්‍යාවක ගේ මතය පිඬු කොට කොමිෂන් සභා වාර්‍තා දෙකේ දක්වා තිබන්නේ මෙ සේ ය.
“1958 ජනාවාරි 1 වෙනිදා වන විට ආධාර ලබන සියලු ම පාඨශාලා රජයට භාරගත යුතුය” – (බෞද්‍ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්තාව)
“ආගම් වශයෙන් අප රට දරුවන් හට වෙන වෙන ම පාඨශාලා පිහිටුවීමෙන් රටේ දියුණූවට ද සමගියට ද බාධ වන හෙයිනුත් ළමයින් ගේ සහජ දක්‍ෂකම් අනුව ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරිමට බාධා වන හෙයිනුත් රජයෙන් අධ්‍යාපනයට වන වියදම අධික වන හෙයිනුත් උපකෘත පාඨශාලා ක්‍රමය අවලංගු කොට රජයේ පාඨශාලා මගින් ම සියලු දරුවන් හට අධ්‍යාපනය දිය යුතු ය” – (බුද්‍ධශාසන කොමිෂන් සභා වාර්තාව) Read More